පවුලේ නම්බුව වෙනුවෙන් දියණියගේ ජීවිතය බිලිදුන් අම්මා

“ඔයාට ඔය තත්වෙන් තුෂාන් එක්ක ඉන්න බෑනෙ කසුනි.ඩිවෝස් එකක් දාන්න බලන්නකො.”

උමාලි එහෙම කිව්වේ මිතුරියගේ තුවාල වලට හැකි අයුරින් ප්‍රතිකාර කරන අතරේ.ඇයව රෝහලකට රැගෙන යා යුතු බව උමාලි දැන් කිහිප වතාවක්ම හිතුවා.නමුත් එයට කසුනිගේ ලොකු කැමැත්තක් නැති හැඩයි.

“ඩොක්ටට සැක හිතුණොත් ආයේ ප්‍රශ්නයක්.පොලිසි යන්නවත් කියයි.”

ඇය මිතුරියට එහෙම කිව්වේ වේදනාවෙන්.කසුනිගේ වේදනාව තමන්ටත් දැනෙන තරම් කියලා උමාලිට හිතෙනවා.ආදරය සහ විවාහය කියන මාතෘකාව තුළ ගැහැනියකට මේ තරම් අසරණ වෙන්න ඉඩ දෙන්න ඕනෙද කියලා උමාලි ආයේ ආයෙම කල්පනා කළා.

“ඇත්තටම ඔයා ඔය තුවාල පෙන්නලා ඩිවෝස් එකක් දාන්න ඕනම තමයි.” 

උමාලි සැරෙන් එහෙම කියනකොට මිතුරිය දිහා වේදනාවෙන් බලාගෙන ඉඳපු කසුනිට කියන්න කාරණාවක් තිබුණා.

“අම්මා කීයටවත් කැමති වෙන්නේ නැහැ මම ඩිවෝස් වෙනවාට.එයා කියන්නේ ඒක ගෑනු කෙනෙකුට ලොකු කැළලක් කියලා.”

තුෂාන්ගේ පහරකෑමවලින් මිතුරියගේ සිරුරේ ඇති කැලැල් ගැන කසුනිගේ අම්මා කියන්නේ මොනවද කියලා අහන්න හිතුනත් උමාලි කිසිවක්ම නොකියා ඉන්න හිතුවා.තැලෙන යකඩයක්  උඩ පැන පැන තැලීමේ ඇති තේරුමක් නෑ.ඒ වෙනුවට ඇය මිතුරියගෙන් ප්‍රශ්නයක් අහන්න හිතුවා.

“ඔයා ඔය කසාදෙ ඉන්න එකම හේතුව අම්මාද?”

ඇස් වලට උනන කඳුළු කම්මුල් දිගේ ඔහේ ගලාගෙන යන්න ඉඩ හැරපු කසුනි ඔලුව වැනුවා.ඇත්තටම හේතුව ඒක තමයි.වැරදිලා හරි දිදික්කසාදයකට ගියොත් ජීවිතේ නැති කරගන්නවා කියලා අම්මා තමන්ට මොනතරම් මානසික වශයෙන් බලපෑම් කරනවද කියලා ඇය හිතුවෙ ඉතාම වේදනාවෙන්.

“මට තේරෙන්නෙ නැත්තෙ මේ පාරක් වැදිල ඔයා මැරිල ගියොත් තමා මොකද හිතන්නේ කියලා.”

උමාලිට දැනෙන්නේ පුදුම කේන්තියක්.විසි අට හැවිරිදි මිතුරියට තුෂාන්ගෙන් දික්කසාද වෙලා නැවත විවාහයකට ඇතුළත් වීමේ කිසිම බාධාවක් නැහැ.ඇය රූමත් බුද්ධිමත් තරුණ ගැහැනියක්.

සදාකාලිකවම තනිව ජීවත් වෙන්න වුණත් කසුනිට බැරිකමක් නැහැ.ඇය හොඳ රැකියාවක් කරන්නියක්.කිසිම රැකියාවක් නොකරන ගැහැනු පවා ගෘහස්ථ හිංසනයෙන් පීඩා නොවිඳ නීති ආධාර ලබාගෙන දික්කසාදය ලබා ගන්න හැටි සහ ඉන්පසු කුමන හෝ රැකියාවකට යොමු වී ජීවිතය ගොඩ නගා ගන්නා අන්දම උමාලි සිහිපත් කළා.

කසුනිට ඒ හයිය තියනවා.නමුත් ඇගේ කොන්ද කඩා දමන්න ඉදිරිපත් වෙන්නේ ඇගේම අම්මා.

“මේක හරි බරපතල ප්‍රශ්නයක් කසුනි.” උමාලි එහෙම කිව්වේ මිතුරිය ගැන සැබෑම වේදනාවෙන්.

“මට කිසිම දවසක මට උවමනා තීරණ ගන්න නොදී හිටිය එක අම්මගේ පුරුද්ද.”

කසුනි වේදනාත්මකව එහෙම කියලා අතීතයේ සක්මන් කරන්න පටන් ගත්තා.පුංචි කාලේ ආස කරන කෑමක් කන්න, ආස කරන විදිහේ ඇඳුමක් අඳින්නවත් අම්මගෙන් ඉඩ නොලැබුණු ආකාරය ඇයට මතකයි.

“ළමයි හැදෙන්න ඕන අම්ම තාත්තට ඕන විදියට.”

අම්මාගේ නීතිය අන්න එහෙම එකක් වුණා.ඒ නිසා කෑම පිඟාන තියෙන කෑම ගැන පවා අම්මාටම තීරණය කරන්න දුන්නු හැටි කසුනිට කවදාවත්ම අමතක වෙන්නේ නෑ.ඉගෙන ගන්නෙ මොනවද,අමතර අධ්‍යාපනයට හදාරන්නේ මොනවද වගේම පාසලේ බාහිර ක්‍රියාකාරකම් විදියට කරන්න ඕනේ මොනවද කියන එක පවා තීරණය කරපු අම්මා තමන් තෝරා ගන්න මිතුරියන් වෙන පවා ඕනෑවට වඩා සැලකිලිමත් වූ හැටි කසුනි සිහි කළේ පීඩාවකින්. අම්මගේ හැම නිර්ණායකයකින්ම යන්තම් හරි සමත් වෙන්නේ උමාලි විතරයි.ඒත් පාසල් කාලයේ ඉඳන් තියෙන අවුරුදු විස්සක් විතර පැරණි මිතුදමට පවා අම්මා විරුද්ධ වූ දවසක් ආවා.ඒ අම්මගේ තීරණයට ගරු කරලා තෝරා ගත්තු තුෂාන් ගැන ආයේ ආයේම හිතන්න කියලා උමාලි මිතුරියට කියපු දවසේ.

“යාළුකම් කොච්චර පරණ උනත් වැඩක් නෑ ඉරිසියාව ඊට වැඩි.”

එදා අම්මා එහෙම කියමින් උමාලිට බැන වැදුණු හැටි කසුනි තවමත් උමාලිට කියලා නැහැ.එදා උමාලිට පෙනුණු දුර අම්මට පෙනුණා නම් කියලා කසුනිට හිතෙන්න පටන් ගත්තා.

“ඔයා කවදාවත් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න තාත්තට ඉඩ දුන්නේ නෑ.මට හිතෙනවා ආන්ටිට වඩා අංකල් ඔයාව තේරුම් ගන්නවා.තවදුරටත් මේ වද විඳින්න බැරි බව ගිහින් අංකල්ට කියන්නකො.”

උමාලිගෙන් අලුත් යෝජනාවක් ආවේ කසුනිගේ හිතට සැනසීමක් අරගෙන.කසුනි යෝජනාව ගැන නැවත නැවත හිතන්න කල්පනා කළා.සමහරවිට තාත්තා ඇයට ඇහුම්කන් දෙන්න ඉඩ තියෙන බව කසුනිට හිතෙන්න පටන් ගත්තේ ඊටපස්සේ.ඇය අම්මාත් තාත්තත් මුණගැහෙන්න ගියේ තුවාල වෙළුම් පටිවලින් ඔතාගෙනමයි.

“මේ සැරේ අර ළමයගෙ කේන්ති අවුස්සන්න මොකද කළේ?”

තමන්ගේ දරුවාගේ සිරුර තියෙන තුවාල දිහා නොබලාම අම්මා එහෙම අහනකොට තාත්තගේ මුහුණ වෙනස් වෙන හැටි කසුනි බලාගෙන හිටියා.ඔව්! සමහරවිට උමාලි කියන කතාව ඇත්ත.තාත්තා තමන්ව වඩාත් හොඳින් තේරුම් ගන්න ඉඩ තියෙනවා.

“මොන කේන්තියකට වුණත් මෙහෙම ගහනවද? කාගෙවත් අතපය හිරි ඇරගන්න නෙමෙයිනේ මම දරුවෝ හැදුවේ.”

තාත්තා තමන් වෙනුවෙන් කතා කිරීම ගැන කසුනිට මහත් සහනයක් දැනෙන්න පටන් ගත්තා.තුෂාන්ගේ අධික කෝපය සහ හැමවිටම තමන්ට පීඩා කරන්න ඔහු දරන උත්සාහයන් ගැන ඇය දිගින්දිගටම කියවාගෙන ගියේ ඒ නිසාමයි.

 “ඔහොම තමයි පවුල් ජීවිතේ මුල් කාලේ.රණ්ඩු වෙවී යාළු වෙවී තමයි එක්කෙනාට එක්කෙනා අවබෝධ කරගන්න ඕන.පොඩි රණ්ඩුවක් වෙච්ච පලියට අඬාගෙන ගෙදර දුවගෙන එන්න එපා දුව.මම ඉස්සර එහෙම අත්තම්මාගේ ගෙදර ගියේ නෑනේ? ඔයාට මතකනෙ?”

අම්මා එහෙම අහනකොට තාත්තා ළඟ අම්මාගෙන් අහන්නට ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණා.

“කේන්තියක් ගිය වෙලාවට වචනයක් දෙකක් හුවමාරු වෙන්න ඇති.ඒත් මං කවදාවත් ඔයාට අතක් උස්සලා තියෙනවද?”

පිරිමින්ට කේන්තිය දැනෙන ආකාරය එකිනෙකාට වෙනස් විය හැකි බව කියන්න අම්මා සෑහෙන වෙලාවක් වැය කරමින් සිටියා.නමුත් ගැහැණිය ඒ හැම කේන්තියක් ම ඉවසා ගත යුතු බව තමයි අම්මගේ තීරණය වුණේ.ගැහැනු සිටින්නේ ඉවසීමට බව පවසන අම්මත් එක්ක වාද කරන්න කසුනිට බෑ.ඇය ඇගේ තීරණය කෙලින්ම කියන්න හිතුවේ ඒ නිසා.

“මම ඩිවෝස් වෙන්න හිතුවා තාත්තේ.මට මේක තවත් ඉවසන්න බෑ.”

කසුනි එහෙම කිව්වේ තාත්තට වුණත් කෝපයට පත් වුණේ අම්මා. ඒ මොන තරම් නරක තීරණය කියන්න සෑහෙන වෙලාවක් වැය කරපු අම්මා ගැහැනියකට ඒ තීරණය මොනතරම් අනාගත බලපෑම් එල්ල කරනවා ද කියන මාතෘකාව යටතේ දිගු දේශනයක් ආරම්භ කළා.

“මට කිසිම දෙයක් වැඩක් නැහැ. මට තවදුරටත් එයත් එක්ක ඉන්න බැහැ.”

කසුනි එහෙම කියද්දී අම්මා ඇය දෙස බැලුවේ කෝපයෙන්.ඊටත් පස්සෙ කෝපය වචන වෙන්න පටන් ගත්තා.කසුනිගේ ඔළුවට මේ මල විකාර දාන්නෙ උමාලි බව කියමින් ඇය උමාලිටත් දෙස් දෙවොල් තියන්න පටන් ගත්තා.

“කවුරු කිව්වත් කතාව ඇත්ත.ඒ විදියට ගුටි කකා ජීවත් වෙන්න බෑ පුතේ.ඔයාට හිතෙනවා නම් හොඳම දේ ඩිවෝස් වෙන එක කියලා අපි ඒක කරමු.එතනින් පස්සේ කරන දේවල් එතනින් පස්සේ බලමු.”

 තාත්තාගේ තීරණයට විරුද්ධ වෙමින් අම්මා තවත් මොන මොනවදෝ කියන හඬ කසුනි ට නෑහුනා නෙවෙයි.නමුත් ඇය තාත්තා වෙතට ගිහින් ඇයට තුරුළු වුණා.මහා ආරක්ෂාවක් තාත්තගේ තුරුලේ දැනෙද්දි සිරුරට දැනෙන හැම වේදනාවක්ම අමතක වෙලා යන  බව කසුනිට වැටහෙන්න පටන් ගත්තා.අම්මා චටපට ගගා කියන කිසිම දෙයක් අහගෙන ඉන්න ඇයට වුවමනා වුණේ නැහැ.

“තාත්තා මං වෙනුවෙන් ඉන්නවා.මාත් මං වෙනුවෙන් ඉන්නවා.”

කසුනි හිතුවේ සැනසීමෙන්.

More Stories

Don't Miss


Latest Articles