මල්වර මල් සර – 30

වස්සනාන ඍතුවේ දී අග නුවර මන්දාරම් නුවර වාගේ වෙන දවස් තිබේ. හිමිදිරි පෙදෙස වාගේ වෙන දවස් තියේ. ඒ වගේ දවස් වලට අයානා කුඩා කල පටන් ම රිසි වූවා ය. වැස්සේ තෙමෙමින් මිදුලේ නැටූ ළමා වියක් ඇයට තිබේ. මතු මහලේ සඳැල්ලක සිට වැස්ස දුක් ගීතයක් ගයමින් කඩා වැටෙනයුරු බලා සිටි යෞවනයක් ඇයට තිබේ. උදේ පාන්දර ම කාමරයේ ජනේලයෙන් පිටතට අත දමා ඇය වැහි දිය අත්ල ට ගත්තා ය. ඒ වතුර අයිස් කැට තරම් තද ශීතල ය. 

අයානා උදයෙන් ම ගේ අස් කොට අතු ගාන්නට පටන් ගත්තා ය. වැස්ස නිසා ගේ ඇතුළත සිහිලැල් විය. ගෘහ භාණ්ඩ වල දුහුවිලි පිස දමා බිම අතු ගා මොප් කොට ඇය අම්මා ගේ විසිතුරු පැළ බඳුන් කිහිපයක් ආලින්දයේ තැන් තැන් වල තැබුවා ය. 

අයානා මල් වලට ආසා වූවාට ඇයට මල් සිටුවීම වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් ඇත්තේ නැත. ඒ වෙනුවෙන් ඇප කැප වන්නේ නාලිනී ය. දැන් නාලිනී ට වන ලොකු ම සතුට මල් වැවීමයි. අයානා මල් ප්‍රදර්ශන වලින් ඇයට විසිතුරු පැළ ගෙනවිත් දුන්නා ය.

ජංගම දුරකතනයක් ලැබීමෙන් පස්සේ අයානා අම්මා ට යූ ටියුබ් එකේ පැළ සිටුවීම, කෑම වර්ග සැදීම ආදී වීඩියෝ නරඹන්නට කියා දුන්නා ය. ගෙදර වැඩ අවසන් කොට විවේකයෙන් සිටිනා වෙලාවක නාලිනී ඒ වීඩියෝ අතරේ සැරිසරමින් ඒවා ප්‍රායෝගික ව අත් හදා බලා සතුටක් ලබන්නී ය. ඇය මුළුතැන්ගෙයින් ඉවත් කරන සියලු ජීව අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් පොහොර නිවසේ ම සැදුවා ය. ඊට අමතර ව කෙසෙල් ලෙලි, බිත්තර කටු, ලූණු පොතු, අන්නාසි පොතු ආදියෙන් දියර පොහොර හෝ කෘමි නාශක වර්ග සැදුවා ය. ඉවත දමන දේ වලින් පොහොර සෑදීම නිසා ඇයට රසායනික පොහොර වර්ග මිල දී ගන්නට අවැසි වූයේ නැත. එසේ ම කසල ඉවත් කිරීම ගැන ගැටළුවක් පැන නැගුණේ ද නැත. ඒ සියල්ලට වඩා කාලය තමන් කැමති දේ වෙනුවෙන් හරවත් ව කලමනාකරණය කර ගනිමින් මානසික තෘප්තියක් ලබන්නට හැකි විය.

ඔවුන් ගේ කුඩා පිටුපස මිදුලේ හැම බිම් අඟලක ම නාලිනී මොනවා හෝ සිටුවා තිබේ. කුස්සියට උවමනා අමු මිරිස් ටික සැපයුනේ ම ගෙදරිනි. බැල්කනියේ බඳුන් වල සිටවූ තක්කාලි ගස් වල රතු පාටින් ගෙඩි ඉදුණේ ය. කරපිංචා රම්පේ සේර සේ ම කෝමාරිකා ඉඟුරු වැනි අත්‍යවශ්‍ය භෝගයක් එහි අනිවාර්යයෙන් ම තිබුණේ ය. නමුත් නාලිනී ගේ විනේදාංශය වූයේ මල් වැවීම ය. නිවස ඇතුළට ජීව ගුණයක් හා වාතාශ්‍රයක් සැපයෙනවා කියා ප්‍රකට පැළ වර්ග වලින් අයානා නිතර ම ආලින්දය හැඩ කළා ය.

“වෙනදට ඔයා ඉරිදටනෙ ගේ අස් කරල පැළ මාරු කරන්නෙ. අද මේ සතියෙ දවසක මොකෝ…”

 පැන්ට්‍රි කබඩ් එකක් මත හැඩැති බෝතලයක දැමූ පෝතෝස් වැලක් ස්ථාන ගත කරත්දී නාලිනී අයානා විමසුවා ය. 

“නිකං ඉතිං…”

අයානා ටික වෙලාවක් එය ඒ මේ අත කරකවමින් හැඩ බලමින් සිටියා ය.

“අම්ම…”

ඔය තානයෙන් අයානා අම්මා කියා ඇය අමතන්නට නියමිත බව නාලිනී ට දැනෙමින් තිබිණ.

“ම්…”

නමුත් ඇය ඒ ම් කීවේ කිසිවක් නො තේරෙන ගානට ය.

“අද මොනා හරි  උයමුද දවල්ට..”

“උයනව නේන්නං ඉතිං”

හෙමිහිට එහෙම කියමින් ම නාලිනී පාන් පෙති දෙකක් ටෝස්ටරයට දැමුවා ය.

“එහෙම නෙවෙයි…ටිකක් හොඳට ඉතිං…”

“ඇයි…අද කවුරුත් එනවද…”

“එනවමත් නෙවෙයි”

අම්මා ට මූණ නො පෙනෙන සේ අයානා පෝතෝස් වැල දැමූ වීදුරු බෝතලය දෙස බලා සිටියා ය.

“එහෙනං…”

“නෑ…මං හිතුවෙ…දුරාශාටත් එක්ක අද ස්පෙශල් ලන්ච් එකක් දෙන්න”

“ආ…ඒකනං මොකද්ද…දුරාශා ඉතිං පිට කෙනෙක් නෙවේනෙ. ඒ ළමය හැමදාම දවල් කෑම කන්නෙ මෙහෙන්නෙ…ස්පෙශල් මොකද්ද ඉතිං…”

“නෑ ඉතිං…එතකොට අපිට පුළුවන්නෙ දුල්නෙත්ටත් ලන්ච් වලට එන්න කියන්න”

නාලිනී සිනහව ගිල ගෙන ටෝස්ටරය විවර කොට බැලුවා ය.

“අම්ම එයාට ලන්ච් එකක් දෙන්න ඕන කියල සැරයක් දෙකක් කියපු නිසයි මට මතක් වුණේ ඉතිං”

නාලිනී හැරී දියණිය දෙස බැලුවා ය. අයානා ගේ වත ලැජ්ජාවෙන් රතු වී ඇති අයුරු දුටු ඇගේ සිනහව පුළුල් ව නැගුණේ ය. දියණිය කිසි දා ක ඇගේ හිත බැඳි තරුණයෙකු වෙනුවෙන් පේ වී නැති බව නාලිනී ට සිහි කර ගත හැක. ඒ වසන්තය අයානා ගේ ජීවිතයට නෑවිත් පිට පාරේ ම යනු ඇතැයි ශෝකයක් කාලයක සිට ම නාලිනී ගේ සිතේ විය.

“ඉතිං…අපි මොනාද හදන්නෙ…”

තවත් අයානාව ලැජ්ජාවට හෝ අපහසුවට පත් නොකොට නාලිනී සාමාන්‍ය ලෙස විමසුවා ය. අයානා සතුව විශේෂ රසවත් කෑම වට්ටෝරු වේ. දුල්නෙත් ට මුලින් ම කෑම වේලක් දෙත්දී පිළියෙල කළ යුතු ව්‍යාංජන ගැන ඇය ටික දවසක සිට සිතා තිබිණි.

“ම්…දුරාශානං කියන්නෙ අම්මගෙ කහ බතට ගහන්න බතක් නෑ කියල. අපි එහෙනං කහ බත් සුව…ඳට හදල…ටිකක් සැරට චිකන් කරි එක හදල…තව…හොට් බටර් කට්ල්ෆිෂුයි…මාළු මිරිස් පුරෝල උයලයි…අල කිරි හොද්දක් හරි කජු කිරට හරියි උයමු.  තව කට්ලටුයි…පපඩමුයි…”

“මගෙ අම්මේ…දානයක් උයනව වගේ තියෙයි. ඔය ඔක්කොම හදල දවල්ට කෙසේ වෙතත් රෑට හරි කන්න දෙමුකො එහෙනං ඒ ළමයට”

“දවල්ට ශොප් එක ටිකක් වහල තියල මායි දුශීයි අම්මට උදව් කරන්නං”

“එහෙනං ඉතිං මගදි තව තව රෙසිපීස් එකතු වෙයි”

“ඩෙසර්ට් එකට මං පුඩින් එකක් හදන්නං”

“මං කී දවසක් තිස්සෙ කිව්වද චොක්ලට් බිස්කට් පුඩින් එකක් හදන්න කියල…අපි කිව්වට මොන පුඩිංද ඉතිං”

ඒ ඇනුම් පදය තරහට නොව ආදරයට ම බව අයානා දැන සිටියා ය.

 දුරාශා ට නම් එය ප්‍රීතිමත් ආරංචියක් විය. උදේ හෝරාවක් දෙකක් නිර්වාණ ද්වාර ය විවර කර ගෙන සිටි ඔවුහු පසුව ‘ක්ලෝස්ඩ්’ බෝඩ් එක දැමූහ. දුරාශා ගේ විහිළු ද නාලිනී ගේ සිනහ ද අයානා ගේ රස පරීක්ෂණ ද අතරේ හෝරා කිහිපයක් ගෙවුණේ නො තේරී ය. ඒ අතරේ කිහිප වරක් දුව ගේ අණ පරිදි කඩේ යන්නට තාත්තා ට සිදු විය. දැල්ලන් ගෙන එන්නට ඔහු දෙල්කඳ මාළු කඩේට ම ගියේ ය. 

දවල් කෑමට එන ලෙස අයානා දුල්නෙත් ට කීවේ උදේ ඔහු හමු වූ විට ය. ඒ නිසා දුල්නෙත් අම්මා බැඳ දුන් බත් මුල මිතුරන් ට දුන්නේ ය. නමුත් අයානා ගේ ගෙදර දවල් කෑමට ආරාධනා ලැබුණු බව නො කීවේ ය.

” බත් මුල අපිට පරිත්‍යාග කරන්න තරං මූට ඉපදිච්ච පින් සිතිවිල්ල මොකද්ද කියල තාම හිතා ගන්න බෑ”

කැන්ටිමට වී උදේ ඒ බත් එක වට කර ගෙන කමින් ගමන් කොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ද මතු විය.

“උඹ අද අයානා එක්ක ලන්ච් අවුට් එකකට යන්නද ඉන්නෙ…”

“පිස්සුද බං…”

“එහෙනං උඹලගෙ අම්ම අද හිඟන්නන්ට බත් මුල් ඔතල දානයක්වත් දුන්නද…”

“ඇත්තම කතාවනං ඔව්. ඒත් ඒක උඹලට කියන එක හරි නෑ කියල මට හිතුණ”

දුල්නෙත් සෝරත මාවත පැන නිර්වාණය වෙත ගියේ කොල්ලන් මග හැර හොරෙනි. ඔවුන් එහි ගියොත් ජයසුන්දර යුවළ අයානා ව ඔහු ට නො දෙන්නට තීරණය කළ හැකි බව දුල්නෙත් සිනහවෙන් සිතුවේ ය.

වීදුරු දොර යන්තමින් ඇර අයානා දුල්නෙත් ව ඇතුළට ගත්තා ය. දුල්නෙත් ගේ මුහුණේ කිරිකෝඩු ලැජ්ජාවක් නො තිබුණා ම නොවේ.

“මෙහෙම හදිස්සියෙ එන්න කිව්වහම ගිෆ්ට් එකක් හරි ගේන්නෙ කොහොමද…”

“ඒක නිසාමයි හදිස්සියෙ කිව්වෙ”

අයානා ඇස් වලින් සිනහ වී දොර වසා දැමුවා ය. පාර අයිනේ වැඩී කාණුවට බර වී පිපී තිබි ට්‍රයිඩැක්ස් මලක් නටුවෙන් කඩා ගෙන විත් තිබූ දුල්නෙත්, එය අයානා ගේ වරලේ ගැවසූයේ ය.

“ඉස්සර ඉස්කෝලෙදි පීටී පීරියඩ් එකේදි මං ට්‍රයිඩැක්ස් මල් වලින් ෆ්ලවර් ක්‍රවුන් එකක් හදනව”

අයානා ඒ මල ගලවා අතට ගත්තා ය. ට්‍රයිඩැක්ස් මලක වන සරල අහිංසක පෙනුමට ඇය කවදත් කැමති වූවා ය. නමුත් මේ තරම් ලස්සන ට්‍රයිඩැක්ස් මලක් මීට පෙර ඇයට හමු වී නැත. 

“මේක මං තියාගන්නව…අවන් ඩ්‍රයි කරල චූටි පික්චර් ෆ්‍රේම් එකකට දාල…හැමදාම මං ළඟ තියෙන්න”

පියගැට පෙළට අඩිය තියන්නට ඔන්න මෙන්න තිබියදී දුල්නෙත් අයානා නවතා ගෙන ඇගේ නළලත හදිසි හාදුවක් තැබුවේ ය. අයානා ගේ ඇස් ඒ එක මොහොතට පියවිණ. නමුත් එසැනෙන් ඇය පියවි සිහියට එළඹියා ය. පිය ගැට පෙළ නැග අවසන් වන තුරුත් රසවත් ගැස්මක් ඇගේ පපුවේ පණ ගැහෙමින් තිබිණ.

“අයියෝ…අමතක වුණානෙ රතිඤ්ඤා පෙට්ටියක් ගෙනත් තියා ගන්න”

ඔවුන් මතු මහලට පිවිසෙත්දී ම දුරාශා මල් වෙඩිල්ලක් සේ සතුට විසිරුවා ලමින් දුල්නෙත් ව පිළිගත්තා ය. 

“ඊයෙ ඉඳලම ආන්ටි බෑණා බත රෙඩි කරනව. හැබැයි කාලා ඉවර වෙලා අදම මෙහෙ පදිංචියට එන්න ඕන කියන්න බෑ බෑණෝ…”

දුල්නෙත් බිම බලා ගෙන ලැජ්ජාශීලී සිනහවක් නැගුවේ ය. අයානා දුරාශා ගේ අත කෙනිත්තුවා ය.

“ඌයි…මොකද වදේ…”

“කට පියා ගෙන ඉන්නවකො. එයා කන එකක්වත් නෑ මෙයාගෙ වදේ ගැහිල්ල නිසා”

ඒ කෑම මේසය කවදාවත් අමතක නොවෙන රසයක් සේ ම සතුටක් ද මතකයන් අතරේ ඉතිරි කළ එකකි. රෝහණ ට ද නාලිනී ට ද කියන්නට පරණ රස කතා බොහොමයක් තිබුණේ ය. අයානා හා දුල්නෙත් ද දුරාශා ද රස කරමින් ඒවා අසා සිටියහ.

“මං මුලින්ම මේගොල්ලංගෙ ගෙදර ගිය දවසෙ කිරි කොස් උයල ගං කුකුළුමස් උයල තිබුණ මට හොඳට මතකයි. අනිත් තිබුණ ඒව මතක නෑ. හැබැයි එදා රස හින්දම බඩ පැලෙන්න කෑව. ඇයි ඉතිං මාරුවෙන් මාරුවට මෙයයි අම්මයි දෙන්නම බෙදනව. කන්න බැරි කොල්ලෙක් කියල හිතන එකත් මදිපුංචිකමක් වගේනෙ. කෑව තමයි ඉතිං…අන්තිමට මේසෙන් නැගිටගන්න බැරුව හිටිය බඩ පිරිල වැඩි වෙලා”

“අනේ මන්දන්නෑ එච්චර බඩ පිරිල ඉඳලත් කොහොම අර කිරි පැණි තසිම කෑවද කියල. කිරි මදි කියල පැණි දාගන්නව…පැණි මදි කියල කිරි දාගන්නව…අන්තිමට ආනමාළු කෙසෙල් ගෙඩියකුත් කෑවනෙ අනේ”

“පේනව නේද පුතා…ගෑනු ඔන්න ඕව අමතක කරන්නෑ. කසාද ජීවිතේ පවතිනා තුරා ඔය කුළ කියවිල්ල කියෝනව. ඒක නිසා පළවෙනි දවසෙ ඉඳලම කල්පනාවෙන් තමයි වැඩ කරන්න ඕනෙ”

“දැං ඉතිං පුතාලගෙ අම්ම තාත්ත මේ සම්බන්දෙ ගැන මොකද කියන්නෙ…”

නාලිනී වැදගත් ම මාතෘකාවට ආවේ අන්තිමට අයානා ගේ චොක්ලට් බිස්කට් පුඩිමේ රස විඳිනා ගමන් ය. දුල්නෙත් බිම බලා නැවත කෙලින් ම නාලිනී ගේ මූණ දෙස බැලුවා ය.

“එයාල කැමතියි”

“එහෙනං ඉතිං තියෙන්නෙ…අපි දෙගොල්ලො මුණ ගැහිල මේව පිළිවෙලකට කතා බහ කරල තියා ගන්න එක..නේද ඒයි. පුතා මෙහෙම අපේ ගෙදරට යන එන බව ඒ දෙමව්පියො දැනගෙන ඉන්න එක හොඳයිනෙ”

“මං අපේ අම්මලට කියන්නං අම්මෙ”

දුල්නෙත් යළි ගියේ සුමීර ලා ට දෙන්න යයි කියා අයානා ලොකුවට බැඳ දුන් බත් මුලක් ද සමග ය. පිවිසුම් දොරටුව ළඟ දී ඔවුන් උනුන් ගෙන් සමු ගත්දී විදුර ගේ රිය එතැන පසු කොට විශ්ව විද්‍යාලය දෙසට ගියේ ය. දුල්නෙත් සේ ම අයානා ද එවැන්නක් දුටුවේ නැත. නමුත් විදුර නම් අයානා ගේ ඇස් වල වූ කාන්තිය සේ ම දුල්නෙත් අතේ වූ බත් මුල ද දුටුවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles