පාට සේදුනු වත්සුණු – 36

අම්මා පුතෙකු බිහි කළා ය. මේ වෙලාවේ අසංක ඇය ළඟ නො සිටීම ගැන අම්මා තුළ සංවේගයක්, සන්තාපයක් වන්නට ඇත. ඇගේ ඇස් අලුත් දීප්තියකින් දැල්වුණ අතර, ඒ දීප්තියට යටින් වේදනාවක හෝ භීතියක අඳුරු සෙවනැලි මම දුටිමි. 

අලුත් සාමාජිකයෙකු ගේ ආගමනය කියන්නේ පවුලක වැදගත් සන්ධිස්ථානයකි. මේ සාමාජිකයා අනාගතයේ දී පවුලට කවරාකාරයෙන් බලපෑම් කරාවිදැයි අනාවැකි කිව නො හැකි ය. කෙසේ වෙතත් නවකයෙක් එන්නේ යහපත් වූ බලාපොරොත්තු සමුදායකින් පවුලේ අය ගේ හදවත් දල්වාලමිනි. මා තුළත්, පොදුවේ අපේ ගෙදර සියලු දෙනා තුළත් මම ඒ අලුත් ප්‍රීතියේ උනන්දුව දුටිමි.

“බබාව බලන්න හරි එයාගෙ තාත්ත එනවනං අම්මට ඒක සැනසීමක් වෙයි නේද…”

අපි, සීයා හා අත්තම්මා ත්, යුගාන්ත හා තුෂීත්, කතා කරමින් සිටිනාතර මම මතක් කළෙමි. මොහොතකට කවුරුත් නිහඬ වූහ. යුගාන්ත මදෙස යටැසින් බලනවා මට පෙනුණේ ය. මා කතා කළේ ගැහැනිය ගේ පැත්තේ සිට බව මම හොඳින් දනිමි. ගැහැනියක දරුවෙකු බිහි කරනවා කියන්නේ බැල්ලක බැළලියක පැටවුන් බිහි කරනවා වාගේ ම කටයුත්තකැයි පිළි ගත නො හැකි ය. සතුන් සේ නොව මිනිස් පැටවෙකු කියන්නේ අනාගත ලෝකය පෙහෙළි කරන බලවත් සාධකයක් විය හැකි ය. එසේ නොවුණත්, ගැහැනියක කැමති සිය දරුවා බිහි කරන්නට හේතු වූ පියා ද සමගින් ලෝකය ඉදිරියට එන්නට ය. එසේ නොවුව හොත් එය ඇයට අගෞරවයක් වනාකාරයට සම්ප්‍රදාය ගොඩනැගී තියේ. 

“ඔය මිනිහනං මේ වහල යටට ආයෙ ගෙන්නන්න මගෙ අදහසක් නෑ”

තත්පර කිහිපයකට පස්සේ අත්තම්මා කීවා ය. සුසුම් හඬ දෙක තුනක් එකට පැටලී ඇසිණ.

“ආවත් එයාට ආයෙ සෙල්ලං දාන්නනං දෙන්න බෑ. ගයාත්මි ගැන වගේම අත්තම්මයි සීයයි ගැනත් මට වගකීමක් තියෙනව”

මා කිසි සේත් බලාපොරොත්තු නොවූ ලෙස යුගාන්ත කතා කළේ ය. ඒ වෙලාවේ ඔහු නිසා මට මහත් ආරක්ෂිත හැඟීමක් දැනෙන්නට විය. මා තවමත් ඉඳහිට සැකයෙන් හිතන ආදරය කියන දේ සැබවින් ම පවතිනවායි මේ මොහොතේ මට දැනිණ. යුගාන්ත ගේ කැඩපතක් වන් දෑස් වල පවා ආදරයෙහි, රැකවරණයෙහි හා විශ්වාසයෙහි පිළිබිඹුවක් දිදුලමින් තිබුණේ ය. ජීවිත කාලය ම ඔහු මා වෙනුවෙන් ද මා ඔහු වෙනුවෙන් ද පෙනී සිටිමින් අපට මේ ගමන යා හැකි වනු ඇතැයි විශ්වාසයක් මා තුළ වැඩෙන්නට විය. ප්‍රේමය ගැන තව දුරටත් මා තුළ පූර්ණ අවබෝධයක් හෝ දැක්මක් නො වන බව පිළිගත යුතු ය. මා එය අවබෝධ කරමින් හිඳිනුයේ වර්තමානයේ ය. අනාගතය මට බොහෝ දෑ පසක් කරවන තක්සලාවක් වනු ඇති බව මට සිතේ.

“ආ…ඒ කියන්නෙ අපි ගැන කිසි වගකීමක් නෑ”

තුෂී එහෙම කතාවක් කීවේ ඒ වෙලාවේ ඇති ව තිබූ අනවශ්‍ය බර ගතිය තුනී කර දැමීමේ අදහසිනි. මම සිනහ වී ගෙන ඇගේ උරහිස වටා සුරත දමා ගතිමි. 

“පිස්සි”

නිහැඬියාව තුළ ආදරය බෙහෙවින් දොඩමළු ව තිබුණේ ය.

“පුතා ඔහොම අපි ගැන හිතනව කියල දැනෙනකොට මගෙ පපුවට සැනසීමයි. මගෙ තරුණ කාලෙදි සීයා නිසා ඇති වෙච්ච ඒ සුවපහසු හැඟීම පුතා ආයෙ ඇති කරනව කියල දැනෙද්දි…කෝසලා ගැන දැනෙන බය ගයා ගැන දැනෙන්නෙ නෑ කොහොමවත්”

අත්තම්මා ඉතා හෙමිහිට වචන තෝරා බේරාගෙන කතා කළා ය.

“අපිට මොකද…එයාගෙ ළමය බලන්න එන්න එපා කියල අපිට කියන්න බෑනෙ. ඕනනං හොස්පිට්ල් එකට ඇවිත් පලච්චාවෙ. එයාට ඕනනං ගෙයක් කුළියට අරං ගෑනිවයි ළමයවයි එහෙට අරං ගියාවෙ. කොහෙවත් යන නයි ගේ අස්සට දා ගන්න ආයෙත්නං මටත් ඕන නෑ නන්දා. මැරෙනකල් අපි දෙන්න සැනසීමෙං ජීවත් වෙන්න ඕනෙ”

අන්තිම තීරණය එසේ විය. නමුත් අසංක රෝහලට හෝ පැමිණ තිබුණේ නැත. 

“අම්ම එයාට කෝල් එකක්වත් දීල කිව්වෙ නැද්ද…පුතෙක් හම්බුණා කියල…”

මට අනවශ්‍ය දෙයක් වුණත් අම්මා වෙනුවෙන් කතා කිරීම හෝ කළ යුතුය කියා සිතුණෙන් මම ඒ ගැන විපරම් කළෙමි.

“කිව්ව…”

“ආවද බබා බලන්න…”

“නෑ”

“එයි”

“පණිවිඩේ දැනගත්තට පස්සෙ ෆෝන් එකට ආන්සර් කළෙත් නෑ”

ඒ වේදනාව කෙබඳු දැයි මට සිතා ගත හැකි ය. අම්මා, වෙව්ලන යටි තොල සපා ගත්තා ය. සිය වැඩිමල් දියණියගේ පියා රැක ගන්නට ඕ අපොහොසත් වූවා ය. දැන් මේ මොහොතේ දී, අලුත උපන් බිළිඳා ගේ පියා රැක ගන්නටත් අපොහොසත් වෙනවා කියා සිතීමත් ඇයට මොන තරම් වේදනාවක් හා භීතියක් විය හැකි ද?  මම හෙමිහිට ඇගේ අතක් පිරිමැද්දෙමි. නමුත් මේ මොහොතේ ඇයට අවශ්‍ය එවැන්නක් නොවේ කියා මම දනිමි.

“ලෝකය දැං කොච්චර පරණයිද…ඒත් මිනිස්සු තාමත් ආදරය කියන්නෙ මොකද්ද කියල අඳුරනගෙන නෑ වගේ හැඟීමක් මට දැනෙනව ගයා”

රෝහලේ සිට යන ගමන් මේ ගැන කී විට යුගාන්ත එහෙම කතාවක් කීවේ ය. මම ඔහු වෙතින් මුණිවර දෑසක් දකිමින් සිටියෙමි.

“ලෝකය කොච්චර පරණ වුණත් මිනිස්සු අලුත්නෙ”

මම කියා ගතිමි. යුගාන්ත ජීවිතය හා බැඳුණු ගැඹුරු කාරණා ගැන කතා කරත්දී මුලදී මා පුරුදු ව උන්නේ මුණිවත රකින්නටයි. ජීවිතය දිගේ ඔහු ගොස් ඇති හා හඳුනා ගෙන ඇති මාර්ගයන් හා සසඳත්දී මා තවමත් දණ ගාන්නට පුහුණු වන්නියක් බව මම සිතුවෙමි. මෝඩ කතාවක් කියවෙතැයි යන ලැජ්ජාවෙන් ම, බොහෝ විට මම ප්‍රතිචාර නො දක්වා ඉමි. නමුත් මේ වෙලාවේ මට ඒ පණ්ඩිත කතාව කියවිණ. කෙසේ වෙතත් එහෙම කියවුණ එක ගැන වුව මට පශ්චාත්තාපයක් නම් දැනුණේ නැත.

“ඒකත් එක හේතුවක් වෙන්න ඇති. ඒ වුණාට මිනිස්සු ඉගෙන ගන්නව කියන්නෙ තමුන් ම ඉගෙන ගන්න එකටත් නෙවෙයිනෙ. එක පරම්පරාවක කෙනෙක් වෙහෙසිලා හොයාගන්න දෙයක් වුණත් ඊළඟ පරම්පරා වල අය ඉබේම දැනගන්නව. ආදරය ගැන තමයි මිනිස්සු එහෙම ප්‍රවේණියෙන් ඉගෙන නොගන්නෙ”

“මිනිස්සු ආදරේ ගැන ඉගෙන ගන්න අත්දැකීම් හොය හොයා වෙන්නැති ඉන්නෙ”

යුගාන්ත සුසුමක් හෙළුවේ ය.

“ගෑනු හුඟක් වෙලාවට ආදරේ හොයාගෙන ගිහිං බොරුකාර පිරිමින්ට රැවටෙනව”

“මට තේරෙන්නැත්තෙ…ඇයි පිරිමි එහෙම කරන්නෙ. මේ ගෑනු තමුන්ට ආදරෙයි කියල දැන දැන ම එයාලව රවට්ටන්නෙ ඇයි…”

“මොකද එයාල දන්නව ඒ එයා ආදරේ කරන ගෑනු කෙනා නෙවෙයි කියල. තමංගෙ හිතේ ආදරයක් නැත්තං…තමන්ට ආදරේ කරං එන ගෑනුංගෙං ප්‍රයෝජන ගන්න හරි ලේසියි. ස්වභාව ධර්මය පිරිමින්ව බිහි කරල තියෙන්නෙම එයාලගෙ ලිංගික ආශාවල් ගෑනුන්ට වඩා වැඩි විදිහටයි. පිරිමින්ට ශුක්‍රාණු බිලියන ගණං නිෂ්පාදනය වෙද්දි, ගෑනු අයට මාසෙකටම එක ඩිම්බයක් විතරයි පරිනත වෙන්නෙ. ඔයාට හිතෙන්නැද්ද පිරිමින්ගෙ අධික කාමාශාව නිසා ලෝකය අසීමිතව ජනාකීර්ණ වෙන්න තිබුණ එක වලක්වන්න සොබා දහම අටවපු උගුලක් කියල ඒක…”

“ඒ කියන්නෙ සොබා දහමත් ඒ බොරුවට උල්පන්දං දීල කියන එකද…”

“නෑ. සොබා දහම අවස්ථාව දීල තියෙනව තෝරගන්න. ආදරයයි ලිංගිකත්වයයි යන්නෙ පාරවල් දෙකක. හැබැයි හොඳ පවුල් ජීවිතයක් කියන්නෙ ඒ පාරවල් දෙක එකට මුණගැහෙන මං සන්ධියක්”

අසංක කෙරේ කිසිදු ප්‍රසාදයක් මා තුළ නො වන බව ඇත්තකි. මුලින් අම්මා ගේ සතුට වෙනුවෙන් මම ඒ අප්‍රසාදය ඉවසා ගතිමි. දැන් තවත් බැඳීමක් එහි ඇතුල් වී තියේ. පියෙකු නැති දරුවෙකු ගේ ජීවිතයේ වන තිත්ත රසය මම කොතෙකුත් දිව ගා ඇත්තෙමි. සැබවින් පියෙකු අහිමි වීම හෝ වියෝ වීම හෝ දික්කසාදයකින් ඔහු පවුලෙන් ඉවත් වී තිබීම යන කවරක් වුව දරුවෙකු ගේ වරදක් මත නො සිදු වුව ද, ඊට වන්දි ගෙවන්නට සිදු වන්නේ දරුවන්ට ය. වන්දියෙන් විශාල කොටසක් ගෙවන්නට සිදු වන්නේ ඔවුන්ට ය. මා ගෙවූ, දැනටමත් ගෙවමින් සිටිනා හා මතුවටත් ඇතැම් විට ගෙවන්නට සිදු වන්නා වූ ඒ වන්දියට මගේ පුංචි සහෝදරයාත් කොටස් කාරයෙකු විය යුතුද? 

“අම්ම කෝල් කරල එයාව ගෙන්නගන්න. රෙන්ට් එකට ගෙයක් අරං හරි බබාත් අරං එයත් එක්ක ඒ ගෙදරට යන්න”

කාටත් රහසින් මම අම්මා ට කීවෙමි.

“අසංකගෙ ෆෝන් එකත් වැඩ නෑ ගයා. මන්දන්නෑ මගෙ ඔළුවත් පිස්සු වැටිලයි තියෙන්නෙ”

“අම්ම ඕව ගැන හිතන්නෙපා. බබාටත් හොඳ නෑනෙ. එයා එයි”

ආදරය විෂයේ ස්ත්‍රීන් මේ විදිහට අසරණ වීම පිළිබඳව මා තුළ වූයේ පොදු සානුකම්පිත බවකි. ගැහැනියක ලෙස මට මේ වෙලාවේ අම්මා ගේ හැඟීම් තේරුම් ගන්නට බැරි කමක් නැත. කෙසේ හෝ උත්සාහ කොට අසංක ගේ දුරකතනය සම්බන්ධ කර ගැනීමට මා තීරණය කළේ ඒක ය. උත්සාහය එපා වීමේ සීමාවට අවතීර්ණ වූ පසු ඔහු ප්‍රතිචාර දැක්වූයේ ය.

“අම්ම බලං ඉන්නව එනකල්. අම්මවයි බබාවයි අරං ගියොත් නේද හොඳ…”

“කොහෙටද…”

අසංක අවඥා සහගත ව හිනැහණේ ය. මම අවස්ථාව වෙනුවෙන් ඉවසුවෙමි.

“රෙන්ට් එකට ගෙයක් අරං හරි”

“ඇයි…”

“අම්ම පවු. එයාට මෙහෙම කරන්නෙපා. ආයෙ කසාද බඳින්න අම්ම තීරණේ කරන්න ඇත්තෙ ලොකු විශ්වාසෙකින් නේද…ඒ විශ්වාසෙ කඩන්නෙපා. ප්ලීස්…”

“කවුද ඔයාගෙ අම්මාව කසාද බැන්දෙ…මෝඩ ගෑනියෙක්”

“ඔහොම කතා කරන්නෙපා. ඒ දරුව ගැන හිතන්න”

“ඔයාට ඔච්චර දුකනං අපි දෙන්න බඳිමු. ඊට පස්සෙ අපිට පුළුවන් නෙ පොඩි එකාව හදාගන්න”

“මං හිතුවටත් වඩා ජරා මනුස්සයෙක් ඔහේ”

මම මගේ කෝපය හා පිළිකුළ දෝරෙ ගලන්නට නොදී පාලනය කර ගතිමි. 

“බොරුවට දැඟලුවට වැඩක් නෑ. මං ඔයාගෙ අම්මාව කසාද බැඳල නෑ. ඒක බොරු කසාද සහතිකයක්. මගෙ යාළුවෙක් වැඩේ කළේ. දැං අර නාකි ජෝඩුවට පුළුවන් දෙයක් කරන්න කියන්න”

මම වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. ඒ ඇහුණ කතාව විශ්වාස කර ගත හැකිද? ගැඹුරු දියක ගිලෙන්නට යනවා වැනි හුස්ම හිර වීමක් මට දැනිණ. අප රැවටී තියේ. අම්මා පමණකුදු නොව මට දැනුණේ මුළු මහත් ස්ත්‍රීත්වය ම නැවත වතාවක් පිරිමින්ගේ වංචනික බවෙහි ගොදුරක් බවට පත් බවට හැඟීමකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content