අකල් වැහි -19

ගාලු මුවදොර පිටියට ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බවත් එක් වීඩියෝවක සිතිජ පහර කෑමට ලක් වන ආකාරය හොඳින්ම පෙනෙන බවත් නිපුනි පවසන හඬ හිරුදිට ඇසුණේ සිහිනයකින් වාගේ ය.ඇය ඇමතුමේ හිඳිමින් ම රූපවාහිනිය ක්‍රියාත්මක කළා ය.

ගිනි දැල් ඇවිලෙමින් තිබේ!!
හිරුදි ඒ දෙස බලා හුන්නේ කඳුළු වලට ඉඩ දෙමිනි.නොදන්නා තරුණයන් පීඩාවට පත් වන ආකාරය බලා හිදියදී ඇයට සිහි වූයේ නිසල් ය.ඔහුගේ සුන්දර සිනාව ය.ඔහු මේ අසාධාරණ ලෝකයෙන් නික්ම යාමට කළ වරද හිරුදිට ආදරය කිරීම ය.මේ තරුණයන් හිංසාවට පත් වීමට හේතුව දේශයට ආදරය කිරීම ය

“අනේ මේ වීඩියෝ එක බලන්න හිරූ..”

නිපුනි එසේ ලියා එවා තිබුණේ වීඩියෝ පටයක් සමඟිනි.සිතිජට මැරයන් පිරිසක් වටවී පහර දේ.එය අතරමඟකින් නවතින්නේ වීඩියෝ කරමින් හිඳින මිතුරාට ද පහරක් එල්ල වීමට පටන් ගන්නා නිසා ය.හිරුදි සිතිජට අමතන්නට වූයේ උමතුවෙනි.නමුත් ඔහුගේ දුරකථනය ප්‍රතිචාර නොදක්වයි.හිරුදි දරා ගත නොහැකි වේදනාවෙන් ඉකි ගසා හඬන්නට ගත්තා ය.

“හිරූ..නිසල් අයියා ඇක්සිඩන්ට් වෙලාලු.”

ඒ නපුරු ආරංචිය ද ඇය වෙත ගෙන ආවේ නිපුනි ය.එදා නිසල්ට සිදු වූ දේ ඔවුන් අදට ද නොදනී.නමුත් සිතිජට මැරයන් පහර දෙන වීඩියෝ පට බලන්නට හැකිව තිබේ.ම්ලේච්ඡත්වය උතුරා යන ඒ දර්ශනය හිරුදි නැවත නැවත නැරඹුවා ය.

“එයාලා කෝල්ස් ගන්න එපා කියලා කියනවා හිරූ.මම එතන ඉන්න කීප දෙනෙක්ටම කතා කරන්න ගිහින් වැඩේ අත් ඇරියා.”

නිපුනි හෝරාවකට පසු ඇමතුමක් දුන්නේ ඒ බව කියන්නට ය.සිතිජ දරුණු ලෙස තුවාල ලබා ඇති බවත් ඔහු රෝහල් ගත කළ බවත් සටන් සගයෙකු ෆේස්බුක් මත ලියා තිබුණේ ඒ ආරංචියෙන් හිරුදි දැවෙමින් හිඳියදී ය.

“නිපූ,අපේ ගෙදර ගාවට එන්න.මට හොස්පිටල් එකට යන්නෝනෙ..”

මිතුරිය මේ ඉල්ලීම කරන්නේ සිතිජ ගැන උපන් ආදරයකින්දැයි අසන්නට නිපුනිට සිහි නොවිණ.ඇය පවා හිඳින්නේ සිතිජ ගැන ආදරයෙනි.ඔහු මේ පහර කෑමට ලක් වූයේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් වෙහෙසී නොවේ.රට වෙනුවෙන් හඬ නගන්නට ගොස් ය.ගිලෙමින් පවතින නැවක් බඳු රටේ අබලි වී ගිය නැව් බඳ යළි පිළිසකර කරන තරුණයන්ට ගුටි ද වෙඩි ද හිමි වීම මොනතරමක අවාසනාවන්තකමක්දැයි නිපුනි සිතුවේ හිරුදිගේ නිවස වෙත රිය ධාවනය කරන අතර ය.

“කොහෙ යන්නද චූටි දුව?”

සාලයේ ඇති සුවිසාල රූපවාහිනිය වෙත නෙත් අලවා හිඳින මල්ලිකා සමරවික්‍රම දියණියගෙන් ඇසුවේ පුදුමයෙනි.එහි නොනවත්වාම ප්‍රහාරයේ තතු විකාශය වේ.

“යාලුවෙක්ට හදිසි කරදරයක්.නිපූ එක්ක එළියට යනවා.”

එසේ පවසා හිරුදි බරාඳයට යන්නට සැරසුණේ රූපවාහිනිය දෙස බලන්නට හිත හදා ගන්නට බැරි හන්දා ය.හදවත මත පිහි පහර ඇඳෙන්නාක් මෙන් වේදනාවක් ඇයට දැනේ.රටේ බහුතර හදවත් එසේ වේදනාවෙන් උමතුව ඇතැයි ඇයට සිතුණේ කැමරාවට හඬමින් කෑගසන මිනිසුන් දකිද්දී ය.

“අර මෝඩ අරගලකාරයන්ට යහමින් කෑම හම්බ වෙලා යස වැඩේ.මුන් කියන විදියට නටන්න පුලුවන් කාටද?”

මල්ලිකා සමරවික්‍රම තවත් මොනවාදෝ කියන්නට සැරසුණා ය.නමුත් හිරුදි අම්මා දෙස බැලුවේ දැවී අළුව යන බැල්මකිනි.ඒ දියණියක අම්මා දෙස බැලිය යුතු වර්ගයේ බැල්මක් නොවේ.නමුත් කරන්නට කිසිවක් නොවේ.

“මොනවද අම්මා මේ කියන්නේ.අනිත් අම්මලා අඬ අඬ කෑගහගහ දුවගෙන ආවේ.ළමයින්ට ඔහොම ගහන්න එපා කියලා ඒ මිනිස්සු මොර දුන්නා.අම්මාට තියන අමුතු සතුට මොකක්ද? රටක් නැති වුණොත් නැති වෙන්නේ උන්ට විතරක් නෙවේ අම්මා.අපිටත් එක්ක.චේතනලට වුණත් ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් වෙන්න පුලුවන්.නිසල්ට වුණු දේ හෙට චේතනටත් වෙන්න පුලුවන්.ඒක අමතක කරන්න එපා.හැමදාම බලේ ඉන්න බෑ අම්මා.චේතනට වුණත් එච්චරයි.”

දියණියගේ මේ අමුතු ආවේගයට හේතුව මල්ලිකාට කිසිසේත්ම අනුමාන කරන්නට හැකි නොවී ය.සෑම විටම චේතනට විරුද්ධ පස සිට ගැනීම දැන් දැන් ඇගේ සිරිත වී ඇති බව පමණක් මල්ලිකාට සිතිණ.නමුත් ඇයට හිරුදි හා වාද කරන්නට ඉඩ නොලැබිණ.ඇස පියන වේගයට හිරුදි පිටව ගොස් තිබුණා ය.

“මොනවද මේ වෙන්නෙ නිපූ? සිතිජට අමාරුද ගොඩක්?”

මෝටර් රථයට පිළිපන් වහා හිරුදි එසේ ඇසුවේ වේදනාබර හඬකිනි.තවත් අහිමිවීමක් විඳ ගන්නට තරම් හිත ශක්තිමත් නැති බව කියන්නට නොහැකිව ඇය දෑස් තද කර පියා ගත්තා ය.කඳුළක් රූරා වැටුණේ සිතිජ වෙනුවෙන් ද නිසල් සිහි වීමෙන්දැයි ඇය තෝරා බේරා ගන්නට උත්සාහ නොකළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles