“අහස්!”
සකී තිගැස්සී ගියේ ඒ උදෑසන ඔහු දකින්නට කොහොමත්ම බලාපොරොත්තුවක් නොවූ හන්දා ය.ඔහු එතැන විය. සරසවි මාවතට වී ඔහු ඇය එනතුරු බලා සිට තිබේ.
“අහම්බයක් නෙමෙයි මං ඔයා එනකම් බලාගෙන හිටියේ.”
කුමක් හෝ හේතුවක් නිසා අද දෙමිතුරියන්ව මඟ හැරීම මොන තරමට හොඳ කාරණාවක්දැයි සකී සිතුවා ය.මඟ හැරුණා ද නොවේ, කුමක් හෝ කාරණාවකට ඇයට ඔවුන්ව මඟ හරින්නට සිතිණ.ජීවිතයේ බොහෝ කටුක දවස් පිරුණු කාලයක ඊයේ ඇය වෙනුවෙන් ඕපාදූප ද නිර්මාණය වී තිබිණ.නමුත් ඊයේ නරක සිහින පෙනුණු රාත්‍රියක් නොවේ.ඒ හන්දා අද නරක දවසක් විය යුතු ද නොවේ.
“බය වෙලාද ඉන්නේ?”
අහස්ගේ ප්‍රශ්නයට සකී හිස සලා නැතැයි පැවසුවා ය.එහෙත් ඔහු ඊළඟට පැවසූ කාරණාවට බිය නොවන්නට ඇයට කාරණාවක් තිබුණේ නැත.
“මං ඊයේ රෑ දැක්කේ හොඳ හීනයක්.ඒ නිසා අද දවස නරකක් වෙන්න විදිහක් නෑ.”
එසේ කියා ඔහු තමන් දෙස බලා සිටින තීක්ෂණ බැල්ම ඇයට උසුලා ගන්නට බැරිව තරම් ය.අවසානය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු ක්‍රිකට් තරඟයක අවසන් පන්දුව ඕවරය වෙනුවෙන් නායකයා ඔහු කැඳවද්දී අහස්ගේ මුහුණේ ඇඳෙන්නේ ද ඒ බැල්ම ය.
“අර වගේ මෝඩ කතාවක් පැතිරුණාට ඔයා කිසිම විදියකින් අවුල් වෙලා නෑ කියලා මම දන්නවා.ඔයාට එතන කිසිම හානියක් නොවන එක විතරයි මට එතන තියෙන සතුට.මටනම් කවදාත් ගොසිප් හැදෙනවා.මන් දැන් ඉන්නේ ඒකට පුරුදු වෙලා.”
ඔහු සැබෑවටම ඒ පිළිබඳ ශෝකයකින් වූයේ නම් ඔහු සකීට ඇමතුමක් දිය යුතු බව ඊයේ නිම්නා අනන්ත වාරයක් පැවසුවා ය.ඔහුගෙන් ඇමතුමක් නැති වෙද්දී ඇය තීරණයකට එළඹී තිබුණා ය.
“ඔය මිනිස්සුන්ට ඕව ගාණක් නෑ.හැමදාම අහගන්න කතානෙ.ඒ වුණාට ඒක ඔයාට අලුත්නෙ. නිකමට ඔයාට කතා කතා කළ සොරි කියන්න තරමකවත් විනයක් එයාට නෑනේ.”
එහෙත් ඔහු තමන් ව නොඅමතන්නේ ඒ ගැන තමන්ව කලබලයට පත් නොකිරීමට බව සිතන්නට ඊයේ දවස පුරාම සකීට උවමනා විය.ඔහු ඇයව තනි කර දැමූ බව සිතන්නට ඇයට උවමනා වූයේ නැත.කිසිම සිහිනයක ඇගේ අත ඔහුගේ අතින් අත් හැරෙන්නේ ද නැත.
“මං හිතුව අයියා ඒක දකින්න නැතුව ඇති කියලා.”
නොදකිනා දෙයක් වුව ද ඇමතුම් ගැන පෙන්වන ඕනෑ තරම් පිරිසක් තමා වටා සිටින බව අහස් පැවසුවේ සිනාමුසු මුවකින් ය.ඒවායින් තමන් රිදවීමට පත්වේදැයි පවා නොසිතන ඔවුන් සිත් රිදවන සෑම පුවතක් ම වහා වාර්තා කිරීමේ ගුණයකින් යුතු වේ.
“සමහර වෙලාවට මං වෙනුවෙන් කවියක් ලියන මොනව හරි නෝට් එකක් ලියන ළමයි ඕනේ තරම් ෆේස්බුක් එකේ ඉන්නවා.ඒව මට ටැග් නොකරොත් මම එහෙම ඒවා දකින්නේ සෑහෙන කාලයක් ගිහිල්ලා.සියුම් හරි මම හරි ටීම් එකේ කවුරුම හරි එහෙම දෙයක් දැකල ඒ අයට ස්තූති කරනකොට ඒක ලිව්ව සතුටත් ඒ මිනිස්සුන්ට නැති වෙලා ඇති.හැබැයි මේ කොහේ හරි තියෙන මඩ මීම් එකක්,මඩ පෝස්ටරයක්,ඊයේ වගේ ගොසිප් එකක්.”
එසේ පවසා අහස් තත්පර කීපයක් හිනැහුණේ ය.සකී ඒ සිනාවට වශී වන්නට විය.මේ සිනාව ඇගේ සිහිනවල ඇති සිනාව ය.එය කෙල්ලන් වශීවන සුළු ඔහු පිටියේ හෙළන සිනාවටත් වඩා බොහෝ සුන්දර ය.
” ඒ වගේ එකක් මට එවන්න මිනිස්සුන්ට විනාඩි ගාණකට වඩා යන්නේ නෑ.ඔව්වා ඉතින් ඔහොම තමයි නේ.ඇත්තටම ඇත්ත කතාව මිනිස්සු කැමති අපි වේදනාවෙන් ඉන්න වෙලාවට.අපි හිනා වෙනවට වඩා එයාලා අපිව දරාගන්න කැමති අපි දුක් වෙලා ඉන්නකොට.ඒ වගේ වෙලාවට අපිට දරා ගත්ත කියන එක ජීවිත කාලයක් මතක තියාගන්න එයාල කැමති.හිනාව බෙදාගත්තට වඩා කඳුළ බෙදා ගත්තයි කියන එක කෙනෙක්ව ඉමෝෂනලි බ්ලැක්මේල් කරන්න පහසු කාරණාවක්.”
ඔහු පවසන සියල්ලම සත්‍ය බව සකීට සිතිණ.බොහෝ අය මතකයේ තබා ගන්නට කැමති අනෙකා වේදනාත්මක මොහොතක් ගෙවද්දී ළඟ සිටි අවස්ථාවන් ය.කෙනකුට සමීප වන බොහෝ අය එසේ කරන්නේ අනෙකාගේ හොඳහිත බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බලාපොරොත්තුවෙනි.
“ඔය ඔක්කොටම හේතු තියනවා.ඒ හේතු ගැන කතා කරන්නත් පුලුවන්.ඔයාට ඔය අද තියෙන ලෙක්චර් එකට යන්න ඕනේ නැත්තං.”
සකී අහස් දෙස විමසුම්සහගත බැල්මක් හෙළී ය.ඔහු හිනැහෙන්නේ ඉතා සැහැල්ලුවෙනි.
“මාව විශ්වාස කරන්න කියලනම් කියන්නෙ නෑ.ඒ උනාට රෑට පේන හීන ගැන විශ්වාසයක් ඇති කියලා මට හිතෙනවා.ලෙක්චර් එකට වඩා හීන තෝරගන්න එක වැදගත් කියල ඔය ගෑනු ළමයට හිතෙනවනම් ගිහිල්ලා කාර් එකට නගින්නකො.මෙතන ඉඳලා ආයෙම ගොසිප් එකක් හදාගෙන තේරුමක් නැති වෙයි.”
ඔහු අතිශය ජනප්‍රිය තරුණයෙකු ද එවැන්නන් ජීවිතය සලකන්නේ ඉතාම සැහැල්ලුවෙන් වගද සකී අමතක කළා ය.මේ ඇගේ සිහින වල සරන අහස් ය.ඒ අහස්ට ජනප්‍රිය ජීවිතයක් හිමි වීම ඇයට ගැටලුවක් නොවේ.ඇය මන්දස්මිතයෙන් ඔහුගේ යෝජනාව පිළිගත්තා ය.