අක්කාට හිමි වී තිබූ රැස් විහිදෙන ජීවිතයෙන් නිර්මලාගේ දෑස ද ගිනිකන වැටෙන්නට පටන්ගෙන තිබිණ.ඇයට ඒ ලෝකයට ආශා ඇති විණ. මහා ලොකු සල්ලි කාරයෙක් කියන්නේ අක්කාට නොවන බව වැටහුණ ද ඇය සිටියේ ඒ ලෝකයට ආශාවෙනි.
“මේක නිරූට. නිරූ බටර් කෑල්ල වගේනෙ”
පාලිත එහෙම තෑග්ගක් ගෙනාවේ අක්කා ගර්භනියක කාලයේ ය. අයියා කෙනෙකු නංගියෙකුට ගවුම් රෙද්දක් දීම මහ දෙයක් නොවේ. නමුත් එතැන ඇත්තේ එවැනි බැඳීමක්දැයි දහසය හැවිරිදි වියේ සිටියත් නිර්මලාට නොසිතුණා නොවේ. එහෙත් ඇය ඒ ගැන වැඩිපුර නොසිතුවා ය.
“නංගි මං ළඟ ඉන්න එක සහනයක්”
චාරුලතා තිස්සේම මිමිණුවා ය. ඇයට ඒ නිවසේ තමන්ගේ කෙනෙක් ඉන්නට ඕනෑ විය. ඒ හන්දාම ඇය නිර්මලා ඇය අසල රඳවා ගත්තා ය.
ප්‍රේමය ඇති වන්නට හේතු ඕනෑ නොවේ. එහෙත් සමහර ප්‍රේම කතන්දර හට නොගන්නේ නම් යහපත් ය. ඒ ඒවා ප්‍රේම කතා නොවී අතිශය ආත්මාර්ථකාමී වන නිසා ය.
එවැනි ආත්මාර්ථකාමී කතාවක් ඇරඹිණ.
පාලිතට ඕනෑ වූයේ හැඟීම් සංතෘප්ත කර ගන්නට ය. නිර්මලාට ඕනෑ වූයේ කිසිම දවසක නොවිඳි ආදරය ය.
“ඔය ඕන තරම් රජකුමාරියො එකම රජාට ආදරේ කරේ”
ඇය ඉතිහාසයෙන් පවා නිදර්ශන සොයා ගත්තා ය. සොයමින් සිත සනසා ගත්තා ය.
රදීෂ් උපන්නේ එහෙව් ලෝකයකට ය. තමන් ඉපදෙන දවසේ පවා තාත්තා සහ පුංචි අම්මාට එකිනෙකා නැතිව බැරි වූ ලෝකයකට ය. ඔහු සමඟ කාර්යබහුල වූ චාරුලතා අවට ලෝකය දැක්කේම නැත. ඇයට කරන්නට ඕනෑවටත් වඩා වැඩ තිබිණ. ඒ සියළු කටයුතු වලින් අත් මිදුණු දිනයක ඇය ගැහැනියක විසින් නොදැකිය යුතුම දර්ශනයක් දුටුවා ය.ඒ අක්කා කෙනෙකු දකින්නට ඕනෑ නැති දෙයක්දැයි නැතිනම් බිරිඳක් විසින් නුදුටුව යුතු යමක්දැයි චාරුලතාට නොවැටහිණ. ඇය තේරුම් ගන්නට උත්සාහ ගත්තේ ද නැත. එහෙත් තවදුරටත් ජීවත් වන්නට ඕනෑ නැති බව ඇයට සිතිණ.
‘මේක අදමද වුණේ?”
අක්කා නංගිගෙන් එහෙම ඇසුවේ හිත සනසා ගන්නට ය. නිර්මලාට එය එසේ බව කියන්නට තිබිණ. නමුත් රන් දෝලිය සහ යකඩ දෝලිය අතරින් රජෙකුට ඇතැම්විට වඩාත් වටින්නේ යකඩ දෝලිය බව ඇය අසා තිබුණා ය. නිර්මලා අක්කාට ඇත්ත කියන්නට තීරණය කළා ය.
“පුතා ඉපදුණු කාලේ ඉඳන්”
රදීෂ් දැන් සිව් හැවිරිදි ය. එතරම් කාලයක් රැවටී තිබේ!
චාරුලතා නැගණියට පහර දෙමින් හැඬුවා ය. ඇය නැති කර දමන බවත් ඇයට ගිනි තබන බවත් පිළිණ දුන්නා ය. නගරයේ ගණිකා නිවාසයකට ඇය විකුණා දමන බවට දිවුරුවා ය.
නමුත් ඒ කිසිවක්ම සිදු වූයේ නැත. කිසිවක්ම එහෙම නොවී ය. ඇගේ සිරුර නිවසේ බාල්කයක එල්ලී තිබිණ.
චාරුලතාගේ පරිච්ඡේදය එසේ අවසන් විණ.
වේල්ලවත්තේ සිට ජීවිතය සොයා සිදාදියට ගිය දියණිය යන්නට යාම ඔවුන්ගේ අම්මාට දරා ගන්නට පහසු වූයේ නැත. ඇය හැඬුවාට වඩා ළතෝනි තැබුවා ය. විලාප තැබුවා ය. නිර්මලා ගහක් ගලක් සේ බලා සිටියා ය. ඒ ඇයට මහත් අජීර්ණයක් වැළඳෙන තුරු ය. ඉන්පසු ආවේ ඇයට අඬන්නට කාලය ය.
“චාරුට ඔය හිතේ අමාරුවත් තිබ්බා. මේකි අර මඩකලපු පැත්තෙ දෙමළෙක් එක්ක හාඩ්වෙයාර් එකේ අහුමුළු ගාණේ නටනටනෙ හිටියේ”
හෙණ පොකුරු පිටින් හිස මත පතිත විය යුතු අන්දමේ කතාවක් පාලිත පැවසී ය. ඔවැනි කතා කියන්නේ කොහොමදැයි අසමින් කඩා පනින්නට සිතුණත් නිර්මලා ගල් වී බලා සිටියා ය. අක්කා ඒ සම්බන්ධතාවය හන්දාම දිවි නසා ගත්තා ය. දැන් ඇය ගැබිණියක වී තිබේ.
“අක්කා නැති වෙලානෙ. අපි බඳිමු. මං පුතාව බලා ගන්නන් ඇස් දෙක වගේ”
මේ මිනිසා තමන් සමඟ යහන්ගත වූයේ වසර ගණනකට ඉහතදී ය. එවකට නිර්මලා දහසය වැනි වියේ පසු වූවා ය. දැන් ඇයට යාන්තම් විසි එකකි. නමුත් ඇය අක්කාගේ දරුවාට ද අම්මා වෙමින් පාලිත සමඟ ජීවත් වන්නට ඇයට ඕනෑ ය.
“තමුසෙගෙ ළමයා මගෙමයි කියලා කොහොමද හලෝ කියන්නේ”
අකුණ පුපුරා ගියේ එහෙම ය. පාලිතට දෙන්නට උත්තරයක් නැතිව ඇය ගල් වී ගියා ය. හැඬීම්, බැනීම්, සාප කිරීම් සියල්ලම අවසාන වන දවසක් තිබේ. ඇය ගල් වී ගියා ය.
“කාලකන්නි මිනිහෙක්ගෙ කාලකන්නි දරුවෙක්”
දරුවාගේ සම්පූර්ණ අයිතිය ඇය පාලිතටම පැවරුවා ය. ඇය දරුවා කිනම් හෝ මොහොතක කුස තුළම නික්ම යතැයි සිහින දැක්කා ය. ඒ අසීරු කාලපරිච්ඡේදයකි. නමුත් ඇය එය දරා සිටියා ය. ඇයට එය දරා සිටින්නට ඕනෑ නොවුණත් මිය යන්නට නොහැකිකමට ඉවසන්නට සිතුවා ය.