මට ඇය ගැන තැකීමට ඕනෑ වූයේ නැත. නෑසුණු ලෙස පඩිපෙළ නගින්නට ගිය මගේ මාර්ගය ඈ අහුරා ගත්තා ය.මලීෂා ද ලක්මි ද නෙත්මිට සහය දෙන්නට මෙන් පසෙක සිටිය හ. මා කෝපයෙන් දැවෙමින් හුන් බව සහතික ය.
“මොනවා අහන්නද?”
මගේ හඬ නොසැලකිලිමත් විය. ඊෂා සමඟ හිඳින කඳුකර දැරිය තනිව අල්ලාගෙන බියට පත් කරන ඔවුන්ගේ සැලසුම සාර්ථක නොකර සිටින්නැයි මගේ හිත මට තරවටු කරමින් තිබිණ.
“ඔයා දැන් මාර බඩ්ඩක් වෙලා නේද? අමෝදගේ වාහනේ නේද ආවේ”
මම නෙත්මි දෙස සෘජු බැල්මක් හෙළීමි.
“ඔව්.මම එයා එක්ක එන්නේ නැතුව කා එක්ක එන්නද? “
මලීෂා ද ලක්මි ද මවෙත ආවේ සෝපහාස සිනා කැටුව ය.
“ඇයි ඒ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද?”
අමෝද අයියා මට ප්‍රේම කරන වගක් පවසා නැත.නමුත් ඊෂාගේ අයියා මගේ ද සහෝදරයා වැනි කතන්දර පවසා මේ ඕපාදූප ගැහැනුන් සමඟ සටන් කරන්නට නොහැකි බව මට සහතික ය. අනෙක් අතට ඔවුන් ඉරිසියාවට පත් කරන්නට මට ද ඕනෑ විය.
” ඒ මට ආදරේ කරන මනුස්සයා.. එච්චරයි”
මම පඩිපෙළ නඟින්නට උත්සාහ කළෙමි.
“ඔයා අමෝද එක්ක මොන නැටුමක් නටා ගත්තත් කමක් නෑ. ඒත් ඇයි ඔයාලගෙ ගෙදරින් මලිඳුගේ ගෙදරට ප්‍රපෝසල් යවන්නේ..”
මම කිසිත් නොකියා පඩිපෙළ නැග්ගෙමි. පසුපස හැරී බලද්දී නෙත්මි සහ ඇගේ මිතුරියන් වූයේ නැත. ඔවුන් විදුලි සෝපානයෙන් ගොස් මා එනතුරු ඉහළ මාලයේ රැඳී සිටින බව මම දනිමි.දිනුක හෝ හිමල්ක මවෙත කැඳවා ගන්නට සිතූවද ඒ සිතුවිල්ල අහකට දැමූ මම ඉතා හෙමින් පියගැටපෙළ නැග්ගේ මේ ගැටලුව අද අවසන් කරන්නට සිතමිනි.
“ඔයා හදන්නේ ප්‍රශ්නෙ මඟ අරින්නද.. ඊයා…”
ස්ටඩි ඒරියා එක වෙත යන්නට නොදී මඟ රැක හුන් නෙත්මිගේ මුහුණ මා වෙනදා මෙන් බියපත් කළේ නැත.මෙවැනි කට හැකර ගැහැනුන් ළඟ බියපත් ව කියන්නට යන දෙය ද අමතක කරන පිනිදි තවදුරටත් ඉතිරිව නැත.
“නෑ.. ඔයාගේ ප්‍රශ්නෙ මට වැඩක් නෑ.මලිඳුගේ අම්මා අපේ ගෙදරට ප්‍රපෝසල් එකක් අරන් ඇවිත් තිබුණා.ඒ අපේ ෆාම් එක ඕනකමට වෙන්න ඇති. හැබැයි මම මැරි කරන්නේ අමෝද අයියා නිසා අම්මා ඒකට කැමති වෙලා නෑ.. දැන් ඔයාගේ ප්‍රස්නෙ ඉවරනම් මට යන්න දෙනවද.. මොකද මට ඔයා වගේ ඕපදූප කියව කියව ඉන්න වෙලාවක් නෑ..”
නෙත්මි මුහුණ හතරැස් කරගත් අතර මලීෂා සටනට පැමිණියා ය.
“එහෙනම් ඇයි දන් නෑ එදා මලිඳු එක්ක කැන්ටින් එකේ අඬ අඬ හිටියේ…”
“මම ඔයාට එදත් කිව්වනෙ මලීෂා.. අපි යාලුවෝ. අපිට කතා කරන්න දේවල් තිබුණා. හැබැයි නෙත්මිගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යාලුකං තියා ගන්න මට තවදුරටත් ඕනකමක් නම් නෑ..ඒ නිසා මං මලිඳුට කියන්නං ආයේ මට කතා කරන්න එපා කියලා.”
ප්‍රමුදි එතැනින් යන්නට ආවේ ඒ මොහොතේ ය. ඇය සහ මම අයත් වූයේ එකම කණ්ඩායම් ව්‍යාපෘතියකට ය. මහා මිතුරුකමක් නොවූව ද ගුණයහපත් දැරියක වූ ප්‍රමුදි නැවතී බැලුවේ මා ගැටලුවක බව වටහා ගත් නිසා වන්නට ඇත.
“ඇයි පිනී.. මොකුත් ප්‍රොබ්ලම් එකක් ද?”
මම නැතැයි කියන්නට හිස සැලූව ද මලීෂා ප්‍රමුදිට ද සමච්චල් සිනාවක් පා කළා ය.
“මේ ගොඩේ සමයං එකපාර රිලේෂන්ශිප් දෙක තුන කරන්න පටන් අරන්.. පුලුවං දෙයක් කරන් ඉන්න කියලා අපි මේ මතක් කරේ. ඔයාගේ බෝයිවත් පරිස්සං කරගන්න.නැත්නම් මෙයා පසිඳුටත් ඇහැ දායි..”
මට මලීෂාට මුහුණට අනින්නට ඕනෑ විය.නමුත් මේ ගැටුම් ඇති කර ගත යුතු තැනක් නොවේ.
“මෙයා දැන් අවුරුදු ගාණක් මලිඳුගෙ පස්සෙන් යනවා.අපේ නෙතූ එක්ක මලිඳු යාලු වුණාම ඉක්මනට ගෙදරට ප්‍රපෝසල් එකක් යවලා.. අන්න එහෙම චාටර් වැඩ කරනකොට මෙයා කවුද කියලා මෙයාට මතක් කරලා දෙන්න වෙනවානෙ…”
මම නිහඬව සිටියෙමි. තත්පර ගණනාවක නිහැඬියාව මට ශක්තිය සපයන්නට ඇත.
“ගෑනු ළමයෙක් හිතවත්කමින් ඉන්නෙක එයාට ආදරේ කිරිල්ලක් කියලා හිතා ගන්නවා නම් ඒක ලෙඩක් කියලා මලිඳුට කියන්න මලීෂා. අනික මගෙයි අමෝද අයියගෙයි අෆෙයා එකක් තියනවා කියලා දැනගෙන ඉක්මනට අපේ ගෙදරට ප්‍රපෝසල් අරන් ගිය මලිඳුගෙන් ඇත්ත කතාව අහන් ආවානම් ඔයිට ලේසි.. අපි යං ප්‍රමුදි.. මෙයාලා වෙනදට ඇඳන් ඉන්න ඇඳුම කැතයි. ඉන්ග්ලිෂ් බෑ.. පිම්පල්ස් තියනවා අරක මේක කිය කියා කරපු හැම නින්දාවම මං අහන් හිටියානෙ.. මං සද්ද නැතුවම හිතන් ඇත්තේ හාවෙක් කියලා.. නෑ මං හාවෙක් නෙවෙයි. මගේ ආත්ම ගෞරවේට ගහන්න ආවොත් මං ඊෂාටටත් වඩා සැරයි.මෙතනත් ඇවිත් පාඩමක් කරගන් නැතුව ඕපදූප කියෝලා, ගෘප් චැට් හදාගෙන අනුන්ට මඩ ගහන විදිහයි, අනුන් මානසිකව වට්ටන හැටියි ප්ලෑන් කර කර ඔයාලා දවස ගෙවා ගන්න.. හැබැයි මට කරන්න අප්‍රමාණ වැඩ තියනවා. තේරුමක් නැති මෝඩ මිනිස්සු එක්ක එල්ලි එල්ලි ඉන්න මට ඇත්තටම වෙලාවක් නෑ…”
මලීෂා සහ ම්තුරියන් බලා සිටියේ පුදුමයෙනි. මා එතැනින් නික්ම ආවේ සතුටිනි. ඕනෑම කෙනෙකු මොනවා හෝ කියද්දී හඬන්නටත් වෙව්ලන්නටත් ඊෂාගෙන් උදව් ඉල්ලන්නටත් පුරුදුව සිටින මා මගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින තරමට සවිමත් වීම මට සැබෑ සතුටකි.
“පිනී…මමයි සමාධි දවසක් කතා වුණා ඊෂාගෙ අයියයි ඔයයි අතරේ අෆෙයා එකක් ඇති කියලත්..මගේ සුබ පැතුම්”
ප්‍රමුදි මට අත දුන්නේ සුහදත්වයෙනි. ඇය නිහඬ කෙල්ලක වුව ද හිතේ කහට නැති කෙනෙකි. තවම නොඇරඹුණු ප්‍රේමයක් වෙනුවෙන් ඈ දුන් මුල්ම සුබ පැතුම මම ප්‍රීතියෙන් බාර ගතිමි.
“ඒ අයියා හරි හැන්ඩ්සම්..ඔයා හරි ලකී..”
ප්‍රමුදි අනතුරුව කවටකමක් කරමින් හිනැහුණා ය. මලීෂා සහ නෙත්මි ඇල්ලූ නාඩගම අමතක කර දමන්නට මම ඇගේ හිනාවට එක් වූයෙමි.
“ඊෂා එන්න පරක්කු වෙනවා හොඳේ…”කණ්ඩායම් ව්‍යාපෘතියේ වැඩ අතර හිරව සිටි නඩයට පොදුවේ කියා මම හිමල්කත් දිනුකත් අසලින් අසුන් ගතිමි.
“ඊෂූට නම් මිග්රේන් කියලා අපි දන්නවනෙ.අනිත් නෝනාට අදත් ෆේන්ට් වුණා කියලා අපි හිතුවේ නැද්ද මචං…”
දිනුක මා නොතකා හරිමින් හිමල්කට කියද්දී හිමල්ක මට පුළුල් සිනාවක් හෙළී ය.
” කැමති කාලයක් හංගන්නේ නැතැයි බං.. අපිට මොකෝ…”
ඔහු දිනුකට එසේ කියද්දී දිනුක හිස නූස්සා ම ලැප්ටොප් තිරය දෙස බලා සිටියේ ය. මා අමෝද අයියාගේ මෝටර් රථයෙන් පැමිණි බව ඊෂා කියන්නට ඇත. දැන් ඒ විහිළු දරා ගන්නට සිදු වන බව දන්නා නිසාම මා කළේ දිනුකගේ අත හැකි වෙර යොදා කෙනිත්තීම ය.
“අපි මෙහෙම කියන්නේ ඇයි කියලා මේ මෝඩි තාම දන් නෑ…”
දිනුක නැවත හිනැහේ.
“නෑ තමයි..”
“ෆේස්බුක් යන්න, ෆේස්බුක්..”
මට ඒ අණට අවනත වන්නට තරම් දිරියක් නැත. කුමක් හෝ ගැටයක පැටලී ඇති බව මට විශ්වාස ය.නමුත් දිනුකගේ සිනාව අනුව එය හද පාරවන දෙයක් නොවීමේ ඉඩ වැඩි ය.
“එක්කෝ මොකටද ඔයා යන්නේ.. ආ අපි පෙන්නන්නම්කෝ..”
හිමල්ක ඔහුගේ ලැප්ටොප් තිරය මවෙත හැරවී ය. අනතුරුව ඔහු ෆේස්බුක් ගිණුමකට පිවිසියේ ය.ඒ අමෝද අයියාගේ ෆේස්බුක් ගිණුම ය.ඔහු එහි අමුණා ඇති සෙල්ෆිය ගත්තේ අද එන අතරමඟ කුමන මොහොතකදැයි මට මතකයක් නැත.නමුත් ඒ ඔහු සහ මා ය.රිය කවුළුවෙන් එපිට බලා ගත් පිනිදි සමඟ කැමරාවට පුළුල් සිනාවක් නගා ගත් අමෝද අයියා ය.හදවත් ලකුණක් සහිතව ඔහු එය ෆේස්බුක් බිත්තියේ එල්ලා ඇත.
“මේකෙ කමෙන්ට්ස් ඔක්කොම තියෙන්නේ විෂ් කරලා.බෙස්ට්මන්ට ඉන්නේ අපි දෙන්නා කියලා කමෙන්ට් එකක් දාහං බං…”
දිනුක නැවතත් හිමල්ක සමඟ එක්ව සරදම් කරන්නට පටන් ගත්තේ ය.මගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.ඒ ඊෂා බව සිතූ මම තනිව හිනැහෙමින් එදෙස බැලුවෙමි.
නැත.
ඒ මලිඳු ය. ඔහු අමතන්නේ ඇයිදැයි සිතා ගැනීම මට අපහසු නොවිණි.ප්‍රශ්න වලින් පැන යා යුතු නැත.මම ඒ ඇමතුම හා සම්බන්ධ වුණෙමි.
“අම්මලා අරහෙ තමුසෙ මට බන්දන්න යනවා.. තමුසෙ එක එකාගේ කාර්වල මඟුල් නටන ගමන් ෆොටෝස් දානවා.. පිස්සුද අයිසේ…”
මගේ අද දවසේ සියළු ශක්තිය නෙත්මිට බනින්නට වැය වන්නට ඇත. කිසිවක් කියා ගත නොහැකිව ගොළුව ගිය මගේ දෑසින් කඳුළු වැගිරෙන බව මට දැනිණ. මගේ එහා අසුනේ හුන් දිනුක සියල්ල අසා සිටි අතර ඔහු මගේ ජංගමය ගෙන එය විසන්ධි කර මේසය මත තැබුවේ ය.හිතට ආ වේදනාව දරා ගත හැකි උරහිසක් ඕනෑම බව හැඟෙද්දී හිමල්කගේ උරහිසට හිස තබා ගත් මම වැළපෙන්නට පටන් ගතිමි.
“චන්ඩියා වගේ එතන කෑගැහුවට මම හිතුවා මේක වෙයි කියලා. ඒ සක්කරවට්ටම් ගාණට වැඩී දිනුක හොඳේ.. ඔයාලවත් දෙකක් කියන්න වෙයි..මේකි අහිංසකීනෙ..”
එහා මේසයක සිට අප වෙත එමින් හුන් ප්‍රමුදිගේ හඬ මතුව ආ අතර දිනුක වේගයෙන් නැගී සිටියේ ය.
“ඇයි ප්‍රමූ.. මොකක්ද වුණේ..”