පිනි සේල – 13

අමෝද අයියා අපේ ගම බලන්නට යා යුතු බව පැවසූ නමුත් එය වැඩිමනත් සිතිය යුත්තක් නොවන බව මම දැන සිටියෙමි. ඔහුට අපේ ගෙදර යනවාට වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇත. දින තුනක නිවාඩුවක් ඇති බැවින් මේ සිකුරාදාව ගෙදර යන්නට වෙන් කරන්නට මා සිතා ගත්තේ දින කිහිපයකට කලිනි. උදෑසනම ඇඳ පැළඳ ගන්නා අතර ඊෂාට හොරා ඇමතුමක් ගන්නට මට උවමනා විය. දොර අගුලු දා දුරකථනය අංකනය කරන්නට මා ප්‍රවේසම් වූයේ දොරට තට්ටු කිරීමේ ආචාරශීලිත්වය පසෙකලා ඊෂා කාමරයට කඩා වදින අවස්ථා අනන්ත වූ බැවිනි. ඇයට සැඟවීමට කිසිත් නැති වූ නමුත් මේ ඇමතුම ඇසුණහොත් ඈ උදෑසනම කෝපාවිෂ්ඨ වන බව මට සහතික ය.

“මලිඳු… ඔයා ඇහැරලා ද..”

ඔහු ඇමතුමට සම්බන්ධ වූ විගස මා ඇසුවේ ඔහු අවදි කරවූයේ මා නම් බැනුම් අසන්නට ද සූදානමිනි.

“නෑ පිනී… මං නැගිටලා ගොඩක් වෙලා.. හදිස්සියක් ද? “

ඔහු ඉතා යහපත් මානසිකත්වයකිනි.

“මං ගෙදර යන්න කියලා මලිඳු..උදේ නවයේ ට්‍රේන් එකට යන්න හිතුවේ. ඔයත් ගෙදර යනවද බලන්න හිතුණා…”

මේ කිසිසේත්ම සැලසුම් කළ ඇමතුමක් නොවේ. මට හදිසියේ ඔහු සිහි වූවා පමණි. මට එය ඔහුට හැඟවීම ට අවශ්‍ය විය.

“ෂහ්.. අපරාදේ.. මට අද වරුවක්වත් වැඩ කරන්න ඕනෙමයි පිනී.. ඔයාට ඉන්න පුලුවන් නම් හෙට ගියෑකි ඉතින් අපිට..

මා ගැන බොහෝ අවස්ථාවල නොසලකා හරින ඔහු අද අමුතු ය.කාරුණික ය. මදිමින් හුන් ගවුම ඉවතට දැමූ මම හෙට ඔහු සමඟ යන්නට තීරණය කළෙමි. පැය ගණනාවක් පුරා කඳුකරයට දුම්රියෙන් යන ගමන ඔහු කැටුව යාම අමුතුම මිහිරකි. ඔහුට බොහෝ බැඳී සිටින මට ඒ පැය කිහිපය පවා ජීවත් වීමට අප්‍රමාණ හේතු සොයා ගත හැකි කාල සීමාවකි.

“මමත් අහන්න හිටියේ පිනී… ඔයා ගෙදර යනකොට එහෙම කියන්න කියලා. ඉස්සර පුලුවන් වෙලාවට ගාමිණි අංකල් ආවනෙ ඉතින් ඔයාව ගන්න. මට මේ ඊයේ පෙරේදා දවසකත් හිතුණා පිනී, තනියම ගෙදර යන එනකොට ඔයාට පාලු ඇති කියලත්… මං පුලුවන් වෙලාවට එක්ක යන්නං…”

මගේ දෙනෙතට කදුලු මතු වෙමින් තිබිණ. තාත්තා නැති ලෝකයක මා වඩා ආරක්ෂාකාරී ව රැක බලා ගන්නා පිරිමියෙකු මට අවැසි ව නොතිබුණා ම නොවේ. මලිඳු ඒ හිස්තැන පුරවන්නට ඉදිරිපත් වෙමින් සිටිනවාදැයි බරපතල සැකයක් මා ඉදිරියේ පැන නඟිමින් තිබිණි.

කියවන්න :  ඉතුරුවුණු බත්වලින් Fried Rice

“ඊෂාගේ අයියා කොහොමද..”

අනතුරුව මලිඳු ඇසී ය.අමෝද අයියා සැබෑවටම හොඳ මනුස්සයෙකු බව කියන්නට මට උවමනා විය.මලිඳුට අනුව ඔහු සෙල්ලකාරයෙකි. එය එසේ නොවන බව පවසා මලිඳු කෝප ගැන්වීම ද හොඳ වැඩක් නොවේ.

“හරියටම මුණ ගැහුණේ නෑ…අනේ මන්දා නරක නැතුවත් ඇති..”

රැවුලත් කැඳත් බේරා ගත හැකි අන්දමේ පිළිතුරක් ගැට ගසා ගන්නට මම විනාඩි කිහිපයක් නාස්ති කළෙමි.

“අර තිවංකි ඊයේ පෙරේදා දවසකත් ටීවි ප්‍රෝග්‍රෑම් එකකට ඇවිත් ෆස්ට් ලව් එක එයාව මානසිකව බිඳ වට්ටපු හැටි කිව්වා..මං ඔයාට යූ ටියුබ් ලින්ක් එක එවන්නංකො.. ඔයා කියනකන් මං ඔය තිවංකිගේ කතාව දන් නෑනේ…”

‘කාටවත් කියන්නට එපා යැයි’ ඊෂා හෙළි කළ තිවංකිගේත් අමෝද අයියාගේ ආදර කතාව මා මලිඳුට පවසා දවස් කිහිපයකි. මලිඳු “කාටවත්” යන පිරිසට අයත් යැයි මට සිතෙන්නේ නැත. ඉතින් එවන් රහසක් ඔහුගෙන් සඟවන්නට මට නොහැකි විණි. ඊෂා එය දන්නවා නම් මගේ ඔලුව පලන්නට පසුබට නොවනු ඇත.

“මොනවා වුණත් ඔයා පරිස්සමින් ඉන්න.. අපි දන් නෑනෙ ඔය මිනිස්සු ගැන…”

මලිඳු ඕනෑම මොහොතක මා අමතන්නේ ‘උඹ බං බොලං’ භාෂාවෙනි. මේ හදිසියේ ඔහු ඉතා ළතෙත් ව මා,ඇමතීමේ විශේෂත්වය ගැන සිතීම විනා අමෝද අයියා ගැන පරිස්සම් සිතුවිලි පහළ කරගන්නට මට අනවැසි ය.

මලිඳුට සිදු ව ඇත්තේ කුමක් ද?

මලිඳු තවත් යමක් කියන්නට පෙර ඊෂා මහ හඬින් ඝෝෂා කරමින් දොරට ගසන හඬ සවනේ පතිත වන්නට විය.

“මලිඳු..ඊෂා කතා කරනවා.. බායි..”

මලිඳුට හදිසි සමුගැනීමක් ඉතිරි කරමින් මා දොර විවෘත කළේ ඊෂාගේ කලබලයක් බලාපොරොත්තුවෙනි.නමුත් ඈ හුන්නේ නටමිනි.

“ඉක්මනට ලෑස්ති වෙනවකො…”

“කොහෙ යන්නද…” මා ඇසුවේ කුහුලෙනි.

“ඔයා ඔය ඇඳුං අයන් කරන්නේ ගෙදර යන්න නේද..”

ඊෂා ද වහා ඇසුවා ය.හෙට මලිඳු සමඟ යන්නට උවමනා නිසා මට අද ගෙදර යන්නට නොහැක. නමුත් දැන් ඊෂා අඩක් මදින ලද ගවුම දැක අහවර ය.

“මාත් ලෑස්ති වෙන්න කීවේ ඔයාලගෙ ගෙදර යන්න තමා… ආං අයියා ඇඳගෙනත් ඉවරයි.. මං දිනුකවත් ඇහැරෙව්වා.. හිමා මෝඩයා ඇහැරවන්න නම් උගේ කාමරේට ගිහින් බෙර ගහන්න වෙයි.. කමක් නෑ.. දිනුක ඒකාව ඇහැරවගනි.. අපි ටක් ගාලා ලෑස්ති වෙමු..”

කියවන්න :  සෞඛ්‍ය සම්පන්න දිවියකට උදවු වන මැටි ගුරුලේත්තුව

මම පැටලී ගියෙමි. දැන් මේ ගමන කෙසේවත් මඟ හරින්නට බැරි ය.එහෙත් ඉතා ආදරණීයව හැසිරුණු මලිඳු යළි වෙනස්වීම ඉරහඳටත් වඩා විශ්වාස ය. මගේ අඳුරු වූ මුහුණ ඊෂා වටහා ගත්තේ වැරදි තැනකිනි.

“අපි ගියාට ආන්ටිට කරදර වෙන්නේ නෑ පිනී…ඒ ගැන හිතලා මූණ ඇද කරගන්න එපා..හදිසියේ නටාගෙන යනවා කියලා අම්මි මට සල්ලිත් දුන්න.අපි බඩු මුට්ටුත් අරන් ම යං…හිමා උයන්න ආසයිනෙ.. ඌ උයන්න උදව් කරයි.. “

ඇගේ සතුට වෙනුවෙන් මගේ සතුට කැප කරනවා මිස කළ හැක්කක් නැත. ඇඳ පැලඳ පහත මාලයට බසිද්දී අමෝද අයියා සිනාවකින් බලා හිඳින’යුරු දුටු මම මා හිනා ගන්වන්නට කාලය වෙන් කරන මිනිසුන් වෙනුවෙන් මගේ හිනාව කැප කරන්නට හිතට අණ කළෙමි.

“රස්තියාදුවක යං කීවම රෙඩි වෙන්නේ ෆයිව් මිනිට්ස් වලින්.. ලෙක්චර්ස් යන්න අම්මි පැයක් විතර බැන බැන ඇහැරවන්න ඕනේ.. අනේ ඉතිං උඹලත්…”

ඔහු සිනාබරව කියයි. ඊෂාට කැමැත්තක් කියන්නට ඉඩ හැර මා සිනාවක් පැළඳ ගතිමි.

“ඔයා අර ඊයේ තාත්තිගෙන් ගත්තු කා එකෙන් අද ඉස්සරලම යන්නේ පිනීගේ දිහා ද.. ඉතින් ඔයත් හරි රස්තියාදුවෙක් තමා…”

ඊෂා ඉතා උද්‍යෝගිමත් ලෙස ගැටුමක් ඇරඹුවා ය.

” අනිත් අය ට්‍රිප් ගියාට මං යන්නේ වැදගත් ගමනක්. අලුත් වාහනේකින්ම ඒක පටන් ගන්න එක සුබයි..”

අමෝද අයියාගේ සුබ ගමන ගැන සිතා ගන්නට නොහැකි තැන ඊෂා ද මදෙස බැලුවේ අමුත්තට ය. ඔහු නෑගම් යනවාදැයි අසන්නට මෙනි. තුන් හිතකවත් එවැනි හැඟුමක් නැති මා මලිඳුව හිතේ ඇඳ ගනිමින් ඉවතට හැරුණෙමි. අනවසරයෙන් හෝ අවසරයකින් අමෝද අයියාට එවන් බලාපොරොත්තු නම් ඇති කරගන්නට දිය යුතු නොවේ.

“සුබ වැඩේ ගොං කෙල්ලන්ට වැඩක් නෑ.. දිනුක මගේ කවුද කියලා බලලා ඌව මට සෙට් වුණොත් එයාව පොඩ්ඩක් මේ වැඩේට හවුල් කර ගන්නවා..”

අයියා තවත් පටලැවිල්ලකින් මා බැඳ තබා කාමරයට යන්නට ගියේ ය.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Ddd
Ddd
10 days ago

Ai ane story eka late wenne hariyata.