“අද සර්ගේ ලස්සන බලන්නකො.”
කෙල්ලන් අතර කුටුකුටුවක් නැඟුණේ අහම්බයකින් වාගේ ය. නිලුපුලී හිස ඔසවා බැලී ය. වෙනදා වාගේම ය. ඉමිහිරි සුවඳකට පසු රදීෂ් ලියනාරච්චිගේ සිනාව මතු විණ. නිලුපුලී ඔහු හා හිනැහුණා ය. හදවත මත බර අඩි තබා ඇවිද යන ඔහු කෙරෙහි හටගන්නා ආදරය මින් පෙර කිසි දවසක දැනී නැති බව ඇයට හැඟෙයි.
“මේ..”
දැන් දහඩිය දුඟද ගැන ගැටළු නොමැත. නිලුපුලී පිළිවෙලට ඉන්නා හැඩ කෙල්ලකි.දැන් සේරටම වඩා කෙල්ලන් කැමති ඇගේ රස බත් පත කන්නට ය. කාලය සමහර අපූර්ව දේවල් කරන්නේ ඒ ආකාරයෙන් බව නිලුපුලී සිතුවා ය.
“ඔයාට සර් ගැන ක්‍රෂ් එකක් නැද්ද?”
සිනෙති අහන්නේ නිලුපුලීගේ අතක් ද කොනිත්තා ය. සිහින් රිදුමක් දැනුණත් නිලුපුලී දෙඇස් උස්සා මිතුරිය දෙස බැලුවා ය. ඇත්තටම ඇයට එහෙම එකක් නැති බව නිලුපුලීට සිතුණේ ඉන් අනතුරුව ය.
ක්‍රෂ් එකක්!
එහෙම කියන්නේ ආකර්ෂණයට බව නිලුපුලී දනියි. සෙසු කෙල්ලන්ට මෙන් ඇයට රදීෂ් දකින්නට සහ ඔහු සමඟ කියවන්නට ආසාවක් හිතෙන්නේ නැත. නමුත් ඔහු යෝධ මිනිසෙකු බව ඇයට සිතේ. ඔහු ඇසුරේ ඉන්නට ලැබෙන පැය කිහිපය ජීවිතයේ අත් හැරුණු මොහොතක් පියවීමක් බව ඇයට දැනේ. ඒ ආදරයේ පැහැය කුමක්දැයි ඇයට ඇත්තටම වැටහෙන්නේ නැත.
එහෙත් ඒ රදීෂ්ට රහසේ පෙම් කරන්නට අනිත් කෙල්ලන්ට ඇති ආශාව වාගේ එකක් නොවන බව නම් පැහැදිලි ය.
“අපි මේ සෑහෙන බලාපොරොත්තු ඇතිව ඉන්නේ.”
තාරුකී එසේ කියද්දී කෙල්ලන් එක පොදියට හිනැහුණා ය. නිලුපුලී මේ කිසිම ඕපාදූපයක් දන්නේ නැත. ඒ හන්දා ඇය මිතුරියන් දෙස බැලුවේ පුදුමයෙනි.
“අපේ අහස්‍යා මැඩම් අර දුලාජ් එක්ක සින්දුවක් කරන්න යනවනෙ. ඒ කියන්නේ ඉතිං යමක් වෙනවා කියන එක තමා. ඊටපස්සෙ සර්ගෙ දුක අහන නංගිලා වෙන්න අපි මේ ආසාවෙන් බලන් ඉන්නේ.”
විවාහයක් දෙදරා යාම ආසාවෙන් බලා සිටින්නට දෙයක්දැයි අහන්නට ඕනෑ වුවත් නිලුපුලී එවැන්නක් නෑසී ය.ඇයට එක් දෙයක් පැහැදිලි ය.මේ කෙල්ලන් සියල්ලන්ම රදීෂ් ගැන උමතුවකින් සහ තෘෂ්ණාවකින් පෙළෙයි.නමුත් ඇයට එවැන්නක් නැත. එහෙත් ඇයට පිරිමියෙකු ගැන ඇති වූ ආදරය සහ ගෞරවය ඇති වූයේ ඔහු ගැන ය.
ඇයට ඔහු අසල හිඳින්නට සිතේ. හදවත පුරා බර අඩි තබමින් ඇවිද යන ඔහුට ළමා කාලයේ පටන් ඇගේ වේදනා එකින් එක කියන්නට සිතේ. ඒ ප්‍රේමයදැයි ඇය නොදනී. එහෙත් ඒ කුමක් හෝ ආදරයකි.
කෙල්ලන් කියන්නේ සැබෑවකි. දුලාජ් ඒ මොහොතේ ද හිටියේ සෙව්වන්දි ඔහුගෙන් ඉවත් කර අහස්‍යා ළං කර ගන්නා සැලසුම් සකසමිනි.
උඹ වගේ රියැලිටියකට ගිහින් හරි හීන ගොඩ දාගන්න මං ආස නෑ.මට එච්චර කටු කන්න බෑ.රියැලිටියක් කියන්නේ මාරම කට්ටක්.ඒවා මහ කරදරයි.එකපාර හිට් වෙන සින්දුවක් කරගන්න හිතාගෙනයි මං සෙව්වන්දිට පොඩ්ඩක් ටෝක් කරේ.ඒත් දැන් ඒකි හිතන් ඉන්නේ මගෙ සංසාර පෙම්වතී එයා කියලා..”
රැයක් දවාලක් නැතිව ප්‍රේමය ගැන උමතුවෙන් කියවන්නිය ගැන සිහි කරමින් දුලාජ් පැවසී ය.
“මගේ ලයිෆ් එකේ ඉන්න කෙල්ලො මං පිස්සුවෙන් වගේ අයිති කරගන්න හදන වගේ කෙල්ලො එක්ක මට සෙව්වන්දිව අප්‍රසන්නයි බං..හිත පිස්සු වට්ටන කෙල්ලක් නෙවෙයි ඒ.නමුත් තමන් එහෙම පිස්සුවක් තමා කියල එයා හිතන් ඉන්නව..”
සෙව්වන්දි පාසල් වියේ ප්‍රේමවන්තියක සේ දුලාජ්ට උමතු වී හිඳින බව ගනේෂන් ද දැන සිටියේ ය.ඈ දුලාජ් දුරකථනයට නොඇමතූව ද කලබල වන තරමට ප්‍රේමයෙන් පිරී හිඳින්නී ය.ඒ සැබෑ ආදරය ද නැතහොත් උමතු ප්‍රේමයකදැයි ගනේෂන්ට නොපැහැදිලි ය.
“මං මේ හිතන්නේ මේ සෙව්වන්දි උඹව නැති උනොත් මැරෙයි නේද කියලා..”
ඇය එපමණකට තමන්ට ඇලී ඇති බව ගනේෂන්ගේ වචන වලින් පසු දුලාජ්ට ද සිතිණ.ජීවිතයේ වෙනසකට ඇය තමන්ට ළං වූ බව සිතුව දැන් එය එසේ නොවන බව ඔහුට ද සිතේ.ඇය ප්‍රේමයම පතමින් ඔහු අසල දැවටෙන්නට පටන් ගෙන ඇත.ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් සැලසුම් පවා සකසන තරමට ඈ තමන් පාලනය කරන්නට පටන් ගැනීම තමන්ගේ නිදහස් පැවැත්මට තර්ජනයක් බව දුලාජ් සිතී ය.
“මං අහස්‍යාට ළං වුණාම එයාට කරන්න දෙයක් නෑ බං”
දුලාජ් විශාල සැලසුමක් සිත යට තබා ගනිමින් එසේ පැවසුවේ ය.දැන් ඇත්තේ ක්‍රියාත්මක වන්නටයැයි ඔහු ඉනික්බිති සිතී ය. නමුත් ඔහු නොදන්නා දෙයක් වේ. ඒ සෙව්වන්දි ඔහුට දක්වන උමතු ප්‍රේමයට වඩා ප්‍රේමයක් අහස්‍යා රදීෂ් කෙරෙහි වන බව ය.