හැමදාම පලතුරු බීම එකම රසට බීල එපා වෙලා නම් හදල බලන්න එළවළු-පලතුරු බීම. ගෙදර අයව වගේම ගෙදරට එන අමුත්තන්ව පුදුම කරන්නටත් ඔබට හැකිවේවි. එළවළු සහ පලතුරු කන්නට හොර පොඩිත්තන්ටත් කදිම විසඳුමක් තමයි මේ.
බීට්, කැරට් සහ මිදි බීම
- කුඩා බීට් ගෙඩි 5 (කුඩා කොළ කීපයක් තිබුණට කමක් නැහැ)
- ලොකු කැරට් අල 1
- ඇට නැති රතු මිදි කෝප්ප 2
- අයිස් කැට
සාදා ගන්නා අයුරු-
සියලු පලතුරු සෝදා ගන්න. බීට් සහ කැරට් පොතු ඉවත්කර අඟල් 2 කැබලිවලට කපාගන්න. අයිස් කැට කිහිපයක් සමඟ හොඳින් බ්ලෙන්ඩර් කර උස් වීදුරුවකට දමා පිළිගන්වන්න.
අන්නාසි, කැරට් සහ දොඩම් බීම
- කුඩා අන්නාසි ගෙඩි 1
- ලොකු කැරට් අල 1
- දොඩම් ගෙඩි 2
- අයිස් කැට
සාදා ගන්නා අයුරු-
සියලු පලතුරු හොඳින් සෝදා ගන්න. අන්නාසි සහ කැරට් පොතු ඉවත්කර අඟල් 2 කැබලිවලට කපාගන්න. දොඩම් යුෂ සහ අයිස් කැට කිහිපයක් සමඟ හොඳින් බ්ලෙන්ඩර් කර අන්නාසි කැබැල්ලක් එක්ක ලස්සන වීදුරුවකට දමා පිළිගන්වන්න.
මෙම ප්රමාණයන් 2-4 දෙනෙකුට පමණ පිළි ගන්වන්නට සෑහේ. මෙය අමුත්තන්ට පිළිගන්වන්නට පමණක් නොව කෑම පාලනය කරන අයටත් ආහාර වේලක් වෙනුවට භාවිතා කරන්නට කදිමයි.
– කල්හාරී –