මුතු බෙලි හදවත – 1 කොටස

ආදිත්‍යා විජයවික්‍රම නොහොත්, උප්පනැන්න සහතිකය ප්‍රකාර ව ආදිත්‍යා වරුසවිතාන, යහන මත නිදන සිඟිති පුතු දෙස බලා ගෙන උන්නා ය. මින්දුල විජයවික්‍රම! ඔහු කොයි තරම් නම් අහිංසක දරුවෙක් ද? මේ වගේ රුදුරු දඬුවමක් පමුණුවන්නට දෛවය ඔහු වගේ අහිංසකයෙකු තෝරා ගත්තේ ඇයි කියා ආදිත්‍යා ට තවමත් සිතා ගත නො හැකි ය. ඇය ට මින්දුල ගේ වෙනසක් දැනෙනකොට ඔහු මාසයක් තරම් බිළිඳෙකු විය යුතු ය. ඒ වෙනස කුමක් ද කියා ඇය ට නිශ්චිත ව සිතා ගත නො හැකි වූයේ ය. ඒ ඇය උගෙන තිබූ යමක් නොවේ. ඒ ඇගේ හදවතට දැනුණ දෙයකි. ඇය කිරට හරවන ලෙයට දැනුණ දෙයකි. මින්දුල අම්මා ගේ ඇස් දෙස බැලුවේ නැත. මේ කාරණය ආදිත්‍යා ගේ පපුව කීරි ගස්වමින් තිබිණි. නමුත් ඕ සිය සැමියා වන විකුම් විජයවික්‍රම ට හෝ මේ වගක් කියන්නට ගියේ නැත. දරුවා ගේ අමුත්තක් දැනෙතැයි ඇය විකුම් සමගින් කීවේ, දෙතුන් මසක දරුවෙකු නගනා ලාලන කූජන සහිත ළදරු බසින් සිය පුත් කුමරා මව් අමතන බවක් ද නො පෙනෙත්දී ය.

“ඕක මහ දෙයක් නෙවෙයි ආදි. හරියයි. හැම ළමයෙක්ම එක වගේ නෙවෙයිනෙ. එක එක ළමය එක එක විදිහයි”

එසේ සිතන්නට ආදිත්‍යා ද උත්සාහ කළා ය. සැබවින් එසේ වෙනවා ට ඕ රිසි ද වූවා ය. නමුත් දිනෙන් දින කල් ගත වෙත්දී ත්, විජයවික්‍රම ඇමති මැදුර වන විකුම් පායේ ඔටුන්න හිමි කුමාරයා මාසයෙන් මාසය වයස් සපුරත්දී ත් ආදිත්‍යා ගේ හදවත් කුටීර පුරවා දමමින් ඇගේ සැකය ඔඩු දුවමින් තිබිණි. අනිත් බොහෝ දරුවන් ට වඩා මින්දුල වෙනස් බව ඇය ට දැනුණේ ය.

“බායි කියන්න මැණික තාත්තිට”

උදේ ට විකුම් ගෙදරින් පිට වන්නට සූදානම් වෙත්දී නො වරදවා ම ආදිත්‍යා කීවා ය. මින්දුල ගේ සිඟිති අත අල්ලා සොලවා එසේ කරන්නට පෙළඹවූවා ය. ඔහු ගේ වයසේ බිළිඳුන් එහෙම කරන බව ඇය දැක තිබිණි. අනිත් හැම පියෙකු සේ ම විකුම් ද සිය කුළුඳුල් පුතු ගේ එවන් හුරතල් දකින්නට ආශා වන බව ද ආදිත්‍යා දැන සිටියා ය. නමුත් මින්දුල එසේ කළේ නැත.

අඩු තරමින් ඔහු අම්මා කියා තමා නො අමතන්නේ මන්දැයි ඇය සන්තාප වූවා ය.

“සමහර ළමයි කතා කරන්න ටිකක් පරක්කු වෙනව දුව. විශේෂයෙන් ම පිරිමි ළමයි”

ආදිත්‍යා පත් ව හිඳින මානසික වියවුල වටහා ගත් විකුම් ගේ මව, සඳසීලී විජයවික්‍රම, ලේලිය ගේ හිත හැදුවා ය.

“සමහර ළමයි කොහොමත් පරක්කු වෙනව පෙරලෙන්න ඇවිදින්න කතා කරන්න. සමහර බබාලට දත් එන්නෙ පවා අනිත් අයට වඩා ප්‍රමාද වෙලා. ඒ ගැන බය වෙන්න එපා”

දරුවන් තනා අත්දැකීම් ඇති නැන්දණිය සේ ම ඇය ගේ ම මවත් ඒ කාරණා එසේ ම යයි පවසා සිටියදී ආදිත්‍යා සන්සුන් වූවා ය. නමුත් ඇගේ හදවත තුළ සුළි සුළඟ සම්පූර්ණයෙන් තුනී ව ගොස් තිබුණේ නැත. මින්දුල ගේ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරයා වෙත ගිය මීට සතියකට පෙර දිනෙක, ඇය දරුවා ගේ වෙනස ගැන වෛද්‍යවරයා සමග කීවා ය. පරීක්ෂණ කටයුතු සිදු වූයේ ඉනික්බිතියි.

“බබා ඔටිසම් අම්ම”

වෛද්‍යවරයා ඉතාමත් කාරුණික ස්වරයකින් එසේ කී මොහොතේ ආදිත්‍යා ට දැනුණේ ඈ වට කර ගෙන සමස්ථ ලෝකය ම කැරකෙන්නා සේ ය. විනාඩි කිහිපයක් ගත වන තෙක් පියවි සිහිය එළඹවා ගන්නට සැබවින් ම ඕ අපොහොසත් වූවා ය.

ගෙදර ආ ඇය අන්තර්ජාලය පීරමින් ඔටිසම් දරුවන් ගැන කොරතුරු හෙව්වා ය. හැල්මේ ඒවා කියවමින් සිය දරුවාත් ඒ ලිපි වල කරුණුත් අතර සමානතා සෙව්වා ය. විශේෂඥ වෛද්‍යවරයා ට වැරදී ඇතැයි සිතන්නට ඇයට උවමනා විණි. නමුත් ඔහු ට වැරදී තිබුණේ නැත.

“විකුම්…ඔයා යන්නද…”

පිටතට යාමේ සූදානමින් කාමරයට පැමිණි සිය සැමියා වෙත යමින් ආදිත්‍යා මුදු ස්වරයෙන් විමසුවා ය. යන්තම් අඩැසින් මින්දුල ව දුටු විකුම් ඉවත බලා ගත්තේ ය.

“හ්ම්”

“විකුම්. ඔටිසම් බබාලව ට්‍රේන් කරන ට්‍රේනින් සෙන්ටර් එකක් ගැන ඩොක්ටර් මට කිව්ව. අපි පුතාව එතනට එක්කං යමුද…”

“අනේ මේ ආදිත්‍යා. මගෙ යකා අවුස්සගන්නැතුව ඉන්නවද…”

ආදිත්‍යා කතා කළේ කෙතරම් පහළ ස්වරයකින් ද? නමුත් ඊට ප්‍රතිචාර වශයෙන් විකුම් ගේ දෙදරා යන සේ ගුගුළේ ය. ආදිත්‍යා තිගැස්සී ගියා ය. බියපත් ඕ වහා හැරී බැලූයේ මින්දුල දෙස ය.

“අනේ ඔච්චර සද්දෙං කෑ ගහන්න එපා විකුම්. පුතා සද්ද වලට හරි බයයි.”

“මොන කරුමයක්ද අප්ප මේක…මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි. ඔන්න ඔය මන්ද බුද්දික ළමයව ආබාද තියෙන ළමයි ඉන්න ඕෆනේජ් එකක් බලල දාමු. අපිට පුළුවන්නෙ මාසෙකට වැඩියෙනුත් එක්ක ගාණක් ගෙවන්න”

“අනේ…මොනාද විකුම් ඔයා මේ කියවන්නෙ….අපිට පුළුවන් ද අපේ දරුවව අනාත නිවාසෙකට දාන්න…කාත් කවුරුත් නැති අසරණයෙක් වගේ…”

ආදිත්‍යා ගේ මව්වත් හදවත තුළ මහා දුක් සුසුමක් පිරිණි. ඉකි ගසා හැඬීමේ අවශ්‍යතාවයක් හිතට දැනුණත්, මේ හඬා දොඩා දුර්වල විය යුතු මොහොතක් නොව වඩාත් ශක්තිමත් විය යුතු අවස්ථාවක් බව හිත ඇය ට කීවේ ය.

“අපි කරන්න ඕනෙ කොහොම හරි පුතාව සාමාන්‍ය දරුවෙක් ගෙ කිට්ටුවට හරි සනීප කර ගන්න එක නේද විකුම්…මං කියන නිසා අපි ට්‍රේනිං සෙන්ටර් එකට යමු. එතනිං පුතාට උදව්වක් ලැබෙයි කියල මට විශ්වාසයි”

“අනේ මේ. මට නං කතා කරන්න එපා ඔය වගේ තැන් වලට යන්න. රෙද්දක් ඇඳගෙනද මං ඕවට යන්නෙ ආ…මිනිස්සු අහන්න පටන් ගනියි මට ඉන්නෙ මන්ද බුද්දික ළමයෙක්ද කියල. තමුන්ට ඕනෙ ඒ ටික කරන්නද…”

“ඔයා කතා කරන්නෙ මේක මගෙ වැරැද්දකින් වුණ දෙයක් වගේනෙ විකුම්”

“වැරදි කවුද නැත්තෙ කවුද කියල දැං වැඩක් නෑ. මං කියන දේ කරමු. මේ ළමයව අපි ළඟ හදන්න බෑ ආදි. ඔයා මේක තේරුං ගන්න”

“මං මගෙ දරුවව මගෙං වෙන් කරන්නෙ නෑ විකුම්. මං මගෙ පුතාව කොහොම හරි සනීප කර ගන්නව. කොහොම හරි…”

ආදිත්‍යා හැඬුම් බර වූවා ය.

“සනීප කර ගන්න බැරිනං වළ දා ගනිං”

විකුම් ගේ හඬට කාමරය දෙදරුවේ ය. කලබලයෙන් අවදි වූ මින්දුල කෑ ගසා හඬන්නට පටන් ගත්තේ ය. ඔහු දෙස රවා බැලූ විකුම්,

“මගෙ කරුමෙකට ඉපදිච්ච එකෙක්”

යයි කියමින් කාමරයෙන් නික්ම ගියේ ය.

දරුවා නලවා ගැනීම ආදිත්‍යා ට පහසු කටයුත්තක් වූයේ නැත. මින්දුල මෙවන් අවස්ථා වල හැසිරෙන්නේ සාමාන්‍ය දරුවන් ලෙසින් නොවේ. ශබ්ධ වලට ඔහු දැන් දැන් අසීමිත ලෙස සංවේදී වී ප්‍රතිචාර දක්වයි. ඒ හැඬීම කලහකාරී ය. ආක්‍රමණශීලී ය. එවන් අවස්ථා වලදී ආදිත්‍යා ද දැඩි සේ ව්‍යාකූලත්වයටත් ඉච්ඡාභංගත්වයටත් පත් වේ.

“අනේ පුතේ…අඬන්න එපා පුතේ…අම්මව තේරුං ගන්න මගෙ මැණිකෙ. අම්මගෙ හිත තවත් පාරන්න එපා රත්තරං පුතේ..අනේ අඬන්නැතුව ඉන්නකො”

දරුවා ගේ හැඬීම පහත මහලට ද ඇසුණෙන් සඳසීලී විජයවික්‍රම ඉක්මනින් මතු මහලට දිව ආවා ය.

“ඇයි මේ ආදිත්‍යා…”

“අනේ බලන්න අම්ම. මේ දරුවගෙ තත්වෙ දන්නෑ වගේ විකුම් කෑගැහුව. එයා කියනව පුතාව අනාත නිවාසෙකට දෙමු කියල…මොන හිතකින්ද අම්ම එයා එහෙම කතා කරන්නෙ…මං හිතුවෙ නෑ විකුම් මේ තරංම හිතක් පපුවක් නැති කෙනෙක් කියල”

“හරි හරි දැන් මේ දරුව නළෝගෙන ඉමුකො. එන්න මගෙ පුතේ…කෝ එන්න පැටියො…ලොකු අම්ම ළඟට එන්න”

දරුවෙකු අමතනා හුරතල් වහරින් සඳසීලී බලයෙන් ම වගේ මින්දුල ව සියතට ගත්තා ය. දරුවා වැඩිපුර හුරු ආදිත්‍යා ට ය. නමුත් සඳසීලී ට ද ඔහු ව මඳක් පාලනය කර ගත හැක.

“අපි යංකො…ලොකු අම්මයි පුතයි සෙල්ලං කරමු හොඳේ”

කියමින් සඳසීලි දරුවා ව ගෙන පිය ගැට පෙළ බැස්සේ ද ඔහු කෑ ගසා හඬත්දී ය.

ආදිත්‍යා කම්මුල් මත තැවරී ඇති කඳුළු පැල්ලම් අකා මකා දැමුවා ය. සිතෙහි වන තුවාලය කොයි කවර දා සුවපත් කර ගත හැකි එකක් ද කියා ඇයට සිතා ගන්නට හෝ නුපුළුවන. කාමරයෙන් පිට වූ ඕ ඇවිද ගියේ උඩු මහලේ දකුණු පැත්තට නෙරමින් පිහිටන චතුරස්‍රාකාර සඳැල්ල වෙතට ය. එතැනට, මේ ගෙයි සිව් දිගට මුහුණ ලන සඳළුතලා හතර අතරින් දෙකක ම පාර්ශවයන් පෙනේ. වට තාප්ප ද ඇතුළු ව මුළු දෙමහල් නිවස ම තනි සුදු වර්ණයෙන් ආලේප කොට තිබෙන්නේ ධවල මන්දිරය සිහිපත් කරවමිනි. කැබිනට් ඇමති වරයෙකු වන සඳසීලි ගේ සැමියා – නන්දන විජයවික්‍රම, මේ දැවැන්ත මන්දිරය තනවා තිබෙන්නේ භාරත මහා රාජා කෙනෙකු ගේ මැදුරක් සිහිපත් වනාකාරයට ය. ඔවුන් පුතා වන විකුම් ද, දියණිය වන ප්‍රසාදි ද විවාහ ප්‍රාප්ත ව තව දුරටත් ජීවත් වන්නේ විකුම් ප්‍රාසාදයේ ම ය.

“තව පවුල් හත අටකට ඉන්න පුළුවන් විදිහටයි මං මේ ගේ හදල තියෙන්නෙ”

නන්දන එසේ කියා හිනැහෙන්නේ මහත් ආඩම්බරයකිනි.

මැදුර වටේට වන ඒ තරම් විශාල නොවන ගෙමිදුල, උද්‍යාන සැකසුම් කරුවන් විසින් සකසා මනා ව නඩත්තු කරනා එකකි. මේ උයනේ නෙක පැහැ මල් පිපේ!

දකුණු පස සඳැල්ලට වී මේ මන්දිරයත් උයනත් දෙස බලා හිඳීම ආදිත්‍යා මෙහි පැමිණි දා සිට කෙතරම් වාර ගණනක් සිදු කොට ඇත්දැයි ගණනය කළ නො හැකි තරම ය. මෙතැන සිට බලා සිටිත්දී ඉසිහින් සංකා හැඟීමක් ඇගේ සිත් හි ඉහිර යයි. ඒ කුමක් දැයි ඇය ට හරියට ම කිව නො හැකි ය. කෙසේ වෙතත් හදවතෙහි පූර්ණ නොවූ අංශයක් හිස් හැඟීමෙන් බලා සිටින බවක් ඇයට දැනී නො දැනී යයි.

ආදිත්‍යා වැනි සාමාන්‍ය පවුලක ගැහැනු ළමයෙකු ව සිය පුතු ගේ පතිණිය සේ තෝරා ගන්නට ඇමති වරයෙකු ගේ බිරිඳක් කටයුතු කළේ ඇයි කියා සිතන්නට ඇය කිසි දා උත්සාහ නො කළා ය. සඳසීලී විජයවික්‍රම වූ කලී  පරාර්ථයට කැප වූ ගැහැනියක ලෙස ප්‍රකට බව නම් ආදිත්‍යා දැන සිටියා ය. සමාජ සේවා ආයතනයක් විසින් පවත්වා ගෙන ගිය පෙර පාසලක ගුරුවරියක ලෙස තාවකාලික සේවයට බැඳී සිටි ආදිත්‍යා ව සඳසීලී ගේ නෙත ගැටුණේ,  සමාජ සේවිකාවක වශයෙන් එම පෙර පාසලේ ඉගෙන ගන්නා අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් ගැන සොයා බලන්නට ඇය එහි ආව ගිය අතරේ ය. නිවුනු තැන්පත් ගති ඇති ආදිත්‍යා සිය පුතු ගේ සෙල්ලක්කාර ජීවිතය වෙනස් කරනා මහා බලවේගය වෙනු ඇතැයි සඳසීලී බලාපොරොත්තු වූවා ය. ආදිත්‍යා ගේ මනබඳනා බාහිර රූපය නිසාවෙන් විකුම් ඒ විවාහ යෝජනාව ට නො සතුටු වූයේ නැත. නමුත් ආදිත්‍යා එක වර කැමති වූයේ ද නැත.

“මං ඔය ඇමති පවුල් වලට සම්බන්ධ වෙන්න කැමති නෑ. අනික ඔය ඇමතිල වගේ ම සමාජ සේවිකාවො විදිහට පෙනී ඉන්න නෝනල ගැනත් මගෙ කිසිම විශ්වාසයක් නෑ”

සඳසීලී සිය යෝජනාව ආදිත්‍යා ට නොව කෙළින් ම ඇගේ දෙමාපියන් වෙත ගෙන ආ වෙලාවේ යුවතිය එය එක හෙළා ප්‍රතික්ෂේප කළා ය. නමුත් ජීවිතයේ අනේක විධ දුෂ්කරතා අත පත ගාමින් සිටි ඒ පවුලේ උදවියට මෙය දෙපා පාමුලට ආ වාසනාවක් වූයේ ය.

“කකුල් දෙක ළඟට ආපු වාසනාවට පයින් ගහන්න එපා ආදි. මේ කාලෙ ඇමතිල තමයි මේ රටේ සිටුවරු. ආදිටත් සිටුවර සැප විඳින්න සංසාරෙ කරපු පිනක් ඇති. නැත්තං මේ කොහේවත් හිටිය කෙල්ලෙක්ට එහෙම යෝජනාවක් ගේන්න ඒ මිනිස්සුන්ට පිස්සුයැ බං”

ආදිත්‍යා ගේ මවු පිය දෙපළ මාරුවෙන් මාරුවට ඇයට සිය වාසනා මහිමය ගැන සිහිපත් කරමින් සිටියහ. ඔවුන් වැඩි දුරටත් උකහා දැක්වූයේ පවුලේ වැඩිමලා වශයෙන් ආදිත්‍යා ට මේ ලැබෙන අවස්ථාව නිසා, ඇගේ බාල සොයුරා ට හා සොයුරිය ට රජයේ රැකියා වලට පහසුවෙන් ම හිස ඔබා ගත හැකි ය යන්න ය. ආර්ථික අපහසුතා වල  කරවටක් ගිලී සිටින සිය පවුල ට සහනයක් උදා කර දෙන්නට හැකි නම් මූදට බිලි වූවත් මොකද කියා අන්තිමට ආදිත්‍යා තීරණයක් ගත්තා ය. ඈ විකුම් පායේ ලේලිය, පතිණිය, නෑනන්ඩිය වූයේ එසේ ය.

ස්වභාවයෙන් ම ලැජ්ජාශීලී කෙල්ලක වූ ආදිත්‍යා ට කිසි දා පෙම්වතෙකු සිටියේ නැත. ඒ නිසා විකුම් ගේ පතිණි පදවිය උහුලා ගැනීම ඇය ට අසීරු ව්‍යායාමයක් වූයේ ද නැත. කුමක් හෝ හිස් කමක් නිරන්තර දැනී නො දැනී ගියත්, ඇය ඒ ගැන ලොකුවට හිතන්නට නො ගියා ය. විකුම් පායේ ඔටුන්න හිමි කුමාරයා ඔටිසම් තත්වයේ රෝගී දරුවෙකු බව දැන ගන්නා තෙක් සියල්ල සන්සුන් ව පැවතිණ. කුණාටුව ඇරඹී තිබෙන්නේ දැන් ය.

“සනීප කර ගන්න බැරිනං වළ දා ගනිං….මගෙ කරුමෙකට ඉපදිච්ච එකෙක්”

විකුම් ගේ කර්කෂ වූ එවදන් තවමත් ආදිත්‍යා ගේ හද බිත්ති අතරේ හැපෙමින් පිළිරැව් දේ.

“වළ දා ගනිං…වළ දා ගනිං…මගෙ කරුමෙට ඉපදිච්ච එකෙක්…වළ දා ගනිං…”

තරමක ශබ්දයක දී මින්දුල කරන්නා සේ ම ආදිත්‍යා සිය දෑතින් දෙසවන් වසා ගත්තා ය. නමුත් දෑස් සොරොව් වසන හැටියක් ඈ දැන සිටියේ නැත.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content