බිම්මල් -09

තාත්තා කිසිකලෙක අම්මා පවසන දෑ පිළිගන්නා අයෙකු නොවේ. අම්මා අප වෙනුවෙන් කතා කරද්දී ඔහු කෙතරම් කෝපයට පත් වෙනවාද කිවහොත් ඔහුගේ මුහුණ රතු වී දෑස් විශාල වී යකෙකුගේ  ස්වරූපය මුහුණට ආරූඪ වෙයි. එසේ වන්නේ ඔහු පෙලන කිසියම් මානසික රෝගයක් නිසාද එසේත් නැත්නම් අප කිසිවකු නොදන්නා තම යටගියාව ඔහුගේ සිහියට නැගෙන නිසාදැයි දැන සිටියේ ඔහුම පමණකි. 

“කෙල්ලන්ට සහතික දෙන්න ලෑස්ති වෙන්න එපා. මං හොඳටම දන්නවා මහ එවුන්ට බොරු කිය කියා උන් රස්තියාදු ගහන්න යන හැටි. මුන් දෙන්නා කවදාහරි මගෙ මූණෙ දැළි ගෑවොත් එදාට මං ඉස්සරවෙලාම අල්ල ගන්නෙ උඹවයි.”

තාත්තා නිවසම දෙවනත් කරමින් කෑගසයි. අම්මා අපට නෑසෙන්නට කුමක් පවසනවාදැයි නොඇසෙන නමුත් තාත්තා ඇයට පහර දෙන හඬ ඇසෙද්දි සුදු නංගීත්, මාත් ඔවුන් අසළට දිව යන්නේ ඔහු අම්මා මරා දමනු ඇතැයි බියෙනි.

“ඔය දෙන්නා යන්න. ඔය දෙන්නා යන්න.”

එවන් අවස්ථා වල අපට තමා අසළට නොඑන්නැයි පවසමින් අම්මා අප පළවා හරියි. මෙවන් දුක්බර අවස්ථා වලට මුහුණ දීමට සිදු වීම නිසා අමතර පන්ති සඳහා සහභාගි නොවන්නට මම තීරණය කළෙමි. අධ්‍යාපනයේ වටිනාකම පැහැදිලි කරමින් මගේ අදහස වෙනස් කළේ මගේ සමීපතම මිතුරිය අරුණෝදිය.

“ඩිනාලි…”

හේෂාන්ගේ කටහඬ ඇසෙද්දී මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි.

“ඇයි කතා නැතිව ඉන්නෙ? තරහ වෙලාද?”

“නෑ හේෂාන්… මට අරුණෝදි මතක් වුනා. අරුණොදි එක දවසක්වත් මාව බලන්න ආවෙ නෑ. අම්මා අරුණෝදිට කිව්වෙ නැද්ද මං හොස්පිටල් ඉන්නෙ කියලා.”

“ඇයි නැත්තෙ? කිව්වා. ඔයා ඇඩ්මිට් කරපු දවසෙමයි මං කෝල් කළේ. අම්මගෙ ඉස්කෝලෙ මොකක්ද උත්සවයක වැඩ කියලා කිව්වා. හොස්පිටල් නාවට ගෙදරට ඒවි.”

අම්මා පැවසුවාය. අරුණෝදිගේ අම්මා අසනීපයෙන් යයි දිනක් මා හා පැවසූ බව අම්මාගේ මතකයට නොනැගෙන්නට ඇතැයි මම සිතුවෙමි. සැබවින්ම ඇය එදින එසේ පවසන්නට ඇත්තේ මගේ සිත සැනසීමේ අදහසින් වන්නට ඇත. 

“කියනකොටයි මතක් වුනේ. අරුණෝදියි එයාගෙ අම්මයි ප්‍රෙස් එකට ආවා. ඉස්කෝලෙ ප්‍රින්ටින් වැඩකට කියලා. එදත් මා එක්ක කිව්වා ඩිනාලි බලන්න යන්නවත් බැරි වුනා කියලා.”

හේෂාන් පැවසුවේය. මම දිගු සුසුමක් හෙලීමි. මිතුරියන් කොපමණ සිටියද, පාසල් වියේ සිටම අරුණෝදි මගේ දුක සැප බෙදා හදාගත් සමීපතම මිතුරිය වූවාය. කාර්ය බහුලත්වය නිසා මා දකින්නට නොපැමිණීම පිළිබඳව මා ඇය හා අමනාප විය යුතු නැතැයි මම කල්පනා කළෙමි.

“අරුණෝදි ගෙදරට ඒවි ඩිනාලි.”

මගේ උරහිස පිරිමැදි අම්මා පැවසුවේ මගේ සිත සැනසීමට මෙනි.

“ආයෙ කවදද ඩිනාලිව ඩොක්ටට පෙන්නන්නෙ ආන්ටි?”

අප නිවස දක්වා දිවෙන අතුරු පාරට මෝටර් රථය හැරවූ හේෂාන් ප්‍රශ්න කළේය.

“සතියකින් ඩොක්ටට පෙන්නන්න ඕන. බයොප්සි රිපෝට් එක එන්නත් කොහොමටත් සති දෙකක් විතර යාවි.”

හේෂාන් පිලිතුරක් නොදුන්නේය. ඔහු හෙලූ සුසුම් හඬ මට ඇසිණ. නිවසට යන මාවත දෙපස වැවී ඇති ගහකොළ වෙනදාට වඩා හරිත පැහැයෙන් බැබලුනේය. පසුගිය දින වල අනිවාර්යයෙන්ම වැසි වැටෙන්නට ඇති බවත්, ඒ නිසාම ගහකොළ පණ ලබා ඇති බවත් මට සිතිණ. එක දිගට වවා ඇති දම් පැහැති මල් පිපෙන ලන්තානා පඳුරු වැසෙන තරමටම මල් පිපී තිබුණෙන් අතිශය සුන්දර ලෙසින් දිස් විය. හේෂාන් නිවස ඉදිරිපිට මෝටර් රථය නතර කරන තුරුම කිසිවෙක් අතර කතා බහක් ඇති නොවීය. මෝටර් රථය අසළට දිව ආවේ වජිරා ය. ඇය පසුපසට කර සඟවාගෙන සිටි කහ රෝස මල් කළඹක් මගේ දෝතට පිරි නැමුවාය.

“තෑන්ක් යූ වජිරා.”

මල් කළඹ මුහුණට ළං කරගත් මම පැවසුවෙමි. සුදු නංගී සිය ජංගම දුරකතනයෙන් එම අවස්ථාව ඡායාරූප ගත කළාය. වෙනදා මෙවන් අවස්ථාවන් ඡායාරූපයට නගන හේෂාන්ට අද එය අමතක වූවාක් මෙනි.

“දැන් ලොකු බබාට හොඳටම හොඳයි. නේද මැඩම්?”

මා අතින් අල්ලාගෙන කාමරයට කැඳවාගෙන යන වජිරා පැවසුවේ ප්‍රීතිමත් ලෙසිනි.

“දෙයියො අපි දිහා බැලුවා. ලොකු පිම්මක්නෙ පැන්නෙ අපේ ලොකු බබා.”

“මමවත් මගේ දරුවොවත් කාටවත්ම වරදක් කරලා නෑ. ඒ නිසා අපටත් වැරැද්දක් සිද්ද නොවෙන බව මට විශ්වාසයි”

“අපි වැරදි නොකරට මිනිස්සු අපට වැරදි කරනවා අම්මා.”

හේෂාන් දෙස හොරැහින් බැලූ සුදු නංගී පැවසුවේ හේෂාන්ගේ මව රෝහලට පැමිණ කළ දෝෂාරෝපණය සිහි වූ නිසා වන්නට ඇත. 

“ඇඳේ හාන්සි වෙනවද බබා?”

මා පුටුවක හිඳවූ වජිරා ඇසුවාය.

“එපා. වොෂ් දාගෙනම ඉන්නම්.”

වජිරා මගේ කාමරය අලංකාරවත් ලෙසින් සකසා තිබිණ. අලුත් ඇඳ ඇතිරිලි, කොට්ටා උර මෙන්ම ජනෙල් තිර පවා මා ප්‍රිය කරන රෝස පැහැයෙන් අලුතින් සකස් කරන ලද ඒවා විය.

“බබෙක්ගෙ කාමරයක් වගෙයි.”

හේෂාන්ට කියවිණ. වජිරා මුදු සිනාවක් නැගුවාය.

“මං ඊයෙ හවස ටවුන් එකට ගිහින් අලුත් හාවෙකුත් අරන් ආවා ලොකු බබාට.”

වජිරා පසෙක තබන ලද විශාල ප්‍රමාණයේ පුලුන් පුරවන ලද හාවෙක් මගේ උකුළ මත තැබුවාය.

“ඒකනෙමෙයි. මම දැන් යන්න ඕන ඩිනාලි.”

හේෂාන් මගේ හිස මත අත තැබුවේය.

“යන්න? එහෙමත් යන්න පුලුවන්ද සර්? අද පුංචි මගුල් ගෙදරක් වගෙයිනෙ. ඉන්න මං ඉක්මනට තේ ටිකක් ලෑස්ති කරන්නම්.”

“වැඩ ගොඩාක් පිරිලා. තේ බොන්න වෙන වෙලාවක එන්නම්.”

“වැඩ තියෙනවානම් පුතා යන්න. අපි කරදර කරන්න හොඳ නෑනෙ.”

අම්මා පැවසුවේ දුක්මුසු කටහඬිනි.

“තරහ වෙන්න එපා ආන්ටි. මං වෙන වෙලාවක එන්නම්.”

“කවුද තරහ වෙන්නෙ? තේ එකක හරි සීනි, කිරි ඉතුරු වෙනවනෙ.”

සුදු නංගී පැවසුවේ සිනාවෙන් තොර මුහුණින් යුතුවය. හේෂාන් කිසිවක් පැවසීමට සැරසුණද එවේලෙහි ඔහුගේ ජංගම දුරකතනය නාදවන්නට වූයෙන් ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ මදෙස හොරැහින් බලමිනි.

“මං පොඩි වැඩක ඉන්නෙ.”

හේෂාන් පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.

“නෑ. නෑ. එහේ නෙමෙයි. ප්‍රෙස් එකේ ඉඳලා ටිකකට එළියට ආවා. දැන් යන්නයි හදන්නෙ.”

අනෙක් පසින් කතා කරන්නේ හේෂාන්ගේ මව වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඔහුගේ මුහුණ වෙනස් වන්නට ඇත්තේ තමා පවසන වදන් අප අසා සිටිතැයි යන සැකය නිසා විය යුතුය.

“එන්නම්. මං එනතුරු පැය භාගයක් ඉන්න කියන්න. කිව්ව ගමන් එන්න මං එන්නෙ ප්ලේන් එකක නෙමෙයිනෙ.”

දුරකතනය විසන්ධි කළ හේෂාන් මදෙස බලා ආයාසයෙන් සිනාසුනේය.

“මං ගිහින් එන්නම් ඩිනාලි. ආන්ටි මම යන්නම්. හදිසියේම කස්ටමර් කෙනෙක් ඇවිත්ලු. හදිසි වැඩකට.”

අපෙන් සමුගත් හේෂාන් නිවසින් පිටව ගියේය.

“ඔය බොරු.”

සුදු නංගී පැවසුවාය.

“අපට බොරු කළාට ෂුවර් එකට කතා කළේ හේෂාන්ගෙ අම්මා.”

අම්මා කිසිවක් නොපවසා කාමරයෙන් පිටව ගියාය. කිසිවෙක් තදින් කොනහාගෙන සිටින විට දැනෙන වේදනාව මගේ හදවතට දැනිණ. මම යහන මත හාන්සි වූයේ සිත තුළ කැකෑරෙන වේදනාව සුසුමකින් සැහැල්ලු කර ගැනීමට උත්සාහ කරමිනි.

රාත්‍රිය බොහෝ නිසංසලය. සහස් සංඛ්‍යාත තරු කැට වලින් පිරුණු අහස මට ආච්චි අම්මා සතුව තිබූ සාරියක් සිහියට නංවයි. සුදෝසුදු කුඩා මල් ඉහිරුණු තද නිල් පැහැති කපු සාරියෙන් සැරසී සිටිද්දී ආච්චි අම්මාගේ මුහුණ වඩාත් සුන්දරව හා කාරුණික ලෙසින් පෙනෙයි. මා හදිසියේම අසනීප වූ බව හෝ ශල්‍ය කර්මයකට භාජනය කළ පුවත අම්මා, ඇයට හා සීයාට නොපවසන්නට ඇතැයි මට සිතිණ. බෙහෙවින් සාමකාමී සුන්දර ගම්බද පරිසරයක දිවි ගෙවන ආච්චිත්, සීයාත් එපුවත අසා කැළඹෙනු ඇතැයි අම්මා සිතන්නට ඇත.

මම අම්මාගේ මුහුණ දෙස බැලුවෙමි. සඳලුතලය ආලෝකමත් කළ විදුලි පහන නිවා දමන්නැයි මා කළ ඉල්ලීම නිසා මීට ස්වල්ප වේලාවකට පෙර අම්මා එය නිවා දැමුවාය. තරු පිරුණු අහසත්, පහත නිම්නයේ ඇතැම් නිවසක දල්වා ඇති විදුලි පහන් ආලෝකයත් වඩාත් සුන්දර ලෙසින් දර්ශනය වන්නට වූයේ ඉන්පසුය. සඳලුතලයේ පැවැති අඳුර නිසා අම්මාගේ මුහුණ පැහැදිලිව නොපෙනුනද, ඈත අනන්තය දෙස නෙත් දල්වා බලා සිටින ඇය සිටින්නේ ගැඹුරු කල්පනාවක බව මට සිතිණ. ඒ බව සනාථ කරමින් අම්මා හෙලන සුසුම් හඬ ද වරින් වර මට ඇසිණ. මගේ අනෙක් පසින් හිඳගෙන සිටින සුදු නංගී ද කතා බහකින් තොරව සිටින්නේ ඇගේ සිත ද බොහෝ දුරක නතර වී ඇති නිසාදැයි මම කල්පනා කළෙමි. 

සඳලුතලය සිසාරා දැඩි සුළං හමා ගියේ මගේ හිසකෙස් අවුල් කරමිනි. ඒ සිහිලැල් සුළඟෙහි මල් සුගන්ධයක් ද කැටි වී තිබිණ. පරිසරය විඳිමින් පසු වුව ද අප අතර පවතින මේ නිහඬතාවය මට දරා සිටීමට අපහසු විය. 

“අම්මා…”

මම අම්මා ඇමතුවෙමි. නින්දෙන් පිබිදුනාක් මෙන් තිගැස්සුණු ඇය මගේ උකුළ මත වූ දකුණත දැඩිව අල්ලා ගත්තාය. ඇගේ අත සිහිලැල් ස්වභාවයෙන් යුක්ත විය. 

“ඇයි කතා නොකර ඉන්නෙ?”

මම ඇසුවෙමි. අම්මා සිහින් හඬින් සිනාසුනාය.

“මම මේ කල්පනා කළේ… කල්පනා කළේ…” යි වදන් මුවට නගා ගත නොහැකිව අම්මා ගොත ගැසුවාය. 

“කේක් ෂොප් එක ගැන…”

මෙතෙක් නිහඬව සිටි සුදු නංගී ද සිය කටහඬ අවදි කළාය.

“ඒක ගැන මොනවා බලන්නද? අරුන්දතියි, ජීවකයි මටත් වඩා හොඳට ෂොප් එක බලාගන්නවා.”

“එහෙනම්?”

මම අම්මාගේ උරහිස මත හිස තබාගතිමි. ඇය කෙරෙන් නික්මුනේ මුදු විලවුන් සුවඳකි.

“මං මේ කල්පනා කළේ ගෑනු අපි හරියට බිම්මල් වගේ නේද කියලා. බිම් මලක් පස් යටින් ඉහළට එන්නෙ පස් ටිකක් හිසින් දරාගෙන. අපිත් ඒ වගේ. දුක් කරදර අරගෙන තමයි මේ ලෝකෙට බිහි වෙන්නෙ. ඇත්තමයි. ඔයාලා දෙන්නම ඉපදුනු දවසෙ මට කෑ/ගහලා අඬන්න හිතුණා.”

“ඇයි ඒ?” යි ඇසුවේ මා නොව සුදු නංගී ය.

“රෝස පාට මල් කැකුළු වගේ ඉපදුනාට මට වගේම ඔය දෙන්නටත් වයසින් වැඩෙන්න වැඩෙන්න මොන තරම් දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා හිතුනා.”

“සිම්පල්නෙ.”

සුදු නංගී හඬ නගා සිනාසුනාය.

“ඒ කරදර විඳින්න වෙන්නෙ නිකම්ම නෙමෙයි. සිංගල් ඩබල් වෙන්න ගියාම තමයි මේ ලෝකෙ නැති ප්‍රශ්න එන්නෙ. මම නම් කවදාවත් ඩබල් වෙන්නෙ නෑ. ඒ කියන්නේ… මැරි කරන්නෙ නෑ.”

සුදු නංගී සැහැල්ලු ලෙසින් පැවසුවාය.

“මාත් ඒ කාලෙ හිතුවෙ එහෙම තමයි. ඒත් ඒක කරන්න බෑ ගෑනු ළමයෙකුට.”

“ඇයි බැරි?”

සුදු නංගී ප්‍රශ්න කළාය.

“ඒකට උත්තර දෙන්න මට අමාරුයි. මාත් එහෙම හිතාගෙන හිටියට ඔයාලගෙ තාත්තා හමු වුනාට පස්සෙ ඒ හිතාගෙන හිටිය හැමදේම සබන් බෝල වගේ බිඳිලා ගියා.”

“ඒ කියන්නෙ මේජර් වංශනාථ සකුන්තලාගෙ හදවත ක්ෂණිකවම වශී කරගත්තා.”

 අම්මා දුක් සිනාවක් නැගුවාය. තාත්තාගේ කඩවසම් රූපයට අම්මා වැනි ලාබාල යුවතියකගේ සිත ඇදී යාම අස්වාභාවික දෙයක් නොවේ. හමුදා ඇඳුමින් සැරසුණු තාත්තාගේත් අම්මාගේත් මංගල ඡායාරූපය සිහිනයක් සේ සුන්දර වුවකි. සුදෝසුදු ලේස් සාරියකින් සැරසී මල් කළඹක් දෑතින් තුරුලු කරගෙන සිටින අම්මාගේ මුව රැඳි සිනාවෙහි බොහෝ බලාපොරොත්තු කැටි වී තිබෙන්නට ඇතැයි එය දකින සෑම මොහොතකම මට සිතිණ. එහෙත් තාත්තාගේ සැබෑ ස්වරූපය මතුවන්නට ඇත්තේ විවාහයෙන් කලක් ගත වූ පසුව වන්නට ඇත. තාත්තා නිවසින් නික්ම ගිය දිනයේ ඔවුන්ගේ මංගල ඡායාරූපය රැගෙන ගොස් අම්මා එය ගබඩා කාමරයට දැමුවේ එය දැකීමෙන් ඇති වන සිත් වේදනාව සමනය කර ගැනීමේ අදහසින් විය යුතුය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles