සුළි සුළඟක සුසුමක් – 24 වන කොටස

අයියා අම්මා ට කියා ඇත්තේ මා සංකල්ප සමගින් සම්බන්ධයක් ඇති බව සහතික ය කියා ය. ඉතා කුඩා නිවාඩු නිකේතනයක් ජීවිකාව වශයෙන් කර ගෙන යන්නා වූ ඔහු වන් නිකමෙකුට කිසි සේත් මා දිය නො හැකි බවයි. අපේ ව්‍යාපාර වල කිසිදු අවශ්‍යතාවයක් නැති දොස්තර මහත්තයා ට මා තිර ලෙස ම විවාපත් කොට දිය යුතු බවයි.

අයියා ට අප ව පෙම්වතුන් සේ පෙනී තිබේ. සන්ධ්‍යාවේ සංකල්ප ප්‍රේමයේ නාමයෙන් මරණ කිහිපයක් ගැන ආදරණීය තර්ජනයක් කළේ ය. මා වටා වායු ගෝලය මහා ප්‍රවාහයක් සේ කැළඹෙමින් තිබේ. නමුත් මම රාත්‍රියේ සුව සේ නිදා ගතිමි. මුළු නින්ද පුරා ම සංකල්ප සැරිසැරුවේ ය.

අවදි වූ ගමන් අයියා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. ඊට පිළිතුරු දෙන්නට ගියොත් මුළු දවස ම නැති නහස්ති වී යනු ඇතැයි මට සිතිණි. ඒ නිසා මම එයට නිසොල්මනේ හැඬවෙන්නටත්, හැඬවී නැවතෙන්නටත් හැරියෙමි.

හිතා මතා ම ඒ විදිහට අයියා ව ප්‍රතික්ෂේප කළ හැකි වීම ගැන ජයග්‍රාහී සතුටක් සිත් හි විය. මේ උදයේ ම සංකල්ප ගේ මූණ දකින්නට ඇත්නම් වාගේ සිතිවිල්ලක් මා තුළ උපන්නේ ඇයි දැයි නො දනිමි. සාමාන්‍යයෙන් ඒ වාගේ සිතිවිලි මට ආගන්තුක ය. අමුතු ය. උදේ කෑම කන්නටත් පෙර මම හයිලන්ඩ් ගෙස්ට් වෙත ගියෙමි. මා දුටු එහි වැඩ කරන තරුණයෙකු ඉක්මනට ඇතුළට ගියේ ය. ඔහු සංකල්පට පණිවිඩය කියනු ඇතැයි සිතුණෙන් මම එතැන පමා වෙමින් සිටියෙමි. සිතුවා සේ ම ඔහු පැමිණියේ සළුවකින් මුහුණ පිස දමමිනි. ඒ කියන්නේ සංකල්ප අවදි වී තිබෙන්නේ දැන් ය. ඇතැම් විට මා මුලින් දුටු තරුණයා ඔහු ව අවදි කරවන්නට ඇත.

සංකල්ප දුටු මගේ මුහුණේ ඇඳුණේ සිනහ මලකි. ඒ සිනහව උපන්නේ කොහි ද කියා මට ම තේරෙන්නේ නැති තරමට පවිත්‍ර හැඟීමකින් මම පිටාර ගලමින් සිටියෙමි.

“මොකද…”

ඔහු මා ළඟට ම විත් විමසූයේ සිනහවක් නැති මුවිනි.

“බලන්න ආව ඉතිං…ඔහොම ඇඟට කඩං පනිනවද…”

ඔහු ගේ ඇස් වල වෙනදා ට නො වන රත් පැහැයක් විය. මම වඩාත් හොඳින් බැලුවෙමි. ඒ ඇස් වල වූ බැල්ම උමතු එකකි.

“ඇස් රතු වෙලා මොකෝ…”

“ඊයෙ රෑ පාටිනෙ…බිව්වනෙ…ඒකයි”

ඒත් පුරුදු සිනහව ඔහු වෙත නොවිණි. මට ඒ සිනහව දැකීමේ උමතු ආශාවක් ඇති වී තිබුණේ ය. වෙනදා ට වඩා මගේ හැසිරීමේ ඇති ව තිබෙන වෙනස කුමක් ද කියා හැඳින ගැනීමට වන උවමනාව මම පමා කරමින් සිටියෙමි.

