දුඹුරු පැහැවන තුරු කර කරමින් පිටි කෑම කෑවොත් මොකද වෙන්නෙ?

බටර්, ජෑම්, හෝ වෙනත් එවැනි තැවරුමක් අතරමැදට දමා පාන් පෙති ටෝස්ට් කර කන්නට අකමැති කවුරුවත් නැතිව ඇති. බොහෝවිට උදෑසනටත් ඇතැම්විට රාත්‍රියටත් ටෝස්ට් කළ පාන් කන්නට හුරු ව සිටින අය අපේ රටේ විතරක් නෙවෙයි පිටරටවලත් ඉන්නවා.

නමුත් පසුගිය දා බ්‍රිතාන්‍යයේ ආහාර විද්‍යාඥයින් පිරිසක් අප දෛනිකව ආහරයට මෙවැනි ආහාර සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක් ඇසුරින් විශේෂ හෙළිදරව්කිරීමක් සිදුකර තිබෙනවා.

දුඹුරු පැහැ ගැන්වෙන සේ කර කරගන්නා පාන්, අල චිප්ස්, ආදිය ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හානිකර බව ඔවුන් සඳහන් කරනවා. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වන්නේ එවැනි අධික පිටි සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක් යටතේ කර කිරීම, බැදීම හා ග්‍රිල් කිරීමෙන් සිගරට් දුමෙහි අන්තර්ගතව පවතින ඇක්‍රිලමයිඩ් නමැති පිළිකා කාරක සංයෝගය නිපදවෙන බවයි.

මොනව ද මේ ඇක්‍රිලමයිඩ් ?මෙය විවිධ වර්ගයේ ආහාරවල ස්වභාවිකව ම අඩංගුව පවතින රසායනිකයක්. අධික උෂ්ණත්වයක් යටතේ ආහාර පිළියෙළ කිරීමේ දී මේ රසායනිකය නිපදවෙන බව එක්සත් රාජධානියේ ආහාර තත්ත්ව ආයතනය පවසනවා.

වැඩිවශයෙන් ම මේ සංයෝගය නිපදවෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 120ට වැඩි උෂ්ණත්වයක් යටතේ අධික පිටි සහිත ආහාර කර කරනවිට, බදින විට, බේක් කරනවිට, පිසිනවිට, සහ ග්‍රිල් කරනවිටයි. අධික පිටි සහිත ආහාර අධික උෂ්ණත්වයක් යටතේ ටෝස්ට් කරන විට දුඹුරු පැහැයට හැරෙනවා. එවිට එහි අඩංගු සීනි, ඇමයිනෝ අම්ල සහ ජලය එකට එක්වීමෙන් ඇක්‍රිලමයිඩ් නිපදවෙනවා.

බ්‍රිතාන්‍ය ආහාර විද්‍යාඥයින් පවසන්නේ මෙම පිළිකාකාරක සංයෝගය සහිත ආහාර වර්ග කොපමණ ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේද යන්න පැහැදිලි නැතත් බොහෝ දෙනෙක් එම ආහාර අධිකව ආහාරයට ගන්නා බවයි. මේ නිසා ජනතාව මේ ගැන වැඩිදුරටත් දැනුවත් කරමින් පිෂ්ඨ සහිත ආහාර පරිභෝජනයේ දී විශේෂයෙන් ම පහත කරුණු ගැන සැලකිලිමත් වන ලෙස ඔවුන් උපදෙස් ලබා දී තිබෙනවා.

පාන් ටෝස්ට් කිරීමේ දී රන්වන් පැහැති කහ වර්ණයට එන තෙක් පමණක් කර කරගැනීමට සැලකිලිමත් වෙන්න.

අල වැනි අධික පිෂ්ඨ සහිත ආහාර වර්ග බැදීමේ දී සහ බේක් කිරීමේ දීත් රන්වන් පැහැය එනවිට උෂ්ණත්වයෙන් ඉවත් කරගන්න.

අමු අල ශීත කළ විට එය පිසිමේ ක්‍රියාදාමයේ දී ඇක්‍රිලමයිඩ් සංයෝගය වැඩියෙන් නිපදවෙන නිසා අමු අල ශීතකරණයේ දැමීමෙන් වළකින්න.

උඳුන්වල පිළියෙළ කරන ලද චිප්ස් වර්ග, පීසා, රෝස්ට් කරන ලද අල රත් කිරීමේ දී අධික උෂ්ණත්වයක් භාවිත නොකරන්න

මේ නිසා ඇක්‍රිලමයිඩ් සංයෝගය නිපදවීම වළක්වාගනිමින් පාන්, අල වැනි ආහාර පරිභෝජනය කරන්න නම් ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා ඔබට මේ කරුණු නිසැකව ම වැදගත් වේවි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles