ඒ අතුල් පහර කොයි තරම් සන්තුෂී ගේ කම්මුල රිදවූයේ ද යත් ඇයට දැනුණේ දෑසින් ද දෙකනින් ද හිසෙන් ද දුම් පිට වන්නා සේ ය. ඒ වේදනාව පරයා ගෙන ඇගේ සිතට පිවිසි ප්‍රශ්නය නම් මේ සිදු වන්නේ කුමක් ද යන්න ය. එසැනෙන් ඇයට වින්දි ව සිහි විය. මේ හැසිරීම, මේ වියරුව, අංජන සේ ම සදෙව්මා ද කියූ යම් යම් දෑ ඔස්සේ ඇගේ මනසෙහි නැගෙන්නට විය.
“තමුන්ට ඕන නැති දේවල් වලට ඇඟිලි ගහල මොනාද බලාපොරොත්තු වෙන්නෙ ආ…මගෙ ළමයව මගෙන් බිඳවල ඈත් කරන්න හදන්නෙ මොකද කියල මට කියන්න පුළුවන්ද…ඔහේගෙ මේ සැලෝන් එකක් කියල කරං යන හොර ගුබ්බෑයමේ වැඩ වලට සම්බන්ධ කර ගන්න නේද හදන්නෙ…මං ගැන එක එක ඒව කියල ළමයගෙ ඔළුව කන්න හදන්න එපා. තමුන් දන්නෑ මගෙ හැටි…මං පොලිස්සියට කියනව මෙතන ජරා වැඩ වෙන කැනක් කියල. මගෙ ළමයවත් ඒවට සම්බන්ද කර ගන්න හදනව කියල කියනව. කරුණාකරල අපේ ජීවිත වලින් ඈත් වෙලා ඉන්නව හරිද..”
ඒ වින්දි බව සන්තුෂී ට ප්‍රත්‍යක්ෂ වන්නට වැඩි වෙලා ගත වූයේ නැත. අංජන දුරකතනය ඔස්සේ සම්බන්ධ වී සිටිනා බවත්, ඇයට දුරකතන සම්බන්ධය බිඳ දමන්නට සිහිපත් නොවූ බවත් සන්තුෂී ට සිහි වූයේ ද ඒ වෙලාවේ ය. ඇය වහා දුරකතනය සවනට ගත්තා ය.
“හෙලෝ. මං ඔයාට පස්සෙ කතා කරන්නං”
කියමින්, අංජන යමක් කියන්නටත් පෙර ඇය දුරකතනය මේසය මතින් තැබුවා ය.
“මට දැන් තේරෙනව. ඔයා සදෙව්මාගෙ අම්ම වින්දි නේද…වින්දි…ප්ලීස්…ඔයා ඉඳ ගන්නකො. අපි ටිකක් කතා කරමු”
සන්තුෂී වින්දිට සිය මේසය ඉදිරියේ වන අසුන පෙන්වූයේ ඇයව මෙල්ල කර ගන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකි නම් එය ද වටිනා බව සිතමිනි. අංජන හා සදෙව්මා වෙනුවෙන් ඒ අභියෝගයට ද මුහුණ දෙන්නට ඇය ක්ෂණිකව මනස සූදානම් කර ගනිමින් සිටියා ය.
“මේ…මං ආවෙ තමුන් එක්ක සතුටු සාමීචි කතා කරන්නයි කියල හිතුවද…මගෙ දුවත් එක්ක තියන ගනු දෙනු වහාම නතර කරනව හරිද..තෑගි එවන්නයි…උපදෙස් දෙන්නයි…සදෙව්මාගෙ අම්මා මැරිල නෑ. තමුන් එයා ගැන කරදර වෙන්න ඕන නෑ. ආයෙ මාව මෙහාට ගෙන්නගන්න හදන්නෙපා හරිද…”
එය දබරැඟිල්ල සන්තුෂී ගේ මුහුණ වෙත දිගු කොට කරනා ලද තර්ජනයකි. අකුණක් සේ විත් පුපුරා වින්දි නික්ම ගියා ය. සන්තුෂී යළිත් පුටුව මතට වැටුණා ය.
“ඒ මොකද්ද මිස් වුණේ…අර සදෙව්මාගෙ අම්ම නේද…”
“මිස්ට තිබුණෙ පොලීසියට කෝල් කරන්න. එහෙම සැලෝන් එක ඇතුළටම ඇවිත්…අපිවත් පෙරළගෙන මිස්ගෙ රූම් එකටත් ඇවිත් කම්මුලට ගහන්න…එයා කවුරු කියල හිතං ඉන්නවද දන්නෑ”
“එයා කොහොම හිතං හිටියත් තනිකර යක්ෂණියක්. අනේ දෙයියනේ අර කාර් එකෙන් ඇවිත් මෙතන තැග් ගැහිච්ච කොල්ලා මෙයාව ආයෙ ඕන කියලද කියන්නෙ…එයා සතුටු වෙන්න ඕන මේ මරාලෙන් ගැලවෙන්න ලැබිච්ච එක ගැන”
ගෑනු ළමයින් දෙදෙනා නෙක නෙක අදහස් පළ කළෝ ය. සන්තුෂී තවමත් හිටියේ අහසින් පොළොවට වැටුණා සේ කම්පිතව ය. වින්දි ගේ සැබෑ ස්වරූපය ඇයව තිගස්වා තිබිණ. කල්ප වාගේ ගැහැනු සොඬෙකු ගේ බිරිඳ වී සිටියදීත් ඇය මේ විදිහට නො හැසිරුණ බව සන්තුෂී ට මතක ය. මුල දී ඔහු ගේ හැසිරීම යථාවත් කර ගනු වස් කෑ ගැසූවද ඇය මේ විදිහට තමන් විනාශ වෙන තත්වයකට පත් වූයේ නැත. ඊට හේතුව ඇය වහ වහා ඒ තත්වය වටහා ගැනීම ය. සියල්ලට වඩා ඇයට සිය ආත්මය අගනේ වීම ය. ආත්මීය වටිනාකම් රැක ගනු වස් අඩියක් පස්සට ගෙන තමන් වෙනුවෙන් කළ හැකි දේ කිරීම ය. වින්දි මේ විදිහට හැසිරෙන්නේ අංජන මුලින් ම කියූ පරිදි ඇගේ මානසික ව්‍යාධිය මත බව පැහැදිලි කර ගන්නට මේ හැසිරීම හොඳටම ප්‍රමාණවත් ය.
“මිනිස්සුන්ට හොඳ යාළුවෙක් ඉන්නම ඕන ඔන්න ඕකයි ළමයි. හිතේ තියෙන හැම දුකක්ම…කේන්තියක්ම..තරහක්ම..හිතට දැනෙන ඕනම හැඟීමක් කියල දාන්න කෙනෙක් අපිට ඉන්න ඕන. ඒ කෙනා තමන්ගෙම හස්බන්, වයිෆ්, ගර්ල් ෆ්‍රෙන්ඩ්, බෝයි ෆ්‍රෙන්ඩ්…යාළුවෙක් නැත්තං සහෝදරයෙක්..ඒත් නැත්තං ගුරුවරයෙක් හරි හාමුදුරුකෙනෙක් පූජකවරයෙක් හරි කමක්නෑ…කාට හරි හිතේ තියන දේවල් කිව්වහම හිත නිදහස් වෙනව. මිනිස්සු ගස් ගල් වලට දුක කියන්නෙ ඇයි…සමහර ආගම් වල පාපොච්චාරණ කරනව. හිතේ හිර කරං කාටවත් නොකියා හිටිය හැම වැරැද්දක් ම..හැම දුර්වල කමක් ම එහෙම තැනකදි බය නැතුව කියල හිත නිදහස් කර ගන්නව. ඒකයි මිනිස්සු තමන්ගෙ ආගම හරි අදහන්න ඕන. මිනිස්සු තිරිසන් සත්තුගෙන් වෙන් කරන මායිම ආගම කියනවනෙ. ඔය කොයි විදිහටවත් පිට නොකර හිර කර ගෙන ඉන්න හැඟීම් තමයි ඩීප්‍රෙශන් වෙලා කෙනෙක්ව විනාශ කරන්නෙ. මේ විදිහට ආත්මෙ විතරක් නෙවෙයි…පීඩනය වැඩි වුණ වෙලාවක එයාල තමන්වත් මරා ගන්න පුළුවන්. එයාලට අපි උදව් කරන්න ඕන ළමයි. එහෙම නැත්තං ඒ වගේ අය දිවි නසා ගත්ත වෙලාවක අපිට ඉතුරු වෙන්නෙ පසු තැවීමක් විතරයි”
සන්තුෂී ඒ සියල්ල කියවා ගෙන ගියේ හද පිරවූ සංවේගයකිනි. පිස්සු හදා ගන්නවා නම් එසේ කළ යුතුව තිබුණේ ඈ ය. පාසලෙන් සමු ගත් ගමන් ප්‍රේමය නිසාවෙන් ඇය මව් පියන් අත් හැරියා ය. දෙවන දරුවා කුස ඔත් ගමන් කල්ප ගේ අනියම් සම්බන්ධයක් ගැන දැන ගත්තා ය. ඔහු ජීවිතය දිග ඉහළට නැගෙනා ඉණි මග නගිමින් සිටියදී උපයන්නා වූ ධනය ද බලය ද ප්‍රසිද්ධිය ද පාවිච්චි කරමින් කළේ ම ඇය උමතු කරවනා දේ ය. උමතු නොවී සිටිනු වස් ඇය දරුවන් වෙනුවෙන් විවාහ ජීවිතය කැප කළා ය. අවසාන වශයෙන්, තමන් සොයා ගන්නට තීරණය කළා ය. තමන්ගේ සතුට අනුන් ගේ හැසිරීම් මත තීරණය විය යුතු දෙයක් නොවන බවට ස්වයං අවබෝධයක් ලැබුවා ය.
“මේ මනුස්සය මෙහෙම ගිහින් අර අහිංසක පොඩි එකීගෙ අනාගතේටත් බලපෑමක් වෙයිද කියලයි මට බය”
සන්තුෂී ඒ වචන ටික කීවේ අවංක හැඟීමකිනි. ඇගේ ඇස් වල ඒ වෙලාවේ මාතෘ ස්නේහයක් තැවරී තිබිණ.
සිය ජංගම දුරකතනය ඔස්සේ වින්දි සන්තුෂී ට කළ තර්ජනය ඇසෙත්දී අංජන ට දැනුණේ සිය දෙපා පණ නැති වී ගෙන යනවා වාගේ ය. වතාවක් සන්තුෂී දුරකතනය ඔස්සේ වින්දි ගෙන් බැණුම් ඇසුවා ය. දැන් සන්තුෂී සොයා විත් වින්දි ඇගේ කම්මුලට අතුල් පහරක් එල්ල කළා ය. ඒ පහර වඩාත් රිදවා තිබුණේ අංජන ගේ හිත ය. දිගින් දිගට ම රැකියා ස්ථානයෙන් කෙටි නිවාඩු ඉල්ලා සිටින්නට බැරි නිසාවෙන් ඔහු ට ඒ වෙලාවේ ම රරූපලාවන්‍යාගාරය අසලට එන්නට නො හැකි විය. නමුත් ආයතනයෙන් නික්මිය හැකි වූ ගමන් අංජන එතැනට ආවේ ය.
“මං පහළ ඉන්නව”
යනුවෙන් කෙටි පණිවිඩයක් යවා විනාඩි දහයක් ද ගෙවුණාට පස්සේ ය සන්තුෂී එය දුටුවේ. ඇය පඩි පෙළ දිග දිව ආවා ය.
“අනේ සොරි. මං මෙසේජ් එක දැක්කෙ දැං. ඔයා රිං කරන්න එපැයි”
අංජන ගේ මුහුණට සිනහවක් ආවේ නැත.
“සොරි”
“සොරි කියන්න එපා ඉතිං. ඔයා මොනා කරන්නද…අර පොඩි එකී වුණත් මොනා කරන්නද…අපි මේකට ෆේස් කරන ගමන් විසඳ ගන්න බලමු”
“ඇයි අපි නිසා මේ දේවල් ඉවසන්නෙ…”
සන්තුෂී රිය දොර හැර ගෙන ඊට ගොඩ වූවා ය.
“අපි ටිකක් එහාට ගිහිං ආපහු එමුකො. අද ටිකක් රෑ වෙනකල් අපිට අපොයින්මන්ට්ස් තියනව”
ඒ ගමන් ම සන්තුෂී අංජලී ට පණිවිඩයක් යවමින් ඇය හදිසියකට පිටතට යන නිසා වැඩ ටික බලා ගන්නයි කීවා ය.
“සමහර දේවල් වලට ඇයි කියල කියන්න හේතු නෑ අංජන. හේතු නැතුවමත් අපි සමහර තැන් වල නතර වෙනව…සමහර තැන් වල හිර වෙනව”
සන්තුෂී ඒ වචන ටික කීවේ තුනී රිදුමක් ද එක්ක ය. ඒ රිදුමට හේතුව ද ඇය නො දැන සිටියා ය. ඇතැම් විට දැනි දැනී නො දැනෙනවා සේ හිටියා ය. සමහර කාරණා නො දැනෙනා සෙයින් ඉන්නා එක වඩා පහසු ය. හාරා පාරා අක් මුල් හොයන්නට යාම සිත් වදයක් විය හැකි බැවිනි.
සන්තුෂී අත තිබූ දුරකතනය සදෙව්මා ගේ නමින් හැඬවෙන්නට ගත්තේ එතකොට ම ය.
“අනේ මට සමාවෙන්න අක්කි. අම්මි ඇවිත් ඔයාට ගැහුවලු නේද…මට තේරෙන්නෑ මෙයාට මොකක් වෙලාද කියල. අපේ ප්‍රශ්න වලට ඔයා පලිද…මට දැන් මේක ඇති වෙලා අක්කි. මට මේක තිත්ත වෙලා”
ඇය හඬා ගෙන ම කියවා ගෙන යන්නට වූවා ය. අංජන ට සදෙව්මා ගේ හඬ පැහැදිලිව ම ඇසිණ.
“සදෙව්මා…කලබල නොවී ඉන්නකො. අම්මි ගෙදර ආවද..ඔයා මෙහෙම මට කතා කරනව කියල දැන ගත්තොත් එයා තවත් කලබලයක් කරයි නේද…”
සන්තුෂී කතා කළේ ඉතා ඉවසීමෙන් නිවුණු බවකිනි. නමුත් සදෙව්මා මුරණ්ඩු වී සිටියා ය.
“ඇහුණදෙන්. එයා ඔය විදිහට කැතට හැසිරෙනවනං මාත් මට ඕන දේ කරනව. මං විතරක් ඇයි හොඳ වෙන්නෙ…මං විතරක් ඇයි බය වෙන්නෙ…මං විතරක් ඇයි ලැජ්ජ වෙන්නෙ..”
අංජනත් සන්තුෂීත් උනුන් ගේ මුහුණු බලා ගත්හ.
“සදෙව්මා මේ අහන්නකො පුතේ. ඔයා මේ තත්වය නොදන්නව නෙවේනෙ. ඔයත් මෙහෙම කලබල වෙලා බෑනෙ. අම්මිව තවත් කලබල නොකර මේ කුණාටුව සන්සුන් කර ගන්න බලමු. ම්…”
“මහ වීරකමක් කළා වගේ ඇවිත් එයා ඒක කියපු හැටියි මට ඉවසන්න බැරි”
“සදෙව්මා…ජීවත් වෙද්දි ඉවසගන්නම බැරි දේවල් පවා ඉවසගන්න වෙන වෙලාවල් එනව. ඒ වෙලාවට අපි එහෙම කරන්නෙ හොඳම අවසානයක් වෙනුවෙන්. තේරුණා නේද…ඒක නිසා හොඳ ළමය වගේ ඔයා දැන් අම්මි එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව ඉඳල එයාව කූල් ඩවුන් කරන්න බලන්න. අපි බලමුකො මොකද්ද කරන්න පුළුවන් කියල…ම්…”
අංජන ට සන්තුෂී වැළඳ ගැනීමේ උවමනාව තදින් ම දැනිණ. කෝට්ටේ දියවන්නා ඔය ආශ්‍රිත එළිමහන් උද්‍යානයෙහි රථ ගාලේ රිය නැවතූ ගමන් ඔහු සිය නළල දෙපස තදින් පිරිමැද ගත්තේ ය.
“අවුල් යන්න එපා ඉතිං”
සන්තුෂී ඔහු ගේ අත් බාහුව හෙමිහිට පිරිමදිනා ගමන් මිමිණුවා ය. අංජන ඇස් හරවා ඇදෙස බැලුවේ ය. කියා ගන්නට බැරි හැඟුමන් සහසක් උගුරේ හිර වී ඇති බව ඔහු දැන සිටියේ ය.
“මං ඉන්නවනෙ”
“ඇයි එදා මාව රිජෙක්ට් කළේ…”
සොරොව්වක් වුණත් බිඳී යන වෙලාවක් තියේ. හැඟීම් අවුරා පවුරු බැඳි සිතකට ද දරා ගෙන රහස් රැකිය හැකි සීමාවක් තියේ. ඒ ප්‍රශ්නයත් එක්ක ම ඉකියක් අංජන ගේ ශ්වසන මාර්ගයේ හිර විය. සන්තුෂී ට කිසි දෙයක් වැටහුණේ නැත.
“ම්..මට තේරුන්නෑ අංජන…”
“ඔයා සරස්වතී පූජාවට හිටපු අලුත..ඉස්කෝලෙ නංගි කෙනෙක් අතේ ලෙටර් එකක් එව්වෙ මං. ඔයා එදා ඒක රිජෙක්ට් නොකළනං…අපිට මෙහෙම නොවෙන්න තිබුණා සන්තු”
සියල්ල පුපුරා ගියේ ය. හිර වී තිබියදීට වඩා වෙනස් දේවල් පුපුරා ගියාට පස්සේ සිදු විය හැක. සන්තුෂී ගේ මල් පෙති දෑස් ලොකු වී තිබිණ. ඇය හයියෙන් හුස්ම ගනිමින් සිටියා ය.