පළිඟු මන්දිර – 9

තමන් ට ලැබෙන්නේ ශිෂ්‍යත්වය බව පළිඟු දැන උන්නා ය. කිසල් ගේ පෙම්වතිය ලෙස රඟ දැක්විය යුතු වූයේ ඔහු ගේ අවශ්‍යතාවයන් මත ය. පළිඟු වෙනුවෙන් එහෙම රඟපාන්නට ඔහු බැඳී නැත. අනිත් අතට කිසල් වාගේ ඉහළ පන්තියට අයත් පවුලක කෙනෙක්, විශේෂයෙන් ම ඔහු වාගේ ආඩම්බර කාරයෙක්, පළිඟු ලා ගේ ගෙදර ඇවිත් කෑම වේලක් කන්නට එකඟ වේවියි සිතීමත් ඇය ට විහිළුවකි. ඒගැන කිසිදු ගැටළුවක් ද ඇය ට නැත. නමුත් අහිංසක වත්සලා ගේ හිත රිදවෙන බව දැන සිටීම පළිඟු ව පීඩාවට පත් කළ එක ම හේතුවයි.

“පුංචා මේ…කිසල්…එයා දැං ආවෙ…අපි එළියට යන්ද කියල…”

පළිඟු ගොත ගැසුවා ය. නමුත් කිසල් ඇයට ඉතිරි ටික කියන්නට ඉඩ තැබුවේ නැත.

“නෑ නෑ ඒකට කමක් නෑ. රෙස්ටොරන්ට් කෑමට වඩා කොච්චර හොඳද ගෙදර හදන කෑම කන්න තියෙනවනං. අපි එහෙ එන්නං ආන්ටි. කිසි ප්‍රශ්නයක් නෑ”

පළිඟු සිය උගුර සුරතින් අල්ලා ගෙන අමාරුවෙන් කෙළ බිඳක් ගිල්ලා ය. ඇය ට ඇසුණේ ඇත්තක් ම ද කියා දෙවරක් සිතන්නට පළිඟු ට ඕනෑ වූයේ නැත.

“නියමයිනෙ. අදනං මාර දවසක් ආ..බර්ත් ඩේ බෝයි නෙවෙයි ට්‍රීට් එක දෙන්නෙ නැන්දම්ම. අනේ දෙවියනේ ඔබ වහන්සේ දිවැස් හෙලා මටත් මේ වගේ නැන්දම්ම කෙනෙක්ව ලබා දුන මැනවි”

උතුම් රංගනයක විලාශයෙන් අහසට දෑත් විදහාලමින් එය කී විලාශයට වත්සලා හොඳට ම සිනහ වූවා ය. කිසල් සිනහව ගිලගෙන ඉවත බලා ගත්තේ ය. නමුත් පළිඟු නම් සිටියේ සිනහ වෙන්නේ කොහොමද කියා හිතා ගන්නට හෝ බැරි ව ය. ඒ කොන්දේසිය විශ්ව විද්‍යාලයට පමණක් සීමා වන්නකැයි ඇය සිතා සිටියා ය. නමුත් එය එසේ නො වන බව දැන් පිළිගන්නට සිදු ව තිබේ. ජීවිතයේ හැම අංශුවකට ම මේ සිදුවීම බලපාන බවක් පෙනී යයි. 

“මොකද බං…උඹ නිකං කැමති නෑ වගේනෙ අර කොල්ලට ගෙදරට එන්න කිව්වට”

කිසල් හා උතුම් නික්ම ගිය පසුත් කල්පනාවේ ගිලී සිටින පළිඟු දෙස බලා වත්සලා කීවා ය. 

“එහෙම එකක් නෑ ඉතිං”

යුවතිය ප්‍රතිචාර දැක්වූයේ එසේ වී ද, කියා ගත නො හැකි යමක් ඇගේ හදවත මත බරක් සේ පැටවී තිබිණි. ගෙදර යන ගමන් වත්සලා ගේ ඕනකමට පළිඟු කිසල් ට උපන් දින තිලිණයක් වෙනුවෙන් කමිසයක් තේරුවා ය.

“මං දන්නව ඔයා අවුලෙං ඉන්නෙ කියල. කිසල් අපේ ගෙදරට එනව කියන්නෙ අපේ තත්වෙ හොඳටම දැනගන්න එකට නිසා උඹට හිතට හරි නෑ වගේ ඇති. ඒත් පළිඟු…හංගල මේව කරන්න බෑනෙ. කිසල් උඹට ඇත්තටම ආදරෙයිනං එයා අපි ගැන ඇත්ත දැනගත්තා කියල වෙනසක් වෙන්නෙ නෑනෙ. අනික පළිඟු මේක හොඳට මතක තියා ගනිං. බිල්ඩින් එකක වුණත් ශක්තිය රැඳිල තියෙන්නෙ ෆවුන්ඩේශන් එක මත. දෙන්නෙක් අතරෙ සම්බන්ධයක් වුණත් සාර්ථක වෙන්නෙ ඒක ඇත්ත මත පදනම් වෙලා තියෙනවනං තමයි”

වත්සලා හුඟක් දේ කීවා ය. ඉන් බොහොමයක් පළිඟු නො දැන සිටි දේවල් නොවේ. ඇයට තියෙන්නේ මෙතන ප්‍රේමයක් නැති බව වත්සලා ට කියා ගන්නට බැරි කම ය.

කෙසේ වෙතත් වත්සලා රෑ කෑම පිළියෙල කරත්දී පළිඟු උදව් කළේ සතුටෙනි. ගේ දොර අස් පස් කරන්නට වෙනදා ට කම්මැළි ඇය උනන්දුවෙන් ඒ කටයුත්ත ද සිදු කළා ය. කිසල් ලා ගේ මන්දිර එක්ක බලත්දී මේ ගෙවල් හිර මැදිරි සේ පෙනෙනු ඇතැයි සිතුණත්, හැකි තාක් පිළිවෙලට හා පිරිසිදුවට අස් පස් කොට තබන්නට වෙනදා නැති උවමනාවක් පළිඟු ට විය.

කිසල් සහ උතුම් පැමිණෙන විට රෑ කෑම පිළියෙල වී නිම වූවා පමණ ය. කෑම සුවඳ රස නහර පිනවමින් හාත්පස පැතිරී තිබිණි. උතුම් ඒ සුවඳ ඉව කළේ ය.

“ඇත්තට පුංචාට වෙන දුවෙක් නෑ නේ…”

“ඒ මොකද ඒ…”

“නෑ. මට කසාද බඳින්න. එහෙනං මටත් හැමදාම මේ කෑම කකා ඉන්න තිබුණනෙ”

“ඒක තමයි කියන්නෙ අපායට ගියත් ඉස්සෙල්ල යන්න ඕන කියල. නේද කිසල් පුතා…”

කිසල් යන්තම් සිනහවකට කට ඇද කළා පමණක් බව පළිඟු හොඳින් දුටුවා ය.

“ඇත්තමයි පුංචා. මූ මට වඩා තප්පරයක් ඉස්සර වුණානෙ. නැත්තං මං තමයි මේ කෑම සුවඳෙ අයිතිකාරය”

“මේ කොල්ලගෙ කටනං…”

පළිඟු ගේ සිතට මඳ අපහසු තාවයක් නො දැනුණා නොවේ. එහෙයින් ම ඇය ඒ කතා බහ නෑසුණා සේ ගොස් සුප් බඳුන් දෙකක් සකසා ගෙන ආවා ය. එතකොට කිසල් සිටියේ තනි ව මිදුලේ ය. වත්සලා සමග කතා කරමින් උතුම් ආලින්දයෙහි වූයේ ය. උතුම් ගේ සුප් බඳුන පිළිගැන්වූ පළිඟු අඹ ගහ යට බංකුව වෙත ගියා ය.

“සුප් එකක් බීල ඉන්න”

කිසල් ගේ ඇස් මත මඳ විමතියක් විය.

“කොහොමද දන්නෙ මං සුප් වලට කැමතියි කියල…”

තත්පරයක් දෙකක් කල්පනා කළ යුවතිය මන්ද්‍ර ස්වරයකින් පිළිතුරු දුන්නා ය.

“දන්නෑ”

ඔහු ගේ විශේෂ කැමැත්තක් ගැන නො දැන සිටියත්, රෑ කෑමට පෙර නිසා තේ හෝ සිසිල් බීම වලට වඩා සුප් එකක් හොඳ බව පළිඟු ට සිතුණේ ය. 

“කොල්ල සුප් වලට කැමති ඇතිනෙ. හරි හරි හදමු එහෙනං”

යෝජනාව කළ වෙලාවේ වත්සලා විහිළු කළා ය. පළිඟු කර බා ගත්තේ වත්සලා එක්ක කිසල් ගැන කතා කරන එකත් ඇය ව රැවටීමට හෙළන කාරණයකැයි සිතුණ නිසාවෙනි.

“අපරාදෙ නේද…”

පළිඟු කල්පනාවෙන් මිදුණේ කිසල් ගේ ඒ ප්‍රශ්න යෙනි. 

“ආ…”

“නෑ  මං කිව්වෙ…මං තප්පරේකට ඉස්සර වුණේ අපරාදෙ නේද…නැත්තං මෙලහකටත් උතුම් ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්නෙ”

පළිඟු හොඳින් ඔහු දෙස බැලුවා ය. කිසල් ගේ කට කොනක වූයේ උපහාසාත්මක සිනහවක් ද? කවරක් පවසන්නද කියා ඇයට සිතන්නට කාලයක් තිබුණේ නැත. උතුම් ඒ දේවල් කියන්නේ විහිළුවට විය යුතු ය. ඒ නැතත් කිසල් කියන්නේ ඇගේ ඇත්ත ම පෙම්වතා නොවේ. මේ භූමිකාවෙන් මිදෙන දවසක් නුදුරේ දී ඔවුන් ගේ ජීවිත වලට උදා වෙනු ඇත. ඉතින් කිසල් සිය මිතුරා ගැන මේ විදිහට කතා කරන්නේ ඇයි? 

“දෙයක් කියන්නද…”

මඳ කේන්තියක් ද අහංකාර කමක් ද කැටි වූ ස්වරයකින් පළිඟු වචන වලින් දමා ගැසුවා ය.

“මට කාගෙවත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන උවමනාවක් තිබුන්නෑ. මං ඔයාගෙ ඇග්‍රිමන්ට් එකට ඕකේ කිව්වෙ හයර් ස්ටඩීස් ගැන හිතල මිසක් කොල්ලෙක් ඕන කරල තිබුණ නිසා නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න”

පළිඟු කිසල් වෙතින් නික්ම ගියේ ගස්සාගෙන ය. නමුත් ඔහු ට පෙන්වූ කේන්තිය උතුම් ට හෝ වත්සලා ට පෙන්විය නො හැකි ය. ඇය එසැනෙන් සිනහ මුහුණක් මවා ගත්තා ය. සත්තකට ජීවිතය දැන් තනිකර ම රඟපෑමක් වී තියේ.

මිතුරන් දෙදෙනා වූවා ට කිසල් හා උතුම් මුළුමනින් ම දෙයාකාර යයි පළිඟු ට සිතිණ. කිසල් බුම්මට්ටෙකි. සිනහ පොදක් දෙන්නේ බෝ කලාතුරකිනි. උතුම් නිතර ම විහිළුවෙන් හා සැහැල්ලුවෙන් පවතින්නෙකි. කිසල් වනයක් කතා කරන්නේ අත්‍යවශ්‍ය ම දේ කට වී ද උතුම් තොරතෝංචියක් නැති ව කියවයි. උද්දච්චකම අතින් ද කිසල් උතුම් පරයා සිටිතැයි පළිඟු සිතුවා ය. කෙසේ වෙතත් මේ සැඳෑවේ උතුම් සිටි නිසා ඒ භෝජන සංග්‍රහය වඩාත් රසවත් වූවා සේ යුවතියට දැනිණ. කිසල් ද වත්සලා ට නම් ළෙංගතුකමක් පෙන්වූයේ ය. සිය මව් මොරීන් කිසි දාක කිසල් එක්ක මේ තරම් සුහද ශීලයකින් කතා බහ කොට නැත. වත්සලා පමණකුදු නොව ඇගේ කෑම වල රසය ද ඔහු ගේ සිත දිනා ගන්නට සමත් විය.

“ආයෙත් එන්නංකො…ආන්ටිගෙ කෑම කාල යන්න”

සමුගන්නට මොහොතකට පෙර කිසල් කීවේ ය.

“අන්න අන්න පුංචා මූ අලුත් පොතක් පෙරලුව. ඕක ඇවිල්ලා පුංචාගෙ කෑම පිටිං දාල පළිඟු එක්ක හුරතල් වෙවී ඉන්න එන ගමනක්”

පළිඟු දෙතොල් සපා ගෙන ඉවසා ගත්තා ය. වත්සලා ගේ ඇස් මත වූයේ වැඩිහිටි සහෝදරියක ගේ බඳු සෙනෙහෙවන්ත කමකි. පළිඟු ගේ හදවත හෝස් ගා දැවී ගියේ ය. ඒ වෙලාවේ කිසල් සිනහ වූවේ උතුම් ගේ විහිළුව අනුමත කරන ආකාරයෙන් නොවේද? ඔහු ඒ විහිළුවට එරෙහි නො වන්නේ මන්දැයි පළිඟු කම්පා වූවා ය.

ඒ රාත්‍රියේ ඇයට සුව නින්දක් ලැබිය හැකි වූවේ නැත. වත්සලා ට හෝ කියන්නේ නැති ව පටලා ගත් කොන්දේසිය, වෙස් වලා ගත් ශාපයක් විය නො හැකි දැයි ඇය ට සිතුණේ ය. නමුත් හිතේ වූ ඒ වෙහෙස නිවී ගියේ, ඇය තේරූ කමිසය ද හැඳ ගෙන උදෑසන ම කිසල් සරසවියේ දී දුටු විට යි. පළිඟු ඇස් වලින් සිනාසුණා ය.

“ලස්සනයි”

ඇය ට එහෙම නො කියා සිටිය නො හැකි විය.

“මං ආස නෑ”

පළිඟු තුළ ඇති වූයේ පුදුම කේන්තියකි.

“එහෙනං ඇන්දෙ…”

“ආන්ටිගෙ ගිෆ්ට් එකනෙ. නැත්තං හරි නෑනෙ”

පළිඟු ගස්සා ඉවත බැලුවා ය. ‘මහ පණ්ඩිතයෙක්’ යනුවෙන් ඇගේ සිත මිමිණුවත් පළිඟු ඒවා වචන වන්නට ඉඩ දුන්නේ නැත.

‘මෙයා හොඳට ම දන්නව මමයි ඕක තේරුවෙ කියල. ආයෙනං මං ඒ මෝඩ වැඩේ කරන්නෑ’

ඇය තදින් හිතේ ධාරණය කර ගත්තා ය. පළිඟු කිසල් ගෙන් මිදී දේශන ශාලාව වෙත යත්දී පිටුපසින් අත්පුඩියක් ගසන හඬ ඇසිණි. පළිඟු නිකමට හැරී බලන්නට හදනකොට ම ඒ හඬ ඇසුණේ ය.

“බේකරි කෙල්ල. ඔහොම නතර වෙනව”

අන්ෂි ඇය වෙත කඩිනමින් ඇවිද එමින් සිටියා ය. අද නම් නිකං ම ගුටි කා යන්නේ නැතැයි පළිඟු හිත සූදානම් කර ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles