පතිනියකගේ සටහන් -19

215

“නිලූ.. බබාගේ බඩු ටික ලෑස්ති කරගන්න ඕන.. අපි වෙලාවක ෂොපින් යමුද.. භානු යන්න ඕන. ඔයාට ළඟදි බබා ලැබුණු නිසා ඔයාට මතකනේ ලිස්ට් එක හොඳටම”

මම එහෙම කියනකොට නිලූ හරිම කැමැත්තෙන් මම ළඟට ආවේ ඒ ගැන ලොකු විස්තරයක් කියන්න බලාගෙන.
“තාරුකා.. යන්තන් මාස තුන පැන්නා විතරනෙ. දැන්ම කිසිම දෙයක් ලෑස්ති කරන්න එපා. හොඳ නෑ”
කාර්යාලයේ වයස්ගතම සාමාජිකාව මිසිස් පෙරේරා එහෙම කියාගෙන මම ගාවට ආවා.
ඉන්පස්සේ ඇය බොහොම දේවල් කියාදීලා එතනින් යනකොට කෙල්ලො රොත්ත කිචිබිචිය පටන් අරන්.
පුදුම බමුණු මත අනේ. ඔන්න ඕවා අමතක කරන්න තාරු. මිත්‍යා මත කියන්නෙ ඔන්න ඕවට”
පරණ ලෝකෙට හිනාවෙන්න අපි පටන් ගත්තේ හරිම කැමැත්තෙන්. උපුලි අපි ළඟට ආවේ ඒ වෙලාවේ. කලකට ඉහතදී දරුවා ඉපදෙන්නත් කලින් අහිමි වූ ඇය තවම ඒ වේදනාවට මානසික ප්‍රතිකාර ලබා ගන්නවා.
“ඒක මිත්‍යාවක් විදියටම අහක දාන්න බෑ තාරු”
උපුලිටත් කතාවක් තියන පාටයි.
මාස හතක් වෙනකන් දරුවාට හානියක් වෙන්න ඉඩ ගොඩක් වැඩී තාරු. ඉන්පස්සෙ දරුවා වෙනුවෙන් කාමරයක් හදලා, ටෝයිස් පුරවලා, ඇඳුම් කෝටියක් එකතු කරලා තිබ්බම අම්මා මානසිකව වැටෙනවා .ගොඩ එන්න අමාරුයි. මාස හතෙන් පස්සේ දරුවෙක් ජීවත් වෙන ඉඩ වැඩි නිසා මාස හතට පස්සේ බඩුමුට්ටු ලෑස්ති කරගත්තම එහෙම වේදනාවක් එනවා අඩුයිනෙ. ඔය කතාවට මුල ඒකයි”
උපුලි අපිට පැහැදිලි කළා.
“ඒක ඇත්ත තමයි.දැන් කාලෙටත් වඩා ඉස්සර දරුවො නැති වෙන සාමාන්‍ය දෙයක්නෙ. ඒකට එයාලා ගාව තිබ්බ විසඳුමක් වෙන්න පුලුවන් ඔය.”
මාධවීත් කියනවා.
ඇත්තටම අපි නොහිතන කාරණා පැරැණි මත තුළ තියනවා. සමහර වෙලාවට අපි හාස්‍යජනක විදියට බැහැර කළාට බොහොමයක් කතාවලට හේතුවක් තියනවා.
මම දන්නවා පුංචි පැටියෝ, ඔයා මම ළඟට අනිවාර්යයෙන් එන බව.. ඒත් උපුලි නැන්දා කියන කතාවත් ඇත්ත නිසා ඔයාගේ බඩු ලෑස්ති කරන්න අම්මා තව ටික දවසක් පරක්කු කරන්නම්.
-නිබන්ධිකා-

Comments

comments

SHARE