මතක දිගහැරුම 80 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අසූවන දිගහැරුම ,

නිශාන් අයියාගේ නිවසේ සේවය කිරීම සඳහා සේවිකාවක් සිටියාය.ඇය නිතරම පිම්බුනු සායකින් සහ බ්ලවුසයකින් සැරසී එයට උඩින් ඒප්‍රන් එකක් හැඳ සිටි ඇයව දකින විට මගේ මතකයට නැගුනේ චිත්‍රපට වල සාමාන්‍යයෙන් අප දකින සේවිකාවන් ය.අප එහිදී සිංහල කෑම වර්ග සකස් කළ අතර සුදු ලූනු සුද්ද කිරීම සඳහා පහසුම ක්‍රමය කියාදුන්නේ නිශාන් අයියා වග අම්මා අදටත් සිහිපත් කරයි.

නිශාන් අයියාගේ නිවසේ මා සහ දරුවන් දෙදෙනා නවාතැන් ගත් කාමරය මුහුණලා තිබුණේ පාර දෙසට වන්නටය.එදින රාත්‍රියේ නිවසේ සවි කර තිබූ අනතුරු ඇඟවීමේ සංඥාව නාද වන ආකාරය වරක් මා හට ඇසුනි.මද වේලාවක් නාද වී එය නිහඬ වූ නිසා මා ඒ පිළිබඳව එතරම් තැකීමක් කළේ නැත.ඉන්පසු දින තරගයක් නැරඹීම සඳහා යාමට අප හට නියමිතව තිබුණි.එදින තරඟය නරඹා පසු දින නැවතත් නිශාන් අයියාගේ නිවෙසට පැමිණීමට අප සැලසුම් කළෙමු.

සියලු දෙනාම ගමන අතරතුර දී මිලදී ගත් බොහෝ දෑ තිබුනු බැවින් අපගේ බඩු බාහිරාදිය නිශාන් අයියාගේ නිවසේ තබා යාම පහසුවක් වේ යැයි අප සිතුවෙමු.ඒ අනුව එදිනට අත්‍යවශ්‍ය වන ඇඳුම් සහ අනෙකුත් ද්‍රව්‍ය කිහිපයක් පමණක් රැගෙන යාමට අප කතිකා කර ගත් නිසා , මා ,මගේ සහ දරුවන්ගේ ඇඳුම් කිහිපයක්ද අපට අවශ්‍ය අනෙක් ද්‍රව්‍ය කිහිපයක් ද බෑගයකට බහා සූදානම් කර ගත්තෙමි.මා කාමරයේ ඉතිරි කල බඩුබාහිරාදිය අතර හෂාන් මගේ උපන් දිනය වෙනුවෙන් තිළිණ කල Lorency වර්ගයේ මිල අධික බෑග් දෙකක් ද තිබුනි.කෙසේ හෝ තරඟය නැරඹීම සඳහා යාමට සියලු දෙනාම වාහනයට නැග සූදානම් වූ පසු මගේ සූට්කේසය රැගෙන යා යුතුමයි යන හැඟීමක් මට ඇති විය.මා නැවතත් වාහනයෙන් බැස කාමරයට පැමිණ මගේ සූට්කේසය වාහනයට දැමුයෙමි.

එදින තරගය නරඹා හෂාන් ඇතුළු පිරිස අප සමග රාත්‍රී ආහාරය ද ගත්තෙමු.එදින රාත්‍රිය අප සියලු දෙනාම ගත කළේ එම ප්‍රදේශයේ පිහිටා තිබූ හෝටලයක ය.අප නැවතත් නිශාන් අයියාගේ නිවස කරා ඒමට පිටත් වූයේ පසුදින උදෑසන ය.නිශාන් අයියාගේ නිවසට පැමිණ දොර විවෘත කර නිවසට ඇතුළු වූ අපට දැකගත හැකි වූයේ ගෘහ භාණ්ඩ කිසිවක් නොමැතිව හිස්ව තිබූ නිවසයි. ජනෙල් වලට දමා තිබූ තිරරෙදි , මුළුතැන්ගෙයි උපකරණ , නිදන කාමර වල ඇඳ ඇතිරිලි , අප සියලු දෙනාගේම බෑග් පවා ඒ මොහොතේ දී අපට දැක ගන්නට ලැබුණේ නැත.අප නැති අතරේ නිශාන් අයියාගේ නිවසේ තිබූ සියලුම දෑ සංවිධානාත්මක කල්ලියක් විසින් රැගෙන ගොස් තිබුණි.නිශාන් අයියාට ඉතිරිවී තිබුණේ ඔහු හැඳ සිටි ඇඳුම සහ ඔහු රැගෙන ගිය කැමරාව පමණි.ගමන අතරතුර දී අප මිලදී ගත් විවිධ දෑ , අප දරුවන්ගේ පොත් බෑග් පවා සොරුන් විසින් රැගෙන ගොස් තිබුණි.සිදුවී ඇති සිදුවීම සම්බන්ධයෙන් නිශාන් අයියා ඒ තරම් කලබලයට පත් නොවුණු අතර ඔහු පැවසුවේ එම රටෙහි එය ඉතාම සාමාන්‍ය දෙයක් බවයි.පෙර දින රාත්‍රියේ දී මා හට අනතුරු ඇඟවීමේ සංඥාව ඇසුනේ එම සොරුන් පැමිණ විපරම් කළ අවස්ථාවේදී යැයි මට සිතුනි.ඉන් පසුව අප නිවසේ නොමැති බව කෙසේ හෝ දැනගෙන ඔවුන් පැමිණ මේ ආකාරයට මුළු නිවසේම බඩුබාහිරාදිය මංකොල්ලකා තිබුණි.එම සොරකම පිළිබඳව නිශාන් අයියාගේ සැකය එල්ලවී තිබුණේ නිවසේ සිටි සේවිකාව වෙතටය.ඇයගේ ලද තොරතුරු අනුව හෝ ඇය සම්බන්ධ වී මෙය සිදුවන්නට ඇති බව නිශාන් අයියාගේ මතය විය.කෙසේ හෝ තම තමන්ගේ සියලු දෑ අහිමි වීම පිළිබඳව සියලු දෙනාගේම සිත් තුළ තරමක දුකක් වූවා මෙන්ම එම සිදුවීම හැමදෙනාටම අමතක නොවන අත්දැකීමක් බවට ද පත් විය.එපමනක් නොව තමන්ගේ පොත් බෑග් අහිමිවීම නිසා අපගේ දරුවන් දෙදෙනාද නොනවත්වාම හැඬූහ.අහම්බෙන් හෝ මට දැනුනු සිතුවිල්ලකට අනුව පිටත් වීමට පෙර මා වාහනයෙන් බැස ගොස් මගේ සූට්කේසය රැගෙන ආ නිසා අප හට ඉතිරි වූයේ එය පමණය.මගේ වටිනා බඩු සහ මා මිලදී ගත් බොහෝ දෑ එය තුළ තිබුනි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැවැත්වුන තරග අතරින් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙන විට අනුර ජයවර්ධන අයියා සහ ඔහුගේ මිතුරෙකු දකුණු අප්‍රිකාවට පැමිණියහ.තරග නැරඹීම සදහා යාමට ඔවුන් ද අප හා සම්බන්ධ විය. වාහනය ධාවනය කිරීමේ වගකීම අනුර අයියා විසින් බාර ගැනීම ඉන්පසුව මා හට විශාල පහසුවක් විය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles