හේමන්ත සන්ධ්‍යා – අවසාන කොටස

තත්පර දෙක තුනක් දුරකතන තිරය දෙස බලා උන් නිකිනි, අනතුරුව දුරකතනය ගුවනි දෙසට හැරවූවා ය. ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණු  මංජුල යන නම කියැවූ ගුවනි, හරියට මංජුල ට ඈ කියනනක් ඇසේවියි වාගේ රහසිගත ස්වරයකින් හා අභිනයෙන් යුතු ව මිමිණුවා ය.

“රෙකෝඩ් කරමු”

දුරකතනය නිකිනි වෙතින් ගෙන, සංවාදය දුරකතනයෙහි ගබඩා කර ගන්නට යුහුසුළු ව කටයුතු කළේ ගුවනි ය.

“හෙලෝ…”

සැබවින් ම නිකිනි ට දැනෙමින් තිබුණේ ඇය මීට පෙර නො දැන සිටි මිනිසෙකු හට කතා කරන්නා බඳු ආගන්තුක බවකි.

“කෝ ගුවනි…”

මංජුල ගේ ප්‍රශ්නයෙන් නිකිනි තිගැස්සී ගියා ය. තරුණියන් දෙදෙනා ගේ ඇස් හතර එක මොහොතකට එක ට හමු විය.

“මගෙං අහන්නෙ…”

නිකිනි ට තමන්ගේ ම හඬ පවා අනුන්ගේ වාගේ දැනිණ.

“නැත්තං වෙන කාගෙංද අහන්න ඕන…ආ…කොහෙද ගුවනිව හංගගෙන ඉන්නෙ…”

“මොකටද මං එයාව හංගගන්නෙ…”

“නිකං බබෙක් වගේ රඟපාන්න එපා හලෝ. තමුසෙල හදන්නෙ ගුවනිව උසාවි ගෙනත් මට ලැජ්ජ කරන්න…ඒ ගෑනිත් රුපියල් දහ පහළොස් දාහක් දුන්නත් කියයි මාත් එක්ක සම්බන්ධයක් තිබුණා තමයි කියල”

නිකිනි ගුවනි දෙස බැලුවා ය. ඇය දත් මිටි කෑවා ය.

“තමුංව විශ්වාස කරල ආත්මෙම පාවල දීපු කෙල්ලෙක් ගැන ඔහොම කතා කරන්න එපා මංජුල. පව්…”

“මට ඕවගෙං වැඩක් නෑ. කෝ ගුවනි…”

“ඇයි ඔයා දහ පහළොස් දාහක් දීල කියන්නද එහෙම සම්බන්ධයක් තිබුණෙ නෑ කියල කියවගන්නද එයාව හොයන්නෙ…ලැජ්ජ වෙන්න මංජුල. ලැජ්ජ වෙන්න”

“ගුවනි කොහෙද ඉන්නෙ…”

“මං දන්නෙ නෑ”

“ප්ලීස් නිකිනි. මට ලැජ්ජ කරන්න හදන්න එපා. ඔයාගෙං ඩිවෝස් වුණත් මං මේ සමාජෙ ජීවත් වෙන්න ඕනෙ”

නිකිනි ට සිනහ නැගිණි. ඔහු කොහොම මිනිසෙක් ද? මේ සමාජයේ හිඳිනා බොහොමයක් පිරිමින් මංජුල වාගේ විය යුතු ය. ඔවුහු සුදු පිරුවට හැඳ සරති. නමුත් ආත්මය පුරාවට කළු පැල්ලම් ය. ලෝකයට පෙන්වන ජීවිතය හා නො පෙන්වන ජීවිතය ලෙස ඔවුන් ට ජීවිත දෙකකි. ලෝකයට පෙන්වා ගෙන සිටින ජීවිතයෙහි ඉහළ සමාජ තත්වයක් නඩත්තු කරති. එහි ලස්සන බිරිඳක ද හුරුබුහුටි දරුවෝද සිටිති. යාන වාහන වලින් යති එති. නවීන මැදුරක වෙසෙති. ලෝකය නො දකින ජීවිතයෙහි අනියම් බිරිඳක සිටී. ඇතැම් විට ඇය ට ද වෙනත් නීත්‍යාකූල විවාහයක් තිබේ. දරුවන් ද සිටින්නට පුළුවන. නැතහොත් ඇය අවිවාහක වන්නට වුව ඉඩ තිබේ. 

ඒ ගැන කිසිත් ලෝකයට නිරාවරණය නො කර ඉන්නට ඔවුහු උත්සාහ දරති. නමුත් ඒ උත්සාහය හැම විට ම සාර්ථක වන්නේ නැත.

“කොච්චර ආත්මාර්ථකාමී ද මංජුල ඔයා….එතකොට ගුවනි මේ සමාජෙ ජීවත් වෙන්න ඕන නැද්ද…හරිනං ඔයා කරන්න ඕනෙ එයාව මැරි කරන එක”

“ගුවනි ව උසාවියට අරං එන්න එපා නිකිනි. මට වන්දි ඕන නෑ”

“කොහොමත් වන්දි දෙන්නෙනං නෑ මංජුල”

නිකිනි හඬ නගා හිනැහුණා ය. ගුවනි මහපටැඟිල්ල දිගු කොට සිය ප්‍රසාදය පල කළා ය. 

“ඔයාටනෙ ගුවනි එක්කයි ආයෙ තව කැම්පස් එකට අලුතෙං ආපු ගර්ල් කෙනෙක් එක්ක දැනුත් සම්බන්ධයක් තියෙන්නෙ”

ඒ කේලම නිකිනි ගේ කන තබන්නට ඇත්තේ ගුවනි බව මංජුල ට විශ්වාස ය.

“හරිනං ඔයාගෙං මමයි වන්දියක් ඉල්ලන්න ඕනෙ. මට විතරක් නෙවෙයි හරිනං ඔයා ගුවනිටත් වන්දියක් ගෙවන්න ඕනෙ. ඔයා හැසිරිලා තියෙන්නෙ ඔයාගෙ උගත්කං වලට ගැලපෙන්න නෙමෙයි මංජුල. කිසි උගත් කමක් නැති…තමුන්ගෙ හැඟීම් පාලනය කර ගන්න එක ගැන මෙලෝ අවබෝධයක් නැති කැලෑ සතෙක් වගේ. එහෙම මිනිහෙක්ගෙං අනේ මට නං සතේක වන්දියක් එපා. ඒ සල්ලි වලිං කෑවට මට දිරෝන එකකුත් නෑ”

“එහෙනං ඔයා ගුවනිව උසාවි ගේන්නෙ නෑනෙ…”

“ගේන්නෙ නැතුව ඉන්නං. හැබැයි ඒ ඔයා ගුවනිගෙ අකවුන්ට් එකට සැලකිය යුතු මුදලක් දාල මට ස්ලිප් එකේ ෆොටෝ එකක් වට්සප් කළොත් විතරයි. ඒ වගේම මං මේ කෝල් එක රෙකෝඩ් කළා කියලත් මතක තියා ගන්න මංජුල. මගෙ ළඟ හැම සාක්ෂියක්ම තියනව. ඔයාගෙ නම්බුව තියෙන්නෙ මගෙ අතේ”

නිකිනි දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ගුවනි මහා සුසුමකින් සිය හද දුක නිවා ගැනීමේ උත්සාහයක් ගත්තා ය. තත්පර කිහිපයක් ගෙවෙන තෙක් ඔවුන් දෙදෙනාට ම කතා කරන්නට වචන සොයා ගත නො හැකි විය. එක ම පිරිමියෙකු නිසා ගැහැනුන් දෙදෙනෙකු ගේ ම හදවත් ඒ තරම් බර විය හැකි දැයි ඔවුන් දෙදෙනා ම සිතමින් සිටියහ.

“හම්මෝ මිස්. සර්ව බඳිනවට වඩා සැපයි ගලක් බඩේ බැඳගෙන ගඟක මූදක පනින එක”

ගුවනි කීවේ එපමණකි. 

“හරිනං ඔය හෝතම්බුවව නැති කරලම දාන්න ඕනෙ. ඒත් මේ කෙල්ල නිසා මං එහෙම කරන්නෙ නෑ”

ඩෙස්මන් එසේ කීවේ ගුවනි ගැන ය. එදා හවස් වන විට මංජුල ගුවනි ගේ ගිනුමට ලක්ෂ දහයක මුදලක් බැර කොට තිබුණේ ය. ගුවනි එය ප්‍රතික්ෂේප කළත්, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන්නට එය තබා ගන්නා ලෙස නිකිනි බල කොට සිටියා ය. ඒ නඩු වාරයේ දී දික්කසාද තීන්දුව ලැබිණි. 

දුකක් හිතට නො දැනුණත් අමුතු සංවේගී බවක් හදවත වෙලා ගෙන ඇති බවක් නිකිනි ට දැනිණ. ජීවිතයේ එක පරිච්ඡේදයක් එසේ සමාප්තියට පත් වේ. රණ්‍ඩු වෙමින් හෝ ඒ ගෙදර මංජුලත් ඔහු ගේ මවත් සමගින් ගෙවූ ජීවිතය, ඇගේ මතකයෙන් කිසි දා කපා කොටා ඉවත් කළ නො හැකි ය. 

“මට තේරෙනව”

උසාවි  බිමෙන් පිටතට ආ විදත් නිකිනි ට ලං ව කොඳුළේ ය. ඇය නෙතු විදා ඔහු දෙස බැලුවා ය.

“මොනාද…”

“දැං ඔයාට දැනෙන දේ. මොකද දෙපාරක්ම මං ඔය මානසික තත්වය විඳල තියෙනව. ඒක කවදාවත් කාටවත් පැහැදිලි කරල කියන්න බැරි හිස් කමක්”

ජගත් විසින් ඩෙස්මන් ව හා සුමනා ව ගෙදර කැටිව යන ලද බැවින් නිකිනි විදත් ගේ රියෙහි නැගුණා ය. ඇය ට ඕන කර තිබුණේ දැඩි නිශ්චලත්වයකි. නමුත් ඒ හුදෙකලාවක් නොවන බවත් නිකිනි දැන සිටියා ය. මේ විදිහට විදත් ඈ පසෙකින් හිඳියදී දැනෙන රැකවරණයෙහි සුවය වචන වලට නැගිය නො හැකි ය. 

ඇය ව මැනවින් වටහා ගත් ඔහු සිය රිය හෙමිහිට ධාවනය කරමින් සිටියේ ය. ඇතැම් විට එක ම පාරේ යළි යළිත් යමින්, එක ම වටයක රවුම් ගැසුවේ ය. 

රොබරෝසි, මැයි, මාර මල් හැලී පාරවල් වල රටා මැවී තිබිණි. නිකිනි ඒ සියල්ල දුටුවා ය. නමුත් ඇය සිටියේ පියවි සිහියත් සිහිනයත් අතර යම් අතරමැදි තත්වයක සේ ය.

“සමහර දේවල් අපි කාලෙක ඉඳලම බලාපොරොත්තුවෙං ඉන්නව තමයි. ඒත් ඒ දේට මූණ දෙන්න වෙද්දි දැනෙන කම්පනය ටිකක් අමුතුයි”

බෝ වෙලාවකට පස්සේ ඇය මන්දස්මිතයකින් කතා කළා ය. ඒ මන්දස්මිතයෙහි තැවරී තිබුණේ සුසුමක අවසානය හා සැනසීමක ආරම්භය ය.

“හ්ම්”

“මේ දවස හරියට ලයින් එකක් වගේ. මගෙ ජීවිතේ දෙකට බෙදල ඇඳපු”

“දැං ඔයා ඉන්නෙ ලයින් එකෙන් මෙහා පැත්තෙ…ඒ කියන්නෙ මගෙ පැත්තෙ”

“මට එහෙම ඉන්න දෙන්න”

නිකිනි යන්තම් පහත් වී විදත් ගේ අත් ගොබයට හිස හේත්තු කොට ගත්තා ය.

“මැරෙනකල් ම…මැරුණත් බැඳීම් කෙළවර වෙන්නෙ නෑ කියනවනෙ. කොහොමත් මේකනං ගිය ආත්මෙං අරං ආපු පිස්සුවක්”

ඇය යන්තම් නෙතු ඔසවා ඔහු දෙස බැලුවා ය. විදත් මග අයිනේ වූ අවන් හලක් ඉදිරියේ රිය නතර කළේ ය.

“මට තේ තිබහයි”

නිකිනි පොඩි දැරියක සේ කීවා ය.

“බොමු”

“චීස් සැන්ඩ්විචසුත් ඕනෙ”

විදත් ට සිනහ ගියේ ය. ඔහු එක අතකින් ඇය ව සිය සිරුරට ලං කර ගනිමින් අවන්හලේ දිගු පඩි පෙළ නැංගේ ය. සංසාර ගිරි දඹ ඔහු ළඟින් මෙහෙම ඇවිද තරණය කළ මතකයක් ඈ සිත් හි මතු වෙමින් ද යට යමින් ද තිබිණි.

“මගෙ ජීවිතේ වුණත් ඉල්ලපං බං. දෙනව…”

පිය ගැට පෙළ මත්තේ දී ඔහු ඈ මුදා හළේ එහෙම කියමිනි. නමුත් නිකිනි විදත් ගේ අතක එල්ලී ගත්තා ය.

අවන්හලේ මේසයක හිඳ සිසිල් බීමක් බොමින් උන් යුවතියන් දෙදෙනෙකු මොනවා ද මුමුණමින් ඔවුන් දෙස බැලූහ. විදත් සිනහවකින් නිකිනි ගේ සවනට ලං වූයේ ය.

“දැක්කද…අර චූටි කෙල්ලො දෙන්නත් මං දිහා බලල මොනාද කුටු කුටු ගානව”

“මං දන්නව මොනාද කුටු කුටු ගාන්නෙ කියල”

“මොනාද…”

“අපරාදෙ අර අක්ක අංකල් කෙනෙක්ව මැරි කරල කියල”

“උඹට මං ඉතිං…”

නිකිනි හඬ නගා හිනැහුණා ය. ඒ යුවතියන් දෙදෙනා ඔවුන් දෙස වඩාත් උවමනාවෙන් බලා යළිත් උනුන් වෙත මුමුණන්නට වූහ.

ඔහුත් එක්ක තනි ව හිඳ ඒ තොල ගෑ තේ එක, ජීවිතයෙහි එතෙක් බී ඇති මිහිරි ම තේ එක යයි නිකිනි ට දැනිණ. ගුවනි දුරකතන ඇමතුමක් දුන්නා ය.

“සර්ව හම්බුණා දැං කැම්පස් එකේදි. මාව අඳුරන්නෑ වගේ අහක බලං ගියා”

“ඔයාට අවුල් ද…”

“මොනාද මිස් කියන්නෙ…ඒක මට ලොකු දෙයක්. ඒ අතීතෙ අනාගතේට අරං යන්න මට කොහොමවත් ඕන නෑ. ආ…මිස් මං කැමපස් ඉඳං එහෙමම බෝඩිමට යනව හොඳේ”

නිකිනි අතින් විදත් දුරකතනය ගත්තා ය.

“අදත් එන්න. අද ගෙදර හැමෝටම ඩිනර් මගෙ ගානෙ. ඔයත් ඉන්නම ඕනෙ”

ඒ රාත්‍රිය චමත්කාර ජනක වූයේ ය. ඊළඟ සතියේ විවාහ ලියාපදිංචිය සිදු කොට කෙටි කාලයක් සඳහා විදෙස් ගත වන්නට තීරණය කෙරිණි.

“ග්‍රැනීවයි පප්පවයි මෙහෙ දාල ඔසී වල පදිංචි වෙන්න බෑ කියනවනෙ. මොනා කරන්නද ඉතිං…මං එහෙ ඔක්කොම දාල මෙහෙ එනව”

විදත් ගේ කතාවට ඩෙස්මන් හඬ නගා හිනැහුණේ ය.

“පප්පලව බලා ගන්න අපි ඉන්නව. අක්ක ඒ ගැන හිතන්න එපා”

සහස් මැද්දෙන් පැන්නේ ය. 

“කවුද කවුද අපි කියන්නෙ…”

විදත් ගේ ප්‍රශ්නයෙන් ඉවත බලා ගත්තේ ගුවනි ය.

“අපි කියන්නෙ අපි. අපි කී දෙනෙක් ඉන්නවද ඉතිං මෙහෙ”

“අනේ බං”

“මං මේ කියන්නමයි හිටියෙ”

ඩෙස්මන් කියන්නට යන කතාව ගැන කවුරුත් තරමක් විපිළිසර වූහ.  

“මේ ගුවනි දුව නිකං බෝඩිං වල ඉන්න ඕන නෑනෙ…මෙච්චර ලොකු ගෙයක් අපිට තියා ගෙන. මේ දරුව මට දැනෙන්නෙ අපේම දරුවෙක් වගේ. නිකිනි ටික කාලෙකට හරි ලංකාවෙං යන පාළුව අපිට දැනෙන එකක් නෑ ගුවනි දුව මෙහෙ නතර වෙනවනං. නේද සුමනා…”

“අනේ ඔව්. නැත්තං නිකී නැති පාළුව මටත් දරා ගන්න බැරි වෙයි”

ගුවනි නිකිනි දෙස බැලුවේ අන්ද මන්ද ව ය. නිකිනි ඇගේ ගෙල වටා දෑත යවා ඇය ව වැළඳ ගත්තා ය.

“මටත් ගිහිං ඉන්න ටිකේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි ඔයා මෙහෙ ඉන්නවනං. ඔන්න බෑ කියන්න බෑ”

පාලිකා මූණ හකුළුවා ගෙන ටික වෙලාවක් එතැනට වී හිඳ පිරිස අතරින් නික්මුණා ය. සහස් ගේ මුවග නළියන මඳහස හැඳින ගන්නට නිකිනි ට සේ ම විදත් ට ද නො හැකි වූයේ නැත. 

“උඹ එහෙම ඇහැක් ඇරලවත් ඒ ළමය දිහා බලනව නෙවෙයි”

“පිස්සුද විදත් අයියෙ…අපි හොඳට හැදිච්ච කොල්ලො. අම්මල කතා කරල බඳින්න කියන කෙනෙක්ව මිසක් බඳින්නෙනං නෑ”

“ඉතිං උඹ මොකටද බඳින තරං දුර දිග හිතන්න ගියේ…මං කිව්වෙ මේ ළමය දිහා බලන්න එපා කියල විතරයි”

ඩෙස්මන් ගේ සිනහ හඬින් ඔබේසේකර මැදුර පිරී ඉතිරි ගියේ ය. කාලෙකට පස්සේ ආයෙත් අතීතය වර්තමානය වෙතට ආවා සේ සුමනා ට දැනිණ. විදත් කොලු ගැටයෙකු සේ මේ නිවස වෙත ආ ගිය සමයේ වූ ප්‍රිය මනාප සැහැල්ලුව යළිත් උදා වී තිබේ. ජීවිතයේ මේ සැඳෑ සමය ප්‍රීතිමත් ව ගෙවන්නට ඒ ඔසුවක් සේ යි සුමනා සිතුවා ය.

රෑ මැදියමේ ය විදත් ඔබේසේකර මැදුරෙන් නික්ම ගියේ. ඔහු සමගින් නිකිනි රිය වෙත ඇවිද ගියා ය. 

“රෙජිස්ට්‍රේෂන් එක ඈතයි කියල හිතෙනවද…”

ඇය ලැජ්ජා ශීලී සිනහවක් පෑවා ය.

“නෑ. ඈතයි වගේ දැනෙන ඒ දවස් ටිකට මං ගොඩක් ආස වෙයි”

ඔහු යන්තම් ඒ නළලත හාදුවක් තබමින් ම රියට ගොඩ වූයේ ය.

“පරිස්සමෙං යන්න”

රිය පණ ගැන්විණ.

“ගියා කියල මට මැසේජ් කරන්න. මං ඇහැරං ඉන්නව”

ඈ ගෙතුලට එන්නටත් පෙර කෙටි පණිවිඩයක් ආවේ ය.

“ආදරෙයි මැණික”

එහි සඳහන් ව තිබිණි. නිකිනි මුව මඳහසින් යුතු ව පිය ගැට පෙළ දිග දිව ගියා ය.

-සමාප්තයි-

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles