Vintage Eyes – 02

මිනිසුන් ට අත් ලැබෙන්නේ වැඩ කරන්නට ය. කන් ලැබෙන්නේ අසන්නට ය. නාසය ලැබෙන්නේ ගඳ සුවඳ දැනෙන්නට ය. ඇස් ලැබෙන්නේ ලෝකය දකින්නට ය. එසේ ලෝකය දකින්නට ලැබුණු දෑසකින් වෙන දෙයක් කිරීමේ හැකියාව ලබා දීම සොබා දහමේ බරපතල අසාධාරණයකි. ඒ අසාධාරණය සිදු වන්නේ බලන කෙනාට නොව ඒ බැල්මට හසු වෙන කෙනාට ය. අපේ ආගන්තුක පාරිභෝගිකයා ඉදිරියේ සොබා දහම හරි නරක විදිහට මට ඒ අසාධාරණය සිදු කරන්නට වූයේ ය.

ඒ ඇස් වල එක සිනහ කඳුළක් හෝ තිබුණා නොවේ. ඇස් කෙවෙනි අස්සේ පුංචි තිතක් ව හට ගත් රතු පාටක්, ඒ කේන්ද්‍ර කොට ගෙන මඳක් ඈතට විසිර තිබුණේ ය. පොදුවේ සුදු ඉංගිරියා වල වූයේ බොර පැහැයකි. ඒ බොර පැහැය නො කියා කියමින් ගිල ගෙන හිඳිනා කතාව හිත රිදවන්නක් විය හැකි වී ද දීප්තිමත් තද කළු පැහැති කළු ඉංගිරියා වල නම් වූයේ මට වචන කරන්නට නො තේරෙන විදිහේ බැල්මකි. ඒවා තනිකර කාන්දම් ය. ගැහැනු පරාන බලු කුක්කියන් වාගේ  වසඟ කර ගත හැකි විදිහේ කාන්දම් ය.

මම ඉක්මන් ඇස් පිය කිහිපයක් ගැසුවෙමි. ඉහින් කනින් දහදිය පෙරෙන්නේ අප දැන් ටිකකට පෙර බයිසිකලයෙන් රවුමක් ගොස් පැමිණි නිසාවෙනැයි සිතන්නට මට ඕනෑ විය. දහදිය ගඳ ඔහු ට දැනේවියි හට ගත් ක්ෂණික ලැජ්ජාවක් හා බයක් නිසා තව දුරටත් මට දහදිය දමන්නට වූයේ, තව මොහොතකින් මා ක්ලාන්ත වේවිය යන විශ්වාසය මා තුළ ඇති විය. මේ වාගේ උන්මාදනීය පිරිමි ඇස් දෙකක් ඉදිරියේ දහදිය ගඳක් හමනවාට වඩා සිහිසුන් ව වැටෙනා එක නම්බු ය. මම තුන් හිතෙන් ම කලන්තේ දමා වැටෙනා සූදානමක සිටියෙමි.

“ලස්සනයි”

“ආ…”

මම ආයේත් ඇස් පිය ගසමින් සිහි එළවා ගැනීමේ උත්සාහයක් ගතිමි. නූරි මගේ මූණට වතුර ටිකක්වත් ඉහිනවා නම් හොඳ ය. 

“මේ කන්සෙප්ට් එකට මං කැමතියි. ෆේස් බුක් පේජ් එක දැක්කට මං මෙහෙම තැනක් ඉමැජින් කළේ නෑ”

ඔහු ළඟින් දෙහි මුසු ඇල්කොහොල් සුවඳක් දැනුණි. ඒ කියන්නේ ඔහු සිටිනුයේ මඳ මත් ගතියකින් ද? නමුත් ඒ ඇස් වල තියෙන මත් ගතිය ඇල්කොහොල් වලට අදාල වූවක් නොවේ කියා මට ඉර හඳ සේ විශ්වාස ය. එක ඇල්කොහොල් බින්දුවක්වත් නැතිව මට ඒ ඇස් ඉස්මත්තේ මත් විය හැකි ය.

“සර්ගෙ අවශ්‍යතාවය මොකද්ද කියල කිව්වනං අපිට උදව් කරන්න ලේසියි සර්”

නූරි මට වැලමිටෙන් ඇන විස්ථාපනය කරමින් මගේ තැනට ආදේශ වූවා ය. මා සිටින්නේ කරකවා අත් හැර දැමූ චිම්පන්සියෙකු වාගේ කියා ඇය සිතන්නට ඇත.

“මෙහෙමයි. සර්ට ඕනෙ කාගෙ හරි බර්ත් ඩේ එකකට විශ් කරල ගිෆ්ට් එකක් දෙන්නනං…මේ ප්ලාන්ට් එකක් එක්කම අපි කේක් ඕඩර්ස් බාර ගන්නව සර්. ඕන වෙලාවට ඕන තැනට අපි ඩිලිවර් කරනව”

“ගුඩ්. මට ඕනෙ ලස්සන පොඩි කේක් එකක් එක්ක ගිෆ්ට් එකක් දෙන්න”

ඒ ඔහු ගේ පෙම්වතියට හෝ බිරිඳට වන්නට ඇතැයි මට සිතිණ. ඒ සිතිවිල්ල ඊර්ෂ්‍යාකාර රිදුමක් ව සිරුර පුරා පැතිර ගියේ ය. මම බුම්මා ගතිමි. 

“මේ සුවඳට මං කැමතියි”

ඔහු නතර වූයේ සුදු බඳුනක දැමූ සුදු මල් දෙකක් ඇති වෙරිගේටඩ් පීස් ලිලී පැළයක් ඉදිරියේ ය. තියුණු වූ යමකින් පපුව හූරා දමනු මට දැනිණ. මොනවා වුණත් ඒ කෙල්ල පුදුම වාසනාවන්තියකි. 

“පීස් ලිලී සර්”

නූරි මට නො රිස්සුමෙන් වාගේ ඇසින් ඉඟි කළේ පැළ වල නම් ගැන ඇය වැඩිය දන්නේ නැති නිසා ය. මල් ගැන කිසිදු උනන්දුවක් හෝ ආශාවක් ද අවබෝධයක් ද ඇයට නැත.

“මේක හරි පීස්ෆුල් ස්මෙල් එකක් සර්. හොඳම ගිෆ්ට් එකක් සර් තේරුවෙ. විශ් එකක් ලියන්න ඕනද සර්…”

ඔහු යන්තම් උරහිස් හැකිළුවේ ‘අනේ මන්දා’ කියන්නට වාගේය. ඒ මිලි තත්පරයකටත් අඩු කාලයේදී ආත්මීය වේදනාවක් මම ඒ මුහුණ මත දුටිමි.

“සර්ට පුළුවන් අපේ චොක්ලට් කේක් කෑල්ලක් ටේස්ට් කරන්න. කොෆී එකක් එක්කම…”

“නොට් ටුඩේ”

එසේ කියා හිස සලමින් මහ අහංකාර විලාශයකින් ඔහු කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය අතට ගත්තේ ය.

“හව් මච්…”

“ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න පුළුවන් සර්”

නූරි බිල් පොත අතට ගත්තා ය.

“නෝ. ෆුල් පේමන්ට්”

ඔහු නමක් හා ලිපිනයක් ද දිනය ද කීවේ ය. මම ඇස් පිය නො සලා මේ අන්තිම තත්පර කිහිපය අපතේ නො හරිමින් බලා සිටින්නට වීමි. 

“ඩිලිවර් කරන්න ඕනනං අපි වෙනම චාජ් කරනව. ඕනද සර්..”

“යෙප්”

එපමණකි. ඔහු සීතල පවනැල්ලක් ව විශ් යූ වලින් පිටතට පිය තැබුවේ ය. තද කොළ පාට  ඔස්ටින් ක්ලැසික් රිය හිතා ගන්නටත් බැරි තරම් ඉක්මනින් පණ ගැන්විණ. 

ඒ සිහිනයක් ද නැත්නම් හැබෑවක් ද කියා සිතා ගත නොහී මම පාර දෙස බලා සිටින්නට වීමි. ලංගම බස් රථයක් හඬ නගා ගෙන විත් හන්දියේ බස් නැවතුමේ නතර වූයේ ය.

“දැංවත් හුස්ම ගනිං යෝදියෙ”

නූරි මගේ උරහිසක් සොලවමින් කීවා ය.

“වතුර එකක් අරං මගෙ ඔළුවෙ හලන්න බෑද නූරි..”

“වතුර බැරල් එකක ඔබල ගන්න වෙයි වගේ ඔය කරකැවිල්ල යවන්න”

“ඌප්ස්…මාරයිනෙ එයා…කොහෙං ආව එක්කෙනෙක්ද…ඒ ඔස්ටින් කා එක…”

“ඊයා..මන්නං ඔය ඇන්ටික්ස් වලට ආසම නෑ”

“ඇන්ටික් වින්ටේජ් දෙක අතරෙ ලොකු වෙනසක් තියෙනෝ මැට්ස්. ඇන්ටික් කියන්නෙ අවුරුදු සිය ගාණක් පරණ…අඩුම සීයකට එහා පරණ…වින්ටේජ් කියන්නෙ අවුරුදු සීයකට වඩා අඩු විස්සකට වඩා වැඩි… වින්ටේජ් කියන්නෙ මාර ෆීලින් එකක් අප්ප… කෙනෙක් මං පොඩි කාලෙ කියල ආසාවෙන් මතක් කරන මතක එක්ක බැඳිච්ච දෙයක්.. ඒකත් එක්ක බැඳිච්ච නොස්ටැල්ජියා ඕන තරං තියෙන්න පුළුවන්…. සමහර වෙලාවට වින්ටේජ් කියන්නෙ හයි කොලිටි කියන එක…පරණ වෙද්දි වයින් වගේ..”

මා හිටියේ අමුතු නිද්‍රාවක වාගේ ය. නන්නාඳුනන ආගන්තුකයා ගේ ඇස් දෙකත් එක්ක බැඳුණු නොස්ටැල්ජියාව කුමක් දැයි මට හරියට ම තේරුණේ නැත. සමහර දේවල් දැනී නො දැනී යන ඒවා ය. හරියට ම අල්ලා ගන්නට උත්සාහ කිරීමේදී ඒ හැඟීම් ස්පර්ශ කළ නො හැකි මානයකට පැන යා හැක. මට එය එසේ කර ගන්නට ඕනෑ වූයේ නැත. මට ඕනෑ වූයේ ඒ සීතල සිතිවිලි අතරේ එහෙම ම ගල් වී ගෙන සිටින්නට ය. දීර්ඝ වූ හේමන්ත නිද්‍රාවකට එළඹෙන්නට ය. කල්ප කාලයක් පවතිනු වස් ෆොසිලීකරණය වන්නට ය.

“ෆෘට් කේක් එකක් ඉල්ලුවෙ. ස්ට්‍රෝබෙරි චෙරි කිවි එහෙම ගන්න ඕන. නුගේගොඩ යන්න වෙයි…මට තව කේක් අයිටම්ස් වගයක් ගන්නත් තියනව”

නූරි තනිව ම කියවූවා ය. මට ඔහු ඒ තරම් සමීප ව දැනෙන්නේ ඇයි දැයි නො සොයා මම ජංගම දුරකතනයෙන් ඔස්ටින් ක්ලැසික් මෝටර් රථය සෙවුම් කළෙමි. වින්ටේජ් හැඟීමකට ඔහු වඩාත් සමීප සේ දැනේ. 

“එයා විශ් යූ කන්සෙප්ට් එකට කැමතියි කිව්ව. අපේ නිවුස්පේපර් කොලාජ් වෝල් එක දිහා එයා ගොඩක් වෙලා බලං හිටිය”

නූරි ඉණෙහි අත් දෙක ගසා ගත්තා ය.

“තාමත් ඒ කස්ටමර්ව ඔළුවෙං බිම තිබ්බෙ නැද්ද ඕයි… “

“ඒ කේක් එක කාටද…මං කියන්නෙ…නම…”

“නමක් ඕන්නෑ කිව්ව”

බලාපොරොත්තු සුන් කර ගෙන කර බා ගන්නට මට සිදු විය. ඔහු ගේ තිලිණය වෙනුවෙන් පීස් ලිලී පැළයක් අලුතෙන් බඳුන් ගත කොට එයට වතුර ස්ප්‍රේ කළ මම මිදුලට ඇවිත් ස්කූටි එකෙහි අඩමානෙට ඉඳ ගෙන පාර දෙස බලා ගතිමි. 

මේ හන්දිය තවමත් පරණ පාට ය. පාර අලුතෙන් හැදී අනිත් හන්දි වල අලුත් ගොඩනැගිලි ඉදි වී නවීකරණයන් සිදු වෙත්දී මේ බෝ ගස් හන්දිය පමණක් තවමත් කාලයකට පෙර තිබුණා වාගේ ම අඩ අඳුරක ගිලී හිඳී. කාලයේ තාලයට හසු වන්නේ නැතිව ඒ යටින් ලිස්සා ගොස් පරණ හුදෙකලාවේ නිමග්න හන්දියට මා ආදරේ ය. නමුත් නූරි කියන්නේ වටේ ම දියුණු වෙත්දී බෝ ගස් හන්දිය විතරක් මූසල පාට බව ය. දීප්තිමත් එළියට වඩා අඩ අඳුරට වන මගේ ඇල්ම මොන හේතුවක් හා බැඳුනක් ද කියා මා ම නො දනිතත්, ලෑලි දොරවල් සහිත, උදේට මුදලාලි ලා ඒ දොර ලෑල්ලෙන් ලෑල්ලට ඔසවා ඉවත් කරන, ඒ තරම් ඉඩ කඩ නැති පොඩි කඩ කාමර සහිත කඩ පේළියැති බෝ ගස් හන්දියට මා ආදරේ ය. ලණු කැරලි හා කොහු ඉදල් දොරකඩ ගොඩ ගැසූ, ගෝනි වල හාල් සීනි තැබුණු, ලොසින්ජර සීනි බෝල සහිත බෝතල් පෙළක් මුදලාලි මේසය මත වන පරණ කඩයක් මගේ හිතේ හොල්මන් කරයි. කවදා හිතට රිංගූ යමක් දැයි නො දනිතත්, නූතන නොවන – ඉපැරණි ද නොවන – ඒ අතරමැද වන වින්ටේජමය හැඟීම මා උමතු කරවයි. නාරං බික්, බුල්ටෝ හා හැලිබොරේන්ජ් රසය මතක ඉතිහාසයේ කොතැනක හෝ හිඳ මා අවුළුවයි.

නුගේගොඩ යන්න ඇති නිසා අපි වේලාසන සාප්පුව වැසුවෙමු. ඊට කලින් පැළ වලට වතුර දමා ඒවාට අවැසි සත්කාරය කරන්නට මම අමතක නො කළෙමි.

ඉස්සර නුගේගොඩ හන්දිය ද අමතක කළ නො හැකි නොස්ටැල්ජියාවක හිත අතරමං කරවන්නකි. ඔය අහස් පාලම ඉදි වෙන්නට පෙර නුගේගොඩ නගරයේ තිබූ තදබදය ට හිතින් ශාප කළ යුගයක් තිබුණ මුත්, ඒ කුඩා හතර මං හන්දිය ජීවිතයේ සුන්දරතම යුගයකට අයිතිවාසිකම් කියන්නකි. යෞවනෝදයේ මිහිරෙන් මත් වූ යොවුන් සිනා කතා හඬවල් අහුරක් හිත යටින් නින්නාද වෙන්නට විය. ඒ කටහඬවල් අතරේ කාලයක් ජීවිතයට වඩා සමීපව උන් මිනිස් හඬවල් වේ. අද ඔවුන් කොහේ කොතැනක කෙසේ සිටිනවාද කියා හෝ කිසිවෙකු නො දන්නා තරම ය. 

ස්කූටරය පාලම යටින් දමා අප දෙදෙනා පයින් නුගේගොඩ නගරයෙහි ඇවිද්දෙමු. නූරි ට උවමනා කේක් බඩු මිල දී ගත්තාට පස්සේ සරසවියට ගොස් පරණ පුරුද්දට පොත් සුවඳ අතරේ අතරමං වී මඳ වෙලාවක් ගත කළෙමු. මේ අලුත් ලොකු සරසවියට වඩා මා ආදරේ ඉඩ කඩ අඩු පරණ කුඩා සරසවියට ය! බෝ ගහ පැත්තේ වටයක් ගසා ඇවිත් ආයේ ස්කූටියට නැගෙත්දී හුරු පුරුදු සාංකා හැඟීමක් හිතට බර වී තිබිණ.

“එයා බීලද ඒ හිටියෙ…”

අතර මගකදී මගේ මුවින් පිටතට පැන්නේ ඔහු ඇවිත් ගිය වෙලාවේ පටන් හිතේ කැරලි ගසමින් තිබි ප්‍රශ්නයයි.

“මොකක්…බීල…කවුද…”

නූරි බයිසිකලය පිටුපස සිට කෑගෑවා ය.

“කස්ටමර්…”

“තොට මොකක් වෙලාද ඈ…මං ඌව ඉඹල බැලුවෙ නෑ”

“මට ලෙමන් සුවඳක් දැනුණ”

“තමුසෙට අරක්කු වහ කදුරු නේද…එතකොට කොහොමද බීලනං ඒක සුවඳ වුණේ…”

“නෑ ඒක අමුතුයි…ලෙමන් සුවඳක්”

“ලෙමන් ජින් වෙන්නැති එහෙනං…”

ලෙමන් ජින් බී බලන හදිසි ඕනෑකමක් මට දැනිණි. ඒ සිතිවිල්ල තනිව ම සිනහවක් නගා ගන්නට හේතුවක් විය. 

නූරිව ඇරලවා මම එහෙම ම ගෙදර ගියෙමි. අම්මා ඒ වෙලාවේත් මහන මැෂිම ළඟ වාඩි වී එම්බ්‍රොයිඩර් මැස්මක සිටියා ය. මා දැක තුනී සිනහවකින් ඇස් එසවූ ඕ තොමෝ ඒ බැල්ම එහෙම ම යළි මැස්ම වෙත යොමු කළා ය. මගේ අම්මා ලස්සනයි කියා හැමදාමත් වාගේ ඒ බැල්මෙන් පස්සේත් මට සිතිණ.

අම්මා ගේ එම්බ්‍රොයිඩර් රටා ඉසියුම් ය. පණ ගැහෙන සුළු ය. අල්ලා බලන්නට හිතෙනා සුළු ය. මම මොහොතක් ඒ රටාව මත නෙතු නතර කර ගෙන සිටියෙමි. අමමාට වාගේ මහන්නට හිත එක්තැන් කර ගන්නට මට නම් කිසි දා ක නො හැකි වනු ඇත.

“තේ හදන්නද බබා…”

“මං හදන්නං”

අම්මා තවමත් පොඩි කාලේ පුරුද්දට මට බබා කියන්නී ය. එතකොට මා ලොකු ළමයෙකු යයි මට සිතෙන්නේ ම නැත.

ගෙදර වැඩත් කරගෙන මහන මැෂිමට ජීවිතය දිය කරන අම්මා ගැන ශෝකයෙන් හද තෙත් වන හැම විටෙක ම තාත්තා ගැන කේන්තිය ගින්දරක් ව ඇවිලේ. දන්නා කාලයක පටන් අම්මා ඔය මහන්නේ ජීවිතය ය. එම්බ්‍රොයිඩර් කිරීමට අම්මාට වන සුවිශේෂ හැකියාව නිසා කුඩා ඇඟළුම් ආයතනයක සියලු එම්බ්‍රොයිඩර් ඇනවුම් අම්මා ට ලැබේ. පිරිමියෙකු ගේ හයියක් නැතිව ඇය ද ජීවත් වෙමින් අම්මා ගෑනු ළමයෙකු ද ලොකු මහත් කළේ ඒ පුංචි හයියෙනි. නමුත් ඕ කිසි දාක නෑ බෑ කියන්නේ නැත. සතේ සතේ ඉතිරි කොට එකතු කර ගත් මුදලින් ඇය මගේ ආශාවක් වූ ස්කූටිය ට මුදල් ගෙව්වා ය. ඒ වෙලාවේ මගේ පපුව පැලෙන්නට ගියේ ය. මා කඳුළු ගබ් සා කර ගත්තේ ඇස් පියන් වල හයියට මිස හිතේ දිරියකට නම් නොවේ.

“රෙදි අරං යන එන වැඩේට අපි ත්‍රීවීල් වලට කොච්චර සල්ලි ගෙවනවද…දැං අපිටම කියල මේක තියනවනෙ…”

ඇය මන්දස්මිත දෑස් දරා ගෙන මිමිණුවා ය. පපුවේ දරා ගෙන හිදිනා කතන්දර වල බරින් එක අංශුවකුදු ඇය සිය නෙතින් දකින්නට හරින්නේ නැත. මට නම් දැනෙන්නේ මට අම්මා ව දරා ගත නො හැකිවා වාගේ ය. ඇය තරම් මව්වත් ගැහැනියක්!

තාත්තාට එවන් ගැහැනියක හැර යන්නට තිබූ හේතුව කුමක් ද?  ගොජ ගොජ ගා වතුර උතුරන්නට ගති. මම තේ කොළ දැමූ ජෝගුවට උතුරන වතුර දැමුවෙමි. තේ කොළ තැම්බෙත්දී එන්නේ අමුතු කහට සුවඳකි. මට ලෙමන් සුවඳ සිහි විය. කුස්සිය පැත්තේ ලෙමන් වැලෙන් පැහුණු  ගෙඩියක් කඩා ගත් මම තේ කහට වලට ලෙමන් යුෂ බින්දු කිහිපයක් මුහු කළෙමි. පපුව පත්ලෙන් ‘ඔහු සුවඳ’ හමා ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles