හෙයාර් අයන් එකක් භාවිතයේදී සැලකිය යුතු දේවල්..

වැරදි හෙයාර් අයන් එකක් භාවිතා කිරීමෙන් හෝ එය වැරදි ලෙස භාවිතා කිරීමකින් ඔබේ හිස කෙස් වලට හානි සිදු වීමේ අවදානමක් තිබෙනවා. වැරදි භාවිතය නිසා බොහෝ විට හිස කෙස් පිළිස්සී යෑම, හිස කෙස් දිරා යෑම, හිස කෙස් මැදින් කැඩී යාම, හිස කෙස් අග පැලීම, හිස කෙස් වියලී යාම, හිස කෙස් වැටීම සහ හිස කෙස් වලට මලානික පෙනුමක් ලැබීම වගේ ගැටළු ඇති වෙනවා.

මේ නිසා පළමුව ඔබ පිළිගත් ප්‍රමිතියකින් යුතු, සහතික කර ඇති හෙයාර් අයන් එකක් මිලදී ගත යුතුයි. ආවාට ගියාට, මිල අඩුවට තිබුණු පලියට ගුණාත්මක බැවින් අඩු හෙයාර් අයන් මිලදී ගන්න එපා.

ඔබේ හිස කෙස් පළුදු වූ හිස කෙස් නම්, ඔබ හෙයාර් අයන් එක භාවිතා කළ යුත්තේ ඉතා පරිස්සමිනි. පළුදු වූ හිස කෙස් යනුවෙන් අදහස් කරන්නේ වරක් හෝ ස්ට්‍රේට් හෝ පර්ම් කළ, රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වූ හිස කෙස්ය.

හෙයාර් අයන් එකේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වන්න. උෂ්ණත්වය වැඩි වන තරමට එය ඔබේ කෙස් කලඹට හානි කරන බව මතක තබා ගන්න. මෙහි උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් 185ට අඩුවෙන් තබා ගැනීමට කල්පනාකාරී වන්න.

හෙයාර් අයන් එකක් භාවිතා කරනවා නම්, හිස කෙස් වියලා ගැනීම සඳහා හෙයාර් ඩ්‍රයරයක් භාවිතා නොකරන තරමට හොඳය. ඒ උපකරණ දෙකෙන්ම සිදු වන්නේ හිස කෙස් රත් කිරීම වන නිසාය.

තෙත කොණ්ඩය කෙදිනකවත් අයන් කරන්න යන්න එපා. හදිස්සියට බොහෝ යුවතියන් එසේ කළත් එය ඔබේ කෙස් වලට හානි කරනවා. ඇතැම් විට කොණ්ඩය පිළිස්සෙන ආකාරය ඔබටම දැනෙනවා විය හැකියි. මෙසේ කොණ්ඩය පිළිස්සුනු විට එය නැවත යථා තත්වයට පත් කළ නොහැකියි.

අපිරිසිඳු හිස කෙස් අයන් කිරීම නොකළ යුතුයි. මේ නිසා ඔබ කෙස් අයන් කළ යුත්තේ ස්නානය කිරීමෙන් පසුවයි.

හිස කෙස් වලට සිදු විය හැකි හානිය වළක්වා ගැනීමට හොඳ ක්‍රමයක් තමයි කෙස් කුඩා කොටස් වලට වෙන් කර, එක බැගින් අයන් කිරීම.

මීට අමතරව දැන් වෙළඳපොලේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ තිබෙනවා. හිස කෙස් අයන් කිරීමට පෙර මෙය භාවිතා කිරීමෙන් හිස කෙස් වලට සිදු වෙන හානිය අවම කර ගන්න පුළුවන්.

සෙරමික්, ටයිටෙනියම් සහ ටර්මලින් ලෙස හෙයාර් අයන් වර්ග තුනක්ම පැවතියත්, නිවසේ සිට තමාගේ කෙස් අයන් කරන අයෙකුට වඩාත් ආරක්ෂාකාරී වන්නේ සෙරමික් වර්ගයේ හෙයාර් අයන් එකක්..

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles