(අ)හිමි සිහින -163

සෑම කළු වලාවකම රිදී රේඛා ඇඳෙන අවස්ථා ඕනෑ තරම්. සුදාරකගේ නෑදෑයන් මගේ ජීවිතය සම්බන්ධයෙන් ඔවුන්ට ඕනෑ  පරිදි උගුල් අටවමින් සිටියදී මා මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි එක් දෙයක් සිදුවෙමින් පැවතුණා.

සුදාරක ඉන්නවාට වඩා සුවයෙන්! අප බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ තත්ත්වය මඳක් යහපත් වන්නට පටන් ගත්තා.ඔහු අත් කකුල් සෙලවීම් කරන්නට,ඇස් කරකවමින් අප දෙස බලන්නට පටන් ගෙන තිබුණා.අප ඔහුට අමතන විට ඔහු ඒවාට ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්තා.හුරුපුරුදු කටහඬක් ඇසෙද්දී ඔහුගේ ප්‍රතිචාර වල වෙනස්කම් ගැන වෛද්‍ය කණ්ඩායම් නිරීක්ෂණය කිරීම අරඹා තිබුණා.දැන් කළ යුතුව තිබුණු හොඳම ප්‍රතිකාරය වූයේ අප ඔහුට නිරන්තරයෙන් ඇමතීම.

නමුත් ඔහුගේ ඥාතීන්ට රෝගියකු රෝහලේ සිටින බවත් සිහිපත්වන්නේ රෝගීන් බලන වේලාව ආසන්න වෙද්දී මා දෙළුම් යුෂ සකසන හඬ ඇසෙන විටයි.මා ඒවා සකසද්දී ඔවුන් දඩිබිඩියේ සූදානම් වී මට පෙර රෝහලට යනවා.මට ඒවා සැලෙන්නට කාරණා නොවන නිසා මා රෝහලට යන්නේ සුදාරකට අවශ්‍ය  සියලුම දේවල් සූදානම් කර ගැනීමෙන් පසුවයි.

ඔහු සිටින දැඩි සත්කාර ඒකකය වෙත රෝගීන් බලන පුද්ගලයන් ඇතුළු කරගන්නේ වරකට එක් අයෙකු බැගින්.ඉතින් අපට ලැබුණු අවස්ථාව ඉතා සුළු වේලාවක් වුණා.නමුත් සුදාරකගේ ඥාතීන් කිසිවකුත් ඒ ලැබෙන විනාඩි කිහිපය ප්‍රයෝජනයට ගත්තා දැයි මට තවමත් සැක සහිතයි.රෝගියා අසලට ගොස් ඔහු සමඟ ආදරයෙන් කතාබහ කිරීම වෙනුවට ඔවුන් යාර කිහිපයක් ඈතට වී ගල් ගිල්ලාක් සේ බලා හිඳීම රෝහල් කාර්ය මණ්ඩලය පවා දැඩි නොරිස්සුමට හේතු වුණා.

“එහෙම අල්ලන්ඩ ළඟට යන්ඩ හොඳ නැහැ මේ කොරෝන කාලේ.”

වැරදීමකින් හෝ ඔවුන්ගෙන් ඒ  බව විමසුවොත් ඔවුන් මට පැවසූයේ එහෙම දෙයක්.නමුත් අපි ආරක්ෂිත ඇඳුමක් ඇඳ මුඛ ආවරණ පළන්දා සෞඛ්‍ය ආරක්ෂිතව ඒකකය තුළට ගන්නට රෝහල් කාර්ය මණ්ඩලය ක්‍රියා කළ නිසා ඒ පවසන්නේ ඉතා විශාල බොරුවක් බව මා දැන සිටියා.සත්‍ය දැනගෙන අසත්‍යයට සවන් දෙන විට එය ඉතා විනෝදජනක බව මා අත්දුටුවේ මගේ ඥාතීන් නිසාමයි.

කාලයත් සමඟ සුදාරකගේ පවුලේ අය මට ඔහු වෙත යන්නට වෙලාව ඇහිරෙන ලෙස සුදාරක ළඟ වැඩි වේලාවක් කල් මැරීම අරඹා තිබුණා.එවිට ඔහු බැලීමට නොලැබෙන්නේ මට පමණක් නෙවෙයි.තමන්ගේ ජේෂ්ඨ නිලධාරියා ඇසිපිය සැළුවත් සන්තෝෂයට පත් වෙන ඔහුගේ කනිෂ්ට නිලධාරීන් ද දැඩි නොසන්සුන්ව මා සමඟ පිටතට වී බලා සිටියා.

නමුත් වෙලාව අවසන් වූ කිසිම දිනක මට පරාජය වන්නට සිදු වූයේ නැහැ.දැඩි සත්කාර ඒකකයට පිවිසෙන දොරටු දෙකක් වූ අතර එකක් අමුත්තන්ට ද අනෙක රෝහල් කාර්ය මණ්ඩලයට ද වෙන් වුණා.රෝගීන් බලන වේලාව අවසන් වූ පසුව මට සුදාරක බැලීමට හැකියාවක් නොලැබුණේ නම් කාර්ය මණ්ඩලය මා ඔවුන්ගේ පිවිසුම් දොරටුවෙන් ඔහු වෙත යවන්නට ක්‍රියා කළා.ඒ ඔවුන් මට දක්වන අමුතු සැලකීමක් නිසාම නොවේ.වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල සෑම විටම තමන්ගේ රෝගියාට යහපත් දේ දෙන්නට වෙහෙසෙනවා.සුදාරක වැඩි වශයෙන් ප්‍රතිචාර දක්වන්නේ මගේ හඬටත් ස්පර්ශයටත් බව දන්නා ඔවුන්ට ඔහු ඉක්මනින් සුවපත් කරගන්නට මගේ සහභාගි වීම අත්‍යවශ්‍ය වුණා.

මට ඔහු සමඟ විනාඩි දහයකට පහළොවකට වඩා රැඳෙන්නට හැකියාව ලැබුණේ නැහැ.එය කාර්ය මණ්ඩලයට රෝගියාගේ කටයුතු කිරීමට අපහසුවක් වගේම වැඩි වේලාවක් පිටත සමාජයට නිරාවරණය වීමෙන් සුදාරකටද අපහසුතා ඇති වන බව මම තේරුම් ගෙන තිබුණා.

ඒ වන විටත් දිල්හානි රෝහල් කාර්ය මණ්ඩලය අමතා මට සුදාරක ව බලන්නට නොදෙන මෙන් ඉල්ලීමක් කර තිබුණත් ඔවුන් එය පිළිගෙන තිබුණේ නැහැ. පවුල් ආරවුල් විසඳනවාට වඩා ඔවුන් ප්‍රමුඛත්වය දුන්නේ රෝගියා ව වහා සුවපත් කර ගැනීමටයි.එනිසා ඔවුන් දිල්හානිගේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.ඒවා මට ආරංචි වෙද්දි පෙරහැර බොහෝ දුරක් ගොස් අවසන්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles