පෙර දා සන්ධ්‍යාවේ පටන් තවමත් වැස්ස වැටේ. රාත්‍රියේ තද සුළං සමග වැස්ස ඇති වූවත් දැන් නම් එය චුරු චුරු හඬින් වැටෙනා පොද වැස්සකට හැරී තිබේ. කොහොම වැස්සත් වැස්ස ලස්සන යයි අයානා කියන්නී ය. සැබවින් ඇයට තිබෙන්නේ වැස්සක් තරම් චමත්කාර හිතකැයි දුල්නෙත් ට සිතේ.
පෙර දා සන්ධ්‍යාවේ ඇය සිය පපුතුරට ගුලි වී කඳුළක් සැලූ හැටි සිහි ව මේ මොහොතේත් දුල්නෙත් ගේ දෙතොල් අතරේ ආඩම්බරකාර මඳහසක් රැඳී තිබේ. ඔහු ඒ කඳුළු වලට ආදරේ කරයි!
සාමාන්‍යයෙන් අයානා කියන්නේ ඕනෑ ම දේකට කඳුළු ඉස්සර කර ගන්නා ගෑනු ළමයෙකු නොවේ. මංජරී නම් වචනයක් එහෙ මෙහෙ වන විට කඳුළු සැලූ අයුරු දුල්නෙත් ට මතක ය. අයානා ගේ හිතේ හයිය ට ඔහු වඩාත් කැමති වූයේ ය. නමුත් ඊයේ හැන්දෑවේ වැටුණු ඊර්ෂ්‍යාවේ කඳුළට ඔහු ආදරය කරයි! ප්‍රේමයේ නාමයෙන් උනනා කඳුළක මහත් වූ වටිනාකමක් තියේ!
“මං ගොඩක් ආදරෙයි”
පාඩම් කරන අතරේ, මැදියම් රැයෙහි ඔහු පණිවිඩයක් යැව්වේ ය. එකෙනෙහි ඇගේ නමින් දුල්නෙත් ගේ දුරකතනය හැඬවෙන්නට ගති. ඔහු ගේ තොල් අතරට ආදරයේ මන්දස්මිතයක් පෑයුවේ ය.
“පාඩං කරනවද ඔයා…”
අයානා ගේ ස්වරයේ ආදරයේ තත් බිඳිණි.
“හ්ම්. මන්නං පාඩං කරනෝ කියමු. ගෑනු ළමයි මේ රෑ නැගිටගෙන මොනාද කරන්නෙ කියමුද බලන්න…”
“මන්ද..මං කල්පනා කරනෝ…”
“කල්පනා…මොනා ගැනද…බහුබූතනං හිතන්නෙපා හරිද…”
දුල්නෙත් එසේ කීවේ හවස වූ සිදුවීම සිහිපත් වී ය. අයානා කුඩා දැරියක සේ ‘හිචිස්’ ගා සිනහ වූවා ය.
“බහුබූත නෙමේ අනේ…මං හිතුව ජීවිතේ නතර වෙලා තිබුණ දැං ඇති කියල. වතුර වුණත් එක තැන රැඳිල තිබුණහම පල් වෙනෝනෙ”
“ඇයි දැං ඔයා පල් වෙලාද…”
නැවත වරක් අයානා වෙතින් සිනහවකි. ඒ සිනහව අලුත් උද්යෝගයක් ගැන කතාවක් කියමින් තිබිණ. පාඩම් මේසය ළඟින් නැගිට විත් දුල්නෙත් යහනේ වැතිරුණේ ය. වැස්සේ ගීතවත් හඬත් අයානා ගේ මියුරු හඬත් එක් වූ මේ මැදියම් රැය පිරිමි හදවතක ගැස්ම මඳකට නවතා ලන්නේ ය. වඩාත් හොඳින් ඇය විඳ ගනු වස් ඔහු ඇස් දෙක පියා ගත්තේ ය.
“නෑ දුල්නෙත්. ආයෙ ඉගෙන ගන්න පටන් ගන්න ඕනෙ. ජොබ් එකක් කරන්නම නෙවේ වෙන්න පුළුවන්. ඒත් ඉගෙන ගන්න එක වැඩි වෙන්නෑනෙ. ජීවිතේට වටිනාකමක් එකතු වෙනව මිසක්”
“ඒක හොඳයි”
“පහුගිය කාලෙ හිත විසිරිල ගිහිං තිබිල හෙමි හෙමිහිට මං ආයෙ එක්කාසු කර කර හිටියෙ. ඒක එක විදිහක නිර්වින්දනයක් ද කියලත් හිතෙන තරං. මං හිටියෙ හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් වගේ. මං මාවම කොනිත්තල බලපු වෙලාවල් තිබුණ මට මොනාත්ම දැනෙන්නැද්ද කියල. ඒත් අද මං හොඳටම තේරුං ගත්ත. මං දැං නෝමල් කියල”
“පිස්සි”
එහෙම කියා සිනහ වූවාට ඒ වෙලාවේ දුල්නෙත් ගේ පපුව ආදරණීය හැඟීම් සමුදායකින් පිරීතිරී ගියේ ය. ආදරය නම් එහෙම විය යුතු ම යයි ඔහු ට සිතිණ. ඉඳ හිට හෝ එය අලුත් විය යුතු ය. ලේ නහර පුරා පැතිරී යන නැවුම් බවක් දැනවිය යුතු ය. ජීවත් වන්නේ ඒ ආදරය පොහොර කර ගෙන යයි දැනෙන්නේ එතකොට ය.
“කියන්න බැරි වුණානෙ. විදුර කතා කළානෙ අද”
දුල්නෙත් හරි බරි ගැහී යහනෙහි හිඳ ගත්තේ ඒ කතාව අසන්නට ය.
රැයෙහි වරින් වර විදුර ගේ ද ඇහැ ඇරිණ. සැබවින් එය පූර්ණ වූ නින්දක් නොවේ. පෙර දා අඳුරත් එක්ක උඩහමුල්ලේ ඇනෙක්ස් එකට ඇතුළු වීමට පෙර, ගේට්ටුව ළඟ රිය නවතා ගෙන ඔහු අයානා ට ඇමතුමක් ගත්තේ ය. අයානා පිළිතුරු දුන්නේ බොහෝ වරක් එය හැඬවීමෙන් පස්සේ කතා කරනවාද නැද්ද කියා සිතමින් සිට අන්තිම මොහොතේ ය.
“මං හිතුව මං කියල දැනගත්තහම ආන්සර් නොකර ඉන්නවද කියල”
හිතට පිවිසි කේන්තිය පිට කරන්නට විදිහක් අයානා ට වූයේ නැත.
” එහෙම විශේෂයක් නෑ”
ඇය පුළුවන් තරම් ඒ අවශේෂ බව වචන වල තියා ගන්නට උත්සාහ කළා ය. අයානා කියන්නේ වචනයකින් දෙකකින් ඕනෑ ම බරපතල කාරණයක් දැනවිය හැකි කෙනෙකැයි විදුර අතීත අත්දැකීම් මත දැන ඉගෙන සිටියේ ය.
“මට ඔයාගෙ කෝල්ස් වගයක් මිස් වෙලා තිබුණ. ඇත්තටම මං කොළඹින් පිට හිටියෙ අයානා. ඉම්පෝටන්ට් මීටිංස් වගයක් තිබුණ”
“මං කතා කළේ…මංජරී ප්‍රෙග්නන්ට් කියල දැන ගත්තට පස්සෙ…ඔයාල මැරි කළානං හොඳයි නේද කියල අහන්න. මංජරී හරියට අසරණ වෙලා ඉන්නෙ කියල දැනුණ නිසා..”
“ඔයාට ඉතිං හැමදාම ගෑනියෙක් මං ගැන මොනා හරි කියාගෙන ආවහම ඒ ගෑනිව හරි අසරණයි කියලනෙ දැනුණෙ…”
කියන්නට ඕනෑ තරම් දේවල් පෙළ ගැසී අයානා ගේ හිත ළඟට ආවේ ය. නමුත් ඇය ඒ කිසිත් නො කියා ගිල ගත්තේ විදුර එක්ක ඒ වගේ කතාවක් දිග ඇවිද යන එක ඇයට පිළිකුල් හැඟීමක් දනවන බව දැන උන් නිසාවෙනි.
“ඔයා හිතන්නෙත් ඒක මගෙ වගකීමක් කියල නේද…”
ඊළඟට විදුර ඇසූ දෙය සිය සවන තුළ පිළිරැව් දෙන්නා සේ අයානා ට දැනිණ. ඇගේ දෙතොල් විවර වී ඒ අතරේ සමච්චල් සිනහවක් ඇඳුණේ ය. පෙර කී පිළිකුළ හිතෙහි ගොජ දමමින් උතුරන්නට පටන් ගෙන තිබිණ.
“ඔයා හරි අහිංසකයි අයානා. ඔයා දන්නෑ ඔය කට්ට අම්මණ්ඩිලගෙ හැටි. උන්ට හරි ලේසියෙන් පුළුවන් ඔයා වගේ ඩීසන්ට් ගෑනු ළමයෙක් වචන වලින් කඳුළු වලින් රවට්ටන්න. ඕක දැන ගත්ත වෙලාවෙ මට හිතුණෙ…අර දුල්නෙත් කියන එකා එක්ක නටල නටල මංජරී අන්තිමට මාව කොටු කර ගන්න එලපු දැලක් තමයි ඔය කියලයි. ඔයත් පරිස්සමෙන් ඉන්න. මං කියන්නෙ ඔය දෙන්නගෙන් ම”
අයානා වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ඇය ඒ මොහොතේ වෙව්ලමින් සිටියා ය. එය කොහොම ආවේගයක් ද කියා ඇයට ම සිතා ගත නො හැක. ජංගම දුරකතනය පසෙකට විසි කොට ඕ ඇඳ මෙට්ටයට මිට මොළවා පහර කිහිපයක් ගැසුවා ය.
“මිනිහෙකුට මෙහෙමත් ජරා වෙන්න පුළුවන්ද…මං කියන්නෙ…ඇයි මංජරී වුණත් මේ වගේ මිනිහෙක් ළඟ ආත්මෙ පාවා දෙන්නෙ…”
අයානා ඒ ආවේගය පිට කළේ දුල්නෙත් ඉදිරියේ ය. ඔහු මඳ වෙලාවක් සන්සුන් ව ද නිහඬව ද සිටියේ ය.
“මේ අහන්න අයානා”
ඊළඟට මද මුදු ආදරයේ භාෂිතයෙන් ඇය ඇමතුවේ ය.
“ඒගොල්ලො විසඳ ගත්තාවෙ. ඔයා ඕවට මැදිහත් වෙන්න යන්නැතුව ඉන්න. මං කියන්නෙ…මංජරීට වුණත් ඔයා කරුණාවන්ත වුණේ මට වුණත් හිතා ගන්න බැරි විදිහට. හුඟක් ගෑනු ළමයින්ට තියා පිරිමින්ටවත් මං හිතන්නෙ එහෙම කරන්න ලේසි නෑ. ඒකට මාර ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙ. ආත්ම විශ්වාසයක් තියෙන්නත් ඕනෙ. සමහර මිනිස්සු ඒ වගේ අයගෙ හොඳ හිත නරක විදිහට පාවිච්චි කරන්න බලනව. එහෙම දේකට ෆේස් කරන්න වුණොත්…ඔයා වගේ අවංක මනුස්සයෙක්ගෙ හිත බිඳෙන්නෙ හරි දරුණු විදිහට. මං කැමති නෑ මේ සිදුවීම් වල කෙළවර ඔයා එතනට වැටෙනවට. හරි අපි දැං පුළුවං උදව්වක් කරමු මංජරීට. දැන් ඉතින් බබා නැති නිසා එහෙම උදව් ඕන වෙන එකකුත් නෑනෙ. ඊට පස්සෙ එයාට වුණත් ඈතකින් ඉන්න අරින්න. අයානා…සමහර මිනිස්සු මිනිස්සුන්ගෙ මනුස්සකම හරි නරක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණා නේද…”
පසුවට පැමිණිය හැකි ව්‍යසනයක් පිළිබඳව දුල්නෙත් කල් ඇතිව ම අයානා දැනුවත් කළේ ඒ තත්වයට පෙර සූදානම් වෙනවාට වඩා වළකා ගැනීම යහපත් වන නිසා ය.
එළි වන තුරු ම විදුර ට හොඳ නින්දක් ලැබුණේ නැත. මංජරී ද නිදි නැති බව ඇතැම් අවස්ථා වල ඔහු ට දැනිණ. ඇය මේ විදිහට නිහඬ වී සිටින්නේ ඇයි කියා ඔහු ට සිතා ගත නො හැකි විය. එක එක ගැහැනිය එක එක විදිහ ය කියා දැන් නම් ඔහු ට ප්රත්යක්ෂ ය. එක ම ආකාරයේ සිදුවීමකට පවා ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාර වලට ය.
දරු ගැබ ගබ් සා වීම ගැන මංජරී ඔහු බලාපොරොත්තු නොවූ අපේක්ෂා භංගත්වයකට පත් ව ඇති බව විදුර දුටුවේ ය. නමුත් ඇය සැනසිය හැකි වචන මොනවාද කියා රැය පහන් වන තුරු ද ඔහු ට සිතා ගත හැකි වූයේ නැත. වෙනදා සේ ඇය ඔහු ගේ තුරුලේ හුරතල් වෙන්නට ආවේ නැත. යහනේ අනිත් කෙළවරට වී නිශ්චල ව වැතිර සිටියා ය. නමුත් විටින් විට ඇය හෙළනා සුසුමක හඬ ඇසිණ.
“අපි ටික දවසක් මෙහෙම ඉමුකො. බඳිනව කියන්නෙ ලේසි වැඩක් නෙවේ මංජරී. මං ඒකෙ භයානකකම දන්න නිසයි කියන්නෙ. බඳින්න තරං අපි සුදුසුද කියල තව ටික දවසක් මෙහෙම ඉඳල බලමු”
උදේ අවදි වී ඇය විශ්ව විද්‍යාලයට යාමට සූදානම් වෙත්දී විදුර හෙමිහිට කීවේ ය. ඒ වචන වලින් මංජරී අමුතු ප්රහර්ශයකට පත් බවක් නො පෙනිණ.
“මීට පස්සෙ ඔහොම දෙයක් නොවෙන්න ප්‍රවේසම් වෙමු. ඒකයි කරන්න තියෙන්නෙ”
මංජරී සිය අඩුම කුඩුම ටික බෑග් දෙකෙහි ඇසිරුවා ය. විදුර ටික වෙලාවක් එදෙස බලා සිටියේ ඇය කුමක් කරන්නට යනවා දැයි සිතා ගත නො හැකිව ය.
“ඔයා ගමේ යන්නද හදන්නෙ..”
කියා ඊළඟට ඔහු ඇසුවේ ය.
“ලෙක්චර්ස් වලට යන්න තරං ෆිට් එකකුත් නෑ වගේනං එහෙම කරන්න. මේ වීක් එක ඔහොම යන්න ඇරල ඊළඟ සතියෙ ඉඳන් හරියට ලෙක්චර්ස් වලට යන්න. මං ඔයාව පිටකොටුවට ගිහින් දාන්නං”
හෝරා ගණනාවකට පස්සේ මංජරී විදුර ගේ මූණ දෙස ඍජුව බැලුවේ ඒ වෙලාවේ ය. ඒ බැල්මේ ඔහුට අහක බැලෙනා විදිහේ ගින්දරක් වූයේ නැත. ඔහු ට රැවටුණායි දැනෙනා සතුටක් වූයේ ත් නැත. එහි වූයේ උදාසීන බවකි. විදුර ට රිදුණේ ඒක ය. ගැහැනුන් සිය පුරුෂයන් ගැන එහෙම උදාසීන වෙත්දී, ඔවුන් උදහස් ව සිටියදීට වඩා පිරිමින්ට රිදේ.
“නෑ මං ගමේ යන්නෑ”
මංජරී නො සැලී කීවා ය.
“එහෙනං…”
“මං බෝඩිමකට යනව. වැඩි දවසක් නොයා හොස්ටල් හම්බ වෙයි. එතකොට අන්තිම අවුරුද්ද ශේප් එකේ ඉන්න එකනෙ තියෙන්නෙ”
“ඔයාට පිස්සුද මංජරී…අපි මේ ඇනෙක්ස් එක ගත්තෙ අපි දෙන්නටම ඉන්නනෙ”
“ඒ වුණාට දැං මට හිතෙනව මෙතන හිටිය ඇති කියල. කාගෙවත් ගෙවල් වල හැමදාම කුළියට ඉන්නවට වැඩිය හොඳයි තමන්ටම කියල මඩුවක් හරි හදා ගන්න පුළුවන් වෙන විදිහෙ ගමනක් යන එක. ඒක මං තනියම යන්න ඕනෙ ගමනක්. මෙතන ඉඳල තනියම යන්න මං තීරණේ කළා. යන්නං”
ඇය බෑග් මලු කිහිපය ගෙන ගොස් ගේට්ටුව ළඟ තබා ජංගම දුරකතන තිරයට එබී ටැක්සිය කොතැන දැයි බැලුවා ය. එය තව විනාඩි දෙකක දුර තිබිණ. මංජරී යන්තම් ඇස කරකවා ගෙහිමියන් කිසිවෙකු සිටී දැයි විමසිලිමත් වූවා ය. කතා කොට ස්තූති කර යනවාට වඩා මේ නිහඬ නික්ම යාම හිතට පහසුවකි. සමහර ගමන් යා යුතුව තිබෙන්නේ එහෙම ය. කිසිවෙකුට නො කියා හුදෙකලාවේ ය.