අම්මා වාට්ටුවට පැමිණියා නොව කඩා වැදුණා ය.දෙනෙත් නිසා මා කෙරෙහි කෝපයෙන් සිටි ඇය මට අනතුරක් වේයැයි භීතියටත් වේදනාවටත් පත්ව ඇතැයි මට දැනුණේ සතුටකි.මම වෙළුම් පටිවලින් වෙලා තිබූ අතත් කකුලත් දෙස සන්තෝසදායක බැල්මක් හෙලුවෙමි.
“අවසිහියෙන් පාරේ යනවා. මොනවා හරි වුනානම් මං අර මනුස්සයාට මොනවද කියන්නේ?”
අම්මා පැවසුවේ ඒ වචන ය.මීට සුළු මොහොතකට පෙර ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අක්කා කෙනෙකු එහිදී සුළු අනතුරකට පත්ව රෝහලට රැගෙන විත් තිබිණ.ඇගේ අම්මා වාට්ටුවට පැමිණි අන්දම මම සිහි කළෙමි.
“මොකද රත්තරනේ මේ වුණේ..තාත්තෙක් වගේ ගෙදරට කෑම ටික හොයල දෙන මගෙ රත්තරං කෙල්ල..මගේ රත්තරංට පත්තිනි අම්මගෙ පිහිටයි..”
අපිළිවෙල ඇඳුමක් හැඳ සිටි ඒ අම්මා එසේ හඬා වැටෙන්නට විය.හොඳ සිහියෙන් ද සුවයෙන් ද සිටි ඇගේ දියණියට අම්මා නැළවීම පවා අසීරු වූවා ය.
එහෙත් මගේ හිස අතගා “කොහොමද මැණික” යැයි ඇසුවේ මම්මා ය.අම්මා මා ඇගේ වගකීමක් බවත් මා සම්බන්ධයෙන් තාත්තාට වගකිය යුතු බවත් කියමින් දොස් නඟන්නී ය.අම්මාට මා වගකීමක් පමණක් වීම මොනතරමේ වේදනාවදැයි මම සිතීමි.එය දරන්නට අපහසු ය.නමුත් ඉවසා දරා ගත යුතුම ය.
“සිහියකින් නෙමෙයිනේ ඉන්නේ. හිතේ තියෙන්නේ වෙන වෙන එව්ව නේ..”
අම්මා මට දෝෂාරෝපණය කළා ය.මම්මා ඇයට රවා බලන අන්දම මම දුටුවෙමි.අපට කතාබහ කරන්නට ඉඩ දී යන්නට ගිය සුගත් අංකල් මතු වූයේ ඒ මොහොතේදී ය.
“අනෝමා,ඔය දරුවා ඉන්නේ අසනීපෙන්.තුවාල වෙලා අමාරුවෙන් කෑ ගහන්න එපා..”
ඔහුගේ හඬ තියුණු බව මට සිතිණි.මේ සුගත් අංකල් මා සමග කතා කරන සැහැල්ලු ස්වරය නොවේ.නමුත් අම්මා ඉන් වඩා කෝපත් වූවා ය සුගත් අංකල් අත තිබුණේ ප්‍රමුඛ පෙළේ අවන්හලකින් ලබාගත් ආහාර වර්ග කිහිපයකි.
“මම පුතාට රෑට කෑම ගෙනාවා..”
ඔහු කියන්නෙ පිය ගුණය පිරි කටහඬකින් ය.මම්මා ඔහු දෙස කරුණික බැල්මක් හෙළුවා ය.නමුත් අම්මා කෝප වූවා ය.ඒ ඔහු ඕනෑවටත් වඩා මා ගැන සොයා බැලීම ගැන දැයි මම සිතුවෙමි.නමුත් හේතුව එය නොවේ.
“මෙයාව ඩිස්චාජ් කරන්න ඕනේ..”
ඈ කියන්නේ කෝපයෙනි.සුගත් අංකල් වරදක් කළ අන්දමේ හඬකිනි.
“හැම දෙයක්ම ඔයාට ඕන විදියට සිද්ධ වෙන්න ඕනි කියලා ඔයා හිතාගෙන හිටියට එහෙම බෑ…”
සුගත් අංකල් ඒ පැවසුවේ මේ මොහොතට අදාළ කාරණාවක් නම් නොවන බව සිතද්දී මට හදිසි සිනාවක් පහළ විය.ඒ සිනාව බෝ වූ මම්මා ද ඉවත බලා ගනු මම දුටුවෙමි.
“දූ ඉන්නේ ඇක්සිඩන්ට් වෙලා..එයාව හප්පපු වාහනයක් තියෙනවා.ඒ ගැන පොලිසියේ ලියවිලා තියෙනවා.ඕනෙ විදියට දුව අරගෙන යන්න හොස්පිටල් එකෙන් ඉඩ හම්බෙන එකක් නෑ.අනිත් එක ගෙදර ගෙනියන්න බෑ දරුවාට අමාරුයි..”
රෝහලට මගේ තාත්තා යැයි පැවසූ අංකල් සැබෑවටම පියෙකුගේ වෙස් ගෙන තිබිණි.අම්මා ඔහුට හෙළුවේ අකුණු සැර බැල්මකි.
“මෙයා ජීවිතයකට මෙහෙම ඉස්පිරිතාලෙක ඉඳලා නෑ.මේ සැපට හැදුණු ළමයි.මාසයක් දෙකක් හොස්පිටල් ඉන්න උනත් මෙයාලගේ තාත්ති මෙයාලගේ තිබ්බේ ප්‍රයිවෙට් තැන්වල..”
කාර්යාල බෑගයක් රැගෙන බසයෙන් කාර්යාලයට ගොස් එන සුගත් අංකල්ට ඒ කතාව සැබෑවටම අකුණු පහරක් වන්නට ඇත.ඔහුට ඉදිකර දෙන්නට නොහැකි වූ ලෝකයක් තමන්ගේ සැමියා ඉදි කර දුන් බව පැරණි පෙම්වතිය පවසද්දී සුගත් අංකල්ට මොන තරමේ වේදනාවක් දැනෙන්නට ඇත්දැයි මම වේදනාබර ව සිතුවෙමි.
“කැමැත්තක් කරන්න සරෝ අක්කේ…”
ඔහු මම්මාට පවසා ඉවතට ගියේ ය.අම්මාගේ මේ විෂ සහිත හැසිරීම තේරුම් ගත නොහැකි වූ මම ඇගේ මුහුණ දෙස නොමනාපයෙන් බැලුවෙමි.අඩුම තරමේ ඇය මගේ ජීවිතය බේරා ගැනීම ගැන ඔහුට ස්තූති කළේවත් නැත.තමන්ගේ වගකීම ගැන කියන ඇය සුගත් අංකල් කළ උපකාරය ගැන වචනයකින්වත් ස්තුති නොකිරීම මට මහත් අප්‍රසන්න හැඟීමක් රැගෙන ආවේ ය.
“මට මෙහෙම හොඳයි..”
කොහෙන් හෝ පැමිණ මා රෝහලට ගෙන ආ සුගත් අංකල්ගේ ගෞරවය වෙනුවෙන් මම පෙනී සිටියෙමි.
“හිඟන්නෙක් මත්තෙ නැහි නැහි හිඟන වෙන්න හදන්න ඕන නෑ..”
අම්මා ඊළඟ කෝපය මගේ හිස මත අත හැරියා ය.මම එය නෑසුනා සේ ඉවත බලා ගතිමි.මේ මොහොතේ අම්මාගේ අනවශ්‍ය කෝපය ද දෙනෙත්ගේ ආඩම්බරකාර මාන්නය ද තුවාලවල වේදනාව ද මට නොදැනේ.සුගත් අංකල් මේ තරමට අම්මාට අප්‍රිය වීමට හේතුව පමණක් දැන ගැනීමට මට ඕනෑ විය.