පාට සේදුණු වත්සුණු – 5

ගයාත්මි විජේගුණවර්ධන කියන්නේ, කුඩා කල සිට ම- සිය නිවස තුළ දී ම තනි වූ දැරියකි. දෙමාපියන් නීතියෙන් වෙන් ව ගොස් කැඩී ගිය පවුලක, මවු පිය දෙදෙනා ගෙන් එක් අයෙකු තෝරා ගන්නට වන ඕනෑ ම ළමයෙකු ට ජීවිතයේ යම් යම් අවස්ථා වල අත් විඳින්නට වන අසරණ කම හා බැඳුණු හුදෙකලාව මම ඕනෑ තරම් අත් විඳ ඇත්තෙමි. එක වහලක් යට රණ්ඩු සරුවල් කරමින් සිටි මවු පිය දෙදෙනෙකු ගේ දියණිය වී සිටියාට වඩා මේ හුදෙකලාව හොඳ බව ඇත්ත ය. නමුත් අම්මෙකුත් තාත්තෙකුත් එක්ක සතුටෙන් ජීවත් වන්නට තිබුණා නම් කෙතරම් හොඳ දැයි මට අනන්ත වාරයක් සිතී තිබේ.


එහෙව් හුදෙකලාවක පා වෙවී හිටි මගේ නව යෞවනයේ පාළුව මැකී ගියේ තුෂානි නිසා ය. දුෂ්කර ගමක උපන් දැරියක වූවා ට කිසි සේත් කුලෑටි කෙල්ලක නොවූ ඕ ප්‍රීතිමත් දැරියක ද වූවා ය. ඕනෑ ම කුඩා දෙයක් අල්ලා ගෙන වරු ගණනක් සිහි කරමින් හිනා වීමේ හැකියාව ඇය ට තිබිණ. මේ නිසා මම ඇගේ සමාගමය ප්‍රිය කළෙමි. කාලයක් මවු පියන්ගේ රණ්ඩු සරුවල් නිසා ද, ඊට පස්සේ ඔවුන් දෙදෙනා ගේ දික්කසාදය නිසා ද බොහෝ දුර ට මනසින් කඩා වැටි උන් මට තුෂානි වූ කලී ප්‍රීතිය උපද්දන කෙළි බඩුවක් සේ වූවා ය.


උසස් පෙළ සමය හෙවත් ජීවිතේ සුන්දර ම කාලයේ දී අප දෙදෙනා උපකාරක පන්ති ගියේ ත් එකට ය. එහි දී අපේ පවුල් වල තොරතුරු පවා විවෘත ලෙස කතා කරන තරමට අපි වඩාත් සමීප වීමු. තුෂානි ට තිබුණේ ආර්ථික අපහසුතා ය. මම හැකි අයුරින් ඇයට සිය අධ්‍යාපන කටයුතු සඳහා උදවු කළෙමි. මට තිබුණු තනිකම පිළිබඳ ගැටලුව විසඳමින් නිබඳ ඕ මට යෙහෙළියක සේ ම එක කුස උපන් සොයුරියක ද වූවා ය.


පාසල් ජීවිතය අවසානයේ යළිත් ජීවිතය මැද්දේ හුදෙකලා ව අසරණ වූ මට, තුෂානි ගේ පුනරාගමනය මහ මෙරක් බව නො කිවමනා ය.


“උදේ ඉඳං බස් වල ඇවිත් මේ ළමයට හොඳටම මහන්සියි බඩගිනියි ඇති. කෑම කන්න දීල ඉන්න ගයාත්මි”

තුෂී ව දුටු ගමන් අත්තම්මා කීවා ය. මෙහි පැමිණ ගෙවුණ මේ දින දෙකට මට තේරුම් ගොස් ඇති දෙයක් නම්, අත්තම්මලා තුළ වන අසීමිත මිනිස් කමයි. ගෙදරට පැමිණෙන ඕනෑ ම කෙනෙකු ගේ කුස පුරවා හිඳීම ඈ වැදගත් ම කොට සලකන දේ ය. ඇතැම් විට ඈ ඉන් ලබන සතුට, ඔවුන් ගේ වයසට ඔරොත්තු නොදෙන නමුත් ඔවුන් විඳින තනිකම හා බැඳුණු එකක් කියා සිතමි. කොළඹ ජීවිතයෙහි නම්, අමතර ව එක් අයෙකු ට කෑම වේලක් දෙනවා කියන්නේ දෙවරක් සිතන්නට වන දෙයකි. නමුත් ගමක එසේ නැත. ඕනෑම වෙලාවක එන අමුත්තෙකු ට අවශ්‍ය තරමට ආහාර, ගැමි කුස්සියක හට්ටි මුට්ටි වල ඉතිරි වී තියේ.
ගයාත්මි කෑම කෑවේ දිය නා ගෙන ය. මම ඇගේ බත් පත යළි යළි පුරවමින් ඇය ට කන්නට වද කළෙමි.


“මං හාමතේ ඉඳල ආව කියල හිතුවද…ඔය ඇති. ඔච්චර කන්න පුළුවන් ද..”


“මමයි අද ඉව්වෙ”


“රහයි කියෝගන්නනෙ ඔය”


“ඔයා අමුතුවෙං කියන්න දෙයක් නෑ. අරය ඒක කියලයි ගියේ”
“කවුද..”
“හමිං බර්ඩ්”
මම සිනහව සැඟවීමි. තුෂී මගේ මූණ දෙස බලා ගෙන ම සිටියා ය.
“තමුසෙ ඒ කොල්ලට බත් කන්නත් දුන්නද…හරි හරි. එහෙනං ඒකාගෙ ඉරණම මෙතනදි ලියවිල ඉවරයි. ආයෙ ඒ ගැන කතා කරන්න දෙයක් නෑ”
“ඇයි…එච්චරට රසයිද…”
මම සිනහව එළියට දැම්මෙමි. මගේ සිනහ හඬ ගේ පුරා දෝංකාර දෙන්නට ඇත.
“බවලතෙක් උයන කෑම වලට රහ වැටුණ පිරිමියෙක් ආයෙ වෙන අතක කෑම වල රහ බලන්න එතනිං ගැලවිල යන්නෑ කියල අපේ ගම් වල කතාවක් තියෙනව”
එවර මගේ සිනහව තව දුරටත් ගේ පුරා රැව් පිලි රැව් දුන්නේ ය.
“තෝ දැං අර කුසල් කියල එකෙක්වත් දැලට අහු කරගෙන නේද ඉන්නෙ…”
මගේ සිනහව මගේ වත මතින් පැන ගියේ මොන තරම් ඉක්මනින් ද? මේසය මත ඉහිර තිබූ වතුර බින්දුවක් ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරමින් මම සුසුමක් හෙළුවෙමි.
“අහු කරගෙන නෙවෙයි තුෂී. අහු වෙලා කිව්වොත් තමයි හරියටම හරි. මං පණ බයේ ඉන්නෙ කුසල් මේ ගේ හොයාගෙන මෙහෙ එයි කියල. එයා මොන විදිහෙ කෙනෙක්ද කියල මට හිතා ගන්න බෑ”
තුෂී තත්පර කිහිපයක් මගේ මූණ දෙස බලා ගෙන ම හිටියා ය. ඊළඟ ට මගේ අතක් යන්තමින් අල්ලා කතා කළා ය.
“හරි හරි අපි බලමුකො. දැං මාත් ඉන්නවනෙ”
කවදත් ඈ සමීපයේ දී මට හයියක් දැනුණ බව ඇත්ත ය. නමුත් කුසල් ගැන හිතත් දී කිසි ම හේතුවක් මත, මට ඔහු ගැන දැනෙන බිය මුසු දෙගිඩියාව පහ ව යන්නේ නැත.

කියවන්න :  බෙඩ් ටයිම් ස්ටෝරි - 29

අප හැන්දෑවේ තේ බීවේ මිදුලේ බංකුව මත හිඳ ය. තුෂී ගමෙන් කැවුම් හා වැලි තලප සාදා ගෙනවිත් තිබිණි. එදා ශාන්ති ව පසෙකට කොට මම තේ හැදුවෙමි.


කන්න බොන්න නැතත් මොකෝ කෙල්ලො දෙන්නෙක්ගෙ කිචි බිචිය ඇහෙද්දි. නේද නන්දා….බඩ පිරිල වගෙයි මගෙනං”
සීයා වැලිතලප කෑල්ලක් අතට ගත්තේ එහෙම කියමිනි.
“අනේ ද කියන්නෙ. පුතාලගෙ තාත්ත බලන්නකො අපේ ගයාත්මියගෙ හිනාවක් ඇහුණෙ මේ දරුව ආවට පස්සෙනෙ”
“හප්පච්චියේ නන්දො. අර ඉලන්දාරියට තේ එකක් බොන්න කතා කළේ නෑනෙ”
සීයා ට හදිස්සියේ ම නම නො දන්නා තරුණයා ව මතක් වූයේ ය. මාත් තුෂීත් අප දෙස බැලුවේ එකට ම ය. ඇගේ ඇස් මත මනමාල සිනහවක් විය.
“තාම ඉන්නවද..”
“හිටිය මයෙ හිතේ”
“එහෙනං කතා කරන්න. වැලිතලප කෑල්ලක් කාල තේ ටිකක් බොන්න දෙන්න පුළුවන්නෙ”
සීයා නත්තසූරිය වැට පැත්තට ලං ව එහා ඉඩම දෙස ට කොකම් පෑවේ ය ඊළඟට ඒ පැත්ත බලා අත්පුඩි දෙකක් ගැසුවේ ය. යෞවනයා හැරී බලන්නට ඇත. සීයා ඔහු ට එන්නැයි අත වනමින් යළි බංකුව දෙස ට ආවේ ය. තුෂී ඇසක් ගසා මට ඉඟි මැරුවා ය. මා සිනහව ගිලගෙන සිටියේ අමාරුවෙනි.
“හමිං බර්ඩ් ගෙ නම මොකද්ද ..”
තුෂී මගේ කනට කර රහසින් ඇසුවා ය. මම දෙතොල් තෙරපා නො දන්නා බව හැඟවීමි.
“තමුසෙට කුසලය ඉන්නවනෙ. මෙයා මගෙ හොඳේ”
“අනේ මට ඕන්නෑ”
නත්තසූරිය මල් මත ට මළ හිරු එළිය වැටී තියෙද්දී මා ඊයේ දුටු තැඹිලි පැහැය, ඔහු ගේ වත මත ද තැවරී ගෙන තිබිණ. යෞවනයා අප වෙත ආවේ මඳ සබකෝලයකින් වත් ද?
“තේ ටිකක් බොමු පුතා”
“අත්තම්මල මං නිසා කරදර වෙනව”
ඔහු අත්තම්මා ඇල්ලූ වැලිතලප දීසියෙන් කැබැල්ලක් අතට ගත්තේ හරි පරිස්සමෙනි. ඒ අතැඟිලි වඩාත් දිගුයි කියා මට හදිසියේ ම සිතිණි. ඒ සිතිවිල්ල මසිත් හි ලැජ්ජාශීලී හැඟීමක් ද ඇති නො කළා නොවේ.
“මොන කරදරයක් ද…ගයා මේ තේ එකට විශේෂ කරදරයක් වුණේ නෑ නේදදරුවො…”
ඔහු ගේ ඇස් හා මගේ ඇස්, අනන්ත අවකාශයේ තැනක හමු වූවා සේ ය. මම සිනහවකට අරාඳිමින් බිම බැලුවෙමි.
“වැලිතලප හදද්දි මං විශේෂයෙන් කරදර වුණෙත් නෑ ඔන්න”
තුෂී මා බලාපොරොත්තු නොවූ ලෙස කීවා ය. මා සිනහව යටපත් කර ගත්තේ අමාරුවෙන් යටි තොල සපා ගෙන ය. එසේ නො විණි නම් මගේ සිනහව අර ඈත පෙනෙන නිල් කඳු යායේ හැපී ප්‍රතිරාව නංවන්නට තිබිණි.
“අන්න ඒකනෙ”
“අත්තම්මට දැං මිණිපිරියො දෙන්නෙක්ම ඉන්නව වගේ නේ පාළු මකන්න…”
“අනේ වාසනාවන්. කවුද දන්නෙ ඉතිං මේ ළමයි මේ නාකි අපිත් එක්ක කොයි කාලයක් ඉඳීද කියල. මේ දුව අපේ ගයාගෙ යාළුවෙක්”
“මං තුෂානි. ඔයා…”
මම තුෂී ගේ කකුලක් පෑගුවෙමි. නමුත් ඕ මා වගකට ගත්තේ නැත.
“අ…මං…මං යුගාන්ත”
“අනේ ඇත්තමයි මෙච්චර දවසක් වෙනව අපි තාම මේ පුතාගෙ නම දැනගෙන හිටියෙ නෑනෙ පුතාලගෙ තාත්තෙ”
අත්තම්මා කම්මුලෙහි අතක් ගසා ගෙන පුදුම වූවා ය. මගේ සිනහව පුපුරන්නට ඔන්න මෙන්නයි වාගේ මට දැනිණ.
“මේ නාකි අපි ඉතිං පුතා කියල කතා කරන එකනෙ නන්දා. ඔය නම් ගම් හොයන්නෙ ඉතිං කෙල්ලො තමයි. දැං කාලෙ කොල්ලො රංචුවකගෙං බේරෙන්න පුළුවන් නන්දා හැබැයි කෙල්ලො දෙන්නෙක්ගෙං බේරෙන්න බෑ”
“සීයගෙ කතාව හරියට හරි”
ඔහු, යුගාන්ත සීයා ට අනුබල දුන්නේ ය.
“හරි ඉතිං මං අහපු නිසානෙ ඒ අයියට නමක් තියනව කියල හරි සීයල දැනගත්තෙ”
“ඒක ඇත්ත. ඒ වුණාට මේ ගෑනු ළමිස්සියන්ට මේ මගෙ නම දැනගන්න නිකමටවත් ඕන වුණෙ නෑනෙ…නේද පුතා…”
ඒ නිමේෂයේ එතැන මැවී තිබුණේ සතුටු සාගරයකි. මේ විදිහට හිනැහුණේ කාලයකට පස්සේ නොවේ දැයි සිහිපත් වෙත්දී මට මා ගැන තුනී දුකක් ඇති විය. මම හිස් කළ තේ කෝප්පයත් එක්ක නැගී සිටියෙමි.
“සීයල හිමීට බොන්න. මං එන්නං කෝප්ප ගෙනියන්න”
“සීයල කියල කිව්වෙ මේ පුතාටත් එක්කද”
සීයා එහෙම අසා හඬ නගා හිනැහෙන්නට වූයේ ය. අත්තම්මා ද ඒ සිනහවට තාල ඇල්ලුවා ය. ඒ දීප්තිමත් දෑස්, මම ආයේ ම වතාවක් වඩා හොඳින් දුටුවෙමි.
“ගයා”
තුෂී මා පස්සේ දිව ආවා ය.
“මං හිතුව අර කොල්ල යනකල් ඔය බංකුව උඩින් නැගිටින එකක් නෑ කියල”
“මං ඒ අදහස අයින් කර ගත්ත”
“ඇයි…”
“වැඩක් නෑ. කොල්ලගෙ ඇස් කැරකෙන්නෙ වෙන කෙනෙක් ළඟ”
“අනේ මේ. විකාර කියන්නෙපා”
“කවුද කිව්වෙ ඒ ඔයා කියල…මේ..කොහොමද මං දැනගත්ත හැටි…ඔන්න මට සලකන්න ඕන හරිද…”
තුෂී මගේ කර වට අතක් දමා ගත්තා ය.
“යුගාන්ත. ගයාත්මි. ටිකක් එක වගේ නේ…”
“පිස්සුද හලෝ. කුසල් දැනගත්තොත් ඔයාව මරල හංගයි. මං මේ හිත හිත ඉන්නෙ කොයි මොහොතෙ බයික් එක ඇවිත් මෙතන නතර වෙයිද කියලයි”
කාමරය පැත්තෙන් දුරකතනය හැඬවෙනවා ඇසිණි. මම දුවගෙන ගිහින් එය සවනට ගතිමි.
“හෙට උදේ මං එනව අවිස්සාවේල්ලට. මාව මීට් වෙන්න එන්න ඕනෙ”
කුසල් ගෙන් විධානයකි. කුමක් කියන්නද කියා හිතා ගත නො හැකි ව මම පිළිතුරක් නොදී සිටියෙමි.

කියවන්න :  කටට රසට නැතිවම බැරි දෙහි

ගංගා ෂයිනි ගමගේ

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments