සැරිසරන්නී- 20

පරිසරයේ වූයේ නැවුම් බවකි. දින කිහිපයක් තිස්සේ වරින් වර වැටුණු වර්ෂාව නිසා, පහුගිය දින වල වූ කර්කෂ බව පලා ගොස් තිබිණි. දුහුවිලි බැඳීම නිසා අව පැහැ ගැන්වී තිබූ ගහ කොළ හොඳින් දිය නා හරිත පැහැ සළු වලින් සැරසී ගෙන සිටිනු පෙනිණ.

 පාර දෙපැත්තේ, තාප්ප අයිනේ දිගට ම විවිධ වර්ණ වල හෙලිකොනියා සිටුවා තිබේ. ඒ උද්‍යාන සැකසුම් කරුවෙකු වන පුංචා ගේ පුතාගේ අදහසකි. මා මේ වත්තේ ආසා ම ඒ හෙලිකොනියා දෙවැට ටයි. නැන්දලා ට ඕනා වූයේ පූජා කරනු වස් මල් නෙලා ගැනීම පිණිස සුදු වතුසුදු සිටුවන්නට වී ද, ඒ වෙලාවේ මම පවන් මල්ලී ගේ පැත්තේ සිට හෙලිකොනියා අදහස කෙසේ හෝ ක්‍රියාත්මක  කළෙමි.

දැන් වත්තට එන පාර ලස්සන ය!

“මොකද නිකං බය වෙලා වගේ…”

කට්ටිය ගේ අවධානය ගමන සැලසුම් කිරීම වෙත යොමු වී තිබූ වෙලාවේ රවීන් මවෙත ලං ව ඇසුවේ ය. එහඬින් පවා හදවත් බිත්ති කම්පිත වූයේ ය.

“ටයි එක…”

මම ඇස් විසල් කර ගෙන කීවෙමි. රවීන් ට එය සිහිපත් වන්නට ඇත. මේ වන තුරු ඔහු ට එය සිහි නොවූ බව ඒ ඉරියව්වෙන් මට සිතා ගත හැකි විය.

“මාර වැඩේනෙ. දැන් මොකද කරන්නෙ…”

“මං බයේ ඉන්නෙ”

“කොහොමද ගන්නෙ ඒක..”

රවීන් තනියම කල්පනා කරන්නට විය. ඒ අතරේ මම ඒ මූණ දෙස බලා සිටින්නට වීමි. ඒ ඇස් වල මුල දී නිදන් ගත ව තිබූ ශෝකාකූල බව තුනී වෙමින් පවතිනා යයි කිව නො හැකි ද?

“ආ මේ මොකද මේ දෙන්නා…තනියම ට්‍රිප් එකක් යන්න වගේ තනියම කුටු කුටු ගාන්නෙ…”

එහඬින් මා තිගැස්සුණාට සැක නැත. චමත්කා රවීන් ගේ අතකින් අදිමින් ඔහු ට කතා කරන්නට වූවා ය.

“එන්නකො රවීන්…මෙතන හිටිය කියල වැඩක් නෑනෙ. මේගොල්ලො යන්න දාගන්න තැනක අපිත් යමු. අද ගෙදර ඉන්න එකේ ඔයා අර පොරොන්දු වෙච්ච වැඩේ කරන්නකො”

මා පත් වූයේ මඳ අපහසුතාවයකට ය. ඊයේ සැඳෑ කාලය පුරා ම අප දෙදෙනා එක් ව සිටියත්, චමත්කා ට වූ පොරොන්දුවක් ගැන රවීන් මට කියා තිබුණේ නැත.  

“මොන පොරොන්දුවක් ද…”

මගේ හිතේ තිබුණ ප්‍රශ්නය රවීන් ගේ මුවින් පිට විය.

“දැක්ක නේද…ඔය ටිකට ඒක අමතක වෙලා. ඇයි මං කිව්වෙ ඔයාට මට ඩ්‍රයිවින් උගන්නන්න කියල. ඔයා එදා හා කියලත් කිව්වෙ…”

“ආ..ඒකද..මේ…නංගි මේ දවස් වල කා එකේ මිස් එකක්නං…”

“කමක් නෑ අයියො ඒකට. කැඩුණොත් ගරාජ් එකකට දාමු”

“මං මේ තව ටිකකින් ගරාජ් එකකට ගෙනියන්නයි ඉන්නෙ”

“බෑ බෑ. බෑ කියන්නනං බෑ ඔන්න. යං එන්න”

චමත්කා රවීන් ව ඇදගෙන ම ගියා ය. ඔහු ට ඇගේ බලපෑමෙන් මිදිය හැකි වූයේ නැත. මගේ දුකක් ද ශෝකයක් ද කෝපයක් ද එකවර ජනිත වූයේ ය. කෝපය චමත්කා ගැන ය. ශෝකය මා ගැන ය. රවීන් විවාහයකින් වෙන් වී සිටින නිසා මට ප්‍රසිද්ධියේ ඔහු ඇසුරු කරන්නට අවසර ඇත්තේ නැත. නමුත් චමත්කා ට ඒ අසම්මත බව බලපාන්නේ නැති ද? ඇය බොරු හුරතලයක් මවා පෙන්වා හැමදාමත්, අපේ ළමා වියේ දී පවා ඇය ට ඕනෑ දේ කෙසේ හෝ සිදු කොට ගත්තා ය. ඇය කවදාවත් අනුන් ගැන සිතුවේ නැත. අනුන් ගේ දේ ගැන සිතුවේ ද නැත. චමත්කා ගේ මේ ආත්මාර්ථකාමී ගති නිසා කවදටත් මට ඇය රුචි වූයේ නැත. ළමා කාලයේ දී ගේට්ටුවෙන් අපේ මිදුලට කඩා වැදී ඇය බලයෙන් ම මගේ සෙල්ලම් බඩුවක් ඩැහැ ගත්තා ය. අම්මා අප ට ගෙන දුන් කුඩා මැටි වළං අඩක්කුවක් ද, ලීයෙන් තැනූ ගෘහ භාණ්ඩ කට්ටලයක් ද බිම එලූ පැදුරක් මත තියා ගෙන සෙල්ලං ගෙවල් දැමීම නංගීත් මාත් නිති පතා කළ සෙල්ලමකි. පාරේ සිට ම ගේට්ටුවෙන් එබී ඇතුළට අත දමා චමත්කා අතට හසු වෙන දේ ගෙන දිව්වා ය.

“අනේ ඔන්න ඔහෙ කමක් නෑ. අපි වෙන එකක් ගමු”

මා අම්මා ට පැමිණිලි කළ අවස්ථාවක ඈ කීවේ එසේ ය.

“ඔය පොඩි ළමයි කරන දේවල් වලට කතා කරන්න ගියොත් හිත් හොඳ නැති වෙන්නෙ මහ මිනිස්සුන්ගෙ. ඊට මීට වඩා හොඳයි සද්ද නැතුව ඉන්න එක”

අම්මා ට තිබුණේ එවන් නිවුණු අදහසකි. බොහෝ දුරට ඒ තාත්තා ගේ ආභාෂය නිසා ලද පරිචයක් වන්නට ඇත. නමුත් සහෝදර පිරිස අතරේ, විශේෂයෙන් ම නෑනලා ටික අතරේ නිතර ම වාගේ අමනාපකම් තිබිණි. අප කුඩා කල වැඩි වශයෙන් ඒවාට හේතු වූයේ ළමයින් අතරේ වූ ප්‍රශ්න ය. එක එක්කෙනා අතරේ කියා ගනු ලැබූ කේලාම් ද පවුලේ නොමනාපකම් වලට හේතු වූයේ ය.

එදා පොඩි කාලේ දී මගේ දෙයක් කිසිදු ඇහිල්ලකින් බැලිල්ලකින් තොර ව ඩැහැ ගෙන ගිය එක ගැන චමත්කා ට පාඩමක් උගන්වන්නට මට බැරි විය. අදත් මට සිදු වන්නේ ඈ රිසි දෙයක් කරන්නට හැර නිහඬ වන්නට ද?

මම ලොකු මාමලා ගේ ගේ පැත්තට එබිකම් කළෙමි.

“අනේ රවීන් පුතා ඔන්න පොඩ්ඩක් ඕක කරකවන්න උගන්නන්නකො. ලර්නර්ස් එකකට යන්න ඕන කියල නහයෙන් අඬ අඬා හිටියෙ. දැන් ඉතින් ලර්නර්ස් යන්න ඕන නෑනෙ නේද..පුතාට පුළුවන්නෙ චමත්කාට ඩ්‍රයිවින් උගන්නන්න…”

නයනා නැන්දා ගේ උස් හඬ පාරට ම ඇසිණ. රවීන් නතර වී සිටිනුයේ ඔවුන් ගේ ගෙදර කාමරයක ය. ලොකු අයියා ඔහු ගේ මිතුරෙකි ය.ඒ නිසා ඔවුන් ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට ඔහු ට අපහසු බව මම දනිමි. ඒ බව දැන දැන ම මම මගේ හිත රිදවා ගනිමින් ඊර්ෂ්‍යාව ප්‍රගුණ කරන්නට වූයෙමි. අප පාරේ සිටියදී, චමත්කා ව රියදුරු අසුනේ හිඳුවා ගත් රවීන්, ඇයට ස්ටියරින් වීලය හසුරුවනයුරු කියා දෙමින්, රිය අප සිටි තැනින් ගමන් කරන්නට විය. ළමයි ටික හූ කියන්නට ත් නොයෙකුත් උසුළු විසුළු කරන්නටත් වූහ. චමත්කා ගේ මුහුණ මත මල් යායක් පිපී තිබිණි. රිය එතැන පහු කර ගෙන ගියේ මගේ පපුව හාරා ගෙන ය.

වත්තෙන් ගුරු පාරට රිය හැරුණ පසු ළමයින් ගේ කෑ කෝ ගැසීම් නතර විය. මොහොතකින් ඔවුන් ට රවීන් හා චමත්කා අමතක වන්නට ඇත. නමුත් ඔවුන් දෙදෙනා ව ඔළුවෙන් බිම තබන්නට මට නො හැකි විය.

දානය දවසේ සේ කාමරයේ ඇඳට වැටී සිටිනවා වෙනුවට මම වෙනදාටත් වඩා පාරේ ගැවසුණෙමි. ටික වෙලාවකින් ම රිය යළි ගෙදර පැමිණි අතර රවීන් ද ලොකු අයියා සමගින් පිටතට ආවේ ය.

“සිරියලතා…කොහොමද…”

ලොකු අයියා මගේ කරට අතක් දමා ගත්තේ ය.

“අපි ඉතිං කොහොමත් හොඳින්නෙ අනේ”

මම වැරදීමකින්වත් රවීන් ගේ මුහුණ දෙස නො බලන්නට ප්‍රවේසම් වීමි.

“දැන්ද ඔය නැගිට්ටෙ…”

“ඔවු බං. පාන්දර ගෙදර ආවෙ. යාළුවෙක්ගෙ අම්ම නැති වෙලා එහෙ නයිටක් ඇද්ද”

“ඔයාට ඉතිං මළ ගෙවල් පිරිත් ගෙවල් දානෙ ගෙවල් නැති දවසක් නෑනෙ”

“එහෙම තමයි හරිද නෑනො. අපි මිනිස්සු හම්බ කරල තියෙන්නෙ. මිනිස්සු…”

“හ්ම් පේනව පේනව”

කියමින් මම ඔහු ගෙන් මිදී ශෙහාරා සොයා ගියෙමි. ඇගේ ඇස් වල වෙනදා වූ කඳුළු බර බව වූයේ නැත.

“ඇඬුවයි කියල ප්‍රශ්න විසඳෙන්නෙ නෑ සනූ. මිනිස්සු කරන්නෙ වෙන මනුස්සයෙක්ගෙ කඳුළු වල සීතල තේරුං ගන්න උත්සාහ කරන එක නෙවෙයි. ඒ කඳුළු වලට නින්දා අපහාස කරල ගරහන එක. ඒ කඳුළු පයට පාගල චප්ප කරල දාන එක. ඒ කඳුළු නිසාම අපිව අන්තිමට අසරණ කරල දුර්වල කරල දාන එක. කඳුළු වලට දිය වෙන්න ගියොත් අපිට අපේ කියල හීනයක් දකින්න වෙන්නෙ නෑ සනූ. තවත් මං අඬන්නෑ කියල තීරණේ කළා. ඒ වගේම පැරදෙන්නෙත් නෑ”

ශෙහාරා මඳහසක සෙවනැල්ලකට ඉඩ දෙමින් කියවා ගෙන ගියා ය. අත්දැකීම් තුළින් කෙනෙකු ට කෙතරම් පරිනතියක් අත් පත් කර ගත හැකි ද? ඇතැම් විටෙක ඇය සිය පෙම් සබඳකම නවතා දමන තැනට වුව එළඹෙන්නට පිළිවන. සමහර විට ඇය කිසි සේත් සිය තෝරා ගැනීම වෙනස් නොකරනු ඇත. ඒ කවර තීරණය ගත්තත් ඒ ඉතා නිදහස් මනසකින් ස්වාධීන ව ගන්නා තීරණයක් වනු ඇති බව මට විශ්වාස ය.

මා යළි පාරට එත්දීත් රවීන් සිටියේ ය. ඔහු මදෙස බලනු පෙනුණත්, හිතා මතා ම මම එදෙස නොබලා ළමයින් අතරට ගියෙමි.

මෙවර චාරිකාව ත්‍රිකුණාමලය ආශ්‍රිත ව යොදා ගෙන තිබිණ.

“හොඳයි හොඳයි පාසිකුඩා වල නාමු”

කියාගෙන මම ගෙදර ගියෙමි. මා කාමරයට ගොඩ වෙන කොට ම දුරකතනය ට පණිවිඩයක් එන හඬ ඇසුණේ ය.

“මොකද වෙලා තියෙන්නෙ…”

ඒ ප්‍රශ්නය රවීන් ගෙනි. මම ප්‍රතිචාර නො දක්වා දුරකතනය යළි මේසය මතින් තැබුවෙමි. එතකොට ම එය ට යළිත් පණිවිඩයක් ආවේ ය.

“මං සොනා කරන්නද…නයනා ආන්ටි කිව්වහම බෑ කියන්න පුළුවන්ද…නැතුව මට ඕන කමක් නෑ චමත්කාට ඩ්‍රයිවින් උගන්නන්න”

මම ඒත් නිහඬ ව සිටියෙමි. ඔහු කියනා දේ සත්‍යය බව මා නො දන්නවා නොවේ. නමුත් මට ඕනා වූයේ කුමක්ද කියා මා දන්නේ නැත. රවීන් එක්ක තරහා වෙන්න ද? නැත්නම් මගේ ම හිතින් දුක් විඳින්න ද?

හවස් වරුවේ මම මල් සැරසිලි කලාවේ අලුත් ම ප්‍රවණතා ගැන අන්තර්ජාලයෙහි පළ ව තිබූ ලිපි ලිහිපයක් කියවමින් සිටියෙමි. දුරනතනය හැඬවුණේ ඒ වෙලාවේ ය. ඇමතුම රවීන් ගෙනි.

“හෙලෝ”

 මම සුහදශීලයකින් තොර හඬකින් කතා කළෙමි.

“දැං ඔය මාත් එක්ක තරහ වෙලාද ඉන්නෙ…”

ඒ හඬෙහි වූයේ ආදරය මිස වෙන කිසිත් නොවේ. මගේ හදවත ගැඹුරට ම ඒ ආදරය දැනිණ.

“අනේ…මං මොකටද කාත් එක්කවත් තරහ වෙන්නෙ”

මවෙත වූයේ නෝක්කාඩුවකි. ඒ ආදරයේ දී ගැහැනු ළමයින් ක්‍රියා කරන පොදු ඊර්ෂ්‍යා සහගත බව වන්නට පුළුවන. කෙතරම් දැනුම් තේරුම් වූවත් ඒ පොදු ගැහැනු ගතියෙන් මිදෙන්නට මට ඕනෑ වූයේ ත් නැත. ලොව බොහොමයක් ස්ත්‍රීන් එසේ කළේත් නැත.

“මං ඇහුවෙ කාත් එක්කවත් නෙවෙයි. මාත් එක්ක තරහද කියලයි”

ආච්චා කාමරයේ ඇඳ මත නිදා උන්නා ය. යම් කිසි විදිහකින් ඈ අවදි වූවොත් මගේ කතා ඇයට ඇසෙන්නට ද බැරි නැත. ඒ නිසා මම කාමරයෙන් පිට වී අපේ නිවස මත්තේ කොංක්‍රීට් තලාව මතට නැගුණෙමි. පාරේ කිසිවෙකු පෙනෙන්නට හිටියේ නැත. රවීන් ලොකු අයියලා ගේ මිදුලේ හෝ නො පෙනිණ. ඔහු කාමරයේ ඇතිවා විය යුතු ය.

“මොකටද එක අතකට තරහ වෙලා”

“තේරුං ගන්න බලන්නකො. පොඩි දරුවෙක් නෙවෙයිනෙ ඔයා. මං බෑ කිව්වනං මලිත් වුණත් අප්සට් වෙන්න පුළුවන්නෙ”

“හරි හරි. ඒ කිසි කෙනෙක්ව අප්සට් කර ගන්නෙ නැතුව ඉන්නකො. මං අප්සට් වුණත් ඉතිං මොකෝ…නේ..”

“මැ…ණි…ක…”

“බටර් ඕන නෑ ඉතිං”

“බටර් කියලද හිතන්නෙ…ආදරේ කියල නෙවෙයිද….ම්…”

මම දුරකතනය සවනට වඩාත් තද කොට ගතිමි.

“එයාව කා එකේ සීට් එකේ ඉන්දං ගියාට දැන් හිතේ පැත්තකින් ඉන්නෙ ඔයා”

“බොරු කියන්නැතුව ඉන්න. එයාටත් එහෙම කියනවද දන්නෑ”

“එහෙමද හිතන්නෙ…”

“පිරිමි ඔහොමම තමයි”

“සනූ…”

ඒ මා ඇමතුවේ රවීන් නොවේ. මම වහා හැරී බැලුවෙමි. වේලෙන්නට දමා තිබූ රෙදි ගන්නට ආ අම්මා මදෙස බලා ගෙන සිටියා ය. හිත් පත්ල භූමි කම්පාවකට බඳුන් විය.

“කවුද ඔය කතා කරන්නෙ…”

උගුර කට වියළී ගියේ ය. මේ තරම් ඉක්මනින් මෙහෙම කුණාටුවකට හසු වෙන්නට මා සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත.

“ම්…මේ….සුනෙත්”

කටට ආවේ එ් නම විතර ය.

“සුනෙත්ද…කෝ මට පොඩ්ඩක් දෙන්නකො…පණිවිඩයක් අහන්න තියෙනව”

කියමින් අම්මා මවෙත එමින් සිටියා ය. කොංක්‍රීට් තලාව සිදුරු වී එතැනින් මා පොළොව වෙත කිඳා බසීවියි මට සිතිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...