පතිනියකගේ සටහන් -3

2865

රෑ දොළහේ කණිසම පහු වෙනකොට මගේ හිත තිගැසෙන්න ගත්තේ පාලනයකින් තොරව.

නොනවත්වා ගන්න දුරකථන ඇමතුම් ආන්සර් නොකරන භානුක මගේ හිත හොඳටම කම්පනය කරන්න පටන් අරන්.

එන්න පරක්කු වීම ඉවසුවත් ෆෝන් එක ආන්සර් නොකරන්න භානුකට තියෙන හේතුව මොකක්ද?

ලේන් එකේ ගෙවල් වල විදුලි පහන් නිවෙන්න පටන් අරන්. මිනිස්සු නිදා ගන්න වෙලාව. භානුක පරක්කු වෙන දවස් තිබුණත් මේ තරම් පරක්කු වුණු දවසක් ගැන මට මතක නැති තරම්.

“භානු ඔෆිස් ඇරිලා ආවා කියලා කෝල් එකක් දෙන්න පරක්කු වෙනකොට මගේ ඔලුව විකාර වෙනවා. මං ඉන්නෙත් එයා ළඟ නෙවෙයි. ඉතින් පරක්කු වෙන්නත් ගත්තම. මට දරා ගන්න හරිම අමාරුයි. “

පෙම්වතියක් කාලේ හොඳම මිතුරියට එහෙම කතන්දර කීව දවස් ඕන තරම් . ඒත් ඇත්තටම හිත වැඩියෙන්ම ගිනි ගන්නේ බිරිඳක් වුණාට පස්සෙ බව මේ කලබලය අතරින් මට දැනෙන්න පටන් අරන්.

“තාරු… ඔයා කෝල්ස් ගොඩක් අරන්. ඉන්න මං ඉක්මනින් එන්නම්”

භානුකගෙන් හදිසි ඇමතුමක්. වචන පාලනය කර ගැනීම පැත්තකින් තියලා බනින්න පටන් ගත්තට භානුක ෆෝන් එක කට් කරලා. ඉතින් මට පිපිරෙමින් ගිනි ගන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑ.

අන්තිමට ළඟට ආවේ කඳුල. මං ඉකි ගසමින් ඔහේ සාලයේ පුටුවකට වුණා. මේ තරම් මැදියම් රෑ වෙනකන් භානුක මාව තනි කිරීමත් ඉන්පස්සෙ නොසැලකිලිමත් ඇමතුමක් දීමත් සමාව දෙන්න පුලුවන් වරදක් ද?

ගේට්ටුව ළඟ නතර වුණේ අපේ වාහනේ නෙවෙයි. නුපුරුදු ත්‍රීරෝද රියක්.ඒ භානුක බව දැන ගත්තට පස්සෙ ගේට්ටුව ඇරිය මම කාලෙකට පස්සෙ භානුකත් එක්ක සැරට රණ්ඩු කරන්න පටන් ගත්තේ ඉවසීම හොයා ගන්නවත් බැරි ඈතකට විසි කරලා.

සමහර වෙලාවකට සැර බැනුමකින් මගේ කෑගැසීම් නවත්තන භානු අද නිහඬයි. එක්වරම භානුගේ වෙළා තිබුණු අත දකින තුරුම මං කෑගසමින් ඉන්න ඇති.

“ඒක පොඩි ඇක්සිඩන්ට් එකක් තාරු. ඉක්මනින් බේත් දාගෙන මම ආවනෙ. කෝල් කරලා ඇක්සිඩන්ට් වුණු විත්තිය කීවනම් මේ රෑ ඔයා කලබලෙන් එහෙ මෙහෙ දුවනවා. මං ඒ ගැන බය වුණා”

හදිසි කෝපයත් ඉක්මන් තීරණත් ලබා දෙන දෙයක් නෑ. මට භානුගෙන් සමාව ගන්නත් අපහසු තරමට ලැජ්ජාවක් දැනෙන්න අරන්.

“කලබල වෙන්නම ඕනෑ තැනකත් ඉවසන්න ඔයා හෙමින් පුරුදු වේවි.දැන් නාඬා ඉන්න”

අන්තිමට මං භානුගේ නිස්කලංක හඬට නිවෙමින් මට තවත් හැදෙන්නට බොහෝ තැන් ඇති බව තේරුම් ගනිමින් හිටියා

-නිබන්ධිකා-

Comments

comments

SHARE