ලොකු වුණාම මං!

“නෙතුකි, අදත් අකුරු ලියල තියනවා හොඳටම කැතයි..”

ටීච මට පොත දමා ගැහුවා.හැමෝම හිනා වෙනකොට මට දැනුණේ ලැජ්ජාවක්.ඇයි මට එහෙම බනින්නේ?

“මෙහෙ එන්න සිත්මි.ළමයි මේ බලන්න සිත්මි වැඩ කරන පිළිවෙල..”

ටීච සිත්මිව අගය කරනකොට මටත් හරි ආසයි.මං එයාට අත්පොඩි ගැහුවේ හරිම ආසාවෙන්.

“මොකක්ද නෙත්මි ඔය චිත්‍රෙ?”

චිත්‍ර අඳින වෙලාවට ටීච මගේ පොතට එබුණා.

“මේ අහස.මේ ඉර බහිනවා.මේ අම්මා ඔෆිස් ගිහින් එනකම් මම බලාගෙන ඉන්නවා..”

මං ටීචට විස්තර කරා.

“අහස කොහොමද ළමයො රතු පාට වෙන්නේ?”

ටීච එච්චර සැර වෙනකොට මට දුක හිතෙනවා.ඒ නිසා මං උත්තර දෙන්නෙත් බයෙන්.ඉර බහිනකොට මුළු අහසම රතු පාට වෙනවා කියලා මං ටීචට කියද්දී ටීච ආයේම මට රැව්වා.

“ඒ ඔය රතු පාටයැ.මොකක්ද මේ චිත්‍රෙ හැටි…”

මට හරිම දුකයි.ටීච මගේ චිත්‍රෙවත් ලස්සනයි කිව්වානම්! මං දවස පුරාම හිතුවේ ඒක ගැන.

මම තාම ඉගෙන ගන්නේ දෙක වසරේ.ටීචගේ හිනාවක් ගන්න, ටීච පොත්වල අලවන ස්ටාර් එකක් ගන්න මම ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි.ඒත් ටීච කියන්නේ මං හරිම දඟ ළමයෙක් කියල, මං පොඩ්ඩක්වත් පිළිවෙළක් නෑ කියලා,

“මට මේ නෙත්මිට උගන්නනවා කියන්නේ වෙහෙසක්..”

ටීච දවසක් අපේ අම්මාට කිව්වා.වෙහෙස කියන්නේ මහන්සියට කියන එකටමයි කියලා මට කියා දුන්නේ අම්මා.මම ටීචව මහන්සි කරන්න කැමති නෑ.
අද උදේ මං අතින් පන්තියේ මල් පෝච්චිය බිඳුණා.ටීචට ඒකට ගොඩාක් තරහ ගියා.මගේ අකුරු කැතයි කියලා කියන්න, චිත්‍රය කැතයි කියන්න ටීචට හිතෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති.

මම අදත් ගෙදර ආවේ දුකින්.ටීච මට බනින හැටි මට තාමත් මතක් වෙනවා.

“හැම බබෙක්ම ඉස්කෝලේ යන්න ඕනෑද?”

මම අපේ බෲනෝගෙන් ඇහුවා.

“ඉතින් මම ඉස්කෝලේ යන්නෙත් නෑනෙ”

බෲනෝ එයාගේ තෙත හොම්බෙන් මට අනින ගමන් කිව්වා.

ඒත් හවස ගෙදර ආපු අම්මා නම් මගේ තීරණයට එකඟ වුණේ නෑ.

“හැම චූටි බබෙක්ම ඉස්කෝලෙ යන්න ඕනෑ පුතේ.” අම්මා මට කියන්නේ ආදරෙන් කිස් එකක් දෙන ගමන්.

“ටීච බනින අය ඉස්කෝලෙ යන්න ඕනි නෑ අම්මා.ටීච ආදරේ අය විතරක් ගියාම ඇති.”

මං අම්මාට කිව්වා.මං වගේ දඟ බබාලා ඉස්කෝලෙට ඕනෑ නෑ කියලා ටීචත් කියනවනෙ.

“ටීච බනින්නේ වැරැද්දක් කරාමනේ පුතේ..”

අම්මා මගේ පොත් බලන ගමන් කියනවා.

“අම්මා හැමදාම පුතාට පාඩම් කියා දෙන්නම්.අපි ටීච තරු දෙනකම්ම උත්සාහ කරමුකෝ..”

අම්මා එහෙම කිව්වට ටීචගෙන් තරු ගන්න ලේසි නෑ කියලා මම දන්නවා.

“අනිත් එක,මගේ පුතා එහෙමෙහෙ දුවනකොට කල්පනාවෙන්.හැප්පිලා වැටිලා බඩු කඩන්න එපා.එතකොටත් ටීචට තරහ යනවනෙ..”

මල් පෝච්චිය කැඩුණු කතාව අහලා අම්මා මට කිව්වා.මම ඊට පස්සේ ගේ ඇතුළේ ඇවිද්දෙත් පරිස්සමට.සිත්මි වගෙ පිරිසිදුව ඉන්න බබෙක් වුණොත් ටීච මට ආදරේ වෙයි.ඒත් මම ඇඟ පුරාම ගම් හලා ගන්නවා.වෙලාවකට මගෙ අතින් පොත් බිම වැටෙනවා.වෙලාවකට මට හෝම් වර්ක් අමතක වෙනවා.

“පුංචි බබාලා අතින් වැරදි වෙනවනෙ පුතේ.අපි ඒ වැරදි හදා ගමු.මගේ පුතා හොඳට ඉගෙන ගන්නකෝ..”

අම්මා මාව ආදරෙන් තුරුළු කර ගත්තේ එහෙම කියන ගමන්.

එදා හවස මම ලස්සන මල් ඇඳලා කාඩ් එකක් හැදුවා.ඒක ටීචට.සමාව ඉල්ලලා ඒ වගේ ලස්සන වැඩක් කරන්න පුලුවන් කියලා මට කියා දුන්නේ අම්මා.

“මං හෙට ඉස්කෝලෙ යනකොට ලස්සන මල් වාස් එකක් අරන් දෙන්නම්.අපි ඒක ගෙනිහින් ටීචගේ මේසෙ උඩ තියමු..”

අම්මා මට පොරොන්දු වුණා.

“අම්මා..”

මට තියනවා ප්‍රශ්නයක්! අම්මාගෙන් ඒ ප්‍රශ්නේ අහන්න මට මතක් වුණේ රෑ නිදා ගන්න ගියාම.

“මට ලොකු වෙලා ටීච කෙනෙක් වෙන්න පුලුවන් ද?”

අම්මා මගේ ඔලුව අත ගෑවා.තව ගොඩාක් කල් ඉස්කෝලේ ගිහින් ලොකු විභාග ගොඩක් පාස් වුණාම පුලුවන් කියලා අම්මා මට කියා දුන්නේ ආදරෙන්.

“අම්මා..මට පුලුවන්ද එතකොට කැතට අකුරු ලියන බබාලටත් ආදරේ වෙන්න..දඟ කරන බබාලටත් තරුවක් දෙන්න..”

අම්මා මට උත්තර දුන්නේ නෑ.ඒත් අම්මා ඇයි අඬන්නේ කියලා මට තේරෙන්නේ නෑ.

මං දවසක හැම බබෙකුටම ආදරේ වෙන ටීච කෙනෙක් වෙනවා.මං නිදා ගත්තේ එහෙම හිතන ගමන්.හඳේ ඉන්න සුරංගනාවි රෑට මාව බලන්න ආවම එයාගෙනුත් ඒ ගැන අහන්න මම හිතා ගත්තා.

“මං කවදාමහරි කිසිම බබෙකුට බනින්නේ නැති ටීච කෙනෙක් වෙනවා.”

More Stories

Don't Miss


Latest Articles