ආදරය සොයා ආපස්සට ගිය ගමනක්

ආදරේ කියන්නෙ හිමිවීම් අහිමිවීම් එක්ක එකමුතුවෙමින් යන ගමනක්.සමහර වෙලාවක අපි අපේ නොලැබීම කියල හිතන දෙයම අපේ ජීවිතේ වටිනාම සහ වැදගත්ම ලැබීම් අපි වෙත ගෙන එන්න හේතුවෙන මාර්ගයක් වෙන්න පුලුවන්.

ඉතින් අපි අද කතා කරන්න යන්නෙත් ඒ වගේ ලැබීම් සහ නොලැබීම් එක්ක ඉදිරියට දිව යන ආදර කතාවක් ගැන කියවෙන චිත්‍රපටයක් ගැන.

මේ චිත්‍රපටයේ නම Forever my Girl.

ඔයාලා මේ චිත්‍රපටය සමහර වෙලාවට බලල ඇති. ඒත් බලපු නැති අය වෙනුවෙන් තමයි අපි මේ ආටිකල් එක අරගෙන එන්නේ.

චිත්‍රපටයේ ආරම්භයේදී, දක්ෂ සංගීත වේදියෙක් වන Liam Page, එයාගේ ඉපදුනු සහ හැදුන වැඩුන ගම්මානයත් ඔහුගේ උසස් පාසල් පෙම්වතිය වන Josieවත් හැර දමා, සංගීත තරුවක් වීමේ සිහින හඹා යන ආකාරය අපට පෙන්වනවා.

Liam විසින් ගත්ත ඒ තීරණය තම‍යි මේ චිත්‍රපටය දිවෙන්න හේතුවක් වෙන්නෙ කියන එක ඔයාලට චිත්‍රපටය බලන් යද්දි තේරෙවි.

කාලයක් යද්දි රටේම ප්‍රසිද්ධ සංගීත වේදියෙක් වෙන්න Liam ට පුලුවන් වෙනව. එයා බලාපොරොත්තු වෙච්ච ජීවිතේ එයාට ලැබෙනව. ඒත් ඒ හැමදෙයක්ම ලැබිලත් හැම බලාපොරොත්තුවක්ම ඉස්ට වෙලත් Liam ට සතුටක් ලැබෙන්නෙ නෑ. කාලය ගෙවෙද්දි තමයි එයාට තේරෙන්නෙ මේ හැමදෙයක්ම වෙනුවෙන් එයාට වඩාත්ම වටින එයාගෙ ජීවිතය සහ ආදරය කරන අයව හිලව්වට තියන්න එයාට සිදුවෙලා තියෙන බව. එතනදි තමයි එයාට තේරෙන්නෙ තමන් බලාපොරොත්තු උනේ මේ දේ නෙවෙයි කියන එක.

එයා දුක්වෙනව තැවෙනව තමන්ගෙ ගමේ ජීවිතය දාලා ආව එක ගැන. ඔක්කොටම වඩා තමන්ගෙ පෙම්වතී Josie ව දාලා ආව මේ ගමන ගැන.

කතාව වෙනම පාරකට හැරෙන්නෙ මෙන්න මේ පශ්චත්තාපය Liam ගෙ හිත අස්සෙ තියෙද්දි.

Liam ට ආයෙ ගමට එන්න වෙනව. තමන්ගෙ ගමේ උන්නු හොඳම යාලුවෙක් මිය ගිහින් තියෙන බව එයා දැනගන්නවා. ඒක හේතුවක් වෙනව Liam ට ගෙදර එන්න. ගෙදර ආවයින් පස්සෙ තමයි Liam ට තමන්ගෙන් අතෑරිච්ච දේවල් ගැන හිතිල ඒ වේදනාව පශ්චත්තාපය තව තවත් වැඩි වෙන්නෙ.

ඒත් තමන් අතෑරල දාලා ගිය දේවල් එහෙමම ඉතිරිවෙලා නෑ කියල Liam දැනගන්නෙ Josie ව හමුවීමත් එක්ක. Liam තමාව අතෑරල එයාගේ හීන හොයාගෙන ගමනක් ගියාම Josieත් එයාගේ හීන හැබෑකරගන්න ගමනක් ගිහින් තිබුණා. එයා දැන් පාසල් ගුරුවරියක්. ඒ විතරක් නෙවෙයි විවාහ වෙලා දරුවො ඉන්න අම්මා කෙනෙක්.  ඒත් එයා දරුවව ඇති දැඩි කරන්නෙ තනියෙන්. සැමියාගේ උදව්වක් නැතිව. Single Parent කෙනෙක් විදියට ජීවිතේ අභියෝග වලට සාර්තකව මූණ දෙන Josie කියන්නෙ මීට අවුරුදු කීපෙකට කලින් තමන් දාලා ගිය කෙල්ල නෙවෙයි කියල දැනගන්න Liam ජීවිතේ ඇත්ත පැත්ත ගැන වටහගන්නේ ඒත් එක්කම.

ඒත් දෙන්න දන්නෙ නැතුවම ඒ දෙන්නගෙ හිතෙන්, අර අවුරුදු ගානකට කලින් අතැරුණා කියල හිතන් ඉඳපු හැඟීම් ආයෙ ඉපදෙන්න ගන්නව. අලුතෙන්. ඒක දෙන්නටම හරි අමුතු වෙනස් Feeling එකක් තමයි අරගෙන එන්නෙ.  Liam උත්සහ කරනවා ආයෙමත් Josie එක්ක සම්බන්ධ වෙන්න. ඒත් Liam ට දැනගන්න වෙන්නෙ එයා හීනෙන්වත් අහන්න බලාපොරොත්තු වෙච්ච දෙයක් නම් නෙවෙයි.

ඒ තමයි Josie ගෙ දරුවගෙ තාත්තා, එහෙම නැත්තම් බිලීගෙ තාත්තා වෙන කවුරුවත් නෙවෙයි තමන් කියල.

ඒක Liam ට වගේම අපිටත් හිතාගන්න බැරි කතාවක්.

ඒ වගේම චිත්‍රපටය කුතුහලය ඇති කරන මොහොතක් තමයි මේක.

එතනින් තමයි චිත්‍රපටය වගේම Liam ගේ ජීවිත කතාව ඇත්තටම පටන් ගන්නේ. මෙච්චර කාලයක් තමන් විසින් දැනගෙන උන්නෙ නැති හෙලිදරව්වක් එක්ක එලිවෙන තමාගෙ අතීත කතාව Liam ව වගේම බලන් ඉන්න අපිවත් පුදුමයට පත් කරන බව ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ.

මෙච්චර කල් අපි දැකපු තරුණ, සංගීතවේදීයාගෙ චරිතෙ වෙනස් වෙන්නෙ අපි බලාපොරොත්තු නොවුන විදියට. ඒක හරියට Liam විසින් තමන් අතීතයේ කල වැරදි වලට වන්දි ගෙවීමක් ලෙස තමන් ම වෙනස් වීමක් කියල කිව්වොතින් වඩාත් හරි. මේ වගේ අවස්තා අපිට චිත්‍රපටවල විතරක් නෙවෙයි ඇත්ත ජීවිතෙත් ඕන තරම් අත්විඳින්න ලැබෙනව. අපිම අතීතයෙ කරපු වැරදි වෙනුවෙන් අපි අපිවම වෙනස් කරගන්න, කරගත්ත අවස්තා අනන්තයි අප්‍රමානයි.

මෙතනදි තමයි දැනගන්නෙ ලැබෙන්නෙ ආදරය ඇතුලෙ නිරත්තරයෙන් කතාබහට ලක්වෙන Second chances ගැන. ආදරය කියන්නෙ සමහර වෙලාවට අපි ආදරය කර කෙනා මොන වරද කරත්, එයා ඒ වරද පිලි අරගෙන ඒ වරද හදාගන්න සූදානම් නම් දෙවනි අවස්තාවක් දිය යුතු මානසික සංසිද්ධියක් බව අපට තේරුම් කරවන්නෙ මෙන්න මෙතනදි.

චිත්‍රපටය පුරාවටම අපිට දකින්න ලැබෙනව Liam සහ Josie ආයෙමත් වරක් එකිනෙකාව විශ්වාස කරගෙන, එකිනෙකාට සමාව දෙමින් මේ ගමන ආයෙමත් අලුතෙන් යන්න පටන් ගන්න එක. ඒ ගමන මේ ලියන තරම් අපිට පෙනෙන තරම් පහසු දෙයක් නොවෙයි කියන එක.

මේ චිත්‍රපටය පුරාවටම සංගීතය විසින් විශාල බලපෑමක් ප්‍රේක්ෂකයට කරනව. හැඟීම් වලට ගැලපෙන්න අවස්තාවන්වලට මුහු වෙන්න සංගීතය එක එක තැන්වලදි වෙනස් වෙන්නෙ ජීවිතේ වෙනස් වෙන අපූර්වත්වය අපිට ඉතාම කලාත්මකව කියා දෙමින්.

මේ චිත්‍රපටය අවසාන වෙන්නෙ Liam ඉදිරියේ තීරණාත්මක ප්‍රශ්නයක් තියමින්.

ඒ තමයි Choices. ජීවිතේ කියන්නෙම Choices මහ ගොඩක් අපිට හමුවෙන දෙයක්නෙ. Liamට තෝරගන්න වෙනවා, තමන් සිහින මවමින් ඉඳල ගොඩ නගා ගත්ත නගර බද ජීවිතයද? මෙතෙක් කලක් තමන්ගෙ ජීවිතෙන් ඈත්වෙලා උන්නු Josie  සහ බිලී එක්ක ගෙවන ගම්බද ජීවිතයද තමා තෝරගත යුත්තෙ කියල.

ඉතින් ඔයාලා මොකද හිතන්නේ?

Liam තෝරගන්න ඕන මොකද්ද?

Josie විසින් Liam ට දෙවන අවස්තාවක් දෙන්න ඕනද?

ඒ ගැන දැනගන්න මේ සුන්දර චිත්‍රපටය බලන්න.

අමතක කරන්න එපා සමහර ආදර කතාවල වෙච්ච වැරදි වලට අපි Second Chance එකක් දෙන්නම ඕන බව!

Related Articles

Don't Miss


Latest Articles