තාප්පය පුරා වැවී තිබුණ බහුමානියා මල් වැල, රෝලර් ගේට්ටුවට මත්තෙන් ද කවාකාර ලෙස ඇදී ගොස් තැඹිලි පාට මල් පොකුරු වලින් ගහන ය. ඒ මල් පොකුරු බර වී බිම බලා ගෙන සිටියේ ලැජ්ජාවට රක්ත වර්ණ වූ කොපුල් වලින් යුතු යුවතියන් සමූහයක් සේ ය. ඒ මල් පොකුරු දිගේ ඇද ගෙන ආ දෑස්, කවීශ්වර තාරා ගේ මුහුණ මත නතර කළේ දෙගිඩියාවෙන් වාගේ ය. තාරා තව දුරටත් වෙනස් නො කර ගත් බැල්මෙන් යුතුව ඔහු ගේ මුහුණ මත ම නතර ව සිටියා ය.
“තාරා…මේ…එහෙම අහන්නෙ…මං කියන්නෙ…එහෙම…අනේ මන්දා අප්ප ඔයත්…”
හරියට වචන තෝරා බේරා ගත නො හැකි ව ගොත ගැසුවාට කවීශ්වර ගේ මුහුණේ වූයේ තාරා ගේ ප්‍රශ්නයට මුළුමනින් එකඟ වෙන බවට කතාවකි. ඒ දෙතොල් මත්තේ තෘප්තිමත් සිනහවක් විය. ඔහු ගේ ඇස් වැඩි දීප්තියකින් සිනහ වූයේ ය.
“හරි හරි දැං කියන්න බැරිනං පස්සෙ කියහංකො”
තාරා කවීශ්වර ව ඒ අපහසුවෙන් මුදවා ගත්තා ය. කවීශ්වර සිය රැවුල් කොට සහිත කම්මුලත් නිකටත් සුරතින් පිරිමැද ගත්තේ තවමත් ඒ සිනහව සම්පූර්ණයෙන් පහ ව ගොස් නැති නිසා ය. කම්මුල් නලියනවා වාගේ ඔහු ට දැනිණ.
“නොකියන ඔක්කොම දේවල් උඹේ ඇස් වල තියනව කොල්ලො”
තාරා ගේ හඬේ අතිශය සහෝදරාත්මක බවක් දැවටී තිබිණ. කවීශ්වර ඇගේ අදහසට එරෙහි වන්නට ගියේ නැත. හිතට එකඟව එසේ නොවේ කියා කියන්නට ඔහුට නුපුළුවන. එහෙම කියන්නට ඕනේත් නැත කියා කවීශ්වර සිතුවේ ය. මේ ආරාධනා නොවේ. තාරා ය. ඔවුන් හඳුනන්නේ වසර ගණනාවක් තිස්සේ ය. ඇය මොන වාගේ ගැහැනියක දැයි කවීශ්වර දනී. කෙළින් ඇස් දෙස බලා ගෙන කතා කරන, කියන්නට තියෙනා දෙයක් මූණට කියන, තැන් තැන් වල ඕපාදූප නොදොඩන සැබෑ ගැහැනුකම් ඔහු ඇයගෙන් හැඳින ගෙන තිබේ.
“අද ඊයෙක නෙවෙයි…මං උඹේ ඇස් වලින් ඔය හැඟීම දැක්කෙ මීට කාලෙකට කලින්. අරාගෙ වෙඩින් එක දවසෙ කාශ්‍යප ගෙ බෙස්ට්මන් ට ඉද්දිත් උඹ ඒක යටපත් කර ගෙන හිනා වෙන හැටි මං දැක්ක. උඹ වගේම මාත් හිතුව වෙන්න තියන හොඳම දේ ඒක තමයි කියල. ඒත් අපි හැමෝටම වැරදුණා කවීශ්වර”
කවීශ්වර පැති වීදුරුවෙන් ඉවත බලා ගත්තේ ය. බහුමානියා මලක් නටුවෙන් ගිලිහී කැරකී විත් වින්ඩ්ස්ක්‍රීන් එක මත පතිත විය. ඇස් කෙවෙනි දැවී යමක් සිදු වෙන්නට පටන් ගන්නා බවක් කවීශ්වර ට දැනිණ. ගිනියම් තෙතමනයක් ඇස් මත පටලයක් බැඳ ගන්නා ලදී. ඔහු වේගයෙන් ඇස් පිය ගැසුවේ ය.
“අරා කියන්නෙ ජීවිතේ ගැන මෙලෝ අත්දැකීමක් තිබුණ කෙල්ලෙක් නෙවේ. එයාගෙ ලෝකෙ කවීශ්වර කියන්නෙ ආදර්ශ පිරිමියෙක් නෙවේ. අරාගෙ ස්ක්‍රිප්ට් එකේ හැටියටනං කවී ප්ලේ බෝයි කෙනෙක්. එහෙම කොල්ලෙක් ගැන විශ්වාසය තියල තමංගෙ ජීවිතේ බාර දෙන්න එයා එදා කොහොමටවත් සූදානමක් තිබුණෙ නෑ. අදත් එහෙම ඇති කියල මං හිතන්නෑ. ඒත් මට තේරෙනව කවී අරා ගැන තිබුණ හැඟීම අදත් වෙනස් නොවී ඒ විදිහටම තියනව කියල”
දෙතොල ම මුව තුළට ගෙන සපා ගත් කවීශ්වර තෙත් වූ ඇස් පිහාටු සලමින් තාරා දෙස බැලුවේ අසරණ හැඟීමකිනි. සිය සෙල්ලක්කාර අතීතය එක මොහොතකින් ජීවිතය තුළින් අකා මකා දැමීමේ වරයක් ලැබෙනවා නම් යන හැඟීමෙන් ඔහු උමතු වෙන්නට එනවා සේ කවීශ්වරට දැනිණ.
“දෙවියො එක්කෙනාටම චාන්ස් දෙන්නෑ. එහෙම බැලුවොත් මේක උඹට ලැබුණ චාන්ස් එකක්. මන්නං කොහොමත් ඔය උපාසක බළල්ලුන්ට වැඩිය ඕපන් මිනිස්සුන්ට කැමති ගෑනියෙක්. හැබැයි පුතෝ අරා තාමත්..මේ දැනටත් උඹව ලොකුවට විශ්වාස කරනව කියල හිතන්නෙපා. එහෙම හිතල වචනෙ දාන්න ගිහිං මේ ආත්මෙටම ඒකි නැති කර ගෙන අපිට උඹවත් නැති කරන්නත් එපා. මං ඒකමයි මේ ගැන උඹත් එක්ක ඉක්මනට කතා කරන්න ඕන කියල හිතුවෙ”
කවීශ්වර ගේ නළල රැලි නැංවුණේ ය. ඇස් බැමි මඳක් ඉහළට එසවුණේ ය. තාරාත් මෙහෙම කියනවා නම් මොන දෙවියෙකු ගේවත් පිහිට ඔහු සමග නොවන බව පිළිගත යුතු ය.
“අරායි පැටව් දෙන්නයි ආදරෙං බලා ගන්න කවී තරං සුදුසු මිනිහෙක්ව වෙන මං දකින්නෑ. සැනසුම් පාය තං අපේ කෙල්ලට සැනසීමෙ ඉන්න තැනක් මේ තුන් ලෝකෙවත් වෙන නෑ. ඒ හැම දේම සම්පූර්ණ වෙන එක ම විදිහ තමයි කවී උඹ. ඒත් කොල්ලො දැම්මමනං කට හොල්ලන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නෙ එක දෙයයි. අරා ළමයි දෙන්නවත් කුදලගෙන මෙහෙ එන එක. කෙල්ලට ඔහොම ඉන්න ඇරහං. දැනටත් ටික ටික ඒකි උඹ ගැන පැහැදිල ඉන්නෙ. ළමයි දෙන්නට කවීශ්වර හරි ආදරෙයි එයා නිසා කාශ්‍යප නැති අඩුව ළමයින්ට ඒ තරං දැනෙන්නෑ කියල නිතරම කියෝනව. හැබැයි ඒ පැහැදීම ළමයි දෙන්නගෙ ලෝකෙට විතරක් අදාල දෙයක්. ආරාධනා ට එයා ගැනත් එහෙම දැනෙන දවසක් වෙනකල් ටිකක් ඉවසමු කවී. තේරෙනවද මං කියන දේ…කලබලේට කොරොස් කටෙත් අත දාගන්න බෑ කියනවනෙ. මේ වගේ ලොකු තුවාලයක් සුව වෙන්න සෑහෙන්න කාලෙ ඕනෙ. මෙච්චර කල් හිටිය වගේ මේ ටිකක් ඉවසමු කොල්ලො. හොද්ද ඉදෙනකල් ඉවසන්න පුළුවන් බෙදනකල් ඉවසන්න බෑ කියලත් මං දන්නව. හැබැයි ඉවසමු. ඕන දේකට මං උඹත් එක්ක ඉන්නව හරිද…”
කවීශ්වර ගේ උරහිසක් තද කොට අල්වා ගෙන තාරා රියෙන් බැස ගත්තා ය. කවීශ්වර ගේ ඇස් වල කඳුළුත් සිනහවත් දෙක ම තිබිණ. සිනහ විය යුතු ද හැඬිය යුතු ද කියා ඔහු නො දැන සිටියේ ය. නමුත් යටි හිතේ වූයේ ප්‍රීතිමත් බවක ආලෝක කිරණ ය.
හිසෙහි වූ තුවාලය නිසා කාශ්‍යප පසු දා වැඩට නො ගියේ ය. නාර්යාලේ දී ඒ ගැන අසනා කෙනෙකුට දෙන්නට පිළිතුරක් ඔහු ට සිතා ගත නො හැකි ය. සෞභාග්‍යා ෆාමසියකින් සර්ජිකල් ස්ප්‍රීට් ද පුළුන් ද සොෆ්රමයිසින් ක්‍රීම් එකක් ද ගෙන්වා ගෙන, තුවාලය පිරිසිඳු කොට බෙහෙත් දැම්මා ය.
“ඔයා බීල එන්න ගත්තහම කොහොමද කාශ්‍යප…ඔයා හොඳටම දන්නවනෙ මං විශ්වාසයක් ඇතුවයි මෙහෙම ඔයත් එක්ක ඉන්න මේ අපාට්මන්ට් එකට ආවෙ කියල. මාව අතරමං කරන්න හදන්නෙපා”
බෙහෙත් දමන අතරේ ඇය එසේ කීවා ය. පෙර දා රාත්‍රියේ ඔහු හැඟීමකිනි රිස්සුම පහ ව ගොස් දැන් හිතේ ඒ අවකාශය පිරී ඇත්තේ ස්නේහයට ළඟ හැඟීමකිනි. මොහොතින් මොහොත සිය සිතිවිලි හා සිත වෙනස් වන්නේ ඇයි දැයි ඇයට සිතා ගත නො හැකි ය.
නමුත් කාශ්‍යප ගේ සිත ඒ සෙනෙහස අසල සෙලවුණේ හෝ නැත. ප්‍රේමය කියන්නේ කුමක් දැයි මුල සිට ම සිතන්නට ඔහු ට ඕනෑ කම තිබිණ. මේ වන විට ප්‍රේමය පිළිබඳ ඔහු ගේ නිර්වචනය එය ප්‍රෝඩාවක් ය යන්නයි. කාශ්‍යප තව දුරටත් ආදරය විශ්වාස කරන්නෙකු නොවේ. ප්‍රේමය හා විවාහය අතරේ පියවිය නොහැකි පරතරයක් වන බව කාලයක් තිස්සේ ම ඔහු අවබෝධ කොට ගෙන සිටියේ ය. විවාහයේ දී ඔහු අපේක්ෂා කළේ ජීවිතයට සුරක්ෂිත භාවයකි. නොහොත් ස්ථාවර භාවයකි. ලෝකය ඉදිරියට ගෙන යා හැකි සොඳුරු බිරිඳක හා ලස්සන දරු පැටවුන් කිහිප දෙනෙකු සිටීම එහි සංකේතයක් සේ ය. ගෙදර එන විට ඔහු ගේ වැඩ ටික පිළිවෙලට නිසි ලෙස ඉටු කොට තබනා බිරිඳක සිටියදී ජීවිතය පහසු ය. ඇය ද වැදගත් වෘත්තියක නියැලෙන්නියක නිසා සමාජයීය හා ආර්ථික මට්ටම අතින් ද පවුල ස්ථාවරත්වයට පත් වේ. විවාහයක් සඳහා ප්‍රේමයක් අත්‍යවශ්‍ය නැත. බොහෝ මිනිසුන් විවාහ වන්නේ ද ප්‍රේමය පදනම කොට ගෙන නොවන බව ඔහු දැන සිටියේ ය.
නමුත් කාශ්‍යප පෙලූයේ අහිමි වීමක සාංකාව ය. ඔහු ගේ විවාහය තුළ තිබුණේ නැති එක ම දෙය සෞභාග්‍යා ය. දෙවන වරට ඇය හමු වෙත්දී, ඔහු ට ලැබුණ විවාහ ජීවිතය තුළ ආරාධනා ගේ තැනට සෞභාග්‍යා ආදේශ කොට ගන්නට කාශ්‍යප දෙවරක් සිතුවේ නැත. ඔහු සිය විවාහය හැර ගියේ එවන් වූ මනෝ භාවයක් එක්ක ය. සෞභාග්‍යා සමගින් ඔහු ගේ පරණ විවාහ ජීවිතය බලාපොරොත්තුවෙනි. නමුත් සෞභාග්‍යා යනු ආරාධනා නොවේ. ඇය විසින් ඔහු එක්ක ගොඩ නගන්නට නියමිත සහසම්බන්ධය ද වෙනත් එකකි. නමුත් කාශ්‍යප හෙව්වේත් බලාපොරොත්තු වූයේත් ආරාධනා ගොඩ නැගුවා වන් යුග දිවියකි. එතැන්හිදී ගට්ඨනයක් සිදු වූයේ නිරායාසයෙනි. ආරාධනා විසින් නිමවන ලද යුග දිවිය නමැති සුවපහසු කලාපයෙහි සෞභාග්‍යා නො සිටියා ය. සෞභාග්‍යා සිටින තැන ඔහු කාලයක් තිස්සේ පුරුදු වූ සුවපහසු යුග දිවිය නො තිබිණ.
“ඔයා ගෙදර ඉන්න නිසා අපි අද එළියෙන් කෑම කමු”
සෞභාග්‍යා අලුත් සතුටක් ඇති කර ගැනීමේ උත්සාහයක් දරමින් කීවා ය. පෙර දා කාශ්‍යප ව තල්ලු කොට දැමීමේ පසුතැවීම සිතින් අතු ගා අමතක කොට දමන්නට ඇයට උවමනා වී තිබිණ. ඇගේ නො රිස්සුම් වල කෙළවරක කාශ්‍යප ගේ අතෘප්තිමත් බව ද තිබිණි. සෞභාග්‍යා ගෙය පිරිසිඳුව හා පිළිවෙලට තබා ගන්නට කිසිදු උවමනාවක් පෙන්වූයේ නැත. පුටු උඩ රෙදි ගොඩවල් ය. ඇය එතැනින් ම ගෙන ඊළඟ වතාවේ ද ඇඳුම් අන්දා ය. ආරාධනා නම් වියළුණ ගමන් ගෙට ගෙනැවිත් රෙදි නැව්වා ය. එක එක්කෙනාගේ රෙදි ගොඩවල් වෙන වෙනම අල්මාරි වල තැන්පත් කළා ය. උයා හෝ පිටින් ගෙනැවිත් කෑම කන බොන භාජන ඉඳුල් පිටින් මැස්සන් ඇහිරෙන්නට ඇරීම සෞභාග්‍යා ගේ පුරුද්දකි. බොහෝ විට ඉවසා ගන්නට බැරි තැන ඒවා හෝදා දැමුවේ කාශ්‍යප ය. ආරාධනා නම් ඒ ඒ අවස්ථාවේ ම භාවිතා කරන භාජන සෝදා තැන්පත් කළා ය. මුළුතැන්ගෙයි වැඩ නිම වීමෙන් පසු ඉඳුල් පොදක් තිබුණේ නැත. මේසයක් මත පාන් රොඩ්ඩක් හෝ වූයේ නැත. ආරාධනා ළඟ සිට සෞභාග්‍යා ළඟට පැමිණීම දෙව් ලොව සිට අපායට ආවා සරි ය. ඇය කිළිටි ඇඳුම් ගොඩ ගැසුවා ය. කෙස් පිටින් පනාව කණ්ණාඩි මේසය මත දැමුවා ය. තෙත සලුව යහන මත දැමුවා ය. ඇය විතරක් ලස්සනට ඇඳ සුවඳ ගල්වා ගෙන සිටියා ය. මේ පරිසරය නිසා කාශ්‍යප ට දැනුණ නො රිස්සුම, අනිත් අතට සෞභාග්‍යා වෙතින් ද නො රිස්සුමක් ව බැහැර විය. සෑම ක්‍රියාවකට ම සමාන හා ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තිබේ!
යළිත් ජීවිතය පිළිවෙළ කර ගත හැකි එක ම මග ලෙස කාශ්‍යප ට පෙනෙන්නට ගත්තේ ආරාධනා සමගින් සමගි සමාදානයකට එළඹීම ය. ඔහු ඒ ගැන බලාපොරොත්තු දල්වා ගෙන, චින්තන ගෙන් දුරකතන ඇමතුමක් එන තෙක් බලා සිටියේ ය.
ආරාධනා කැමති නිසා එදා රෑ බත සමග පිසිනු වස් ගජධීර දැල්ලන් මාළු ගෙනාවේ ය.
“ආසනං තමයි. ඒත් මං කොහොමද මේ අතත් එල්ලගෙන දැල්ලො සුද්ද කරන්නෙ පුතාලගෙ තාත්තෙ…මං හිතන්නෙ ආරාධනා දැල්ලො සුද්ද කරන්න කැමති නෑ ගඳයි කියල”
රාජිකා මැණිකේ කීවා ය. ගජධීර උස් හඬින් හිනැහිණ.
“ඒක යසයි. දැල්ලො කන්න ආසයි. හෝදන්න හඳයි. කෝ එහෙනං මං මේක සුද්ද කරල ගන්න”
“පුතාලගෙ තාත්තට පුළුවන්ද…”
“ඒ කෙල්ල අපි වෙනුවෙන් කරන ඒවයෙ හැටියට…කොහොම හරි මේක කරල දෙන්න ඕනනෙ මැණිකෙ”
“ආරාධනා පහු වෙලා හරි කාශ්යපගෙ යෝජනාවට කැමති වෙයි කියලයි මං මේ බල බල ඉන්නෙ. අනේ කෙල්ලවයි දරුවො දෙන්නවයි යවල කොහොමද පුතාලගෙ තාත්තෙ…ඊට පස්සෙ මේ සැනසුම් පාය අපායක් වෙයි”
“ඒ වුණාට ඒ ළමය ආයෙ අපේ එකාව බාර ගන්නෙ නෑ මැණිකෙ. ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි”
ගජධීර දැල්ලන් සෝදන අතරේ රාජිකා මැණිකේ කුස්සිය මිදුලේ කුඩා පුටුවක හිඳ ගෙන කඳුළක් පිස්සා ය. කාමරය තුළ සඳයුරු නිදමින් සිටියේ ය. බිඟුනි ඒ අසලින් හිඳ චිත්‍ර ඇන්දා ය.
“අපිට සැනසීමෙ මැරෙන්න තිබුණ එක නැති කළානෙ මේකා. කවුද දන්නෙ පොඩි පුතා මොන උරචක්කර මාලයක් එල්ලං එයිද කියල. මැරෙන මොහොතක අපිට වතුර ටිකක් හරි දෙන්න හිටිය කෙල්ල”
ආරාධනා හා කවීශ්වර පන්තිය නිම වී ගෙදර ආවේ ඒ වෙලාවේ ය.
“අනේ…තාත්ත මාළු සුද්ද කරනව. ඇයි අනේ මං එනකල් ඉන්න තිබුණනෙ…තාත්ත මොකටද ඕව කරන්නෙ…”
ගජධීර ව දුටු ආරාධනා කලබල වූවා ය. ගජධීර සිනහවක් නගා ගත්තේ ය.
“අම්ම කිව්වෙ දුව දැල්ලො සුද්ද කරන්න කැමති නෑ කියල..මං මේ දුව හින්දමයි මාළු කඩේ දැල්ලො තියනව දැකල ගෙනාවෙ”
ආරාධනා ගේ ඇස් දෙක බිමට හැරවිණ. ඒ ආදරය වැඩි කල් විඳිය හැකි නො වන බව සිහි වී සංවේගී හැඟීමක් පා වී ගියේ ය. කවීශ්වර ඉක්මන් අඩි තබා කුස්සිය දෙසට ඇවිද ආවේ ඒ වෙලාවේ ය. ඔහු ගේ ඇස් වල කලබලයක් විය. ආරාධනා ඒ හොඳට ම දුටුවා ය.
“මොකද පොඩි පුතා..”
රාජිකා ට පවා වෙනසක් දැනිණ. ඔවුන් ගේ සියලු ඇස් කවීශ්වර ට පිටුපසින් මතු වූ රුව වෙතට යොමු වූයේ ඊළඟ නිමේශයේ ය. රාජිකා මැණිකේ අතින් මුව වසා ගත්තා ය. ගජධීර ගිනි ගන්නා නෙතකින් බැලුවේ ය. ආරාධනා කිසිදු හැඟීමක් පල නොකරනා හිස් දෑස් ඉවතට හැරවූවා ය.
කාශ්‍යප!
එදා නික්ම ගියාට පස්සේ ප්‍රථම වතාවට ඔහු ගෙදර ඇවිත් තිබේ.