ඔබේ ආදරය ඔබේ තේරීමක් කරගන්න.

අමිල නිවසට ආවේ හිස ගිනිගෙන වගේ. සුජීවා ගේ කඳුළු පිරුනු ඇස් අමිලට මතක් නොවෙන මොහොතක් තිබුනේ නෑ. තරුණ වයසේදීම අම්මාගේ ආදරේ අහිමි උනාට පස්සේ ඇත්තෙන්ම අම්මා කෙනෙක් වගේ සියලුමදේ හොයලා බලලා හැම වැඩකදීම තමන්ට ශක්තියක් වූනු සුජීවාව විවාහ කර ගන්න සූදානම් වීම දැන් ගෙදර ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා. අමිල කෙලින්ම ගියේ තාත්තගේ කාමරයට ය.

” තාත්තේ සුජීවා කියන්නේ නරක ළමයෙක් නෙමෙයි “

” නරක වුනත් හොඳ වුණත් මට වැඩක් නෑ , ඒකි දෙමළ නේ . අපේ හත්මුතු පරම්පරාවේ වත් නෑ වෙන ජාතියක ගෑණියෙක් කසාද බැඳපු එකෙක්. උඹ හදන්නෙ මගේ මූණෙ දැලි ගාන්නද ? “

තාත්තා ඇහුවේ හිතක් පපුවක් නැති කෙනෙක් වගේ. පරම්පරාවේ නම්බුව හිස මත තියාගත්ත තාත්තා , අම්මා මිය ගිය දා ඉඳලා තමන්වත් අයියාවත් උසස් තනතුරු දක්වා ගෙන්න වෙහෙසවුනු බව සැබෑවක් උනත් . ඔහු දැන් අරගෙන තියෙන්නෙ අසාධාරණ තීරණයක් කියලා අමිලට දහස් වර හිතුනා .

” බලපන් උඹේ අයියා . ඇමරිකාවට වෙලා අපූරුවට ජීවත් වෙන්නේ මගේ නම්බුවත් රැකගෙන “

” අයියා ඉතින් සල්ලි එවන නිසා තාත්තට එයාව හොඳයි . බලන්නකො තව කී කාලයක් ඔය සල්ලි එවන කෙරුවාව වෙයිද කියලා “

අමිල කෝපය මුසු වුණ හඬකින් එහෙම කියලා කාමරේට ගියා . මොන තත්ත්වයක දී වුණත් තමන් එක්කම හිටපු සුජීව කොහොමහරි විවාහ කරගන්නවා කියලා අමිල ඒ වෙද්දිත් අධිෂ්ඨාන කරගෙන හිටියා.

” තාත්තගේ අකමැත්තෙන් අපි මේක නොකර ඉමු අමිල. මොනවා වුණත් ඒ ඔයාගේ තාත්තා “

සුජීවා කියන්නේ කාගෙවත් හිතක් රිද්දන්න අකමැති කෙනෙක්. ඇගේ ඒ යහපත් ගතිගුණ තාත්තා තේරුම් නොගන්න එක ගැන අමිල හැමදාම දුක්වුණා. ඒ වෙනකොට සුජීවා ඇගේ දෙවන උපාධිය සඳහා සූදානම් වෙමින් හිටියා . නමුත් ඇගේ ඒ කිසිම දෙයක් අමිලගේ තාත්තට වැඩක් වුණේ නැහැ .

” උඹ ඔය කෙල්ලව බැන්දොත් මගේ දේපල වලින් තඹ සතයක දෙයක් මම උඹට දෙන්නෙ නෑ “

තාත්තා මන්තරයක් මතුරන්න වගේ එහෙම කියද්දී අමිලට ඔහු ගැන ඇති උනේ ලොකු කළකිරීමක්.

” සුජීවා බැලූ බැල්මට දෙමළ කෙල්ලෙක් කියලා පේන්නේ නෑනේ බං . ඒකි සිංහල කෙල්ලෙකුටත් වඩා ලස්සනයි . අනික උගත් . හැදියාව අතිනුත් ඉස්තරම් . ඔන්න ඔහේ තාත්තට කුද ගහගන්න කියලා උඹ සුජිවාව බැඳපන් අමිල “

අමිලගේ හොඳම මිතුරා වුන වරුණ අමිලගේ හිත ශක්තිමත් කළා . දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල් වලින් ගත්ත වාහනයත් , තවත් ඉතුරු කරගත්ත මුදල් ටිකකුත් තියෙන නිසා අමිල අන්තිමේදී තීරණයක් ගත්තා.

සුජීවා ගේ දෙමව්පියන් අමිල ගත්ත තීරණය ගැන බොහොම සතුටු වුණා. අමිල කෙලින් තීරණයක් ගත්ත නිසා ඔවුන්ගේ හිත්වල අමිල ගැන තිබුණු පැහැදීම තවත් වැඩි වුණා .

ඉතුරු කරගත්ත සල්ලි ටිකකුයි සුජීවාගේ ගෙදරින් හම්බවුන සල්ලි ටිකකුයි එකතු කරල අමිලයි සුජීවායි පුංචි ගෙදරක පදිංචියට ගියා. ඒ පුංචි ගෙදර ඇතුලේ ආදරය වගේම සතුට හැමදාම උතුරන්න වුණා. සුජීවා ගේ අධ්‍යාපන කටයුතු වලට අමිලගෙන් ලැබුනේ ලොකු සහයෝගයක් . සුජීව පාඩම් කරන වෙලාවට ගෙදර වැඩ කරන්න අමිල පසුබට වුණේ නැහැ.

විවාහයෙන් මාස කීපයකට පස්සෙ අමිලට උසස් වීමකුත් එක්ක වැටුප් වැඩි වැඩි කිරීමකුත් ලැබුණා . සුජීවත් ඇගේ දෙවන උපාධිය උපාදිය අවසන් කරලා වැඩි වැටුපකට අලුත් රැකියාවකට ගියා.

අමිල සුජීවාව විවාහ කරගත්ත තරහට තාත්තා ඔහුගේ කෝටි ගානක් වටිනා දේපළ සියල්ලක්ම අමිලගෙ අයියට ලියලා තිබුණා .ඒ බව ආරංචි වුණත් අමිල පොඩ්ඩක්වත් කම්පා වුණේ නැහැ .

” ඔයාට මං නිසා හැමදේම නැති උනා නේද අමිල ? “

අමිල පුරුද්දට වගේ සුජීවාට හැමදේම කියන නිසා ආරංචියක් කිවුව ගමන් ඒවා අමිලගෙන් එහෙම ඇහුවා

” ඔය කෙහෙල්මල් දේපල නිසා මට ඔයාව නැති කරගන්න කියලද ඔයා කියන්නේ ? “

සුජීවා එතනින් එහාට අමිලගෙන් කිසිම දෙයක් අහන්න ගියේ නැහැ. දේපල ටික ලැබුණට පස්සේ අයියා තාත්තට කතා කරන එක සහ ඔහු ගැන හොයලා බලන එක නවත්තලා තියෙනවා කියලා අමිලට දැනගන්න ලැබුණේ මාස දෙක තුනකට පස්සෙ. තාත්තා ජීවත්වුණ මහගෙදර විතරක් තාත්තට ඉතිරි කරලා පොල් ඉඩම් ඇතුළු හැමදේම අයියා ලංකාවේ ඉන්න යාලුවෙක් ලවා වෙනත් පිරිසකට භාර දීල තිබුනෙ ඒවායෙන් එන ආදායම අයියට ගන්න කටයුතුත් සූදානම් කරගෙන .

” තාත්තා ඔය දේ කරගත්තේ විහින් .දැන් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ .අපි අපේ පාඩුවේ ඉමු සුජීවා “

අමිල තමන් ජීවත් වුණු නිවස අලුත්වැඩියා කරලා තවත් කොටස් ඒකට එකතු කරලා තට්ටු දෙකක ලස්සන නිවාසයක් බවට පත් කළා. සිත්ගන්නා සුළු ගෙමිදුලක් මැද ඉදිවුණු දෙමහල් නිවස අමිලටත් සුජීවාටත් ගෙනාවේ සැනසීමක් .

ඒ සැනසීම සහ සතුට තවත් වැඩි කරමින් සුජීව අම්මා කෙනෙක් වෙන ලකුණු පහළ වුණා. ඒ ගැන තාත්තට කියන්න අමිලට ඕන උනත් තමන්ව අතෑරලා දාපු තාත්තට මේ වෙලාවේ සුජීවාගේ හිත රිද්දන්න දෙන්න හොඳ නෑ කියලා අමිල විශ්වාස කරා.

අමිලගේ සහ සුජීවාගේ කැදැල්ලේ සතුට වැඩි කරමින් පුතෙක් ඉපදුනා. පුතා ඉපදිලා මාස අටක් ගත වී ගෙන යන කොට තමන්ගෙ තාත්තා අංශභාග රෝගියෙක් බවට පත්වෙලා කියලා අමිලට දැනගන්න ලැබුණා. ඒ මොහොතේ නිහඬව ඉන්න අමිලගේ හිත ඉඩ දුන්නේ නෑ වගේම සුජීවාත් ඒකට ඉඩ දුන්නේ නැහැ. අමිල සුජීවා එක්ක හැකි ඉක්මනින් ඉස්පිරිතාලෙට ගියේ සෑහෙන්න කාලෙකින් නොදැකපු තාත්තව බලන්න හිතාගෙන .

මොනදේ උනත් ඒ තමන්ගෙ තාත්ත කියන හැඟීමෙන් අමිල ඔහුගේ තාත්තව තමන්ගේ ගෙදරට එක්කගෙන ආවා. සුජීවා හඳුනන වෛද්‍යවරයෙකුගෙන් තාත්තට ප්‍රතිකාර කරන්න සුජීවාම කටයුතු ලෑස්ති කලා. ඇඳට වැටිලා හිටපු අමිලගේ තාත්තට ඒක දරා ගන්න බැරි වුණා . නමුත් මේ මොහොතේ තමන් අසරණයි කියලා දැනගෙන හිටපු අමිලගේ තාත්තා බලාගත්තු අතේ බලාගෙන හිටියා. අමිලව දරු කමෙන් අයින් කළත් අන්තිමේදී තාත්තව නාවන එකේ ඉදලා තාත්තගේ හැම වගකීමක් ම ඉෂ්ට කළේ අමිල .

තමන්ගේ පුංචි දරුවා නිසා රැකියාවෙන් ඉවත්වෙලා තමන්ගේම ව්‍යාපාරයක් වෙනුවෙන් කටයුතු සූදානම් කරමින් හිටපු සුජීවා රැයක් දවාලක් නොබලා අමිලගේ තාත්තා වෙනුවෙන් වෙහෙසුණා .නිසි වෙලාවට ඔහුගේ බෙහෙත් ලබා දෙන්නන් ඔහු වෙනුවෙන් වෙනමම කෑම සකස් කරන්නත් සුජීවා කිසිම පැකිලීමකින් තොරව තමන්ගේ කාලය වැය කළා.

” මට සමාවෙන්න දුවේ “

අමිලගේ තාත්තා ඇස්වල කඳුළු පුරවගෙන එහෙම කිව්වේ සුජීවා ඔහුට බත් කවන්න කාමරේට ආපු වෙලාවක . අමිලගේ තාත්තා නිසා තමන් හැඬූ කඳුළින් ගත කළ දවස් බොහෝමයක් තිබුනත් සුජීවා ඒ හැමදේම අමතක කරලා තිබුනා.

” තාත්තට දැන් තේරෙනවද මං ඒ දවස් වල මොනවද කිව්වේ කියලා ? අපි අපේ නම්බුව ගැන හිතන්න ඕනේ තමයි. හැබැයි ඒ මත්තෙ නැහෙන්න හොඳ නෑ “

එහෙම කියලා අමිල ලොකු හුස්මක් පිට කලා

” රත්තරං වටින දරුවෙක්ව මගේ ලේලි කරපු උඹට දෙන්න කිසිම දෙයක් අද මං ලඟ නෑ පුතේ “

අමිලගේ තාත්තා එහෙම කිව්වේ ඔහු අවසන් හුස්ම හෙලන්න දින කීපයකට කලින් . මහා පසුතැවීමත් හිතේ තියාගෙන ඔහු ජීවිතයෙන් සමු ගත්තත් අවසාන කාලයේ හෝ තාත්තා වෙනුවෙන් බොහෝ යුතුකම් ඉටුකරන්න පුලුවන් වුන එක ගැන අමිල වගේම සුජීවාත් දෙවියන්ට ස්තුති කළා

කොයි තරම් දුක් මහන්සි වී තමන්ගේ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කළත් දරුවන්ගේ ජීවිත තමන්ට ඕනෑ හැටියට තීරණය කරන්න යන්න හොඳ නෑ කියලාත් , තමන්ගේ තීරණ වලින් දරුවන්ගේ සතුට නැති වෙන්න පුළුවන් කියලත් අමිලගේ තාත්තා අවසාන මොහොතේ හෝ තේරුම් ගත්තා.

More Stories

Don't Miss


Latest Articles