දරුවෙකු අසනීප වීම මවකට ලෝකයේ ඇති දරුණුතම වේදනාව වන බව කවුරුත් දන්නා දෙයක්.නමුත් මේ අසීරු මොහොතේ පවා සුදාරකගේ අම්මා සිටියේ ඉතා සාමාන්‍ය ලෙසටයි.බට ගසා යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ පුතු දුටු මොහොතේ වත් ඇගේ ඇසින් කඳුළු බිංදුවක් වත් වැටුණේ නැහැ.මම අවසාන පිහිට යදිමින් රුවන්වැලි සෑය වටා සක්මන් කරද්දී ඇය එක් අඩියක්වත් මා සමඟ ආවේ නැහැ.ඒ වෙනුවට ඇය සෑ මළුවට වී හිඳගෙන ඔහේ බලාගෙන සිටියා.
එයට හේතුව අනාවරණය වූයේ එදා රාත්‍රියේදී.සුධාරකගේ නැගණියක් මා සමඟ ඒවා පැවසුවේ බොහෝ කලකිරීම පිරුණු හඬකින්.
“ඔයා ඇස් වල කඳුළු පුරෝගෙන රුවන්වැලිසෑය වටේ යනවා.අපේ අම්මා කිසිම හැඟීමක් නැතුව ඔහේ බලාගෙන ඉන්නවා.අනේ මන්ද අම්ම කෙනෙකුට එහෙම කරන්න පුළුවන්ද් කියල මට හිතුණේ ඒ වෙලාවේ.”
එසේ පැවසූ නංගී මා සමීපයට ආවේ තවත් රහසක් කියන්නටයි.ඒවා ගැන එතරම් විශ්වාසයක් නැතත් ඇය පැවසූ ඒ කතාව මා මෙතැන ලියා තබන්නේ මිනිස් ස්වභාවයන් ගැන ඔබට අවබෝධයක් ලබා දීම උදෙසා පමණයි.
“අම්මට හරිම සහතිකයි අයියා ආයේ නැගිටින්නේ නෑ කියලා.අම්මා එයාට වස් කවි කිව්වයි කියන්නේ.ඒ නිසා අයියා නැගිටින්නේ නෑ කියලා අම්මා සහතික කරනවා.මෙහෙම වෙන්නෙත් ඒකලු.”
සමහර විට ඒ කාරණාව සත්‍ය වන්නට ඇති බව මට සිතුණේ ඇය එකල දිල්හානිට වස් කවි කියන්නට රට පුරා අන්දම මම දුටු නිසාමයි.ඇතැම්විට මේ වතාවේදී ද ඇය වස් කවි කියවන්නට ඇත්තේ සුදාරකට නොව මට විය යුතුයි.අපිව වෙන් කරන්නට ඇයට එවැනි සැලසුමක් තිබෙන්නට ඇති.ඒ අපේ කේන්දර සම්බන්ධයෙන් හැමදා පළවූ අනාවැකියක් මුල්කරගෙනයි.අපි කේන්දර බැලූ සෑම තැනකම පැවසුවේ එකම එක කාරණාවක්.ඒ හඳහන් සහ කේන්දර ගැන එහෙම විශ්වාසයක් නැති මා පවා පුදුමයට පත් කළ අනාවැකියක්.
“මේ දෙන්නා සංසාරගත බැඳීමකට හමුවූ දෙදෙනෙක්.නමුත් මේ අයට විශාල කාලයක් එක්ව ජීවත් වීමට වාසනාවක් නැහැ.නමුත් මරණයෙන් මෙපිට මේ දෙන්නා වෙන් වන්නේත් නෑ.ඒත් මේ දෙදෙනා හැම ආත්මයකම හමු වීමටත් නියමිතයි”
ඒ කතාව ගැන මට ඇත්තේ විශාල විශ්වාසයක්.ලේ කකියන බැඳීමක් අප අතර තිබුණා.ඒ ආදරේ වචනයෙන් විස්තර කළ නොහැකි එකක්.එනිසාම ඒ බැඳීම පහසුවෙන් වෙන් කරන්නට නොහැකි බව ඕනෑම කෙනෙක් දැන සිටියා.සසර පුරුදු සහ සංසාරගත ආදරයක් ගැන මා විශ්වාස කරන්නේ ඒ නිසාමයි.විශාල කාලයක් එක්ව ජීවත් වන්නට අපට වාසනාව නැත්තේ ද අපි සංසාරයේ කරගත් යම් අකුසලයක් නිසා මරණයට ඇති.කොන්දේසි විරහිතව ආදරය කළ අපි වරින්වර වෙන් වූයේත් නීත්‍යානුකූල බැඳීමක් පවත්වා ගත නොහැකිව මිනිස්සුන්ගෙන් විවිධ නින්දා පහස ලැබුවේ ලැබුවේත් ඒ නිසාම වන්නට ඇති.
වස් කවි වැනි ආදිය ගැන මට කිසිම විශ්වාසයක් නැහැ.ඒවාගේ බලපෑම ගැන කළ හැකි සාධක තිබේ දැයි මා දන්නෙත් නැහැ.නමුත් මා එක් දෙයක් දන්නවා.දරුවෙකුට මවකගේ ආශිර්වාදය තරම් වටිනා දෙයක් නැහැ.ආශිර්වාද ලබා දෙනවා වෙනුවට තම දරුවාගේ අයහපත ප්‍රාර්ථනා කරන මවකට කළ නොහැකි කුරිරුකමක් තිබේවිද?ඒ මොහොතේ එවැනි ආරංචියක් ඇසීම පවා මගේ සිත මහා පිළිකුලකින් බර වන්නට හේතුවක් වුණා.
සෑම පුද්ගලයකුගේම සැබෑ වර්ණය පෙනෙන්නට අප ඉතා අසීරු කාලය පසු කළ යුතුමයි.