පිනි සේල – 17

අමෝද අයියා වහා ආපසු හැරුණේ කිසිවක් අමතක ව ගිය බවක් හඟවමිනි.

“මොනවද අනේ ඔයාලා මේ බලන මලකෝලං.. වැඩකට නැති මිනිස්සු ඇවිල්ලා ඕප දූප කියෝනවා.. ඔයාලත් බලනවා..”

මල්ලිලාත් නංගිලාත් කලබලව ගිය හ. සේවකයන් ලෙස අප කිසිදා ඔවුන්ට සලකන්නේ නැත. එහෙත් පාඩම් කරන්නැයි නිතරම මගෙන් බැනුම් අසන නිසා ඔවුහු මට තරමක් බියක් දක්වති. මා සැබෑවට ම කලබල වූ හේතුව නොදැන ඔවුන් මුහුණ ඇද කරගන්නේ අනුකම්පාව අපේක්ෂාවෙනි.

“අපි පාඩම් කරලා ඉන්නේ අක්කා. “

ලොක්කී, සරෝජා වඩා බැගෑපත් වූවා ය.

“ඒ වුණාට ඉස්කෝලේ යන ළමයි ඔය වැඩක් නැති ඒවා බලලා වැඩක් නෑ. අපි ෆිල්ම් එකක් බලමු ද?”

දිනුක සුපුරුදු පරිදි පිහිටට ආවේ ය. ඕනෑම අවුල් සහගත තත්ත්වයක් විසඳන මැජික් බලය ඇත්තා ඔහු ය.

” හැරී පෝටර් බලමු.. ඉන්න මං ගාව තිබ්බා..ඔයාලා කැමති ද?”

සරෝජාගේ මනාපය නොතකමින් කොලු ගැටවුන් තිදෙනාම එය ඉතා ආසාවෙන් පිළි ගත් හ. ඉතින් දිනුකගේ ලැප් ටොප් එකට වට වී ඔවුන් හැරී සමඟ හොග්වෝට්ස් හි ඇවිද යාම ඇරඹූ අතර මා මිදුලට ආවේ අමෝද අයියා සොයන්නට ය.

“අයියා.. කට්ටිය කෑම කන්න බලන් ඉන්නවා..”

කඳු යාය දෙස නිහඬ බැල්මකින් බලා හුන් ඔහු මා දෙස බැලුවේ ද හිස් දෑසකින් ය.

“ඒ ළමයින්ට ඩිස්ටර්බ් කරේ ඇයි නංගි. තිවංකි ටීවී එකේ දකින එක ඔහොම බලන මිනිස්සුන්ට එපා කියලා නවත්තන්න බෑනෙ. එයාව පේනවා.. ඔව් මට රිදෙනවා. එහෙමයි කියලා අනිත් අයගේ සතුට නැති කරන්න එපා. තේරුමක් නෑ.”

ඔහුගේ හඬ තද ය. කවරදාටත් වඩා තද ය.

” අනික මං යූ ටියුබ් ගිහින් ඔය ප්‍රෝග්‍රෑම් බලනවා පිනී.. නැත්තේ නෑ. මං එයාගේ හැම ඩ්‍රාමා එකක්ම ෆිල්ම් එකක්ම බලනවා..”

කියවන්න :  පිනි සේල - 23

ඒක පාර්ශවීය ප්‍රේමයකින් දැවෙමින් හුන් මට ප්‍රේමයක් බිඳී යාමේ වේදනාවේ ගැඹුර ඒ වචන තුළ දැනෙමින් තිබිණ. ඔහු ඈ ගැන තවමත් වද වෙනවා ද?

“අයියා තාම තිවංකිට ආදරෙයි ද?”

එහෙම කතාවක් නාසන්නට තිබුණි.නමුත් මගේ මෝඩකම් වලට සීමාවක් නැත.

“මැරෙනකම්ම..එයා මට පාලනය කරන්න බැරි සීමාවකට ගියා. කෙල්ලෙක්ට හීන තියෙන්න ඕන පිනී.. ඒවා ෆලෝ කරන්නත් ඕන. ඒත් තමන් ආදරේ කරන මිනිස්සු රූකඩ කරගෙන ඒක කරන එක කැතයි. තිවංකි කරේ ඒක. එයාට ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න මං උදව් කරනවා.. එයා වෙනුවෙන් කාලයත් වෙන් කරනවා. ඒත් එයා තමන්ට චාන්සස් හොයා ගන්න මිනිස්සුන්ට යූස් වුණා. මිනිස්සු යූස් කරා. ඒවා දැක්කා නොදැක්කා වගේ මං එයා එක්ක ඉඳී කියලත් හිතුවා.”

ඔහුගේ වේදනාව අතිශය සාධාරණ බව මට හැඟෙයි. තිවංකි ඇගේ පැත්තේ ඇති කතාව ගැන පුවත්පත් පිටු ද යූ ටියුබ් නාලිකා ද පුරවා අහවර ය. ඔහුගේ කතාව අසා හිඳින්නට කිසිවෙකු නැති වන්නට ඇත. ඉතින් අමෝද අයියා තමන්ගේ තාලයකට ජීවිතය ඇරඹීමට එය හේතු නොවන්නට ඇත් ද?

“අයියා.. අපි දැන් කෑම කන්න යං.. ඔයා අකමැත්තක් නැත්තං මං පස්සෙ ඔයාගේ කතාව අහගෙන ඉන්නං… ඔයා අකමැති නැත්තං විතරක්…”

මා පැවසුවේ පැවසිය යුත්තක්දැයි මට ම විශ්වාස නැත. නමුත් මලිඳු ආශ්‍රය ප්‍රවේසමෙන් බවට අනතුරු ඇඟවූ මිනිසාගේ කතාව අහන්නට මා මගේ ගෙදරදී ම කැමැත්ත පළ කර අහවර ය.

අමෝද අයියා බොහෝ වෙලාවකට පසු ප්‍රසන්න හිනාවක් දෙතොලට ගත්තේ ය.

“කියන්නං….”

ඔහු මගේ හිස මත අතක් තැබුවේ නොසිතූ මොහොතක ය.

“ඔයා අහන් ඉඳී කියලා මං දන්නවා… මට ඒක විශ්වාසයි..අපි කාලා ඉමු. ඇත්තටම බඩගිනී..”

කියවන්න :  පිනි සේල - 3

වටහා ගත නොහැකි සැනසිල්ලකින් හදවත වෙළී යන බව දැනේ. ඒ හැඟීම තෝරා බේරා ගන්නට මට උවමනාවක් නොවී ය. කාලයකට පසු අම්මාගේ කෑම වේලක් රස විඳින සතුට ද සමඟ මම බත් පිඟානද රැගෙන පුටුවක ට බර වීමි.

කෑමෙන් පසු අම්මා සමඟ කියවන්නට මට බොහෝ දේ විය. මීනා නැන්දාත් සරෝජාත් මුළුතැන්ගෙය අස් පස් කරද්දී මා අම්මා සමඟ කියවන්නට පටන් ගතිමි. ඊෂාගේ අම්මා සහ තාත්තා මොනතරම් ආදරයකින් මට සලකනවා දැයි ඈට විස්තර කරන්නට මට කොහොමටත් උවමනා විය. ඒවා දුරකථනයෙන් බෙදා ගන්නට හොඳ වැඩි ය.

අම්මාගේත් මගේත් කියවිල්ල අවසන් වී මා කාමරයට එබෙද්දී ඊෂා ඇඳ බදා සුව නින්දක ය. නංගී හුන්නේ පාඩම් කරමිනි.

“නංගි… කෝ අයියලා..”

අමෝද අයියාත් දිනුකත් පෙනෙන්නට නැත. කාරය ද නැත.

“අයියලා ගනේෂ් මල්ලිත් එක්කගෙනම ඕං ෆාම් එකට ගියා..”

නංගි පොතෙන් හිස නූස්සාම පැවසුවා ය.

ඔවුන් හඬ ගැසූයේ නම් ඒ ගමනට අපට ද එක් වන්නට තිබිණි. පාලුවක් දැනෙන්නට වූ නිසා මම දුරකථනය අතට ගතිමි.

පහළ වූ හදිසි සිතුවිල්ලක් නිසා තිවංකිගේ වැඩසටහනක් නරඹන්නට මට සිත් විය. එය නරඹමින් ඇය ගැන අදහසක් ගන්නට තැත් දරමින් පැයකට ද වඩා කාලයක් මා අපතේ දමන්නට ඇත.

“අක්කා.. ආං මලිඳු අයියා ඇවිත්..”

නංගි කාමරයට එබුණේ එසේ කියමිනි.තිවංකිගේ කතන්දර අසා ඔද්දල් වූ හිස ද රැගෙන මා සාලයට ආවෙමි. නැත. මලිඳු පෙනෙන්නට නැත.

ඔහු කුස්සියේ මේසය මත හිඳගෙන අම්මා සමඟ බර කතාව ක ය. ඒ සැහැල්ලු දසුන දෙස මා බලා සිටියේ සැනසීමෙනි.

4.3 4 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments