Vintage Eyes – 13

“මොනා වුණත් මං ලෙමන්ට කැමතියි”

නූරි ගේ හඬ මට ඇහුණේ සිහිනයකින් සේ ය.

“ආ…”

ඒ සිහිනයේ ම පවතිමින් මම නෙතු විසල් කොට ඇය දෙස බැලුවෙමි. 

“එයා දන්නව තමුසෙ එයාට කොච්චර ක්‍රශ්ද කියල. විහාර වෛශාක්‍යට තිබ්බ ක්‍රශ් එක අමතක කළත්…දැං දැං එතන ක්‍රශ් එකකට එහා ගිය දෙයක් තියනව කියල නොදැනෙන්න එයා බබෙක් නෙවේනෙ. ඒක ආදරයක්නං…දුර දිග යන්න කලින් තමුසෙව හීන ලෝකෙන් හැබෑ ලෝකෙට ඇදල දාන්න ඕන නිසයි හදිස්සියෙම ඒකා එයා බැඳල දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් කියන එක දැනුං දුන්නෙ…බැඳපු නැති එකෙක් වගේ ඉඳල ඔයාව රවට්ටන්න බෑ කියල එයාට දැනෙන්නැති. මං ඒකාට රෙස්පෙක්ට් කරනව ඒකට”

කිරි තේ කෝප්පයට ඔබා ගෙන උන් නයිස් බිස්කට් කෑල්ල කාලය ඉක්මවා පෙඟුන බැවින් තේ එකට කඩං වැටුණේ ය. නමුත් මට ඒ ගැන ගාණක් වූයේ නැත. සිදු විය හැකි නරක ම දේවල් වුණාට පස්සේත් මා මුව මඳහසක් තියා ගෙන ඉන්නේ කොහොමද? එය නිර්වින්දන තත්වයක් දැයි දැන ගන්නට මම මගේ ම අතක් කොනිත්තා බැලුවෙමි. නූරි මගේ හිස් මුදුනේ කොණ්ඩය අවුල් කළා ය.

“මං මුල ඉඳලම කිව්වෙ ඒකයි”

මම ඇදෙස බලා පොඩි ළමයෙක් වගේ ලස්සනට සිනාසුණෙමි.

“මුකුත් ප්‍රශ්නයක් නෑ. මං හොඳින්. එයා කොහොම කොතන හිටියත්…මං ඇත්තම කියන්නද…කවදාවත් විහාරටවත් කියන්න බැරි වෙන ඇත්ත…”

“කියන්න”

“මං එයාට ආදරෙයි. එයා තමයි තාත්ත ඇරුණම මං මුලින් ම ආදරේ කරන පිරිමිය. හුඟක් වෙලාවට මං අන්තිමට ආදරේ කරන පිරිමියත්…”

“එහෙම වෙනේකක් නෑ”

නූරි උගුර යටින් කියා ගත්තා ය. අපි දෙන්නා ම නයිස් බිස්කට් පැකට් එක නිම වන තුරු ම තරඟයට ඒවා පොඟවා ගෙන කෑවෙමු. ඒ තරම් හිනා වෙන්නට එහි වූ කාරණා මොනවා දැයි මා දන්නේ නැත.

විහාර වෛශාක්‍ය අමරසිංහ එහෙම කිව් වෙලාවේ, “මගෙ දුවත් දවසක ඔයා වගේ වෙනවනං මං ආසයි” කියා කියූ වෙලාවේ, තත්පර ගණනක් සිනහව රඳවා ගෙන හිඳීමෙන් පසු,

“දුවට දැන් වයස කීයද…තාම චූටිද…”

යනුවෙන් මම අසා ගතිමි. විහාර ගේ මූණේ ඇඳුණේත් මගේ වාගේ ම සිනහවක් කියා උපකල්පනය කළ හැක. අඬන්නට බැරි කමට නගන සිනහවක්!

“එයාට දැන් අවුරුදු හයක්. ඒත් අවුරුදු තුනක් වෙනකල් විතරයි එයයි එයාගෙ අම්මයි මාත් එක්ක හිටියෙ”

“ඒ කිව්වෙ…දැං ඒගොල්ලො කොහෙද ඉන්නෙ…”

“නිව්යෝක් වල…දුවගෙ අම්මට මං විදිහටවත් මට එයා විදිහටවත් හැඩ ගැහෙන්න බැරි වුණා. අපි දෙන්නටම එහෙම උත්සාහ කරන්නවත් ඕන කමක් දැනුණෙ නෑ. ඒ තරමටම අපි ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක්…”

“දෙයියනේ…ඉතිං පව්නෙ අර පොඩි එකා…දුවෙකුට තාත්ත කෙනෙක් කොච්චර ඕනද කියල මං හොඳට දන්නව අයියෙ. ඒ හිස් තැන කාටවත් කවදාවත් පියවන්න බෑ. ඇයි ඉතිං ඒ තරං නොගැලපෙනවනං ඔය දෙන්න බැන්දෙ…”

“ඒක මගෙ ඕනකමට වෙච්ච දෙයක් නෙවෙයි. අපේ තාත්තලගෙ හිතුවක්කාරකං නිසා වෙච්ච දෙයක්”

විහාර දිගු සුසුමක් හෙළුවේ ය. ඔහු ගේ අගාධ දෑස් හි ගිලී ගිය බරපතල වේදනාව මතුපිටට ඇවිත් තිබිණ. ඒ ඇස් වල බොර පාට වඩාත් තද වූයේ ය. නමුත් ඔහු මඳහසක් නගා ගෙන සිටියේ ය.

“මගෙ අම්ම නැති වෙලා තියෙන්නෙ මං ඉපදෙනකොට. ඒක නිසා කවදාවත් මගෙ බර්ත් ඩේ එකක් සමරල නෑ. උපන් දිනේකට කියල මට තෑග්ගක් ලැබිල නෑ. උපන් දිනේ කියන්නෙම මං නේදනාවක් එක්ක ගත කරපු දවසක්… අම්ම නැති වෙලා අවුරුද්දක් යන්නත් කලින් තාත්ත ආයෙ බැඳල. මාව හදා ගන්නත් තනියම බැරි නිසා. තාත්ත මට කිසි දේකින් අඩුවක් කළේ නෑ. එයා මට නොදුන්නෙ මගෙ අම්මවයි මගෙ උපන් දිනෙයි විතරයි. තාත්ත බිස්නස් වලින් සල්ලි ටිකක් හම්බ කර ගත්ත මිනිහෙක්. ඉඩ කඩනුත් අරගෙන හොඳට ජීවත් වෙනකොට එයාලට ඇමරිකාවෙ පදිංචි වෙන්න ඕන වුණා. මිනිස්සු එහෙම තමයි කියල දැං මට තේරෙනව. ඒගොල්ලංගෙ ආසන්න ඉලක්ක වලට ගියාට පස්සෙ ඊට එහා දේවල් වලට ලං වෙන්න ඕන වෙනව. මං ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන කාලෙ වෙනකොට පිට පැති වල තිබුණ ඉඩකඩනුත් විකුණල දාල අපි පවුල පිටින්ම යූඑස්ඒ යනව. මං හයර් ස්ටඩීස් කරන්නෙත් එහෙ. ඒත් මොන හේතුවක් නිසාද මන්ද ලංකාවත් එක්ක මං හදවතින් බැඳිල හිටිය පෙකණිවැල කපල දාන්න ලේසි වෙන්නෑ. මට ඕන වෙන්නෙම ලංකාවට එන්න. ඉගෙනගෙන ඉවර වුණාම ටික කාලයක් මං මෙහෙ ඇවිත් තනියම ඉන්නව. ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක ජොබ් එකකුත් කරනව. ඒත් තාත්තලගෙ බල කිරිල්ල හින්ද කාලයක් තිස්සෙ එහෙ ඉන්න ෆැමිලි එකක ගෑනු ළමයෙක් මැරි කරනව. ඇත්තටම ඒක බලෙං කරපු කසාදයක්. ඒ දවස් වල තාත්ත අසනීප වෙන්න ගත්ත. මට එයා ගැන බයක් දැනුණ. මං ඉපදෙද්දි අම්ම නැති වෙලා…මං හිතුවක්කාර වෙන නිසා තාත්ත නැති වුණොත් කියන බය මට තදට දැනුණා.  ඇත්තටම මට මැරි කරන උනන්දුවක් තිබුණෙ නෑ. මැරි කරන්න සුදුසුයි කියල හිතට දැනෙන ගෑනු ළමයෙක් ඒ වෙනකල් හම්බ වෙලා හිටියෙත් නෑ. අපේ ගෙදර අය හිතුවෙ මං කවදාවත් බඳින එකක් නෑ කියල. අසනීපෙං ඉඳගෙනත් තාත්ත දිගින් දිගටම කිව්වෙ ඒ කසාදෙ කරන්න කියල. මේ ගෑනු ළමය මට කැමති වෙලා හිටියෙ. ගෙදර වදේ නිසා මං හිතුව ඕන එකක් වෙන්න කියල බඳින්න. ඒක ගෙදරත් එක්ක තියන තරහටත් එක්කම ගත්ත තීරණයක්. එයා මට කැමතියිනං අපිට කොහොම හරි ෆැමිලි ලයිෆ් එකක් තියෙයිනෙ කියලත් මං හිතුව. ඒත් හදවතින් කෙනෙක් එක්ක බැඳෙන්නෙ නැතුව කවුරුවත් කාවවත් නීතියෙන් බැඳගන්න හොඳ නෑ කියල මට තේරුණේ ටික කාලයක් යද්දි. දුවත් හම්බ වුණා..අපිට එන්න එන්නම අපිව පේන්න බැරුව ගියා. ඔය අතරෙ තාත්ත නැති වුණා. අපේ නංගි එහෙ සෙට්ල් වෙලා හිටියෙ. පුංචි අම්ම හිටියෙ එයා ළඟ. මට ඒ හැම දේම අත්ඇරල ලංකාවට එන්න ඕන වුණා. මං වයිෆ්ට කිව්ව අපි යමු කියල. ඒත් එයාට මාව ආදි කාලෙ මනුස්සයෙක් වගේ පේන්න පටං අරගෙනයි තිබුණෙ. අපේ ගෙදර හොල්මං බංගලාවක් කියල සමච්චල් කළා. මං වින්ටේජ් මිනිහෙක් කියල හිනා වුණා. එයාට එයාගෙ මොඩර්න් ලෝකෙට වඩා ගොඩක් ඈතකින් තිබුණ ඇන්ටික් බඩුවක් වගෙයි මාව පෙනුණෙ. එයාට මෙහෙ එන්න බැරි වුණා. මට එහෙ ඉන්න බැරි වුණා. ඒක නිසා අපි දැං අවුරුදු තුනක් තිස්සෙ වෙන් වෙලා ජීවත් වෙනව. හුඟක් අය කියනව ඩිවෝස් වෙන්න කියල. ඒත් මගෙ දුව නිසා මට ඒක කරන්න බෑ. මං එයාට හරි ආදරෙයි. ඒත් මට එයාව මගෙ ළඟට ගන්න විදිහක් නෑ. වයිෆ් බබාව දෙන්නෙත් නෑ. අවුරුද්දකට සැරයක් දෙකක් ගිහිං මං දුවව බලල එනව. ඕක තමයි මගෙ ජීවිතේ”

ඒ කතාව කියා නිම වන විටත් ඔහු ගේ ඇස් වල සීතල පාටක් තැවරී තිබිණ. මම ඔහු දෙස බලා සිනහ වෙන්නට උත්සාහ කළෙමි.

“ඔයා කොච්චර හොඳ තාත්ත කෙනෙක්ද…”

එහෙම කියත්දී නම් ඇස් වලට තවත් දරා ගන්නට හැකි වූයේ නැත. තදින් ඇස් කෙවෙන්නට ගති. මම ඉක්මන් ඇස් පිය කිහිපයක් ගැසුවෙමි. නමුත් ඇස් පිය වලට වෙට්ටුවක් දමා කඳුළක් පිටතට පැන ගත්තේ ය. මම බිම බලා ගෙන ඒ කඳුළ පිටත් කොට හැරියෙමි.

“තාත්ත කෙනෙක්නං ඔයා වගේ වෙන්න ඕනෙ. මොන ප්‍රශ්න තිබුණත්…දරුවො වෙනුවෙං අම්ම කෙනෙක් වගේ දරා ගන්න තාත්ත කෙනෙක්ටත් පුළුවන් වෙන්න ඕනෙ. මගෙ තාත්ත ඇයි අම්මව දාල ගියෙ කියල මං අදටත් දන්නෑ. අම්ම කොච්චර අහිංසක කෙනෙක්ද…අම්ම කොච්චර ලස්සනද…මං අම්මගෙන් කවදාවත් අහල නෑ ඇයි තාත්ත වෙන කෙනෙක්ට ආදරේ කළේ කියල. අම්ම හේතුවක් දන්නවද නැද්ද කියලත් මං දන්නෑ. අම්මනං කියන්නෙ එහෙම තමයි හිත කියල. ආදරයක් නැති තැනක බොරුවට ඉන්නවට වඩා ආදරේ දැනෙන තැනක ඇත්තට ඉන්න එක හොඳයි කියල අම්ම කියනව. ඒක ඇත්ත. ඒත් තාත්ත මගෙ ලෝකෙං යන්න ගිය මට කොච්චර නරක විදිහට රිද්දුවද…ඇත්ත…දෙන්නෙක් ගැලපෙන්නෙ නැත්තං වෙන් වුණාට කමක් නෑ. ඒකනෙ දික්කසාදයක් කියල දෙයක් නීතියෙ තියෙන්නෙ. ඒත් ඒ නීති හදපු මිනිස්සු වැඩිහිටියො ගැන විතරක් හිතලයි ඒ නීති හදල තියෙන්නෙ. එයාල කවදාවත් ළමයි ගැන හිතල නෑ. ළමයින්ගෙ හිත් ගැන හිතල නෑ. එයාල කවදාවත් ළමයි විදිහට හිටිය කියලත් මතක නැතුව ඇති”

මා නො දැන ම මගේ ඇස් කඳුළු පොකුණු වී තිබිණ. මගේ කොපුල් කඳුළු ගං වතුරෙන් පිටාර ගොස් තිබිණ. ශ්වසන මාර්ගය තදින් අවහිර වී ඇති බවක් දැනුණෙන් මම නාසය උඩට ඇද්දෙමි. අන්තිමට මට හීල්ලී ඉකි ගැසිණ. 

“ශික්ෂා…අඬන්න එපා ඔහොම…”

ඔහු ට ඒ විදිහට කතා නො කොට ඉන්නට තිබිණ. ඒ තරම් ආදරයක් දැනෙන සේ කතා නො කොට ඉන්නට තිබිණ. ආදරයක් කියා දෙයක් ජීවිතය හතර මායිමේ නො තිබි කෙල්ලකට එහෙම බැල්මක් වුව දරා ගැනීම කොච්චර අමාරු ද කියා ඔහු දන්නේ නැත. කඳුළු උතුරන දෑසින් ඔහු දෙස බලා ගෙන ඉකියක් පිට කළ මා ඊළඟ මොහොතේ ඔහු ගේ පපුතුර මූණ ඔබා ගෙන සිටියේ කාගේ මුල් වීම මත දැයි මම නෙ දනිමි. එහෙම වැළඳ ගැනීමකට ඔහු මුලින් ඇරයුම් කළා හෝ මා මුලින් ආයාචනා කළා හෝ නො විය යුතු ය. එය අප දෙදෙනා ගේ ම පැත්තෙන් එක ම මොහොතක සිදු වන්නට ඇත. ඊළඟ නිමේශයේ මම මී දෙනක සේ හඬන්නට පටන් ගතිමි. විහාර ඉතා තදින් ඔහු ගේ දෑතින් මා ඔහු ගේ පපුවට තද කර ගෙන සිටියේ ය. මට තාත්තා සිහි විය. ඔහු ව ඕනේ කියා හිතුණ දවස් ඕනෑ තරම් මම පහු කර ගෙන ආවෙමි. නමුත් ඒ කිසි තැනක මට ඔහු ගේ ඇඟිල්ලකින් අල්ලා ගන්නට ලැබුණේ නැත. ලොකු හිස් තැනක් මගේ ගැහැනු ළය මැද්දේ වූ බව මම දනිමි. ඒ හිස් තැන නොයෙක් විට ආදරයක් ඉල්ලා සිටියේ ය. උණුහුම් වැළඳ ගැනීමක් ඉල්ලා සිටියේ ය. මඳ මුදු සිප ගැනීමක් ඉල්ලා සිටියේ ය. අඩු තරමින් මෘදු අතැඟිල්ලක ස්පර්ශයක් හෝ ඉල්ලා සිටියේ ය. නමුත් මගේ හදවත සනහා ලන්නට මට කිසි දා හැකි වූයේ නැත. ඒ එහෙම තුරුලු වෙන්නට තරම් මගේ හිත ලෝභ කළ විදිහේ පිරිමියෙකු මේ ජීවන ගමනේ දී මට හමු වී නො තිබි බැවිනි. ඉතින් මේ ලද අවසරයෙන් මා ජීවිත කාලයක් බලා උන් උනුහුමක් විඳ ගැනීම ගැන මම මට දොස් කියන්නට නො ගියෙමි. 

ඒ තරම් මා හැඬුවේ ඇයි? එතැන වූයේ අහිමි වී ගිය තාත්තා ගැන සන්තාපයක් පමණක් විය හැකි ද? නැත්නම් හමු වෙත්දීත් අහිමි වී ඇති මගේ ප්‍රේමය ගැන උහුලා ගත නො හැකි ආත්මීය වේදනාවකින් මා ඒ තරමට ම ඉකි බිඳ හැඬුවා විය නො හැකි ද? මම නො දනිමි. ඒ ඕනෑ ම එකක් වුණාවේ! මම මට ඇති කියා හිතෙන තරම් ම හැඬුවෙමි. විහාර ගේ පපුවෙන් මා මෑත් වෙත්දී ඔහු ගේ කමිස පපුව තෙත් බර වී තිබිණ.

“සොරි”

කඳුළු පැල්ලම් පිස දමමින් ම මම මඳහසක් නගා ගතිමි. විහාර මගේ ඇස් වලින් මා තුළට පිහිනා ගිය බවක් මට දැනුණේ ය. මම නැවී බිම තිබූ හබරල පැළ ටික අතට ගතිමි. අප ආපස්සට පිය නැගුවේ විමසීමකින් හෝ  එකඟ වීමකින් තොරව ය.

“මං හිතුව රට පටවන්නම හබරල ගලෝනවද කියල”

අප දැක නූරි පොල් කොටය මතින් නැගිට ගත්තේ එසේ කියමිනි. මම සිනහ වෙවී හිටියෙමි. එහෙම අවස්ථා අපේ ජීවිත වෙත උදා වෙන නිමේශයන් තිබේ. හමු වෙත්දීත් අහිමි වී ඇති අවස්ථා! අහිමි වුණත් හඬන්නට අවසර නැති අවස්ථා!

“ඕක ඇති හොඳද…විහාරට ඔයාව ඕනනං එයා වයිෆ්ගෙන් ඩිවෝස් එක අරං එයි. ඒත් එයා කිව්වනෙ දුව නිසා ඩිවෝස් වෙන්නෙ නෑ කියල. ඔය දෙන්න අතරෙ ගිනි මැලයක් තියෙනව කියල එයා මුලිංම කියලයි තියෙන්නෙ. පළඟැටියෙක් වගේ ගින්දරට පනින්න හිතන්නවත් එපා. අනිත් එක එයා වෙනුවෙං ඕන ගින්දරකට පනින්න ලෑස්තියි කියල කොල්ලට අඟවන්නත් එපා”

නූරි ඉතාමත් ආදරයෙන් කීවා ය. මම පුලන්නියක වාගේ අසරණ ව සිනහ වීමි. අත පා යමක් ඉල්ලිය හැකි යදින්නන්ට වඩා එසේ ඉල්ලිය නො හැකි පුලන්නන් අසරණ ය. 

“එයා දන්නව”

“මොනාද…”

“දුවෙක්ට තාත්තෙක් නැති කරන්න කවදාවත් මට බෑ කියල”

නූරි සුසුමක් හෙළමින් මගේ කම්මුලක් පිරිමැද්දා ය. මේ වගේ වෙලාවක ඇය වගේ යෙහෙළියක ළඟින් හිඳීමේ පහසුව මගේ හිත අත්වින්දේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles