කහ නැති මේ කාලේ ගෙදර කහ පැල සිටුවා කහ කුඩු නිවසේදීම සකසා ගමුද?

වර්තමානයේ දී ඉවුම් පිහුම් සඳහා කහ සොයා ගැනීම ඉතා අපහසුයි.මේ කහ හිඟකම නිසාම මේ දිනවල කහ මිලාධික බෝගයක් වෙමින් පවතිනවා. ඒ නිසාම ඔබේ ගෙවත්තේ කහ පැල කිහිපයක් සිටුවා ගෙන නිවසේ පාවිච්චියට අවශ්‍ය කහ නිෂ්පාදනය කර ගන්න ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා.
මේ ලිපිය සැකසෙන්නේ ඒ පිළිබඳව අපනයන කෘෂි දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක් ඇසුරෙන්.

මුහුදු මට්ටමේ සිට මීටර 1,500ක් දක්වාම උස් ප්‍රදේශවල කහ වගා කළ හැකියි.වියලි කලාපයේ තත්වයන් යටතේද කහ වගා කළ හැකියි.ඒ කියන්නේ අපි ජීවත් වන බොහෝ ප්‍රදේශවල කිසිදු ගැටලුවක් නැතිව කහ හොඳින් පැල කර ගන්න අපිට පුලුවන්.

කහ සදහා වාර්ෂික වර්ෂාපතනය මි.මී 1500ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
සුදුසු පරිසර උෂ්නත්වය 20-35 C අතර පවතිනවා.විවිධ පස් වර්ග වල කහ වගා කළ හැකි වුවත් මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස කහ වගාවට ඉතා යෝග්‍යයි. දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අධික පස් සහ මැටි පසද කහ වගාවට සුදුසු වෙන්නේ නෑ.

ඔබ ස්වයං රැකියාවක් ලෙස කහ වගා කරනවා නම්.

තෙත් කලාපයේ කහ වගා කරනු ලබන්නේ යල කන්නයේ වැසි සමග මාර්තු හෝ අප්‍රේල් මාසවල.වියළි ප්‍රදේශ වල, මහ කන්නයේ වර්ෂාවත් සමග සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වල වගා කෙරෙනවා.කහ බහුලව වගා කරන්නේ මඳ සෙවණ ඇති ගෙවතු හා පොල් කෙසෙල් වැනි බෝග සමග අතුරු බෝගයක් ලෙසයි.

බෝග සිටුවීම

රෝපණ ද්‍රව්‍ය.

  • ඔබ නිවසේ කහ පැල කීපයක් සකසා ගන්නවා නම් ඔබට බීජ කහ ඔබ ප්‍රදේශයේ බීජ අලෙවි සැලකින් මිලදී ගන්නත් පුලුවන්.
  • නමුත් එහිදී රෝග වලින් තොර නිරෝගී අමුකහ බීජ තෝරා ගැනීම වැදගත්.
  • ඔබ ස්වයං රැකියාවක් සදහා කහ සිටුවීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබම බීජ සකස් කර ගැනීම මෙසේ කර ගන්න.
  • මව් අල සහ ඇඟිලි අල ලෙස අල වර්ග දෙකක් කහ වල දක්නට ලැබෙනවා. මේරූ ඇගිලි අල (අතු කහ) සුදුසු රෝපණ ද්‍රව්‍යයි.
  • අලකෑල්ලක බර ග්‍රෑම් 30-35 ක් විය යුතු අතර අංකුර 1-2 ක් තිබිය යුතුයි.
  • රෝපණ ද්‍රව්‍ය රෝග වලින් තොර විය යුතු අතර ඉහල අස්වැන්නක් ලබා ගත හැකි වගාවකින් ‍තෝරා ගත යුතුයි.
  • සි‍ටුවීමට පෙර අල දිලීර නාශකයක (මිනිත්තු 30 ක් පමණ ගිල්වා තැබිය යුතුයි.

පැල සිටුවන්නෙ මෙහෙමයි

කුඩා ඉඩක් සහිත ගෙවත්තක කහ වවන ආකාරය ගැන මුලින්ම අපි සොයා බලමු.

  • ඉවත දමන හාල් කවර ආදියේ හෝ වගා කවර වල ඔබට කහ සිටුවා ගන්න පුලුවන්. නමුත් සමහර වෙලාවට වර්ධනය අඩාල වීමක් වෙන්නත් පුලුවන් බව අමතක කරන්නත් එපා.
  • මේ කවර වල මාස දහයක් පමණ කහ පැලය වැවෙන්න ඉඩ දෙන්න ඕනෑ.
  • යොදන ජලය කවරයෙන් ක්‍රමවත්ව බැස යාමට කවරය සිදුරු කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්.

වගා කවරයේ කහ සිටුවා ගන්නා ආකාරය.

  • ගොම, වැලි, කොහුබත් සහ මතුපිට පස් සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර බඳුන් මිශ්‍රණය සකසා ගන්න.
  • පොලිසැක් බෑගයේ උස බාගයක් වන සේ බෑගය දෙකට නවා ගන්න.
  • බඳුන් මිශ්‍රණය නවාගත් වගා මළු වල ඉහල දාරයේ සිට අඟල් 6ක් ඉතිරි වන තෙක් පුරවා ගන්න.
  • පුරවා ගත් බඳුනට ටී.එස්.පී. (ට්‍රිපල් සුපර් පොස්පේට්) ග්‍රෑම්10ක් එකතු කර මිශ්‍ර කර ගන්න.
  • බීජ අල වගා බෑගයක් තුළ ත්‍රිකෝණාකාර ලෙස සම දුරින් සැකසූ වලවල් තුනක බීජ අල සිටුවා ගන්න

ඉඩ කඩ ඇති ගෙවත්තක වැඩි කහ ප්‍රමාණය වගා කරන්නෙ මේ ආකාරයටයි

  • බිම හොඳින් කොටා පස පෙරලා, කැට පොඩි කරන්න.
  • පලල අඩි 4ක් වන අයුරින් අගල් 9ක් උසට පාත්ති සකස් කර ගත යුතුයි.
  • අඩි 4 ක් පළල අඩි 10ක් දිග පාත්තියක් සඳහා ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 5ක් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) ග්‍රෑම් 50ක් යොදා මිශ්‍ර කරන්න.
  • පාත්ති අතර අඩියක පමණ කාණුවක් තිබීම ප්‍රමාණවත්.
  • බීජ අල පාත්ති වල සි‍ටුවීමේදී පැල අතර හා පේළි අතර අඩියක පමණ පරතරයකින් සි‍ටවන්න.
  • බීජ අල අඟල් 2, 3 ක් පමණ පසට යට කළ යුතුයි
  • බීජ අල සි‍ටවා පිදුරු, දහයියා, ග්ලිසීරියා හෝ වෙනත් වියළි කොල වර්ග යොදා ගනිමින් පාත්ති වසුන් කල යුතුයි.
  • වසුන් කිරීම නිසා පසෙහි තෙතමනය ආරක්ෂා වීම, බීජ ප්‍රරෝහනය සදහා යෝග්‍ය උෂ්ණත්වයක් ඇති වීම, වල් පැල මර්දනය වීම සිදු වෙනවා.

පොහොර යෙදීම

අඩි 4*10 පාත්තියකට

මූලික පොහොර ලෙස
ගොම පොහොර හෝ කොම්පෝස්ට් = කිලෝග්‍රෑම් 5
ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) = ග්රෑම් 50

සිටවා දින 45 ට පසු
යූරියා ග්‍රෑම් = 32.5
M.O.P. ග්‍රෑම් = 50
සිටවා දින 90 ට පසු
යූරියා ග්‍රෑම් = 32.5
M.O.P. ග්‍රෑම් = 50

පොහොර යෙදීමට පෙර වල් නෙලන්න.
පසෙහි ප්‍රමාණවත් තෙතමනයක් තිබිය යුතුයි
ඉන් පසු වසුන් කරන්න.

එක පැළයකට ගිනිපෙට්ටි පියනකින් එකක් පමණ අවශ්‍ය වෙනවා.
නැවත මාස හයකින් පොහොර යොදන්න.

වල් නෙලීම

  • කහ වගා කිරීමෙන් මාසයකට පසු වල් නෙලීම සිදු කරන්න.
  • දෙවන වල් නෙලීම සිටුවීමෙන් මාස තුනකට පසුව සිදු කරන අතර තෙතමනය ආරක්ෂා කිරීම සඳහා කහ වගා කිරීමේදී මුල් මාස 3 හොඳින් වල් නෙළන්න.
  • ඉන්පසු කහ ශාකය වර්ධනයත් සමග වල් පැලෑටි ක්‍රමයෙන් අඩු වෙනවා.

අස්වනු නෙලීම

  • අස්වනු නෙලීම සිදු කරන්නේ සිටුවීමෙන් මාස 9 කට පමණ පසුවයි.
  • මාර්තු – අප්‍රේල් කන්නයේ කහ සිටුවන්නේ නම් දෙසැම්බර් සහ ජනවාරි වන විට අස්වැන්න නෙලා ගැනීමට හැකියි.
  • ශාක කහ පැහැයට හැරී කොළ වියලීමට පටන් ගැනීම කියන්නේ අස්වනු නෙළීමේ සංඥාවට.
  • අස්වනු නෙලීම සිදු කරනු ලබන්නේ අලවලට වලට හානි නොවන ලෙසට.
  • අලවල ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ඉවත් කරන්න.

නිවසේදීම කහ පරිභෝජනයට සකසා ගන්නා ආකාරය දැන ගමු

  • කහ අල වල මුල් කොටස් කපා ඉවත් කොට පස් ඉවත් වන තුරු හොඳින් සෝදා මව් අල සහ ඇඟිලි අල වෙන් කරන්න.
  • අල වැසෙන තුරු ජලය යොදා හොඳින් තම්බා ගන්න
  • නිසි ලෙස තම්බා ගත් විට අල මෘදු වෙනවා.
  • තම්බා ගත් කහ දින කිහිපයක් පවනේ වියලා ගන්න.
  • උදේ 11-2 ත් අතර තද හිරු එළිය නොවැටෙන පරිදි මුල් දින තුන සෙමින් වියලා ගන්න.
  • ඉන්පසු දිනය පුරා හිරු එළියේ වියළා ගන්න.
  • සම්පූර්ණ වියළීමේ ක්‍රියාවලියට දින 10 ක් පමණ ගත වෙනවා.
  • සාමාන්‍ය ග්‍රයින්ඩරයේ හෝ බ්ලෙන්ඩරයේ කොටා ගන්න මුළුතැන්ගෙයි පාවිච්චියට කහකුඩු හදා ගන්න පුලුවන්.

ඔබට ඉඩකඩ ඇති ගෙවත්තක් තිබේ නම් කහ වගා කිරීම ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කරන්නත් මේ ලිපිය ඔබට උදව්වක් වේවි.

Related Articles

Don't Miss


Latest Articles