බොහෝ දේ සිදු වන්නට ඇත. අපහසුවෙන් දෑස් විවර කළ මට මගේ අතට කැනියුලාවක් සවි කර ඇති බවක් දැනිණි. පියවි සිහියට එළඹෙන්නට තැත් දරමින් මම දෙනෙත් ඒ මේ අත යැවීමි.
මා හිඳින්නේ රෝහලක ය. පෞද්ගලික රෝහලක සුවපහසු යහනක ය.නොපැහැදිලි දසුන් අතර ඊෂා දිස් වෙද්දී මම සිහින් හඬින් ඈ ඇමතුවෙමි.
“මට මොකද වුණේ?”
ඊෂා මවෙත නැඹුරු වූයේ ආදරයෙනි. වෙනදා පුරුදු ආදරයෙනි.
“ඔයා එක සැරේම ෆේන්ට් වෙලානේ පිනී.අපේ අයියා ලෝකේ පෙරලන්න තරම් බය වෙලා. දැන් හොඳයි නේද ඔයාට”
ඈ මගේ අත පිරිමැද්දා ය.මම අසීරු සිනාවක් නඟා ගතිමි.
“නෑ..නෑ.. අපි පිනීට බොරු නොකියා ඇත්ත කියමු. “
දිනුක වඩා පුළුල් කවට සිනාවක් සහිතව මවෙත නැඹුරු වූයේ එවෙලේ ය.ඊෂා ඔහු දෙස විමතියට බර බැල්මකින් බලද්දී ඔහු හිනාවෙන් ම කතාව ඇරඹී ය.
“ඔයා ප්‍රෙග්නන්ට් වෙලා පිනී.. අපේ සුබ පැතුම්..”
ඊෂා හිනැහෙන්නට ගත්තා ය. මම උඩබිම බලන්නට වීමි.
“අනේ විකාර කියවන්නෙපා දිනුක. මේ කෙල්ල ආයේ ෆේන්ට් වෙයි..”
ඈ කියන්නේ සැහැල්ලුවෙනි.
“වෙන්නත් බැරි නෑනෙ. උදේ ඔයාටත් නොකියම එළියට බැස්ස මනුස්සයා අයියගේ කා එකේ ඉඳලා ෆේන්ට් වෙලා හොස්පිටල් ඇවිල්ලත් ඉවරයි. මෙහෙමත් රහස්.”
දිනුකගේ සරදම මම දරා හුන්නෙමි. මලිඳුගේ ප්‍රේමාරාධනා අසා පැය කිහිපයක් යන්නටත් ප්‍රථම අමෝද අයියාත් මාත් අල්ලා දිනුක පවසන ඇස් රතු වන විහිලු දරා හිඳින්නට මම කැමැත්තෙමි. සත්‍යය නම් මට වෙනස් වන්නට උවමනාවක් නොවීම ය.
මම ඊෂා දෙස බලා සිටියෙමි. ඇයත් මාත් උදෑසන දරුණු රණ්ඩුවක පැටලී ගත් බව ඈ අමතක කළ සෙයකි.
“අම්මා ඔයාට කෑම හදාගෙන එන්නම් කිව්වා.. අපි කාලා බීලා ඇඟට පණ අරන් හෙට ගෙදර යං.. ලොකු ලෙඩක් නෙවෙයි.ඇත්තටම ඔයා ටිකක් දුර්වල වෙලා ස්ට්‍රෙස් වෙලාලු..”
ඊෂා මා පිරිමදින්නේ ආදරයෙනි.අමෝද අයියා කාමරයට ආවේ ඒ මොහොතේ ය.
“ඩොක්ටට කතා කළා ද අයියා?”
ඊෂා ඔහුගෙන් ඇසුවා ය.
“පිනී ස්ට්‍රෙස් වෙලාද ඉන්නේ?” අයියා එයට පිළිවදන් නොදී මට ප්‍රශ්නයක් යොමු කළේ ය.
මම කිසිත් නොකියා හිස වැනුවෙමි.
“මං හිතුවා.මේ කෙල්ල එක්සෑම් එකට බය වෙලා ඇති. උඹ සුපර් පවර්ස් හම්බෙලා වගේ ඒ ප්ලස්ම ගන්නකොට කෙල්ලො ටික බය වෙනවා..”
අයියා දිනුකට පහරක් ගසමින් පවසන්නේ සැහැල්ලුවෙනි. ඔහුගේ ඒ සැහැල්ලුව මට දරුණු ගණයේ අසනීපයක් නැති බවට සහතිකයකි. මම සොම්නසින් නෙත් පියා ගතිමි.
“පිනීට අවුල් උනොත් අඬන්න ඕන. නැත්නම් එයා ස්ට්‍රෙස් වෙනවා තමා.ඔයාට මතකද අංකල් නැති වුණාම එයා අඬන් නැතුව ඔහේ ඉඳලා ෆේන්ට් වුණු හැටි. ඒ වතාවෙත් අපි ඕක ලොකුවට ඔලුවට ගත්තේ නෑනෙ.”
දිනුක පවසන දේ අසමින් මම නින්දට වැටුණෙමි. අවදි වෙද්දී මා අසල හුන්නේ අමෝද අයියා පමණි.
“පිනීට බොන්න මොනවා හරි ඕනෑද?”
ඔහු මට නැඹුරු වෙමින් විමසී ය.
“නංගියි දිනුකයි ගෙදර ගිහින් ඔයාගේ කෑමත් අරන් එන්න ගියා. ඇඳුමක් ගේන්නත් එපැයි..”
මගේ දෑස් ඊෂා සොයනු දැක ඔහු එසේ කීවේ ය. මම ඔරලෝසුව දෙස බැලීමි.හවස හය ද පසුව යයි.
“අයියට කම්මැලි ඇතිනෙ. ටීවි එකවත් බල බල ඉන්න එපැයි..”
“මොකක් හරි විකාර ටෙලි ඩ්‍රාමා එකක් දැක්කොත් මටත් බෙහෙත් බොන්න වෙයි.”
අමෝද අයියාගේ සැහැල්ලු හිනාව කාමරය පුරා නින්නාද නැංවී ය. මම ඔහුට නෙත් අලවා මොහොතක් සිටියෙමි.
“අයියේ…”
“ඇයි දරුවෝ..”
“ඔයා මට ඒ කතාව කියන්නං කිව්වෙ. දැන් කියන්න..”
නැවත ඔහුගේ සිනාව පිපී ගියේ ය.
” ඒක මේ හොස්පිටල් එකක් අස්සට වෙලා ලෙඩ වුණු ළමයෙක්ට කියන්න ඕනෑ කතාවක් නෙවෙයි. මම කියන්නම්කො වෙන දවසක.. දැන් මට තියනවා වෙන දෙයක් කියන්න..”
ඉතින් මට ඒ වෙන දේ අසන්නට ඕනෑ විය.
“පිනී ටවුම පුරා ඇවිද ඇවිද හිටියේ ප්‍රශ්නෙකින් කියලා මං දන්නවා.හැබැයි මං ප්‍රශ්නෙ හරියට දන්නෙ නෑ. ටිකක් හරි දැන ගත්තෙ අපේ නංගිගෙන්. ඔයාලා දෙන්නා ලොකු රණ්ඩුවක් ගියාලු නේද උදේ..”
මම හිස සැලීමි.වරද සහමුලින්ම මගේ ය.
“මිනිස්සුන්ට බොරු හදලා කියන්න පුලුවං. තමන්ගේ අරමුණු වෙමින් වෙන මිනිහෙක්ව දරුණු බොරුකාරයෙක් රැවටිලි කාරයෙක් කරලා පෙන්නන්නත් පුලුවං. ඒත් මං අහන්නේ එහෙම කතාවකට ඔයාලා දෙන්නාගෙ ලස්සන යාලුකම බිල්ලට දෙන්නේ ඇයි?”
මට කියන්නට කිසිත් තිබුණේ නැත. අන් කිසිවකටත් වඩා මලිඳු නිසා ඊෂා නැති කර ගැනීම අනුවණ ක්‍රියාවක් බව දැනෙද්දී මට දැනුණේ ලැජ්ජාවකි. මලිඳුගේ ප්‍රේමාරාධනාව තවදුරටත් ඊෂාගෙන් සැඟවිය යුතු නැත. ඈ මා අසල රාත්‍රිය ගෙවන්නට ආ විට ඇය සමඟ ඒ ගැන පැවසිය යුතු ය.
“අම්මට කෝල් එකක් ගන්න ඕන අයියේ..”
“තව ටිකක් රෑ වෙලා කටහඬ පණ ආවම ගන්න.නැත්නං අම්මා කලබල වෙයි. දවල් අම්මා කෝල් කරා. අපේ චූටිව හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා දිනුක තඩි බොරුවකුත් කිව්වා අම්මට. දැන් එයාට හොඳයි කියලා තව ටිකක් රෑ වෙලා කතා කරාම හරි..”
නමුත් මගේ දුරකථනය නාද වන්නට විය. ඒ අම්මා හෝ නංගී වන්නට ඇතැයි සිතමින් මා දුරකථනය සොයද්දී එය මා අත තැබුවේ අමෝද අයියා ය. දුරකථන මුහුණතේ සිටියේ මලිඳු ය. මම එයට ප්‍රතිචාර නොදක්වා ඔහේ බලා සිටියෙමි.
“කතා කරන්න..”
අමෝද අයියා නැගී සිටියේ ය.
“ඕන්නෑ අයියේ.ඊෂාට කියපුවා නිසා මට එයා එක්ක කතා කරන්න ඕනත් නෑ..”
මා පැවසුවේ ඇත්තටම ය. මලිඳුගේ ඇමතුම යළි පැමිණෙන්නට විය. එයට පිළිතුරු දීම මිස කළ හැක්කක් නැත.
“කොහෙද පැටියෝ ඉන්නේ?”
ඔහුගේ ප්‍රේමය ගැන දැඩිව බලාපොරොත්තු තබා හුන් කෙල්ලකට “අඩෝ බං” කියන්නට අමතක නොකළ මලිඳු අමෝද අයියා නිසා වෙස් පෙරලා ගැනීම මට අප්‍රසන්න ය.ඔහු මේ ආදරය යැයි පෙන්වන්නේ රැවටීමකි. ඊර්ෂියාවකි. අනිත් අතට කිසිත් නොකියාම මා අසල පුටුවකට බරව හිඳිම අමෝද අයියාට මේ විප්‍රකාර නෑසෙන්නට හේතුවක් නැත.
“මමයි ඊෂායි පාඩම් කරනවා මලිඳු.ලොකු වැඩක හිටියෙත්. තියන්නං. බායි.”
ඔහු අමතන ඕනෑම මොහොතක කතාව දිග් ගසා ගැනීමට විවිධ ඕපාදූප දෙඩවූ පිනිදිගේ අරුම වෙනස්වීම මලිඳුට නොදැනෙන්නට ඉඩක් නැත.
“ආදරෙයි කිව්වට පස්සෙ ඔයාගෙත් ලොකු ලයින් නේද?ඉස්සර මගෙ පස්සෙන් ආපු කාලෙට වඩා..”
ඒ කෙටි පණිවිඩය ආවේ ඒ මොහොතේ ය.මා ගිනි ගන්නා බවක් මට දැනිණි. දිගු පිළිතුරක් යවන්නට කල්පනා කළ මම කිසිත් නොකියා දුරකථනය වෙනතකින් තැබුවෙමි.
මලිඳු මගේ ඒකපාර්ශ්වික ප්‍රේමය බව සැබෑවකි.ඔහු ඒ වගක් නොදන්නා සේ කාලය ගෙවා දැමීම ද ගැටලුවක් වූයේ නැත. මා ඔහුට ආදරය කළත් ඔහු මට ආදරයක් නැතිනම් මවා පෙන්වා ඵලක් නැති බව මම වටහාගෙන සිටියෙමි. නමුත් මා ඔහු ගැන ප්‍රේමයකින් පසු වීම “පස්සෙන් ඒම” යැයි පහත් කරන්නට තරම් ඔහු වැටී ඇති තැන ගැන මට ඇත්තේ දුකකි;කේන්තියකි.
අනවසර කදුලක් නෙතින් ගිලිහෙද්දී තව දුරටත් මට මා පාලනය වූයේ නැත. කොට්ටය මත වැටී ගත් මම ඉකි බිඳින්නට පටන් ගතිමි.
“පිනී… මොකද මේ..”
අමෝද අයියා මා නැගිටවන්නට උත්සාහ කළේ ය. නොනවත්වා ඉකි බිඳීම හැර මට කිසිවක්ම උවමනා වූයේ නැත.
“ඔයා හොස්පිටල් එක්කන් ආවේ ඔහොම අඬන්න අරන් ෆේන්ට් වෙලා නංගි. ඔයා මොකක් හරි ලොකු පීඩනයකින් ඉන්නේ කියලා ඩොක්ටත් කිව්වා. තාත්තා නැති එකත් ඔයා වගේ පොඩි ගෑනු ළමයෙක්ට ස්ට්‍රෙස් තමා.හැබැයි ඔය ස්ට්‍රෙස් එක පටන් ගන්නේ එතනින් නෙවෙයිනේ. ඔයාවයි ඊෂාවයි අවුල් කරන ඕන එකෙක්ගෙ හොම්බ තලන්න මට ලොකු වෙලාවක් යන් නෑ. හැබැයි මොකෙක්වත් නිසා ඔයාලා අඬනවා බලන්න මම ආස නෑ.මං හින්දාවත්..”
ඔහු මගේ හිස පිරිමදිමින් කීය. නංගී සමඟ පැටලී ගත් විට අම්මා නංගිගේ පැත්ත ගෙන මට බනිද්දී උවමනාවටත් වඩා හඬ දෙමින් මා වැලපුණු දවස් මට සිහි වූයේ හදිසියේ ය. එවැනි මොහොතක තාත්තා මගේ ළඟට විත් මා සනසන්නේ ද හිස පිරිමදිමිනි. මා සන්සුන් වන ඔසුව ද එය ය.
ඉකි ගැස්ම නැවතුණ ද තාත්තා සිහි වී යළි හැඬේ යැයි බියෙන් මම නැගිට ගතිමි.
“මලිඳුගේ ප්‍රශ්නෙ හෙමින් විසඳා ගමු. ඒ බූරුවා කියපු දේවල් මට වැඩකුත් නෑ.. ඒත් අපි ඕක කතා කරගමු..”
අමෝද අයියා නිසා මා සන්සුන්ව යමින් තිබිණ. ඔහුට සියල්ල පවසන්නට මට ඕනෑ විය.නමුත් කාමරයේ දොර හැරුණේ ඒ මොහොතේ ය.
“අපි ආවා කල් වැඩිද මන්දා..”
ඊෂා දිනුක සමඟ පැමිණියේ එහෙම කියාගෙන ය. ඒ මුහුණු පිරී ඇත්තේ සිනාවකිනි.
“මං අද රෑ ඉන්න ආවේ.. අයියා ඉන්නවා නම් මම යන්නං…”
මම වහා ඊෂාගේ අතින් අල්ලා ගතිමි.
“අනේ ඔයා ඉන්න. මට කියන්න කතාවක් තියේ..”
ඊෂා මගේ අතක් අල්ලා ගත්තේ නැවත සිනාවක් පැළඳගෙන ය.
“කියන්න දේවල් නම් තියනවා කියලා අපිටත් පේනවා.. නැද්ද දිනුක.ඔයා එහෙනම් අනිත් එක්කෙනාගෙන් ඒ කතාව අහගන්නකො..”
අමෝද අයියා කිසිත් නොකියා මඳ වෙලාවක් ඊෂා දෙස බලා සිටියේ ය.
“තව කෙනෙක්ගෙන් අහ ගන්න කතාවක් නම් මටත් තියනවා. දිනුකත් එක්ක ගිහින් ඒක අහගන්නවද කියලා මාත් හිතුවේ..”
අයියාත් දිනුකත් පිටව ගියේ මා ගැටලුවකට මැදි කරමිනි.ඊෂා හිනැහෙමින් සිටිය ද මේ දෙමස්සිනාලා මලිඳු සොයා යාවිදැයි බියක් මා සිත වෙලා ගත්තේ ය.
මා මලිඳු හමු වන්නට ගිය හැටිත් ප්‍රේමයක් ඇරඹීමට ඔහු ගෙනා යෝජනාවත් මා තවම කිසිවෙකුටත් පවසා නැත. සමහරවිට මා නැවත ගැටලුවකට ඇද දමන්නට මලිඳුට අද රාත්‍රිය ප්‍රමාණවත් වනු ඇත.