“ඒත් සින්දු කියනව ඇහුණෙ නෑනෙ…”

“බෑනෙ ඉතිං හයියෙං සින්දු කියන්න.. ඔය මැඩම්ට ඩිස්ටර්බ්නෙ”

“මොකද මේ වෙලා තියෙන්නෙ…”

මා ඇසුවේ සිනහ වෙවී ය. ඔහු වෙනස් වී සිටියා වී ද මම ඒ වෙනසට ආශා වෙමින් සිටියෙමි.

සංකල්ප ආපසු හැරී යන්න ගියේ මට කිසිත් කියන්නේ නැතිව ය. අනාරාධිත ව මම ඔහු පසු පස ගියෙමි. මීට කලින් මල්ෂා ගේ උපන් දින සාදය අවස්ථාවේ ඔහු මා කැටිව ගිය කාමරයට සංකල්ප ඇතුළු විය.

“දුෂ්ට වෙන්නත් දන්නව නේ…”

ඔහු මා ගණන් ගන්නේ නැතිවා සේ හැසිරෙත්දී මම ජනේලය අයිනේ වන වේවැල් පුටුවේ හිඳ ගතිමි. සංකල්ප අල්මාරිය ඇර ඇල්බම් එකක් මගේ උකුලට දැම්මේ ය.

“මොන්ටිසෝරි ඒවද..”

මම අඩ සිනහවකින් ඇසුවෙමි. ඔහු මට රැව්වේ ය. ඒ බැල්ම මගහැර මම එහි පිටු පෙරලන්නට වූයෙමි. මට මගේ ඇස් අදහා ගත නො හැකි වූයේ, මා ළඟ හෝ සුරක්ෂිත ව නැති පුවත්පත් වල පල වූ මගේ සම්මුඛ සාකච්ඡා, ඒ තුළ එක් රැස් කොට තිබෙනු දැකීමෙනි.

ඔහු අනිත් පුටුව මා ඉදිරියට ඇද එහි හිඳ ගත්තේ ය. ඒ ඇස් මා වෙත ම දැල්වී ගෙන තිබිණ. ඇස් ඔසවා බලන්නට බැරි අපහසුතාවයක් මට දැනිණ.

“මොකටද ඉතිං..මේව එකතු කරං ඉන්නෙ…”

මා ඇසුවේ පහසුවෙන් නොවේ. උගුර හිර වෙන්නට හැදුවේ ය. ඇස් වල කඳුළු පටලයක් බැඳී ඇති බව ද මට දැනිණ.

කෙසේ වෙතත් සිත විමසමින් තිබුණේ මුව විමසූ පැනය නොවේ. මේ තරම් කාලයක් ඔහු මේ තරම් පරිස්සමෙන් මේ මතක සියල්ල එක් රැස් කළේ ඇයි? ආදරයක් වන් හැඟීමක් නොමැතිව එවැන්නක් කරන්නට කිසිවෙකුට පුළුවන් ද?

“මේව එකතු කරං ඉන්නෙද..”

ඔහු මගේ අතින් උදුරා ගෙන වාගේ යළි ඒ ඇල්බම් එක ලබා ගත්තේ ය. ඊළඟට නැගිට ගොස් එය අල්මාරියෙහි දැමුවේ ය. පිටුපා සිටින ඔහු වෙත දිව ගොස් ඔහු වැළඳ ගැනීම මහා හැඟීමකින් මා වැසී යන්නට විය. නමුත් මම එහෙම නො කර හිටියෙමි. පිරිමියෙකු ගේ කාමරයකට කඩා වැදී ඒ විදිහට හැසිරෙන්නට බැරි මොකක්දෝ සදාචාරයක් විසින් මට එසේ කරන්නට ඉඩ නො දෙන ලදී.

“ඒ ඇයි කියල ඔයා තේරුං ගන්න එකක් නෑ…”

මම කිසිත් නො තේරෙන බබෙක් වගේ ඔහු දෙස බලා සිනාසුණෙමි. ඔහු මගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලා සිටියේ ය.

“කාලද ඉන්නෙ…”

ඒ බැල්මත්, ඒ ප්‍රශ්නයත්, එය විමසු රිද්මයත් කියන සියල්ල තුළ වූයේ පීතෘ ස්වභාවයකි. මට වහා මගේ අප්පච්චි සිහි විය.

“ම්හු”

යටි තොල් පට සපා ගත් වන මම හිස දෙපසට සැළුවෙමි.

“කමු එහෙනං”

සංකල්ප කාමරයෙන් පිට වූයේ ය. මම ඔහු පසු පස වැටුණෙමි. සංකල්ප සිටින්නේ හිතේ අමාරුවෙන් බව මට නො තේරුණා නොවේ. නමුත් ඒ ගැන කතා කරන්න ට තරම් චිත්ත ශක්තියක් මට වූයේ නැත.

සංකල්ප ගේ ඉඟියකින් මේසයකට කෑම වගයක් ආවේ ය. නමුත් තවත් වෙලා මෙහි රැඳෙන්නට අපහසුවක් මට දැනෙමින් තිබිණි.

“ඔයා කන්න. මං යන්නං”

ඒ විනිවිද බැල්ම තත්පරයක එකකි. මා ළඟට ම ආ සංකල්ප මගේ උරහිස් දෙකෙන් අල්ලා පුටුවෙහි මා හිඳවූයේ ය.

“පැහෙන්නැතිව කන්න”

ඔහු මට වම් පස අසුන ඇද හිඳ ගත්තේ ය. හදවතේ යමක් හිර වී ඇති බවක් මට දැනිණ. කියන්නට යමක් වන බවක් මට දැනිණ. නමුත් ඒ කුමක්ද කියා පැහැදිලි වූයේ නැත.

“මං අර ප්‍රපෝසල් එකට කැමති නෑ කියල අම්මට කිව්ව. අම්ම අයියට කියන්නැති. දැං උදේම අයිය කෝල් කළා. මං ආන්සර් කළේ නෑ”

මම නිදහසට කාරණා කීවෙමි. නමුත් මට සැබවින් කියන්නට ඕන වී තිබුණේ එය නොවන බව ද මට දැනිණ.

“කම්මැළියි මෙහෙම එක තැනකට වෙලා ඉන්නත්. මං තව ටිකකිං යන්නයි ඉන්නෙ”

“කොහෙද…”

“අර එදා අපි ගිය පාරෙ…”

සංකල්ප ගේ ඇස් කැල්ම තුළ වෙනදා නො දැනෙන අපහසුවක් මට දැනුණේ ය. මේ සියල්ල අතරින් ඔහු ගේ හඬින් ‘මීදුම් දුමාරයේ’ ද පසුබිමෙන් ඇසෙමින් තිබුණේ ය. මේ ගීය මේ තරමට මගේ ජීවිතයේ තේමා ගීතය බවට පත් වූයේ කෙසේ ද කියා ත් මට නො සිතුණා ම නොවේ.

“තනියෙං යන්නෙපා”

ඔහු මිමිණුවේ ය.

“ඇයි..”

“එපයි කියලනෙ කිව්වෙ…කිව්ව එක අහන්න”

ඔහු සැර කළේ ය. ඒ සැර කිරීම තුළ වෙනදා නො දැනුණ මිහිරක් මට දැනුණේ ය. ප්‍රේමය කියන්නේ ම මරණීය අනතුරකි!

“තනියෙං නැතුව ඉතිං…කාත් එක්ක යන්නද…”

මම ඇස් බිමට හරවා ගතිමි. නො එසේ වී නම් අනතුරේ බරපතල කම වඩාත් දැඩි ව දැනෙන්නට පිළිවන.

“ඇයි අර මල්ෂාට කතා කර ගන්න පුළුවන්නෙ”

ඔහු කීවේ ය. මම හිස නගා බැලුවෙමි. ඒ ඇස් වල දීප්තියක් විය.

“ඔව්මයි නේ…මට අමතක වුණානෙ…”

එක මොහොතකට එක සිතිවිලි ප්‍රවාහයක් ඇතුළේ අපේ ඇස් පැටලී ගෙන තිබිණි.

මම ඉතා ඉක්මනින් කෑම ස්වල්පයක් පමණක් ගෙන නැගී සිටියෙමි.

“ලෑස්ති වෙලා එන්න”

ඔහු හෙමිහිට කීවේ ය. ඒ වදන තුන ඉසිරවූ රිද්මය තුළ වූයේ මුළුමනින් ම අයිතිය කියා පෑමක හැඩ තල ය.

මා ගෙදර ගියේ දුව ගෙන වාගේ ය. නීලා මා එන හඬින් ඉදිරියට ආවා ය.

“මං ඒත් බැලුව කෑම කන්නෙත් නැතුව කොහෙ ගිහිංද කියල”

“කෑම කෑවෝ…”

මා කාමරයට වැදුණේ හදිසියෙනි. අල්මාරිය ඇර ගවොමක් ගන්නා මා දෙස නීලා බලා සිටියේ ආදරණීය බැල්මකිනි.

“ඔහොම ගිහිං ගෙදරිං කන එකක් නැතිම වෙයිද කියලයි මං මේ කල්පනා කළේ”

මම නීලා ගේ දෙඋරහිස් වටා දෑත් යවා ඇය ව තුරුලු කර ගතිමි.

“නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑ”

“දැං ඔය කොහෙ යන්නද සුදු බබා…”

“ලොකු ගමනක් නෙවෙයි ඉතිං…චුට්ටක් ඇවිදල එන්නං…ටවුන් එක පැත්තෙ…”

සූරිය කන්ද පැත්තේ යන බවක් මම නො කියා සිටියෙමි. නීලා ට කිසිත් සැඟවිය යුතු නොවූවත්, කවුරුන්වත් නො දන්නා රහසක් හදවතේ හංගා ගන්නා එකේ වෙනමම සුන්දරත්වයක් වන බව මේ මොහොතේ මම අලුතෙන් ඉගෙන ගනිමින් සිටියෙමි.

“ලොකු බේබි ඊයෙ වගේ උන් හිටි ගමන් කඩං පාත් වෙන්න පුළුවන් සුදු බබා”

“මං එයාට බය නෑ”

සතුට කියන දේ ජීවිතයේ අහු මුලු අත්පත් කර ගනිත්දී, දුක සේ ම බිය ද හැඳින ගන්නට අපි අපොහොසත් වන්නෙමු. නීලා කට තද කර ගෙන සිනහ වූවා ය. නමුත් ඇගේ සිනහව සැඟවෙන්නට නො දැන ඇගේ උරහිස් ගස්සමින් පිටමං වූයේ ය.

“හප්පේ …ඇස් වහක් කට වහක් වදින්න එපා මේ රත්තරං රූපෙට”

මා සූදානම් ව පිටතට එත්දී නීලා කීවා ය.

“අනේ ඔයාගෙ සුදු බබාට වඩා ලස්සන කෙල්ලො ඕන තරං ඉන්නව නීලම්ම”

කියාගෙන මම මිදුලට බැස්සෙමි. ලූනා මට ඉස්සර වී උනන්දුවෙන් දිව යන්නට වූවා ය. කහ පාට මොරිස් මයිනර් රිය පණ ගැන්වී හයිලන්ඩ් ගෙස්ට් ඉදිරියේ නතර වී තිබුණේ ය. සංකල්ප මදෙස බැලූයේ, ඇස් මුදා ගත නො හැකි ව වාගේ ටික වෙලාවක් ඒ බැල්මෙන් ම හිටියේ ය.

“නීලම්ම ඇස්වහ කටවහ පිච්චුව…ඒක නිසා මං බය නෑ”

මා රියට නැගුණේ එසේ කියා ගෙන ය. උදේ මා නොදුටු සිනහවක් ඒ තොල් අතරේ නලියමින් තිබෙනු මම දුටිමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content