ඇෆ්ගන් කාන්තාවන්ට රූපලාවණ්‍ය තහනම් වූයේ ඇයි?

” හැමදාම උදේට මම අවදිවන්නේ අදවත් පාසල් යන්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන්.තලෙයිබාන්වරුන් දිගටම පවසනවා ඔවුන් අද හෝ හෙට පාසල් විවෘත කරන බවට. ඒත් දැන් අවුරුදු දෙකක්ම ගෙවිලා. තව දුරටත් පාසල් යන්න ලැබේවි කියල මට විශ්වාසයක් නෑ. පිරිමි ළමයි පාසල් යනව දැක්කම මගෙ හිත බිඳෙනවා”
ඒ විදියට පවසන්නේ දා හත් වියැයි හබීබා.

කාන්තාවන්ට එමෙන්ම පිරිමින්ටද මෙලොව සමාන තැනක් හිමි විය යුතු බව අවසානයට කියා දෙන, රෝස පැහැ සිහින සපිරි Barbie චිත්‍රපටය මේ වන විට ලොව පුරා උන්මාදයක් ව අවසන්.

ලොවෙහි කාන්තාවන් බොහොමයක් රෝස පැහැ පැලඳුමෙන් සැරසී Barbie නැරඹීමට යන අතරවාරයේ ඒ ලොවෙහිම තවත් එක් කොටසක කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් සහ නිදහසට බාධා එල්ලකරමින් ඇෆ්ගනිස්තානයේ රූපලාවන්‍යාගාරවල දොරගුළු වසා දමා අවසන්.

මහජන විරෝධය නොතකමින් ඇෆ්ගනිස්තානයේ සියලුම රූපලාවන්‍යාගාර, ඔවුන්ට ලබා දුන් මසක කාල සීමාව අවසානයේ වසා දැමිය යුතු බව පසුගිය අඟහරුවාදා දින තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරා.

ඒ කාන්තාවන් දහස් ගණනකගේ රැකියා අහිමි කරමින් සහ ඇෆ්ගනිස්තානයේ සියලුම කාන්තාවන්ගේ සහ ගැහැණු දරුවන්ගේ රෝස පැහැ සුන්දර සිහින වලට අගුළු ලමිනි.

“මෙය කාන්තාවන්ගේ නියපොතු හෝ කොණ්ඩා සැකසීම පිළිබඳ ගැටළුවක් පමණක්ම නෙවෙයි. ස්වාධීන කාන්තාවන් 60,000කගේ පමණ රැකියාවලට එල්ල වූ විශාල තර්ජනයක්” බවට පවසන්නේ නිව්‍ යෝක් නුවර Human Rights Watch හි කාන්තා අයිතිවාසිකම් පිළිබඳව අංශයේ සහකාර අධ්‍යක්ෂිකා Heather Barr ය.

1990 ගණන්වල බලය අත්පත් කරගෙන සිටි අවදියකට වඩා මධ්‍යස්ත පාලනයක් ගෙන යන්නට මූලික පොරොන්දු ලබා දී තිබියදීත්, එක්සත් ජනපදය සහ නේටෝ හමුදා ඉවත් වීමත් සමග 2021 අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තාන බලය අල්ලා ගැනීමෙන් අනතුරුව “නිදහස” සඳහා ඇති සියලු ඉඩකඩ, අයිතිවාසිකම් අහුරාලන්නට තරම් තලෙයිබාන් සංවිධානය ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඉන් නො නැවතී කාන්තාවන්ට උද්‍යාන, ව්‍යායාම මධ්‍යස්ථාන වැනි පොදු ස්ථානවලට පිවිසීම මෙන්ම, විශ්ව විද්‍යාල සඳහා පිවිසීමට ගැහැණු දරුවන්ට ඇති අයිතිය අසුරාලමින්, ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරන්නටත් තලෙයිබාන් හමුදාව කටයුතු කර අවසන්.
“කොල්ලෝ ඉස්කෝලේ යනව දැක්කම, එයාලට ඕන දෙයක් කරනවනම් මට ඇත්තටම රිදෙනවා. මට හරිම දුකක් දැනෙනවා. අයියා ඉස්කෝලේ යනවා දැක්කම මගේ හිත කැඩිලා යනවා” වෙව්ලන, ඇඬුම්බර කටහඬකින් තමන්ගේ වේදනාව ඒ විදියට බෙදාගන්නේ තමානා.තලෙයිබාන්වරුන්ගේ මේ කාන්තාවන්ගේ නිදහසේ තටු සිඳ දැමීමේ කුරිරුකම් නිසා තම අයිතීන් නැතිවුණු තවත් එක් තරුණියක්.

“ඉස්සර අයියා කිව්වා ඔයා නැතුව මම ඉස්කෝලේ යන්නේ නෑ කියලා. මම එයාව බදාගෙන ඔයා යන්න, මම ඔයාට පස්සේ එන්නම් කිව්වා.මිනිස්සු මගේ දෙමව්පියන්ට කියනවා ඔයා කලබල වෙන්න එපා, ඔයාට පුතාලා ඉන්නවා. මම කැමතියි අපිටත් ඒ අයිතිය තිබුණා නම්.”

එපමණක්ව නොවෙයි මෙම ලිපිය ලියන මමත්, මෙම ලිපිය කියවන ඔබත් අප කැමති රැකියාවන්හි නිරත වෙමින්, අප ලබන වේතනයෙන් කොපමණ නම් සුන්දර ඇඟලුම් රැගෙන සැරසෙනවද? අපගේ පෙම්වතුන්, සැමියන්, මිතුරන්, සොයුරන් සමග කෙතරම් සතුටින් , කෙලිදෙලෙන් කාලය ගෙවනවාද?
ඒත් තලෙයිබාන් නියෝග හමුවේ නිදහස සීමා වුණු ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට නම් එවැනි දේට ඉඩකඩක් නැහැ.
සිංගප්පූරුවේ සිට BBC පුවත්පතට තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන‍යේ නිදහසේ පියාපත් සිඳ දැමූ පුවත ගැන ලිපියක් ලියූ Nicholas Yong පවසන්නේ, “කාන්තාවන් දෑස් පමණක් පෙනෙන ලෙසට හැඳ පැළඳ සිටිය යුතුය සහ ඔවුන් කිලෝමීටර් 72ට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියෙකු සමග පැමිණිය යුතුය” යන බවටත් තලෙයිබාන්වරුන් නියෝග කර ඇති බවටයි.
කාන්තාවන් විසින් යා යුතු Solo Trip ගැන කියවෙන මෙවන් යුගයක ඇෆ්ගන් කාන්තාවන්ගේ නිදහස ඇසිරී ඇත්තේ එලෙසින්.

කෙසේ වෙතත් සමහර තලෙයිබාන් නායකයින්, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සහය පළ කරන බවට පවසා ඇත.

මෙම දැඩි නිදහස සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ජාත්‍යන්තර විවේචනයන්ට තුඩු දී ඇති අතර අර්බුධකාරී මොහොතක ඇෆ්ගනිස්තානය රටක් ලෙස හුදකලා වෙමින් පවතී.

තම රූපලාවන්‍යාගාර වල දොරටු වසා දමමින්, ඒවායේ ඇති නිෂ්පාදන සහ උපකරණ එකතුකරමින් සිටින් ඇෆ්ගනිස්තාන රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ සහ හුදකලා වී ඇති රූපලාවන්‍යාගාර වල දුක්බර ජායාරූප, සීත කළ රූපලාවන්‍යාගාරවල සුවපහසු පුටුවල හිඳිමින්, රුව සත්කාර සිදු කෙරෙන අතර දුරකතනය බලන ඔබත් දකින්නට ඇත.

හුරුබුහුටි සෙල්ලම් පින්සල් යොදා ගනිමින් බෝනික්කන්ගේ කම්මුල් රෝස පැහැ කළ අතීතයන්ට සමුදී, තුරුණු වියේදී බෝනික්කන් මෙන් සැරසෙන්නට මෙන්ම තමා කැමතිම අංශයක රැකියාව කරමින්, තවත් අයෙක්ගේ සොඳුරු මුහුණු වර්ණවත් කරන්නට පින්සල් අත දරන්නට ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවදුරටත් නොහැකි වීම පිළිබඳව අප කෙතරම් නම් කම්පිත විය යුතු ද?

එකම ලොවක අන්ත දෙකක කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ දෙයාකාර වූ ඉරණමක් අත් විය හැකිද?

දෙවියනි, ඔබ මා තැනුවේ කුමක් සඳහාද?

Billy Eillish විසින් Barbie චිත්‍රපටය සඳහා නිර්මාණය කළ What was I made for? ගීතයට අනුව ඇෆ්ගන් කාන්තාවන්ට ඉහත ප්‍රශ්නය තම හදවතින් හෝ අසන්නට නිදහසක් එහි ඇති දැයි මට සිතන්නටත් නො හැක.

-උදතාරී-


Related Articles

Don't Miss


Latest Articles