කවුරු මොනවා කීවත් නියම් අනියම් කියා ආදරයේ ඇති බෙදීමක් නැහැ. හදවත නතරවන තැන කොන්දේසි විරහිතව කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා ජීවිතයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මූණදෙන්නට ඉදිරිපත්වන තැන ආදරය පවතිනවා.මානුෂික බැඳීමකට නීතිය යැයි මිනිසුන්ම එකතු වී සම්මත කරගත් දෙයක ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුම යැයි ඔබ කවුරුන් හෝ විශ්වාස කරනවානම් මගේ කතාව එසේ නොවේ යැයි කියන්නට තරම් මම එඩිතර වෙනවා.ආදරය සසර පුරුද්දක්.සසර ගනුදෙනු මොන කතා පවසා මොන බාධා දැමූවත් සමාජයකට වළකාලන්නට නොහැකියි.
ඔහු මියගියානම් ඔහු මේ දැන් මා ළඟ ඇති.මට එහෙම හිතුණා.ඔහුගේ සිරුර සිර කරගෙන සිටියාට ඔහුගේ මනෝභාවය සිර කරන්නට බැහැ.ඔහු මෙවෙලේ මා ළඟ ඇති.වෙනදා වාගෙම කඩුකස්ථාන පැලඳගෙන බරට අඩිය තබමින් ඒ ප්රතාපවත් ගමනින් ඇවිත් ඒ දිව්‍යමය හාදුව මගේ නළලේ තබා මා සිපගන්නටත් ඇති.මගේ හිස අතගා
“මැණිකේ..ඔන්න මං ආවා. දැන් ඉතින් කොළ කෑලි පෙන්නලා කාටවත් අපිව වෙන්කරන්න බෑ.ඔයාට මං හරි ආදරෙයිනේ මැණිකේ.ඔයාට එන්න නොදුන්නට ඔන්න මං ඔයාව බලන්න ආවා.දැන් හිනාවෙලා ඉන්න මැණිකේ.මං ආයේ ඔයා දාලා යන්නෙ නෑ නේ.ඔයා හරි හයිය ගෑණියක්.ඕක දරාගන්න ඔයාට පුලුවන්” යි කියන්නටත් ඇති.
ඒත් ආදරය මේ යැයි මට කියාදුන්, ආදරය ගැන මට පෙන්නා දුන්, හිතට දැනෙන ආදරයක උණුසුම මට ලබාදුන් මගේ ආදරණීයයා යන්නම යන්න ගිය බව දරාගන්නේ කෙසේදැයි මට අදහසක් තිබුණේ නැහැ.ඔහු මිය ගියාටත් වඩා මට වේදනාව ගෙනාවේ ඔහුට මියයන්නට සිදුවු ආකාරයටයි. නමුත් සුධාරක කුමන හෝ භවයක කළ අකුසලයක් මේ ආත්මයේ දී ගෙවන්නට ඇතැයි සිතා මා හිත හදාගන්නට උත්සාහ කළා.
ඔහු ජීවත්වන්නට විශාල සටනක් තනිව කළා.මාරයා ඔහු ගෙන යන්නට පැමිණි දා සිට අට මසක් යනතුරු මරුවාට නොපැරදී අභීතව සටන් කළ ඔහු තමා වටා සිටි ආදරණීයයන් සොයන්නට ඇති.ඔවුන් දකින්නට නැති කළ තමා වටා තමා පිළිකුල් කළ අයම ඉන්නේ ඇයි දැයි හිතන්නට ඇති.මමත් දියණියත් දකින්නට නැත්තේ ඇයිදැයි පුදුම වෙන්නට ඇති.ඒත් ඔහුගේ ප්‍රශ්න ගොන්නටම ඔහුට පිළිතුරු දෙන්නට කිසිවෙක් හිටියේ නෑ.එසේ තනිව මාරයා එක්ක සටන් කරද්දී ඔහුට “දැන් ඇති” යැයි සිතෙන්නට ඇති.ඒ නිසාම ඒ සටන ඔහු අත්හැර දමන්නට ඇති.
දිල්හානි ඇගේ විවාහ සහතිකයේ අයිතිය පෙන්වීමට ගත් උත්සාහය මරණ සහතිකයකින් කෙළවර කරගත් අතරම සුධාරකගේ උප්පැන්න සහතිකයට මව යැයි කියාගත් ගැහැනිය හා සහෝදරියන් ඔවුන්ගේ වැරදුනු කුරුමානම් සියල්ලෙන්ම නිදහස් වූවායැයි සිතන්නට ඇති. සුධාරක ඔහු මේ මිනිස්සුන්ගෙන් ගත් ආත්මගත ණය සම්භාරය පියවා නිදහස් වූවා.ඒ වගේම මනුෂ්‍යයෙකුට ජීවත්වීමේ අයිතිය කපටි කෛරාටික ලෙස වැළකූ ඒ මිනිසුන් ඔවුන්ගේ අකුසල් සම්භාරය ගෙවන්නට එතැන් සිට පටන්ගත්තා.
හඬ හඬා වුණත් මේ සියලු දේ මට චිත්‍රපටයක් සේ කඳුලු අතරින් මැවි මැවී පෙනුණා.ඒ සිනා හඬත්ඒ ආදරණීය ඇමතුම් ද ඒ උණුසුම ද මට යළි කිසිම දවසක නොඇසෙන බව නොපෙනෙන බව මම දන්නවා.ඒත් මගේ අවසන් හුස්ම පොද දක්වා ඒ මතකය මාව ජීවත් කරන බවත් මම දන්නවා.අත්හැරීම සැපතක් යැයි බොහෝ දෙනා කතාවට කීවාට එය මොනතරම් වේදනාකාරී දරා ගැනීමක්ද කියා දන්නේ සැබෑවටම ප්‍රේම කර සදාකාලිකව අත්හැරුණු අය විතරමයි.
රෝගයට නිසි ප්‍රතිකාර හෝ සුවදායක ලෙස මරණය තෙක් ජීවත්වන්නට හෝ නොහැකි නම් මනුස්ස වේශයෙන් සිටි අමනුස්සයන් මැද ඔහු හිරකාරයෙක්ව දුක් විඳිනවාට වඩා ඒ යන්නට ගිය ගමන ඔහුට සහනයක් යැයි හිතා සිත සනසා ගන්නට මා උත්සාහ කළා.
මා මේ සටනට මෙතෙක් මුහුණ දුන්නාසේම ඔහුගේ මරණයට ද මා දිරිමත්ව මුහුණදිය යුතුයි.සිංහයෙක් සමග ජීවිතය බෙදාගත් මා සිංහධේනුවක මිස කොටලුදෙනක් නොවෙයි.නොනවත්වා ඇද හැලෙන කඳුලු ආයාසයෙන් පිසදමමින් මා ඉදිරියට කරන්නට සිදු වෙන දේවල් ගැන සිතුවා.
සුධාරකගේ දේහය මේ ගෙදර තියන්නට ඕනෑ.මේ ඔහුගේ දහඩිය මහන්සියෙන් උපයා ගත් මුදලින් සාදා ගත් ඔහුගේ නිවස.ඔහු මේ නිවසට කළ ආදරය මා සියැසින් දැක තිබෙනවා.තමන් මියගිය දාක තමන්ගේ නිසල සිරුර තමා ජීවත්වූ නිවසේ තම වහල යට තැබේවි කියා ඕනෑම මිනිසෙක් ප්‍රාර්ථනා කරනවා.ඒ ඕනෑම මිනිසෙකුගේ අවසන් පැතුම.ඔහු ජීවත්වූ ඔහුගේ නිවසේ මේ වහල යට ඔහුගේ දේහය තැබිය යුතුයි.ජේෂ් හමුදා නිලධාරියෙකු නිසා සුධාරකට පූර්ණ හමුදා ගෞරව සහිතව අවමංගල්‍ය උත්සවයක් හිමිවෙනවා.ඒ නිසා මා ඔහුගේ දේහය ඔහුගේ නිවසට රැගෙන එන ලෙස ඔහුගේ ආයතනයේ අදාල බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නට තීරණය කළා.
මා රණවිරුවෙකුට ආදරය කර ඔහු හා ජීවිතය බෙදාගත් ගැහැනියක්. විරුවෙකු සමග ජීවත් වනවිට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට රණවිරු බිරිඳක් සූදානමින් ඉන්නට ඕනෑ. රණවිරුවෙකු හා බැඳුනු කෙනෙක් සිටිනවා නම් එය හොඳින් දන්නවා.එසේ දැඩිකරගත් සිතින් යුතුව මා සුධාරකගේ ආයතනයේ උසස්ම නිලධාරියා ඇමතුවා.