සිනමා තාරකාවක් මෙන් ලස්සනවන්නට සිතන යුවතින්ට සෝනම්ගෙන් පණිවිඩයක්

සෝනම් කපූර් යනු වත්මන් බොලිවුඩ් සිනමාවේ ඉතාමත්ම පියකරු දක්ෂ සිනමා තාරකාවක්. ඇගේ හැකියාවන්ට, රුවට වගේම විලාසිතාවන්ට ඉතා ඉහළ රසික ප්‍රතිචාරයක් තිබේ. ඈ නිළියක් වන්නට, විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය රූ සපුව මෙන්ම ධෛර්ය ගොඩනඟාගත් ආකාරය පිළිබඳ ලිපියක් පසුගිය දිනෙක සමාජ ජාලා වෙබ් අඩවිවලට එක්කොට තිබිණි. යොවුන් වියේ සැක සංකා පිළිබඳව මෙන්ම, ලස්සන පිළිබඳව ඇයගේ දැක්මත් සමග හාදයාංගමව ලියැවුණු මෙම ලිපිය සැමගේ හදවත් බැඳගත්තා.

සිනමා නිළියක්වීමට පෙර තරමක තරබාරු යුවතියකක්වූ ඈ ඒ පීළිබඳව සමාජයේ සමච්ලයට ලක්වූබවත් ඒ පිළිබඳව දැඩි සේ කම්පාවුණු බවත් ඈ සඳහන් කරන්නීය. පාසලේදී මෙන්ම ඥාතීන්ගේ විවේචන හමුවේ මුළුගැන්වෙන ඕ කැටපත ඉදිරියේ හඬා වැටෙන්නීය. එක එක විදිහේ diet වර්ග අත්හදා බලන්නට පටන්ගත් ඈ මුළු දවසම අන්නාසි පමණක් අනුභව කරන diet වැනි අනන්තයකට යන්නීය. සංජේ ලීලා බන්සාලි විසින්  ‘සාවරියා’ චිත්‍රපටයට තෝරාගැනීම ඇගේ දිවියේ හැරවුම් ලක්ෂයයි. මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ව්‍යායාම සහ ආහාර රටාවකට පුරුදුවෙන ඇය සිය ජීවිතය නවමගකට හරවන්නීය.

බොහෝ දෙනා සිතන්නේ සිනමා තරුවක් සඟරාවක මුල් කවරයේ දකින ආකාරයෙන්ම සුන්දර බවයි. නමුත් එම පෙනුම ලබාගන්නට සමස්ත කණ්ඩායමකම සේවය අවශ්‍ය බවයි සෝනම් පවසන්නේ. ඇඳුම් තෝරන්නන්, කේෂාලංකරණ ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, නිය අලංකරණ ශිල්පීන් ආදී සය දෙනෙකුගෙන් සමනවිත කණ්ඩායමක් ඇයව පැය කිහිපයක් තිස්සේ සූදානම්කරන්නට  අවශ්‍ය බව පවසන ඈ ශරීරයේ වැඩි කොටසක් concealer ආලේපයෙන් වසා ඇතිබව දන්වන්නීය. මෙතරම් වෙනස්කම් සිදුකළත් තවමත් විවේචනවලින් අඩුවක් නැතිබව ඇය සඳහන්කරන්නීය. ඔබ කොපමණ වෙහෙසුනත් සමාජය ඔබේ අඩුපාඩු දකියි. එනිසා සමාජය තෘප්තිමත්කරනවාට වඩා තමා සතුටින් සිටීම පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත්බව සෝනම් සටහන්කරඇත.

තිස් එක්වෙනි විය පසුකරන මෙම කාලයේදී තමන් කෙතරම් කෙට්ටුද මොනතරම් පෙනුමෙන් යුක්තදැයි සිතනවාට වඩා තමා කෙතරම් සෞඛ්‍ය සම්පන්නදැයි යන්නට අවධානය යොමුකරන බවයි ඈ පවසන්නේ.  සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන්නේ නම්, තමා පිළිබඳව විශ්වාසයෙන්යුක්තනම්, අව්‍යාජනම් කොතරම් ස්ථුලවූවත්, කැළැල් තිබුණත් ඔබ සුන්දර බව ඈ අවධාරණයකරන්නීය. ඔබ තරුවක්මෙන් හැඩවෙන්නට සිතන සෑමවිටකම මේ පිළිබඳව නැවත නැවතත් සිතිය යුතුබව ඈ මතක්කරදෙයි.

රූපයෙන් අගතැන්පත් විය යුතුයි අංගසම්පූර්ණවිය යුතුයැයි කියා සිතන සැමට සෝනම් ලබාදෙන්නේ කාලීන, වැදගත් පණිවුඩයක් නොවේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles