රිදුණු තටු පිරිමදිමි – අවසන් කොටස

ජීවිත වලටත් ඍතු තිබේ. ඇතැම් ඍතු අතිශය කටුක ය. පීඩිත ය. රළු ය. නමුත් අපට ඒවා මගහැර යා නො හැකි ය. ඇතැම් ඍතු සෞම්‍ය ය. සිහිලැල් ය. සුවදායක ය. එහෙමය කියා හැමදාට ම ඒවා අපේ ජීවිත මත්තේ නතර කර ගත නො හැකි ය. 

ඍතු කියන්නේ ඇවිත් යන්නා වූ දෙයකි. ඒවා ලෝකය ඇරඹුණ දා සිට එක තැනක නතර වී සිටියේ නැත. ඇවිත් ගියා පමණකි. නමුත් ඊළඟ ඍතුව තෙක් ම මතක ගොන්නක් ඉතිරි කොට යන්නට ඒවා සමත් වන්නේ ය.

කාලය ගමන් කරන්නේ ඍතු අතරෙන් සේ ම, ජීවිත ගමන් කරන්නේ ද විවිධාකාර සිදුවීම් හා වෙනස්වීම් අතරෙනි. ජීවිතය කියන්නේ එසේ යන ගමනටයි. ජීවත් වීම කියන්නේ ඒ යන ගමනයි. එක එක මිනිසුන් එක එක ඍතු වලට ප්‍රතිචාර දක්වන්නේ යම් සේ ද ඔවුන් සිය ජීවිත ඉදිරියට සම්මුඛ වන්නා වූ ජීවන අත්දැකීම් වලට ප්‍රතිචාර දක්වන්නේත් විවිධ වූ ආකාර වලට ය. සන්තුෂී, කල්ප, වින්දි, අංජන සේ ම සදෙව්මා සම්බන්ධයෙන් ද එය එසේම ය. 

සිය දිවියේ එක් පසෙක සිදු වූ බිඳ වැටීමට යට ව අනිත් පස ද විනාශ කර ගන්නට නො සිතූ සන්තුෂී පිදුරු ගහේත් එල්ලෙමින් හෝ නො ගිලී හිඳීමේ උත්සාහයක් ගත්තා ය. අවසන ඇය ඒ උත්සාහය සාර්ථක ලෙස ජය ගෙන තිබිණ. අලුත් ගොඩනැගිල්ලේ ‘සැලෝන් සන්තු’ විවෘත වූයේ සමීපතම ශුභ පතන්නන් හා විශ්වාසවන්ත පාරිභෝගිකයන් ගේ ආසිරි මධ්‍යයේ ය. 

ඒ ඇගේ හීනයකි. සන්තුෂී නො බියව ඒ හීනය දුටුවා ය. ඒ හීනය හැබෑවක් කර ගනු වස් කළ හැකි සියල්ල සිය උපරිමයෙන් කළා ය. 

ඒ රූපලාවන්‍යාගාරය සැබවින් ම හීන ලෝකයකි. සන්තුෂී දවසක් සිය මිතුරිය තප්ති ඉදිරියේ ඒ ෆෝ කඩදාසියක පැන්සලයෙන් ඇඳි රේඛා චිත්‍රය ඇත්තට ම එතැන මැවී තිබිණ. තන්බර්ජියා හා බළල් පහුරු ද කර්ට්න් වැල් ද කලින් ම සිටුවන ලද්දෙන් විවෘත කිරීමේ අවස්ථාව වන විටත් ඒවා යම් තරමකට වැවී මල් පිපී තිබුණේ ය. අලුත් ගොඩනැගිල්ලේ අලුතෙන් ගල්වන ලද තීන්ත සුවඳ ද අලුත් බලාපොරොත්තු වල සුවඳ ද එකට මුහු වී ඇති බවක් සන්තුෂී ට දැනුණේ ය.

කිරිබත් මේසයට ගෙදර අයට අමතර ව අංජන හා සදෙව්මා ද තප්ති ද සිටියෝ ය. ලුණු මිරිස් හා මාළු ඇඹුල් තියල් සමග කිරි බත්, නවමු අනාගතයක් ගැන කිරි රස දැනෙව්වේ ය.

“මට දැන් හොඳයි. පාළුවෙ දවසම ගත කරපු මට මිණිපිරියෙකුත් හම්බ වුණා”

ස්වර්ණකාන්ති සදෙව්මා ව තුරුළු කර ගෙන එසේ කීවේ දැන් ඉතින් පාසල් නිම වී ඇය පැමිණිය යුතු වූයේ කොට්ටාවේ රූපලාවන්‍යාගාරයට නොව රුක්මල්ගම පාරේ අලුත් සැලෝන් සන්තුෂී පිහිටන ඔවුන් ගේ ගෙදරට වන නිසා ය.

“සදෙව්මා එයිද දන්නෑ. දැන් දුර වැඩි නිසා”

සන්තුෂී එසේ කීවේ සාංකා හැඟීමකිනි. සැබවින් අලුත් ගොඩනැගිල්ලේ කටයුතු නිමා වී ගෙන එමින් තිබි පසු ගිය මාස දෙක පුරා ම ඇගේ පපුවේ කටුවක් සේ ඒ සිතිවිල්ල ඇනෙමින් පෑරෙමින් තිබිණ. අලුත් ගොඩනැගිල්ල ගැන විඳිත හැකි ව තිබූ මුළු මහත් සතුට විඳ ගන්නට ඇතැම් විට සන්තුෂී ට එම සිතිවිල්ල බාධාවක් වන්නට ද ඇත. සදෙව්මා කියන්නේ පසු ගිය කාලය පුරා සන්තුෂී ගේ ජීවිතය පුරවා දැමූ වස්තුව ය. ඇගේ හුරතලය විඳින්නට ද තව තවත් ඇගේ ආදරය ලබන්නට ද සන්තුෂී දවසක් පාසා ලෝභී වූවා ය. සිය දරු දෙදෙනා ගේ ශාරීරික දුරස් වීමෙන් හිස් වූ භෞතිකමය වූ යමක් ඇයට සදෙව්මා නිසා ලැබිණ. මේ මොහොතේ සතුට කියන්නේ කොයි තරම් අගනා යමක් දැයි දැන සිටි සන්තුෂී, සදෙව්මා නිසා උරුම වූ සිතිවිලි මාත්‍රයක සතුට පවා සිය හද නිධානයෙහි පුරවා ගත්තා ය. අම්මා  කියන්නේ හැඟීමකටය කියා සදෙව්මා වටහා ගත්තේ සන්තුෂී වෙතිනි!

භෞතික අම්මා කෙනෙකුට වඩා අම්මා කියන හැඟීම සෞම්‍ය වග, වින්දි හා සන්තුෂී අතරේ සන්සන්දනයක් සිදු කරත්දී සදෙව්මා හඳුනා ගත්තා ය. නමුත් මිනිසුන් දෙදෙනෙකු කිසි සේත් නො සැසඳිය යුතු වග ඇයට කියා දුන්නේත් සන්තුෂී ය. 

“පෙනුම එක වගේ වුණාට දෙන්නෙක් සෛලයකින්වත් එක වගේ නෑ. ඒ නිසා එක්කෙනෙකුගෙන් තව කෙනෙක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ කියන එක පොඩි කාලෙ ඉඳලම ඉගෙන ගන්න”

ජීවිතය පිරී පවත්නේ යාම් හා ඒම් වලින් වග වටහා ගෙන හිඳින සන්තුෂී, සදෙව්මා හදිසියේ හෝ රූපලාවන්‍යාගාරය වෙත නො පැමිණ සිටියහොත් එය සම සිතින් විඳ ගන්නට ද හිත හදා ගෙන සිටියා ය.

“කොච්චර දුරකට ගිහින් දැම්මත් බලු පැටියෙක් බළල් පැටියෙක් වුනත් ඌට ආදරෙන් කතා කරපු කෙනෙක් ඉන්න ගෙදරක් හොයං ආයෙ එනව”

අංජන එසේ කීවේ සන්තුෂී ගේ මූණ මග හරිමිනි. ඇගේ ඇස් වල කඳුළු පටලයක් නැගී ගෙන ආවේ ය. නමුත් ඇය ඒ කිසිවෙකුට පේන්නට හැරියේ නැත.

ඒ ඕපාදූපය තප්ති විසින් සන්තුෂී ට පෙන්වූයේ සුභ නැකත ගෙවී ගොස් ටික වෙලාවකට පස්සේ ය. නමුත් ඕපාදූප වෙබ් අඩවියක පළ වූ ඒ නවක නිළිය ගේ සම්මුඛ සාකච්ඡාව ඇය දුටුවේ පෙර දා රාත්‍රියේ ය. එහි සඳහන් වූ පරිදි ඇගේ හා ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක කල්ප බණ්ඩාරතිලක ගේ විවාහය පස් මසක් තුළ අවසානය කරා ගමන් කොට තිබිණ.

“එයාට ප්‍රඩියුසර් කෙනෙක් නෙවේ ඇක්ටර් කෙනෙක් වෙන්නයි තිබුණෙ. ඇත්තටම එයා මාර නළුවෙක්. ඒ රඟපෑමට මාත් අහු වුණා”

ඇය එහි කියා තිබිණ. සන්තුෂී පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය. කල්ප පිළිබඳ ශෝකී හැඟීමක් සන්තානයෙහි ඉහිර යනු ඇයට දැනිණ. සම්බන්ධතා ඇති වන්නේ හෝ නැති වන්නේ නීතියේ මැදිහත් වීමකින් නොවේ. හදවතේ මැදිහත් වීමකිනි. ඔවුන් අතරේ සම්බන්ධය නීතියෙන් වෙන් වී තිබිණි ද කල්ප ගේ ජීවිතය මැද්දේ ඇති  වූ ඒ සුළි සුළඟ ට ‘හොඳ වැඩේ’ කියන්නට බැරි තරමට ඔහු හදවතට අයිති වී සිටි බව සන්තුෂී දනී. 

“මෙහෙම ගිහිං එයා කොහෙං නවතියිද කියලයි මට හිතා ගන්න බැරි”

“කව්ද…මේ නිළියද…”

තප්ති සාවඥ සිනහවක් නගා ගත්තා ය.

“නෑ. කල්ප”

“මොනාද ඉතිං…තව හතර පස් දෙනෙක්වත් බැඳ බැඳ ලිහ ලිහ යයි. හරියටම හරි යන්නෙ කෝකද කියල තීරණේ කරන්න පුළුවන් වෙනකල්…”

ඈත දියඹේ ඇදී යන නෞකාවක් දෙස බලා හිඳිනා හැඟීමකින් සන්තුෂී සුසුමක් හෙළුවා ය. ජීවිතය හරි පුදුම ය. ජීවිතයට එන යන අය ද නතර වන අය ද සමු දෙන අය ද දෙස වෙරළේ හිඳ නෞකාවක් දෙස බලනා හැඟීමකින් බලා ඉන්නා එක පහසු ද වේදනාත්මක ද කියා ඇය නො සිතා සිටියා ය.

එක එක මිනිසුන්ට උරුම වූ ඉරණමක් තියේ. ඒ ඉරණම ලියා ගැනීමේ වරයක් යම් කිසි මොහොතකදී ඕනෑ ම මිනිසෙකුට ලැබෙන බව සන්තුෂී විශ්වාස කරන්නී ය. ඇතැම් විට තමන් ගේ ඉරණම තමන් විසින් ම ලියා ගැනීමේ අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතයට ම එක් වතාවක් විය හැක. ඒ අවස්ථාව වහ වහා අතට නො ගත්තේ වී නම් අපි හැමදාමත් වෙන කෙනෙකු විසින් ලියනා ලද පිටපතකට අනුව රඟනා නළුවෝ පමණක් වන්නෙමු. කල්ප අතින් සිය ජීවිත ඉරණම තමන් වෙත පවරා ගැනීම ගැන සැනසුමක් සන්තුෂී ගේ හදවත පත්ලේ විය. 

අලුත් රූපලාවන්‍යාගාරය සන්තුෂී ට වඩාත් පහසුවක් ද අභිමානයක් ද ගෙනාවේ ය. මේ ගොඩනැගිල්ල තුළ සිය සිහිනය ඇයට ඕනෑ ලෙස පාට කළ හැකි වීම විශේෂිත ය. සමහර කාර්ය බහුල නොවන වෙලාවක ඇය නිදහස් සිතින් ඒ පුංචි සුරංගනා ලෝකය දෙස බලා හිඳී. ලෝකයේ ඇයට වන සුවදායක ම ස්ථානය ඇය විසින් ගොඩ නගා ගෙන අහවර යයි එසේ සිටිනාතර සන්තුෂී ට සිතේ. 

බොහෝ විට මිනිසුන් රැකියා ලෙස තෝරා ගන්නා හා විනෝදාංශ ලෙස තෝරා ගන්නා ක්ෂේත්‍ර ගැන සලකා බලතොත්, ඒ එකිනෙක සමපාත නොවන මාවත් දෙකක පිහිටි දෙකකි. නමුත් විනෝදාංශයක් ලෙස හිතට සතුටක් ගෙනෙනා යමක් වෘත්තිය ලෙස තෝරා ගත් තැනැත්තෙකුට මානසික තෘප්තියකින් යුතු ව රැකියාවේ නිරත විය හැකි ය. සන්තුෂී ට රූපලාවන්‍යය යනු ඇයව සතුටට පත් කරනා විනෝදාංශයකි. තමන් වෙත පැමිණෙන පාරිභෝගිකයෙකු ලස්සන කිරීමෙන් ඇය ආත්ම තෘප්තියක් ලැබුවා ය.  එය ඇය විසින් ලබා ගත් මුදලට වඩා විසල් වූවකි.

රෝගී ව සිටින අම්මා ද පේන මානයක තබා ගනිමින් සිය වෘත්තියෙහි ද නිරත විය හැකි වීම ඇය ලද භාග්‍යයකි. ඊටත් වඩා ඉස්සර සදෙව්මා පාසලේ සිට පැමිණ නතර වී සිටි අනුන්ගේ කඩ කාමරය නොව දැන් ඇයට නිදහසේ දවස ගත කරන්නට ගෙදරක් තියේ. පාසල් ගොස් ඇවිත්, කෑම කා, දිය නා, ඕනෑ නම් ටිකක් නිදාගෙන, පාසල් වැඩ ද කරනා ඇගේ සිනා කතා හඬ ගෙදරත් රූපලාවන්‍යාගාරයත් අතරේ නිරන්තර පිළිරැව් දේ. සති අන්තයේ දී ඒ සිනා කතා නැති සන්තුෂී ගේ ලෝකයට පාළුවක් දැනේ. නමුත් සතුට ද දුක ද පාළුව ද සතුටෙන් බාර ගන්නට පුරුදු වූ විට ඒ සියල්ල සතුටේ ම එක් එක් පැතිකඩ සේ දැනෙන්නට ගනී.

භෞතිකව නොව හැඟීමක් ලෙස සන්තුෂී සදෙව්මා ට මාතෘත්වය දනවමින් සිටි නිසා දැරිය මානසික සුවතාවයෙන් යුතුව වැඩෙන්නට වූවා ය. ඇගේ නව යෞවනයේ හැඟීම් හා සිතිවිලි ද කුතුහලය ද බෙදා හදා ගන්නට සන්තුෂී ළඟ බය නො දැනෙන නිදහසක් තිබිණ. 

ඇය අම්මා ට අනුකම්පා කළා ය. වින්දි ජීවිතයේ සතුට කියා දෙයක් නොදැක රැකියාවත් නිවසත් අතරේ වියපත් වෙමින් සිටියා ය. සිනහ වෙන්නට කාරණා ඇය දුටුවේ ම නැත. ජීවත් වෙන්නට රැකියාවක් තිබීමත් සදෙව්මා ගැන වගකීමෙන් නිදහස් වීමත් ඇයට ප්‍රමාණවත් ජීවන දර්ශක විය. සෙනසුරාදා උදේ වින්දි වෙත ගොස් ඉරිදා හවස සදෙව්මා අංජන එක්ක ගෙදර ආවා ය. 

“අම්මි වගේ අය මැරි කරන්න නරකයි”

වින්දි ව දකිනා හැම වතාවක ම වාගේ සදෙව්මා ගේ සිතේ ඒ සිතිවිල්ල නැගේ. නමුත් ඇය ඒ වචන වලට නො පෙරළයි.

එක ශනිදා උදයක බලාපොරොත්තු නොවූ වෙලාවක වින්දි ලහි ලහියේ සැලෝන් සන්තු වෙත ආවා ය. ඇය ට ලබා ගැනීමට අවශ්‍ය වන සේවාව කුමක්ද කියා නො දැනෙන තරම් කැළඹීමක් ඒ වෙලාවේ වින්දි තුළ විය. නමුත් මේ ගමන ඇය දින ගණනාවක් තිස්සේ සිතමින් සිටියකි.

“අයිබ්‍රෝස් ද මිස්…”

වින්දි කැඩපත ඉදිරියේ අසුන මත හිඳ ගත් ගමන් ඈ වෙත ලං වෙමින් අංජලී විචාලා ය. නමුත් මොකක්දෝ වෙනසක් දැනුණෙන් සන්තුෂී එතැනට ලං වූවා ය. 

“මං වින්දි”

සන්තුෂී දෙස බලා වින්දි වහා කීවා ය. ඇය සිටියේ කලබලයක ය.

“සදෙව්මගෙ අම්ම”

සන්තුෂී ගේ හඬ නිවුණේ විය. බඩ පපුව පැත්තේ දැවිල්ලක් වින්දි ට දැනෙමින් තිබිණ.

“සදෙව්මා දැන් සතුටෙන් ඉන්නව. මට ඔයා ගැන ඊරිසියා හිතෙන්නෑ නෙවේ. මං ඊරිසියා නොහිතා ඉන්නව”

“අනේ”

සන්තුෂී ට එසේ කියවිණ.

“ඊරිසියා කරන්න කිසිම දෙයක් නෑ. එයාට කියන්න දෙයක් තියනවනං මං අහන් ඉන්නව. එයාට උත්තරයක් ඕනනං මං ඒක දෙනව. එයාට බත් ටිකක් කවා ගන්න ඕනනං මං කවනව. එයාට හුරතල් වෙන්න ඕනනං මං හුරතල් වෙන්න දෙනව. එයාට මාව ඕනනං ඒ වෙලාවට මං එයා වෙනුවෙන් ඉන්නව. හැබැයි ඔයා එයාගෙ අම්ම. මං ඒ තැන අයිති කර ගන්න ගිහින් නෑ හිතිවිල්ලකින්වත්”

“කොණ්ඩෙ ට්‍රිම් කරන්න ඕනෙ”

“ලේයර් එකක් කපමුකො. ඔයාගෙ මූණට එළියක් එයි එතකොට. කොහොමත් ගැටගහං ඉන්නවට වඩා ඔයාට ලස්සන ලූස් හෙයා”

වින්දි ගේ මූණට සිනහවක් ආවේ ය. කාලාන්තරේකින් කිසිවෙකු තමන්ගේ ලස්සනක් ගැන කතා කොට නෑ නේද කියා ඇයට සිහි විය.

“අනේ මන්දා…ඔන්නොහෙ හොඳ දෙයක් කරන්න”

අවසන සන්තුෂී ගේ හිස කේ විලාසිතාවෙන් පසු වින්දි නික්ම ගියේ යොවුන් ගෑනු ළමයෙකුගේ අලුත් සතුටක් හදවතින් දරා ගෙන ය. සදෙව්මා සන්තුෂී ළඟ හැදෙනා එක ගැන වන ඊර්ෂ්‍යාකාර සිතිවිලි යටපත් කර ගෙන හදවත දුකින් බර කළ සතුටක් ඇයට දැනෙන්නට විය. ඉරිදා ගෙදර එන විට, සන්තුෂී ට දෙන්න කියා කිරි ටොෆි පාර්සලයක් වින්දි සදෙව්මා අත පත් කළා ය.  කාලෙකට පස්සේ සදෙව්මා අම්මා ව වැළඳ ගත්තා ය.

“සතුටෙන් ඉන්නකොට ඔයා ලස්සනයි”

දියණිය ගේ ඒ වදන එදා දවස පුරා ම වින්දි ගේ හිත තුළ රැව් නැගිණි. සතුටෙන් ඉන්නට පුංචි පුංචි හේතු ප්‍රමාණවත් බවත්, නො නවත්වා අප ඒ හේතු සෙවිය යුතු බවත් එදා ඇය මුහුණු පොතට එබෙත්දී එහි ලියැවී තිබී දුටුවා ය.

“තාත්තිට හිතෙන්නැද්ද…අපි එක ගෙදරක හිටියනං හොඳයි කියල…මං කියන්නෙ සන්තුෂී අක්කියි අපි දෙන්නයි…”

එක දවසක් හවසක රූපලාවන්‍යාගාරයේ සිට ගෙදර යන්නට මෝටර් රථයට නැගුණ ගමන් සදෙව්මා අංජන ගෙන් විමසුවා ය. ඒ පැනයත් එක්ක ඔහු ගේ හුස්ම හිර කරවන තිගැස්මක් ඇති විය. නමුත් අංජන සන්සුන් ව උත්තර දුන්නේ ය.

“අපි හදවත් වලින් එකට ඉන්නවනෙ පුතේ”

“ඒත්…”

“අයිතියක් ලියා ගන්න ගිහින් නැති කර ගන්න ඕන දෙයක් නෙවේ ආදරේ කියන්නෙ. එයා ඔයාට ආදරෙන් ඉන්න එක මේ ලෝකෙ මට තියන ලොකුම සතුට….ලොකුම සැනසීම”

“ඔයත් සතුටෙන් ඉන්නවට මං කැමතියි. අපි හැමෝම සතුටෙන් ඉන්නකොට ජීවිතේ කොච්චර ලස්සන තැනක්ද කියල මං දැං තමයි ඉගෙන ගන්නෙ”

අංජන රිය පණ ගන්වා ගත්තේ ය. සන්තුෂී රූපලාවන්‍යාගාරයේ මතු මහලේ බැල්කනියේ සිට බලා සිටියා ය. සදෙව්මා සිනහවෙන් විකසිත ව ඇයට අත වැනුවා ය. නමුත් සන්තුෂී ගේ ඇස් නතර වී තිබුණේ අංජන ළඟ ය. හදවත තුළ වන යමක් සුසුමක මුහු කරන අතරේ ඔහු ඇස් මුදා ගත්තේ ය.

“අංජන.. ආදරේ කියන්නෙ හිමි වුණා කියල ලැබෙන දෙයක් නෙවේ. අත්දැකීමෙන් ඒක කියන්නෙ. අයිති වුණා කියල අපි හිතුවට පස්සෙ වුණත් ඇඟිලි අතරෙන් දන්නෙම නැතුව රූටල යන්න පුළුවන් දෙයක්. ඒ වගේම අහිමි වුණා කියල නැති වෙලා යන දේකුත් නෙවේ. ඔයාට එයා ලැබුණෙ නැතත් එ් ආදරේ නැති වුන්නෑ. ඔයා ළඟ තාමත් ඒක තියනව. ආදරේ එහෙමයි අංජන..ආදරේ ඒ වගෙයි.”

එක දවසක් සන්තුෂී කී ඒ වදන් මේ දැනුත් සිය ආත්මය තුළ රැව් පිළිරැව් දෙන බවක් අංජන ට දැනිණ. ඔහු සිය දෙතොල් මත්තේ මඳහසකට ඉඩ තනා දුන්නේ ය.

-සමාප්තයි.

පසු සටහනක්

ස්මාට් ලේඩි වෙබ් අඩවියට මා නවකතා ලියන්නට ගෙන දැන් වසර තුනක් පසු වී තිබේ. එදා මෙදා තුර අසීරු ම අවස්ථාවක නොවන්නට මම ඔබ වෙනුවෙන් ලීවෙමි. ඔබ කියවනු දැක සතුටු වීමි. ඔබ බලා හිඳින බව දැන අසීරුවෙන් හෝ ලීවෙමි.

නමුත් ඒ ගමනේ අවසානය අද මෙසේ නියම වී තිබේ. යළිත් මට මෙහි ලිවිය නො හැකි වන වග ඔබට කියන්නේ හද පිරි ශෝකයෙනි. පෞද්ගලික මට්ටමේ කටයුතු රැසක් මා ඉදිරියේ වන නිසා මෙහි ලිවීමෙන් සමු ගන්නට සිදු ව තිබේ. 

ස්මාට් ලේඩි හි ලියන්න ගත් දා පටන් අසීමිත සහෝදරත්වයකින් මා හා කටයුතු කළ කෞමදී, නිබන්ධිකා ඇතුළු ස්මාට් ලේඩි කණ්ඩායමටත්, එහි යාවජීව සාමාජිකයන් වන ඔබටත් ස්තූති කරන්නට මම මේ අවස්ථාව කර ගමි. වසර තුනකට වැඩි කාලයක් තිස්සේ මා ලියනා කතා කියවමින් මා හා බැඳී සිටි පාඨක ඔබ වෙනුවෙන් වෙන් වූ විශාල ඉඩක් මහදෙහි වේ.

ඉතින් මතුයම් දිනෙක මගේ කාර්ය බහුලත්වයන්ගෙන් මිදුනු පසු යළිත් හමු වෙමු. කොතැන කවදා හමු වුණත් මේ පුරුදු ආදරයෙන් අපට වැළඳ ගත හැකි වනු බව මට විශ්වාස ය.

ඔබට යහපතක් ම වේවා!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles