සුධාරක විසින් ගොඩ නැගූ නිවසේ ජීවත් වූයේ දිල්හානිගේ අම්මත් තාත්තත් බව මම ඊයෙ ඔබට පැවසුවා.මේ නිවසට සුධාරකට ඔහු සතු බඩු බාහිරාදිය රැගෙන එන්නට යන්නටවත් ඔවුන් ඉඩ දුන්නේ නෑ.ඔහු පැමිණියත් පොලිස් පැමිණිලි දමමින් ගැටළු ඇති කරන්නට පටන් ගත්තා.ඒ සියල්ල විදේශයේ සිට දිල්හානි මෙහෙයවන්නටත් ඇති.
“මම රට ඉන්නේ.ඒ අතරේ අපේ ගෙදර ඇවිල්ලා මගේ මහත්තයා අපේ අම්මලට ගහලා එළියට දාන්න හදනවා.එයාලා වයසයි.එයාලට හිරිහැර කරන්න දෙන්න එපා”
මේ වගේ ඇමතුම් ඇය පොලිසියට ලබා දෙනවා.ඒවා විභාග කරන්නට ඇගේ අම්මාත් පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙනවා.
දෙමාපියන් දරුවෙකුගේ වරදක් දුටු තැන ඒ වරද හැදීම කළ යුතුයි.ඒවා නිවැරදි නොකර දිගින් දිගටම සාධාරණීකරණය කරන්නට යාම විශාල ගැටළු ගොඩක් ඇති කරන්නට සමත් වෙනවා.මෙතැනත් සිදුව තිබුණේ එයමයි.
කොහොමටත් ඒ දෙමාපියන් සෑම විටකම දිල්හානිව නිවැරදි කරන්නට උත්සාහ දැරූ අය බව සුධාරක මට කියා තිබෙනවා. විවාහ වු මුල් කාලයේ පටන්ම දිල්හානි ඔහුව නොසලකා හරිද්දී සුධාරක ඒ ගැන ඔවුන්ට කියා තිබෙනවා.
“මට දිල්හානි හරියට සලකන්නේ නෑ.හරියට ආදරයක් නෑ.එහෙම කොහොමද පවුල් ජීවිතයක් ගෙනියන්නේ.මට හැබැයි පස්සේ දොස් කියන්න එපා.”
ඔහු එහෙම සිය වතාවකටත් වඩා කියා තිබුණා.ඒ හැම අවස්ථාවකම ඒ අම්මා බොරු මනස්ගාත නොහිතන ලෙස සුධාරකට පැවසුවා විනා දිල්හානිව නිවැරදි කරන්නට උත්සාහ කර නැහැ.අඩුම තරමේ ඇය දිල්හානි නිවැරදි කරන්නට හරි උත්සාහයක් දැරුවා නම් මේ දේවල් මෙහෙම නොවෙන්නට ඉඩ තිබුණා!
ඒ නඩු වලට ඔහේ පැටලවෙමින් සිටියදී දිල්හානිගේ අම්මාද රෝගී වී තිබුණා.දැන් ගෙදර ලබා ගන්නට කාලය පැමිණ ඇති බව සුධාරක තීරණය කළේ ඒ කාලයේදී.ඔහුගේ මහ ගෙදර ජීවිතය අපිට විශාල ලෙස මුදල් නාස්තියක් වුණා.අනිත් කාරණාව මහ ගෙදර පිහිටා තිබුණේ කොළඹට සෑහෙන දුරකින්.ඒ නිසා ගමන් මහන්සිය ද වැඩි වීම විශාල කරදරයක් හිරිහැරයක් වුණා.ඒ නිසා ගෙදර නැවත ලබා ගත යුතු බව සුධාරක කල්පනා කළා.ඒ ඔහුගේ නිවස.ඔහු දුක්මහන්සියෙන් උපයා ගත් මුදලින් සැකසූ ගෙය.ඒ නිසා ඔහු ඒ සඳහා කළ හැකි දේ සොයා බලන්නට පටන් ගත්තා.
ඒ නිවස ඉතා විශාල නිවසක් නිසා දිල්හානිගේ අම්මා පියාගේ මළගමින් පසු නිවසේ රැඳුණේ නැහැ.ඔවුන් විවිධ මිථ්‍යා දේ සිදු කරන්නට නිවස යොදා ගත් නිසා නිවසේ හොල්මන් සහ භූත බලවේග ඇතැයි ඔවුන් සිතන්නට හුරුව තිබුණා.අන්න ඒ නිසා ඇය නිවස අතැර දමා ගොස් තිබුණා.
ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සුධාරක කල්පනා කළේ ඒ අතරේ.