ඔබේ අක්මාව මියයමින් පවතින බව පෙන්වූ මේ සංඥා ඔබටත් මඟහැරුනද?

අක්මාව අපේ ශරීරය තුළ ඉතාම වැදගත් කාර්‍යභාරයන් රැසක් ඉටුකරන බව අපි කවුරුත් දන්නව. 

දැඩි වෙහෙසකින් යුතුව ක්‍රියාත්මක වෙලා අපේ ශරීරය මනාව සහ සුමටව පවත්වා ගෙන යන්න කටයුතු කරන, ඉතාම ක්‍රියාකාරී කර්මාන්තශාලවක් වගේ කියල අක්මාව හඳුන්වන්නෙ ඒ නිසයි. 

ප්‍රධාන වශයෙන්,

Bile නම් සං‍යෝගය නිපදවීම මඟින් මේදය බිඳහෙලා අනෙකුත් පෝෂක ශරීරයට අවශෝෂණය කිරීම තුළින් ආහාර ජීර්ණ ක්‍රියාවලයටත්, 

විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර,  අප ගන්නා ඖෂධ ශරීරයේ අනෙක් කොටස් වලට අවශෝෂණය වීමට පහසු විෂ නොවන ආකාරයට පත් කිරීමෙන් ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහ

තුවාලයක් හෝ කැපුමක් ඇතිවූ විට නොනවත්වා රුධිරය පිටවීමෙන් වැළැක්වීම සඳහා රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියටත් අක්මාව ප්‍රධාන වශයෙන් දායක වෙනවා. 

මේ කරුණු නිසාම අක්මාව නීරෝගීව, නිසි ක්‍රියාකාරීත්වයකින් යුතුව පවත්වා ගැනීම ඉතාම වැදගත්. 

පැරසිටමෝල් වැනි ඖෂධ නිර්දේශිත ප්‍රමාණ ඉක්මවා අධිමාත්‍රාවෙන් ගැනීම, 

විෂ ශරීරගත වීම, 

හෙපටයිටිස් ඇතුළු සමහර වෛරස් රෝග වැළඳීම, 

කම්පන තත්වයන් සහ 

අධික උෂ්ණත්වයෙන් යුතු පාරිසරික තත්වයන් තුළ වෙහෙස වී කරන ශාරීරික ක්‍රියාකාරකම් වැනි හේතු නිසා අක්මාව නිසි ලෙස ක්‍රියාත්මක වීම සිදුනොවී දීර්ඝකාලීනව උග්‍ර අක්මා අකර්මන්‍යතා පවා ඇතිවීමේ අවදානමක් ඇති බවයි සඳහන් වෙන්නෙ. 

ඉතිං, මේ විදිහට රෝගී වෙමින් පවතින ඔබේ අක්මාව තම ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවන බවට විවිධ විවිධ සංඥා ලබාදීම තුළින් ඔබව දැනුවත් කිරීම සිදුකරනවා. 

මේ සංඥා එකක් හෝ කීපයක් ඔබට දකින්න ලැබෙනව නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් මුණගැසිලා ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. 

එහෙනම් දැන් අපි බලමු මේ විදිහට අක්මාවේ ගැටළු පෙන්වන සංඥා මොනවද කියල?

Spider Angiomas 

Spider angiomas එහෙමත් නැත්නම් telangiectasis කියන්නෙ අක්මා රෝග විශේෂයෙන්ම සිරෝසිස් ඇති පුද්ගලයන් අතර බහුලවම දකින්න ලැබෙන තත්වයක්. 

නමුත් ගර්භණී කාන්තාවන් සහ උපත් පාලනයට ගිලින පෙති (cocp / combined oral contraceptive pills) භාවිතා කරන කාන්තාවන් අතරත් මේ තත්වය දැකගැනීමට පුළුවන් වගේම ඔවුන්ට මේ තත්වය ඇතිවීම හානිකර වෙන්නෙත් නෑ. 

අක්මාව ඊස්ට්‍රජන් ඇතුළු හෝමෝන ක්‍රියාත්මක කිරීම සිදුකරන අතර අක්මාවට හානි වූ අවස්ථාවන් වලදී එම ඊස්ට්‍රජන් නිසි පරිදි පරිවෘත්තීය ක්‍රියාවලියකට ලක්කරන්න අක්මාවට හැකියාවක් ලැබෙන්නෙ නෑ. 

ඒ නිසා රුධිරයේ ඇති ඊස්ට්‍රජන් මට්ටම වැඩි වී spider angiomas ඇති වීමට තුඩුදෙන රුධිර වාහිනී ප්‍රසාරණය වීම් සිදුවෙන්න පුළුවන්. 

Finger clubbing 

මේ තත්වයේදී ඇඟිලි තුඩු අග ඉඳිමුණු ස්වභාවයට පත්වීමත්, ඇඟිලි වලට යටින් සම වක්‍රකාරව ඉඳිමී රවුම් ස්වභාවයට පත්වීමත් මෙහිදී දකින්න ලැබෙනවා. 

ඇඟිලි තුඩු වල ඇති සම්බන්ධක පටක ප්‍රමාණය වැඩිවීමත් සමඟ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාම නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්. 

අක්මාවේ ක්‍රියාකාරීත්වයේ ඇති දුර්වලතා වගේම නිදන්ගත පෙණහළු රෝග, හෘද රෝග සහ බඩවැල් ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් විවිධ තත්වයන් නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් නිසා මෙවැනි රෝග ලක්ෂණ නොසලකා නොහැර හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

සමේ කහ පැහැය 

ඔබේ සම කහ පැහැයට හැරීම අක්මාවේ දුර්වලතා වගේම සමහර පිළිකා තත්වයන් සහ ඔබේ ශරීරය රුධිර සෛල බිඳ දමන තත්වයට පත්වී ඇති බව ඔබට ඉඟි සපයනවා. 

බිලිරුබීන් ඔබේ ජීර්ණ ක්‍රියාවලියට උදව් කරන අක්මාවෙන් නිකුත් කරන බිලිරුබීන් තවදුරටත් නිපදවීමේ හැකියාවක් නොලැබීම නිසා ඔබේ ශරීරයේ අනෙකුත් ස්ථානවල බිලිරුබීන් නිපදවීම ආරම්භ කරන්න පටන් ගන්නවා. මේ නිසා ශරීරය කහ පැහැයට හැරීම දැකගන්න පුළුවන්.  

ඒ නිසා ඔබේ සමේ වර්ණය විශේෂයෙන්ම ඔබේ ඇස් වල වර්ණය පිළිබඳව සැළකිලිමත් වීම ඉතාම වැදගත්. 

රතු පැහැ අත්ල 

අත්ලේ රුධිර පරිවහනය වැඩිවීම නිසා අත්ල මෙලෙස රතු රෝස පැහයට හැරීම සිදුවෙන්න පුළුවන්. 

අක්මාවේ ගැටළු නිසා වගේම හෝමෝන වල වෙනස්වීම් නිසත් මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නෙ. 

පියයුරු විශාල වීම

රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම නිසා පියයුරු වල ප්‍රමාණය වැඩි වීම නිසා මේ තත්වය ඇතිවීම දැකගන්න පුළුවන්. 

අක්මාවේ දුර්වලතා වගේම හෝමෝන වෙනස්වීම්, සමහර ඖෂධ සහ විශාල ප්‍රමාණයන්ගෙන් නිතරම මත්ද්‍රව්‍ය පානය කිරීම නිසාත් මේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. 

ඇඟ කැසීම 

කිසිදු තුවාලයක් හෝ කැළලක් ඇති නොවී නොනවත්වා පවතින සිරුර පුරා කැසීමේ තත්වයත් අක්මාවේ යම් යම් ගැටළු ඇතිබව ඔබට පෙන්වන වැදගත් සංඥාවක් බව වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. 

දුර්වල වූ අක්මාවෙන් තවදුරටත් විෂ ඉවත් කිරීම සහ බිලිරුබීන් නිෂ්පාදනය සිදු නොකරන නිසා ඒ සියළු විෂ, අපද්‍රව්‍ය සහ බිලිරුබීන් රුධිරය හරහා ශරීරය පුරා ගමන් කිරීම නිසා මේ තත්වය ඇතිවෙන බව හඳුනාගන්න පුළුවන්. 

සමේ ඇතිවෙන කහ පැහැ ගැටිති

යටි පතුල්, අත්ල, වැළමිට යන ප්‍රදේශ වලත් බොහෝ විට ඇස් ආශ්‍රිතවත් ඇතිවෙන කහ පැහැ ඉලිප්පුනු ගැටිතිත් ඔබේ අක්මාවේ දුර්වලතා පෙන්නුම් කරන සංඥා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගන්නවා.

අක්මාව ශරීරයේ කොලෙස්ට්‍රෝල් ක්‍රියාකාරීත්වය සඳහා හොඳ කාර්‍යභාරයක් ඉටු කරන අතර දුර්වල වූ අක්මාවට තවදුරටත් එම කාර්‍යභාරය ඉටු කිරීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ. 

ඒ නිසා කොලෙස්ට්‍රෝල් ගැටිති රුධිරය හරහා ශරීරය පුරා ගමන් කර විවිධ ස්ථාන වල තැම්පත් වීම නිසා මේ තත්වය හටගන්නවා. 

පහසුවෙන් තැලීම් ඇතිවීම සහ තුවාලයක් සිදුවූ විට නොනවත්වා ලේ ගැලීම 

අක්මාව රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන බව අපි මුලින්ම සඳහන් කරා ඔබට මතක ඇතිනේ. 

අක්මාව දුර්වල වීම නිසා මේ ක්‍රියාවලිය තවදුරටත් නිසි පරිදි ක්‍රියාත්මක වීම සිදුනොවීම නිසා මේ තත්වය ඇතිවීම දැකගන්න පුළුවන්. 

ඇඟිලි දිග හැරීමට අපහසු වීම 

අත්ල තුලට නැමූ ඇඟිලි නැවත දිඟ හැරීමට අපහසු ලෙස ශක්තිමත් සහ තද ගතියට පත්වීම සිදුවී ඇතිබව දැනෙනව නම්, එයත් අක්මාව දුර්වල වීම රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. 

මෙයට හේතුව පමණට වඩා කොලැජන් නිපදවීම බවයි සඳහන් වෙන්නෙ. 

ඉතිං, මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවනන් තවත් ප්‍රමාද නොවී හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් මුණගැහිලා අවශ්‍ය උපදෙස් ගන්න කියල අපි මතක් කරන්නෙ හරිම ආදරෙන්. 

එහෙනම්, මෙවැනිම වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා.

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles