කාන්තා ඔබේ රහස් ප්‍රදේශය පැහැපත් ව තබා ගැනීමේ වටිනාකම

ඔසප් වීම මෙන් ම යෝනි මාර්ගයේ සනීපාරක්ෂාවත් ප්‍රධාන ධාරාවේ කතා නොකෙරෙන තරමේ මාතෘකා. කෙසේ වෙතත් ඔබේ යෝනි මාර්ගයේ සනීපාරක්ෂාව යනු ගැහැණියක් වශයෙන් ඔබ හොඳින් ම පවත්වාගත යුතු දෙයක්. අද අපි කතා කරන්න යන්නේ යෝනිමාර්ගය ආශ්‍රිත ප්‍රදේශය සෞඛ්‍යාරක්ෂිත ව, පිරිසිදු ව සහ අඳුරු නොවී තබා ගන්නා ආකාරය ගැනයි.

යෝනි ප්‍රදේශය අඳුරු වෙන්නේ ඇයි?

මතක තබා ගත යුතු කාරණාව වන්නේ යෝනි ප්‍රදේශයන්හි වර්ණය නිශ්චිත සම්මත එකක් ලෙස කිසිවෙක් වර්ග කර නැහැ. එය ජානවලින් ඔබට ලැබෙන ඔබේ සමේ වර්ණය මත එකිනෙකාට වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් ඔබේ පවතින වර්ණය විවිධ හේතු නිසා වෙනස් වෙනවා. ඊට ඔබේ ජීවන පුරුදු මෙන් ම විවිධ ලෙඩ රෝගත් බලපාන්නට පුළුවන්.

යෝනි ප්‍රදේශය පැහැපත් ව තබා ගත හැකි ආකාර

පිරිසුදු වියළි යට ඇඳුම් භාවිතා කරන්න.

වැසිකිළියට යාමෙන් පසු අනිවාර්යයෙන් සෝදා පිරිසිදු කර පිරිසිදු ටිෂූ එකකින් තෙත මාත්තු කරන්න. මෙයින් අනවශ්‍ය දුර්ගන්ධයන් ඇති වීම වළකනවා පමණක් නොව, ආසාදන තත්ත්වයන් ද වළකනවා. එමෙන් ම තෙත රැඳී තිබීමෙන් ඇතිවිය හැකි අවපැහැ ගැන්වීම් ද වළකනවා. ඒ නිසා හැකිතාක් යට ඇඳුම් වියළි ව තබා ගන්න. අඳින්නට පෙර ද හොඳින් සෝදා තද අව්වේ වේලා ගත් යට ඇඳුම් භාවිතා කරන්න. එමෙන් ම යෝනි මාර්ගයේ ශ්‍රාවයන් බොහෝ විට සාමාන්‍යයෙන් නිරෝගී යෝනියකින් පිට වෙනවා. ඒ නිසා එවන් අවස්ථාවලදීද තෙත් වූ යට ඇඳුම් වැඩි වෙලාවක් තබා නොගැනීම වැදගත්.

ඔසප් වීමේදී සනීපාරක්ෂක තුවා ඉක්මනින් මාරු කරන්න.

ඔබට ඔසප් වන විට පැය හතරකට වරක්වත් සනීපාරක්ෂක තුවා මාරු කරන්න. ඒවා මත ඉතා ඉක්මනින් විෂබීජ සෑදෙන අතර වැඩි වේලාවක් සම මත තැවරීමේදී සම අඳුරු පැහැ ගැන්‍ විය හැක. එනිසා හැකිතාක් ඉක්මනින් සනීපාරක්ෂක තුවා මාරු කරන්න.

සැර සබන් වර්ග යොදා සේදීමෙන් සහ සැර ‍රූපලාවන්‍ය ආලේපන යෙදීමෙන් වළකින්න.

නිරෝගී යෝනි මාර්ගය ඊට අනන්‍ය වූ ගන්ධයකින් යුක්තයි. එය ඉතා ම ස්වභාවිකයි. එය සුවඳ ගැන්වීමට සහ පිරිසිදු කිරීමට සැර සබන් සහ විවිධ රූපලාවන්‍ය ආලේපන ගැල්වීම එහි සෞඛ්‍යාරක්ෂිත බවට ඉතා ම හානිකරකරයි. හැකි සෑම විටම පිරිසිදු වතුරෙන් සෝදා තෙත මාත්තු කර තබාගන්න. විවිධ සබන් වර්ග යෙදීමෙන් වළකින්න. ඉන් එහි pH අගය වෙනස් වී ආසාදන ඇති වෙන්නටත්, දුර්ගන්ධයන් නිකුත් වෙන්නටත්, අවපැහැ වෙන්නටත් හැකියාව තිබෙනවා. එමෙන් ම විවිධ රූපලාවන්‍ය ආලේපනත් එසේමයි. ඔබට යම් සේදුම්කාරයකයක් හෝ මොයිස්චරයිසර් එකක් අවශ්‍ය නම් අනිවාර්යයෙන් ම වෛද්‍යවරයෙකු හමු වී එකක් නිර්දේශ කරගන්න.

තද ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

තද කලිසම්, යට ඇඳුම් ඇඳීමෙන් දහඩිය එකතුවීම නිසාත් යෝනි ආශ්‍රිත ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම් ඇති විය හැක. එමෙන් ම එය සෞඛ්‍යාරක්ෂිත බවටද හානියක් වන්නේ වාතාශ්‍රය ගමන් නොකිරීම නිසායි. ඒ නිසා හැකිතාක් කපු සහ බුරුල් ඇඳුම් භාවිතා කරන්න.

රෝම ඉවත් කිරීමේදී සැලකිලිමත් වන්න.

ලිංගික අවයව ආශ්‍රිත රෝම ඉවත් කිරීමේ ක්‍රම ‍රාශියක් තිබෙනවා. නමුත් වෛද්‍යවරුන් ඒවා අනුමත කරන්නේ නැහැ. ඊට හේතුව වන්නේ රෝම වැවෙන්නේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට නිසාත්, ඒවා ඉවත් කිරීමෙන් අවශ්‍ය ආරක්ෂාව නොලැබෙන නිසාත් ය. ඔබට ඔබේ ලිංගික අවයව ආශ්‍රිත රෝම කරදරකාරී නම් ඒවා කතුරකින් කපා කොට කිරීම සිදු කළ හැකියි. රේසර් භාවිතය නිසා අවපැහැ ගැන්වීම් මෙන් ම ආසාදන තත්ත්වයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා.

යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය ඉතා පැහැපත් ව හෝ සුදු පැහැ ව තිබිය යුතු යැයි නියමයක් නැහැ. එය ඔබගේ සමට අදාළ වර්ණයෙන් තිබීම සෑහෙනවා. ඔබ සැලකිලිමත් විය යුත්තේ එහි සෞඛ්‍යාරක්ෂිත බව රැකගැනීම කෙරෙහි යි. ඒ නිසා සෑම විටම යෝනි මාර්ගය ආශ්‍රිත රූපලාවණ්‍ය කටයුතු කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Related Articles

Don't Miss


Latest Articles