ඉතා කාර්යබහුල කාලයක් උදා වී තිබිණි. අම්මා සම්පූර්ණ කැමැත්ත පළ කළ පසු අමෝද අයියා අපේ ගොවිපොළෙහි එළවළු මිලට ගන්නට ගිවිසුම් සැකසී ය. හිත මිතුරුකම් මත පදනම් නොවී ව්‍යාපාරික පදනමින් ඔහු සියල්ල සැලසුම් කරද්දී ඔහු අප රවටන්නෙකු නොවන බව මම වටහා ගනිමින් සිටියෙමි. මගේ තාත්තා ජීවිතය පටන් ගත්තේ බොහෝ පහළ මට්ටමක සිට ය. අමෝද අයියා ව්‍යාපාරික පවුලක දෙටු පුතු ය. ඕනෑ තරමට වියදම් කරන්නට මුදල් තිබුණ ද ඔහු ඉතා ප්‍රවේසමෙන් සහ සැලසුම් සහගතව නව ව්‍යාපාරය හසුරවන ආකාරය බලා සිටීමෙන් පවා ව්‍යාපාර කළමනාකරණ උපාධියේ ප්‍රායෝගික තැන් උගත හැකි බව මට පසක් විය.මා මෙහි හවුල් කාරියක යන හැඟීමට වඩා මේ “අපේ වැඩක්” බව මගේ සිතෙහි ජනිත වූ හැටි පුදුම ය. නමුත් මා වඩවඩාත් එය කෙරෙහි බැඳෙමින් හුන්නෙමි.
“මිනිස්සු කැමතියි ලෙඩක් දුකක් හදා ගන් නැතුව ඉන්න..ඩයට් ප්ලෑන්වල ඉන්න අය දැන් හරි වැඩියිනෙ. එහෙම අයට මෙහෙම දේවල් හරි වටිනවා..”
උදෑසන,දහවල් සහ රාත්‍රී ආහාර ලෙස අපේ ගොවිපොළේ එළවළු වලින් සැකසූ ආහාර ව්‍යාපාරය අප සිතුවාට වඩා බොහෝ දුර ගමනක් යද්දී ඊෂාගේ අම්මා පැවසුවේ සතුටිනි. දැන් බොහෝ විට ඇගේ දෛනික ආහාර වේල් අතර තිබුණේ ද ඒවා ය.
“දැන් ෆාම් එකේ එළවළු මදි වෙන පාටයි පිනී. සුපර් මාකට්ස් ඕඩර් ම කොච්චරක් ද..මං තව ෆාම් දෙක තුනකට කතා කරා. පලතුරුත් ගන්න පුලුවන්..”
අමෝද අයියා දිනක් පැවසුවේ ය. මාස කිහිපයක් තුළ ආ ගමන ගැන ඔහුට සැබෑ ප්‍රීතියක් ඇති බව මට දැනුණේ ඒ වචන අසා හිඳින විට ය.
“ඔයාලගෙ ගෙට පහළ තියන ලොකු ඉඩම.. අන්න ඒකත් ෆාම් එකකට මරු. ඒත් ඉතින් ඒක එහෙම වැඩකට ගන්න ඔයා කැමති ද? අම්මා කිව්වෙ ඒ ඉඩම තියෙන්නේ ඔයාගේ නමට කියලා..”
මම මඳ වෙලාවක් නිහඬව සිටියෙමි. කලකට ඉහත නම් ඔහු ඒවා ගැන සෙවීම ගැන නුරුස්නා හැඟීමකින් හිත පිරී යන්නට තිබිණ. නමුත් දැන් එසේ වන්නේ නැත.
“අයියේ.. අපි ඒකෙත් වවමු. වේලු මාමා ඕක ඉක්මනින් කරයි. මිනිස්සුද නැත්තේ ඕවට..”
අමෝද අයියා කලකට පසු ඔහුගේ දීප්තිමත් සිනාව දෙතොලෙහි ඇඳ ගත්තේ ය.
“ඒ ඉඩම පෝර ඉහලා, වගා කරලා නාස්ති කරන්න එපා ළමයෝ. ඒක ඔයාගෙ නම් ඔයාට දවසක ගෙයක් හදන්න නැත්තං හොටෙල් එකක් හදන්න වගේ අදහසක් ආවොත්.. අන්න එතකොට මැරි කරන එකත් අහයි ඇයි බං මේ ඉඩම නාස්ති කරගෙන කියලා..”
මලිඳු ඡායාවක් වී සිතේ ඇඳී ගියේ ය. ඊෂාව සැනසීමට උත්සාහ කළ දින සිට මාස තුනකටත් වඩා කාලයක් ඔහු මා මඟ හරින බව මට දැනිණ. කාටත් වඩා මගේ ඇස් ඇරවූයේ මගේ නංගි ය. ඔහු මා පාවිච්චි කරන්නට උත්සාහ කරන බව නංගි පැවසීම නිසා ම මා ක්‍රමයෙන් මලිඳුගෙන් ඈත් වන බව මට දැනී තිබිණ. වැඩ අධික කාලයක් නිසා ඔහු ගැන සිතමින් සිහින මවන්නට ද ඉඩක් වූයේ ම නැත.
“බඳින මිනිහා ගැන පස්සෙ බලා ගමු.දැන් වැඩේට ඕනෑ නම් අපි ඒකත් වවමු..”
මම එසේ කියමින් අන්තිම තීරණය ගතිමි. නමුත් මලිඳුව සිතට නැඟුණු පසු යළිත් ඔහු ගැන සිහි වීම නිසා මගේ වැඩ කටයුතු අවුල් වන බව මට දැනෙන්නට පටන් ගත්තේ ය. එකම මැසේජ් එකක් වත් එවන්නට උනන්දු නැති ඔහු ගැන කා සමඟ හෝ කතා කරන්නට මට උවමනා විය.
හිමල්ක මට සවන් දුන්නේ ය.
“පිනී.. ඔයා වෙන ටාගට් එකකට මහන්සි වෙන නිසා මට මේ ගැන ඔයාට කියන්න ඕන උනේම නෑ. හැබැයි මේ කොලේජ් එකට වීක් එන්ඩ් එකේ පාට් ටයිම් කෝස් එකක් කරන්න එන ඌ දන්න තරම් කෙල්ලන්ව අවුරුදු දෙකක් මේකෙ ඉගෙන ගත්ත අපි දන්නෙත් නෑ..”
ඒ මට අලුත් ඕපාදූපයකි.
” අපේ බැච් එකේ පවා ගොඩක් කෙල්ලන්ගෙ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් මලිඳු. ඒ දාන කමෙන්ට්ස් වලින් එහෙම ඌ මහ පැණියෙක් කියලා මිසක් වෙන මොකුත්ම මට නම් හිතෙන් නෑ..”
හිමල්ක එසේ කියා වඩා ළතෙත් දෑස් ඇතිව මදෙස බලා සිටියේ ය. සිරුරේ ඇති වෙනස්කම් නිසාම අමෝද අයියාට දිනුකට වඩා වෙනස් මිනිසෙකු වුව ද හිමල්කගේ උතුරා යන සහෝදරකම මට අඩු නැතිව දැනිණ. ඕනෑම මොහොතක වැළද හඬන්නටත් හිනැහෙන්නටත් ඔහු අපූරු සහෝදරයෙකි. අධ්‍යාපනය අවසන් වූ පසු ඔහුගේ හැඟුම් සහ තෝරා ගැනීම් සිනා නොවී පිළි ගන්නා රටක පදිංචියට නික්ම යන්නට ඔහු ළඟ ඇති තීරණය මට පීඩාවක් වන්නේ එනිසා ය. ඊෂා, දිනුක සේම හිමල්ක ද දෑස් මානයේ සිටිය යුතු මිතුරෙකි.
“පිනී… මං මේක කියන්නම හිටියේ. ඔයාගේ ඒකපාර්ශ්වික ආදරේ හරි ලස්සන හැඟීමක්.. හැබැයි වන් සයිඩ් ලව් එකක් වුණත් වටින මිනිහෙක්ට දෙන්න.. මලිඳු කියන්නේ මට අල්ලන්නෙම නැති එකෙක්..”
මලිඳු බොහෝ ගැහැනු ළමයින් සමඟ ඇත්තේ මිත්‍රත්වයක් ද නැතහොත් ඔහු “ටයිම් පාස් කරන්නට” ඔවුන් පාවිච්චි කරනවාදැයි මට ද ඇත්තේ කුහුලකි. සමහරවිට මා ඔහුට හිතැති බව නොදන්නවා සේ හිඳීම ද ඔහුගේ විනෝදයේ කොටසක් වන්නට ඇත.
“පිනී.. ඔයා මලිඳුට ආදරේ කරන තරමට ඔයාට ආදරේ කෙනෙක් ඔයා දිහා බලාගෙන ඉන්නවා කියලා හිතෙන් නැද්ද?”
අනතුරුව හිමල්ක ඇසුවේ වඩා ආදරණීයව ය.
“කවුද?”
“ඒක අහන්න දෙයක්වත් නෑනෙ මෝඩියේ. අමෝද අයියා.”
මම අපේ දේශන ශාලාවෙන් පිටත අහස දෙස බලා සිටියෙමි. අමෝද අයියා මට ප්‍රේමයෙන් පසු වන බව මුලින් ම පැවසුවේ නංගී ය. හිරිමල් වියේ කෙල්ලකට සිතෙන විකාර යැයි එය අහක දැමූ බව සැබවි. එහෙත් මගේ සොයුරෙකු බඳු මිතුරා ද දැන් එය ම පවසයි.
“ඕක කරන්නවත් හොඳ නැති විහිලුවක් හිමා. අයියා තාම තිවංකිට ආදරෙයි. තිවංකිව හිතේ තියාගෙන අවුල් වෙන කෙනෙක්ට ආදරේ කරන්න ගියොත් මම මේ හිටියටත් වඩා අවුල් වෙනවා. මම ආදරේ නිසා හරියට දුක් වින්දා. තාම විඳිනවා. මලිඳු ඉස්සරහට මොනවා කරයිද කියලා තාම හීන දකිනවා. ඒ අස්සෙ ඔහොම ඒවා කිව්වම මාව තවත් අවුල් වෙනවනෙ..”
හිමල්ක මොහොතක් නිහඬව හුන්නේ ය.
“ඔයාලා දෙන්නම රිද්දා ගත්තු අය පිනී.. හොඳටම රිදුණු මිනිස්සු අනුන්ට රිද්දන් නෑ. තිවංකි නිසා මාර විදියට හර්ට් වෙලා ඉන්න අමෝද අයියා දවසක ලස්සනට ආදරේ කරයි..”
හිමල්ක කී වදන් ගැන මම වැඩිදුර සිතන්නට නොගොස් සිටියෙමි. අමෝද අයියා හොඳ මිතුරෙකි. සහෝදරයෙකි. ඔහු මට ආදරය කරතැයි සිතන්නට ගොස් තවත් වේදනාවක් පොරවා ගත යුතු නැත. අනෙක් අතට මා ඉතා සාමාන්‍ය පවුලක දැරියක් බවත් ඔහු ප්‍රබල ව්‍යාපාරික පවුලක දෙටු පුත් බවත් අමතක කළ යුතු ම නැත.
මලිඳුට අමතන්නට බොහෝ උවමනා වුවත් මම ඉවසීමි. දිගින් දිගටම ඉවසා සිටියෙමි. සරසවියේ සිට නිවසට විත් පාඩම් වැඩ ගොඩක පැටලුණු විට කාලය ගත වන්නේ අසුරු සැනිණි.කරන්නට වැඩ දාහක් තිබුණ ද හිස කැක්කුමක් පටලා ගත් ඊෂා නිදන්නට ගියා ය.
මලිඳුට අමතන්නට සිතෙන හැඟීම වැර වෑයමෙන් අමතක කරමින් මම ඔරලෝසුව දෙස බැලුවෙමි. මධ්‍යම රාත්‍රියට මිනිත්තු කිහිපයකි. අමතනවා නම් මලිඳු මා ඇමතිය යුතු ම මොහොතක් තව මිනිත්තු දෙක තුනකින් උදා වේ.
මා ඒ මිනිත්තු කිහිපය ගෙවා දැම්මේ කල්පයක් ගෙවා දමන තරමේ අසීරුවකිනි.
රාත්‍රී දොළහේ කනිසම උදා විය. කාමරයේ දොරට වේගයෙන් ගසන්නේ ඊෂා බව මම දනිමි. ඇගේ දැඩි වැළඳ ගැනීමක් අපේක්ෂාවෙන් මම දොර හැර බැලුවෙමි.
මගේ උපන් දින කේක් එක වූයේ අමෝද අයියා අත ය. තෑග්ගක් බදා ගත් ඊෂා ද පිහියක් උරුක් කරගත් දිනුක ද මල් පොකුරක් අතින් ගත් හිමල්ක ද සිනා පිරි මුවින් මදෙස බලා සිටිය හ.
දරා ගන්නට නොහැකි සතුටකින් මා පිරී යන්නට විය.