අම්මා නොහිටියනම්!

“කසාද බැඳලා දවස් කීයද..හැමෝටම සුපුරුදු ප්‍රශ්නෙ ඕං මටත්..”

යුරේෂා ලන්ච් රූම් එකේදී එහෙම කිව්වේ මුහුණත් නරක් කරගෙන.ඊළඟ නැන්දම්මා පතුරු යැවීමට හැමෝම කිට්ටු වුණා.උයන උයන කෑම රහ නැති වීම, යුරේෂාගේ සැමියාගේ සම්පූර්ණ අයිතිය තමන්ට බව සිතීම වගේ ප්‍රශ්න ටිකක් ගැන යුරේෂා කිව්වේ මුහුණ නරක් කරගෙන.

“මේවට ඉතින් අපේ කලනි සම්බන්ධ වෙන් නෑ.ඇහුණත් නෑහුණා වගේ ඉන්නව..”

මදූකාගේ කතාවට කලනි පුංචි හිනාවක් විතරක් දෙන්න ප්‍රවේසම් වුණා. හැමෝම නැන්දම්මලා වැරදිම කියනකොට තමන් විතරක් හොඳ කියන්න යාම නරක බව කලනි දන්නවා.අනිත් කාරණාව ඒ ආදරය සම්බන්ධයෙන් දෙන්න අර්ථ කතනත් ඔෆිස් එකේ අයට ඕනෑතරම් තියනවා.

“බය කියන්නේ ආදරේ කියල හිතන් ඉන්න කෙනෙක් තමයි මෙයා..”

කෝෂලා නැගිට්ටේ එහෙම කියාගෙන.කලනි මොකුත්ම නොකියා ආහාර ගත්තේ හරි හෙමින්.නැන්දම්මා එක්ක ආදරෙන් ඉන්න කෙනෙක් දැකපු එක ගැනත් ළඟදි පත්වීම ලැබුණු නිර්මාණිට දැනුණේ සතුටක්.කලනි එක්ක කතා කරානම් ඒ කොහොමද කියලා දැන ගන්න තිබුණා.

ළඟදි විවාහ වෙන්න ඉන්න හින්දාම නිර්මාණි ඊටපස්සේ කලනිත් එක්ක කතා කරන්න වෙලාව හෙව්වා.කලනි නිදහසේ ඉන්න වෙලාවක් බලලා නිර්මාණි කලනිට ළං වුණේ ඒ ගැන අහන්න හිතාගෙන.

“අක්කි ගෙයක් හරි වාහනයක් හරි බලනවද?”

ප්‍රසිද්ධ දැන්වීම් වෙබ් අඩවියකට ඇහැ අලවාගෙන ඉන්න කලනිගෙන් නිර්මාණි එහෙම ඇහුවා.

“නෑ නංගෝ..මේ අපේ ලොකු බබාට සයන්ස් ක්ලාස් එකක් හෙව්වා..”

කලනි එහෙම කියලා ආයේම තිරයට ඇහැ අලවා ගත්තා.ටියුෂන් කරන මිතුරියන් ඉන්න බව නිර්මාණි කිව්වේ ඒ වෙලාවේ.

“එයා ග්‍රේඩ් එයිට් නංගි.මටයි මාලකටයි බලන්න වෙලාවකුත් නෑනෙ..”

නිර්මාණිට ප්‍රහේළිකාමය ගතියක් දැනෙන්න ගත්තා.කාර්යාලීය වැඩකට කලනිගේ හැඳුනුම්පතේ තොරතුරු ගත් නිසා කලනිට තාම වයස තිස් තුනක් කියලා නිර්මාණිට මතකයි.අවුරුදු දහ හතරක දුවෙක් ඉන්න නම් අවුරුදු දහ නවයෙදි අම්මා කෙනෙක් වෙන්න ඕනෑ.ඒත් කලනි මේ කරන රැකියාවට එන්න හොඳ ඉගෙනීමක් උවමනා බව නිර්මාණි දන්නවා.

“එකත් එකටම හස්බන්ඩ්ගෙ කලින් කසාදෙ ළමයෙක් වෙන්න ඇති..”

නිර්මාණි හිතුවා.

“මට දූ ලැබුණේ දහනවයෙන් නංගි.අන්න ඒ නිසයි මං නැන්දම්මට ආදරේ..”

කලනි කිව්වේ හංගන්නේ නැතුව.නිර්මාණිට ඒ කතාව අහන්න ආස හිතුණා.

අවුරුදු දහහතරකටත් එහා දවසකදී හදිසියේ අසනීප වුණු හැටි කලනිට තාමත් මතකයි.ඉස්කෝලේ කාලච්ඡේදයකදී කලාන්තය හැදිලා වමනේ යන්න ගත්තම කොහෙන්දෝ ආපු සිතිවිල්ලක් කලනිගේ හිත පුරා අකුණු ගහන්න ගත්තා.

“කලනි, අපි බෙහෙත් ගන්න යං.මොකද දරුවෝ මේ..”

විජේසූරිය මිස් ඇවිත් කියනකොට කලනි ලෙඩක් නෑ කියන්න උපරිම උත්සාහය ගත්තා.ඒත් පන්ති භාර ගුරුවරියගෙන් බේරුමක් තිබුණේ නෑ.

“කලනි, ඔයා අවුරුදු දහ අටක දරුවෙක්.දැන් අපි මේ ප්‍රශ්නෙ පරිස්සමින් විසඳා ගන්න ඕන පුතේ.ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නැත්නම් කාගෙන් හරි කරදරයක් වුණාද කියල මට කියන්න.මං ඔයාලගෙ අම්මා වගේ කියලා මං විශ්වාස කරනව..”

වෛද්‍ය වාර්තාව අතට අරන් ගුරුතුමිය කිව්වේ පරිස්සමින්.ඉකි ගහන්න ගත්තු කලනි තමන් රැවටීමකට හෝ අපචාරයකට ලක් නොවුණු බව කියා ගත්‍තා. මේ ප්‍රේමයක අත් වැරැද්දක්.

“බෝයි ෆ්‍රෙන්ඩ් මොනව කරන කෙනෙක්ද පුතේ..”

ඒත් පාසල් ශිෂ්‍යයෙක්.කලනි ඒකත් යන්තම් කියාගත්තා.

“මට ඒ ළමයගෙ හරි ඒ ළමයගෙ අම්මාගෙ හරි ෆෝන් නම්බර් එකක් හොයා ගන්න ඕන කලනි.අපි මේක විසඳා ගමු..”

කලනි අඬන්න ගත්තේ කෑගහලා.

“ඒ මාලක..අනේ මිස් මට සමා වෙන්න.”

කනින් කොනින් අහලා තිබුණු ආරංචිය ලොකු ගැටලුවක් ඇති කරලා අවසන් වුණු බව තේරුම් යද්දී පවා විජේසූරිය මිස් ගහක් ගලක් වගේ බලාගෙන හිටියා.

“අපි යං..”

ගුරුතුමියගේ වාහනය නැවතුණේ ඇගේ ගෙදර.කලනි අන්දමන්ද වෙලා බලාගෙන හිටියා.

“එන්න කලනි.මං ඔයාගෙ ගෙදර ගිහින් කතා කරන්නං.අද ඉඳන් ඔයා ඉන්නෙ මෙහෙ.දෙන්නටම දහඅට සම්පූර්ණ හින්දා ඔයාලා හෙටම කසාද බඳිනවා.”

දරුවා නැති කරන්න ඕනෑද අහපු වෙලාවේ බෑ කියලා අඬපු කලනිගේ හිස අතගාලා ගුරුතුමී කිව්වේ එච්චරයි.

“අපි රණ්ඩු කරගෙන මිනී මරාගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ.මෙයාලා කසාද බඳියි..”

ගුරුතුමී කලනිගේ ගෙදර අයටත් කිව්වේ එහෙම.ඒත් මාලකටත් කලනිටත් කියන්න ඊට වඩා ලොකු කතාවක් ඇයට තිබුණා.

“වැරදීම් තමයි මිනිස්සු ශක්තිමත් කරන්නේ.මේ දරුවා නැති කරන්න කලනි අකමැති නම් ඔයාට සිද්ධ වෙනවා ඒ දරුවට තාත්තා වෙන්න.කසාද බැඳලා ඉස්කෝලේ යන්න බෑ.ඒත් ඔයාලා ඉගෙන ගන්න ඕන.කොහොමහරි කැම්පස් යන්න ඕනෑ..”

මං ඉතින් ඔයාලගේ අම්මානෙ කියලා නිතරම කිව්ව පන්තිබාර ගුරුතුමී කලනිට ඇත්තටම අම්මා වුණේ ඉන්පස්සේ.ළාබාල ගර්භනී මවකට දැනෙන හැම අපහසුතාවයක්ම දරා ගන්න ඇය නැත්නම් කලනිට පුලුවන් වෙන්නේ නෑ.
මාලකත් බොහොම වෙලාවට කළේ ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න එක විතරයි.විබාගෙට අවුරුද්දයි මාස ගාණකුත් දරුවා ලැබෙන්න හත් මාසෙකුත් තිබුණත් හැමදේම සමබර කරගත යුතු බව ගුරුතුමිය කියා දෙන්න පටන් ගත්තා.

“මිස් එකම එක පාරක් මට ගැහුවනම් දුකක් නෑ..”

කලනි තාමත් හිතන්නේ ඒ ගැන.

පුංචි මිනායාගේ ඉපදීම ගැන කලනිට සතුටු වෙන්න කාලයක් තිබුණේ නෑ. අම්මාත් තාත්තාත් විභාගේ ලියන්න ඕනෑ.අත්තම්මා මිනායාගේ වැඩි බර දරා ගන්න පටන් ගත්තා.

මිනායාගේ අවුරුද්දේ උපන්දිනේ කිට්ටු කරලා ප්‍රතිඵල ආවා.මාලක වගේම කලනිත් සරසවියට සුදුසුකම් ලබලා තිබුණා.සෑහෙන කාලයක් ගල් කරගත්තු කඳුළු කලනිගෙ ඇස් වලින් වැටුණේ එදා.

“කැම්පස් ගියාම දූ තියාගෙන ඇනෙක්ස් එකක ඉන්න අපි හිතුවට අම්මා දූව බාර ගත්තා.කැම්පස් කාලෙදි මගේ යාළුවන්‍ට ඕනෑ තරම් බබාලා ලැබුණා නිරූ.ඒත් මමයි මාලකයි ඒ හැමෝටම වඩා සැහැල්ලුවෙන් හිටියා.අම්මා වගේ අම්මා කෙනෙක් ගැන මට හිතා ගන්න අමාරුයි.ඉතින් මං විහිලුවටවත් එයාට බනින්නේ කොහොමද?”

කලනි කිව්වේ යාන්තමට තෙත් වුණු ඇස් පිහදා ගන්න අතරේ.

“එච්චර කැපකිරීමක් කරලා ජීවිත තුනක් විනාස වෙන්න නොදුන්නු ඒ අම්මා නැන්දම්මෙක්වත් අම්මෙක්වත් නෙවේ අක්කේ.දේවතාවියක්..”

නිර්මානි කිව්වේ නොදුටු විජේසූරිය මහත්මිය ගැන ගෞරවයකින්.

“අම්මා අපේ ඉස්කෝලේ ළමයි හැමෝගෙම අම්මා කියලා අපි ඒ කාලේ කතා වෙනවා.ඒත් අම්මා වගේ අම්මලා දුර්ලබයි කියලා මාත් මේ අවුරුදු දාහතරම ඉගෙන ගන්නවා නිර්මාණි..”

කලනි කිව්වේ ලස්සනට හිනා වෙන ගමන්.

අම්මා කෙනෙකුට තරම් ලස්සනට ප්‍රශ්න විසඳන්න කාටවත් බෑ.තමන් අදහන ජීවන පාඨය කලනිට ආයෙම පාරක් මතක් වුණා.

More Stories

Don't Miss


Latest Articles