චරිත්‍රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය.
ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත.
කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට බාධා පැමිණුවද ඒ සියල්ල බිඳ දමමින් ඉදිරියට යන්නට චරිත්‍රා සූදානම් ය.
ළහිරු යනු අතැර ගත හැකි පුද්ගලයකු නොවේ.
අනෙක් අතට තමන්ට නොපෙනෙන ඈත රටක හිඳගෙන මිහික කුමනාකාරයේ ජීවිතයක් ගෙවන්නේද යන්න තමා නොදනී.
මිහිකට තමා සැක කරන්නට කිසිදු හේතුවක් නැති බව චරිත්‍රා සිතයි.
මේ ජීවිතය තමා ගෙවන්නේ අද ඊයේ සිට නොවේ. දැන් වසර ගණනාවක සිටයි. ඉතින් අනෝරා වර්ශාවක් නොසිතූ මොහොතක කඩා වැටුණා සේ මිහිකට තමාව සැක කරන්නට හේතුවක් නොමැත.
“අපි ආදරේ කරන දේවල් වලට, ආදරේ කරන අයට ලංවෙනවා වගේම, අපී ආදරේ කරන දේවල් වලට, පුද්ගලයන්ට ලංවෙද්දි එයාලා අපෙන් ඈතට යන්නත් හේතුව කවුරු හරිම මේ ලෝකේ හොයාගෙන තියෙනවද?
එහෙම නම් මම කැමතියි ඒ කෙනාව එක වතාවක් මුණ ගැහෙන්න.මට ඕන එයා කතාකරන්න.කතාකරලා දැනගන්න ඔයා ඒ හේතුව හොයාගෙන යද්දි, ඒ හේතුවට ලංවෙද්දි, හේතුව ඔයාගෙන් ඈත්වුනේ නැත්තෙ ඔයාට ඇත්ත පහදල දෙන්න උවමනා වුන නිසාද?
නැත්තම් ඔයාට රිද්දල හිත යටින් කුරිරු සතුටක් ලබන්න පුළුවන් කමක් තිබුන නිසාද?
ආදරේ කියන්නෙත් මහ අරුම පුදුම දෙයක්.
ඈත ඉද්දි ලංවෙන්න හදන, ලංවෙන්න හදද්දි ඈතට යන මහම මහ අමුතු දෙයක්.
ආදරේ කියන සංකීර්ණ සිද්ධාන්තෙ ඇත්තටම ඇති සංකීර්ණත්වෙකුත් නෑ.
ඕන වුනාම ලංවෙනවා, එපා උනාම ඈත්වෙනවා. ඒකයි මූලධර්මෙ.ඒත් හැම වෙලාවෙම මූලධර්මෙන් පිට පැනල යන්න දඟලන මිනිස්සු, ආදරේදි විතරක් ඒ මූලධර්මෙට අනුව වැඩකරාවි කියල වැරදීමකින්වත් හිතන්න පුළුවන්ද?”
මුහුණු පොතේ එසේ ලියා තැබුවේ හේතුවක් ඇතුව නොවේ.
තමා කියන දෙයකට එපිටින් හෝ විරුද්ධව දෙයක් කවුරුන් හෝ කියනු ලැබූ විටක, නැතිනම් තමා දරන මතයකට වඩා වෙනස් මතයක් කෙනෙකු දරන අවස්තාවක, එය තමන්ට ජනප්‍රිය වීමට හේතුවක් කරගන්නට චරිත්‍රා දෙපාරක් නොසිතයි.
ඇයට අනුව ඇය සර්ව සම්පූර්ණය, බුද්ධිමත් ය. ඇය දරන අදහස් නිවැරදිය.
ඇයව සැක කරන්නට හෝ අවිශ්වාස කරන්නට කිසිවෙකුට හේතුවක් හෝ ඉඩක් ඇයට අනුව ඇයගේ ජීවිතයේ නැත.
“මම ඔහුට මාගේ හදවත දුන් අතර, ඔහු එය ගෙන මරණයට පත් කළේය. මිනිසුන්ට ඔවුන්ගේ හදවතින්ම දැනෙනවා, එලන්, ඔබ මගේ හදවත විනාශ කර ඇති නිසා, ඔබව මට නොදැනේ”
ඒ වදරින් හයිට්ස් කතාවේ චරිත්‍රා ඉතාම ආසා කරන පද පේළියකි.
ඇයට අනුව තමා ළහිරු සමග බැඳීමේ කිසිදු වරදක් නොවේ. තමා වෙනස් රැඩිකල් ගැහැණියකි. සමාජ සම්මතය බිඳ දමා අලුත්, වෙනස් ලොවක් ගොඩනගන්නට බලාපොරොත්තු වන අන්දමේ ගැහැණියකි. ඉතින් එවැනි ගැහැණියක සමාජ සම්මතය අනුවට කටයුතු කරන, ඉතාම සම්ප්‍රදායික ගැහැණියක් වනු ඇතැයි මිහික සිතීම පවා වරදකි, චරිත්‍රාගේ නිදහස නැති කර දැමීමකි.
ආදරය යනු නිදහසේ නිල් අහස සිසාරා පියඹා යන්නට කිරිල්ලියකට ඉඩ දීමය.
තමා කිසි දිනක මිහිකට කිසිදු ආකාරයකින් සීමාවන් පණවා නොමැත.
ඉතින් එබඳුම සංග්‍රහයකින් තමා සැලකුම් ලැබීමට සිතීම වරදක් විය හැකි නොවේ.
“ආදරේ කියලා සිත පිළිගන්නට – නුඹ තනිකර මගෙ වෙන්නම ඕනද – නුඹව හඬවන – නුඹව රිද්දන – එහෙම දේවල් නෑ හිතේ මගේ”
එහෙම කියන්නේ ධනිත් ය.
සැබෑ ආදරය යනු කුමකටදැයි දිය හැකි හොඳම නිර්වචනය එම ගීතයයි.
ආදරය යනු නිදහසය. නිදහස ලබා දීමය. එකී නිදහස ඇතුලේ එකිනෙකා විශ්වාස කිරීමය. එකී විශ්වාසය නිසාවෙන් හදවත් වලින් බැඳී හිඳීමය.
මිහික වැනි සම්ප්‍රදායික තරුණයෙකු හා බැඳී හිඳින්නට තමාට එදවස අවශ්‍ය වීයේ ඇයිද යන සැකය චරිත්‍රා දැන් නිතර නිතර සිතින් විමසයි.
ඈත රටක හිඳිමින් දවසට එක්වරක් හෝ තමාව අමතමින්, බොහෝ තෑගි බෝග එවන මිහිකට වඩා ලඟින් හිඳ සැනසුම් බස් දොඩමින් හිතද, තුරුණු හැඟීම් සංතර්පණය කරමින් ගතද සනසවාලන ළහිරු වඩා අගනේය.
ජීවිතයේ අපට තෝරා බේරා ගැනීම් කරන්නට සිදුවන බොහෝ අවස්තා පැමිනේ. ඇතම් වේලාවල් වල ජීවිතයට ඉතාම අවශ්‍ය දෙයක් ළඟ තබාගන්නට, හිමිකරගන්නට දිගු කාලයක් පුරාවට ජීවිතය පුරා රැඳී තිබුන දෙයක් අතාරින්නට අපට සිදුවේ. එතැනදී අප තේරුම් ගත යුතු දෙය වන්නේ අපට ජීවිතයේ ඉදිරි කාලය ගෙවාලන්නට වඩාත් අවැසි වන්නේ කවුරුන්ද යන්නයි. රැවුලත් කැඳත් බේරා ගැනීමේ තත්ත්වයන් එන්නේ ඉතාම කලාතුරකිනි.
නමුත් මේ මොහොතේදී තෝරගත යුත්තේ කවුද යන්න පිළිබඳව ගැටලුවක් චරිත්‍රාට නොමැත.
ඒ ළහිරුය. ගිම්හාන කාලයක දී ආදරයේ මල් පැල හදවතේ පැල කරන්නාය. එකී මල් පැල සෙනේ දිය පොවමින් රැක බලාගන්නා හදවතේ උයන් පල්ලාය.
“ජීවත්වෙලා ඉන්න කාලේ අපි ඉගෙන ගෙන අපේ මනස පෝෂණය කරනවා. කෑම බීම අරගෙන අපේ ශරීරය පෝෂණය කරනවා. ඒත් කිසිම වෙලාවක අපි හිතලා තියෙනවද අපි අපේ හිත පෝෂණය කරන්න ඕන කියලා?”
ඒ සංවාදය ඇරඹුනේ මිහිකව මිතුරෙකු කරමිනි.
මුහුණු පොතේ තමා විසින් පල කල සටහනකට පිළිතුරු සටහන් තැබූ තරුණයා, මැසෙන්ජරය ඔස්සේ පණිවිඩයක් එවා තිබූ අයුරු මතකය.
“ඔච්චරම රැඩිකල් නම් අපි මීට් වෙලාම කතා කරමුද?”
ඒ ආරාධනාව හා කියමින් පිළිගත්තේ එදවසත් ඉතාම දඟකාර සිතුවිලි වලින් මෙහෙයවනු ලැබූ එහෙත් ඒ හැඟිම් රැඩිකල් හැඟීම් යැයි වරදවා වටහාගනිමින් සිටි චරිත්‍රාය.
ඉන් ඇරඹුණ කතා බහ විවාහයක් දක්වා දුර යෑම චරිත්‍රා බලාපොරොත්තු නොවුනක් වූද එදවස මිහික වැනි උසස් පවුලක, වැදගත්, බුද්ධිමත් තරුණයෙකු හා විවාහ වීම චරිත්‍රාට අනුව ඇය ලැබූ විශාල ජයග්රහනයකි. කුඩා අවදියේ සිටම චරිත්‍රා බොහෝ ආසාවෙන්, අඬා දොඩා, කෑගසා බිම පෙරලී ලබාගන්නා දේවල් වුවට වුව ආදරය දක්වන්නේ මුල් කාලයේදි පමණකි. එවැනි සිතුවිලි පෙරදැරි කොටගෙන ජීවිතයේ ආ ගිය බොහෝ කෙටි, දිග සම්බන්ධකම් ඇතිකරගන්නට චරිත්‍රා පෙළබෙනු ඇතැයි ඇයගේ මව කුඩා අවදියේ සිටම ඉතා බිය වුණු කාරණාවකි.
“පුංචි කාලේ දෙයක් ඉල්ලල ගේ පෙරලල අඬද්දි ඔන්න ඔහේ මොකෝ කියල අපි කරේ වරදක්ද කියල මට දැන් තමයි හිතෙන්නේ
ලොකු වෙද්දි ඕව ලොකු ප්‍රශ්න වෙනවා. ඔයාට බෑනෙ ළමයො එක අහක හිත තියාගෙන ඉන්න.වතාවක් අර රස්සාවට ගිය අලුත් හම්බෙච්ච ලමයෙක් මේ ගෙවල් දොරවල් වල පවා යන්න එන්න තියාගත්තා. දැන් මේ වෙන කවුද ළමේක්ව එක්කන් එන්න හදනව අපිට අඳුන්නල දෙන්න.
ඔහොම එක හිතක් නැතුව කසාදයක් නම් කරගන්න එපා. අන්තිමේ ඔයාගෙ විතරක් නෙවෙයි ඒ දරුවගෙත් ජීවිතේ විනාශ වෙයි”
රැකියාවට ගිය අලුත කාර්යාලය අසල වෙනත් කාර්යාලයක සේවකයෙකු සමග චරිත්‍රා ඇති කරගත් කෙටි සබඳතාවයක් විය. එදවස කොලබ තනිවම උන් කිරිල්ලියක් බඳු චරිත්‍රා එවැනි සබඳතා වල වරදක් නොදුටුව අතර, ඔහු චරිත්‍රා ගමේ යන අවස්තාවල ඇයව ඇරලවන්නට කොළඹ සිට තකහනියේ දෙණියායටත් පැමිණ තිබේ.
අනුරාධපුර පැත්තේ කුඩා පවුලක වුවත් හොඳින් හැදුණු, ඉගෙනගත් ඔහුගේ පලමු රැකියාවද එය වූ අතර මහා මුදල් කන්දරාවක් නොතිබුනද අවංක තරුණයෙක් විය.
එහෙත් කාර්යාලයේ මිතුරියන් විසින් හඳිනු පලඳිනු ලබන සුන්දර අඳුම් පැලඳුම්ද, ඔවුන්ගේ පෙම්වතුන්ගේ කඩවසම් පෙනුම සහ මූල්‍යමය තත්ත්වයන් හමුවේ ඔහුව අමතක කල චරිත්‍රා දෙවනියට බැඳුණු පුද්ගලයා වූයේ මිහිකය.
හිත එකතැනක නැති වීම අනාගතයට ගැටලුවක් විය හැකි බව සිතමින් අම්මා බිය වී හිඳියද චරිත්‍රාට අනුව එය ඉතාම සාමාන්‍ය දෙයකි. මිනිස්සු වෙනස් වේ. අනික සියල්ල අනිත්‍ය බවත්, වෙනස් වන සුලු බවත් ආගම දහමේද පවසන බැවින් එයට පටහැනිව යන්නට අපිට නොහැක.
මිනිස් සිතද වෙනස් වේ.
අප නිරතුරුවම උත්සාහ කරන්නෙ හොඳම දේ අප සතු කරගන්නයි.
මිහිකව එදවස චරිත්‍රාගේ නෙතට යොමුවුනේ ඒ මොහොතේ තමා සතු කරගත හැකි හොඳම පිරිමියා ලෙසටයි. මිහිකව හමුවද්දීත් ප්‍රභාත් මෙන්ම තවත් බොහෝ පුද්ගලයන්ගේ තුරුලේ සැනසීම චරිත්‍රා විසින් කරගෙන යන ලදී.
ළහිරු මිහිකට වඩා හොඳය. සැම අතින්ම හොඳය. කඩවසම් බව සහ උගත්කම අතින් එක හා සමාන තැනක උන්නද ළහිරු මිහිකට වඩා ධනවත් ය. ඉතාම සුඛෝපභෝගී ජීවිතයකට හිමිකම් කියයි. පරම්පරාවෙන් ආ ව්‍යාපාර රැසක් තිබුණද “නිදහස වටිනව අනේ ඊට වඩා” කියමින් බැංකුවක රැකියාව කරන ළහිරු තමාට මිහික දෙනවාට වඩා උපරිම නිදහසක් ලබා දෙන බව චරිත්‍රාට විශ්වාසය.
ඉතින් එබඳු ප්‍රේමයක් මග හැර ගැනීම, අතැර දැමීම අනාගතයට කරගන්නා විශාල පාඩුවකි.
අනෙක් අතට මිහිකගෙන් ලද ආදරයෙන්වත්, උණුසුමෙන්වත් නොලැබුණු අන්දමේ කුල්මත් බවක් ළහිරුගේ ආදරය සහ උණුසුම නිසා ලැබේ.
“මේ සම්බන්ධෙ නම් පොඩි කාලයකින් ඉවර වෙන්නෙ නෑ. මම මේක දිගටම කරගෙන යනවා”
ඒ සිතුවිල්ල චරිත්‍රාට සතුටකි. තමා ගැනම විශ්වාසයකි.
ඒ සතුටත් පෙරදැරි කරගෙන චරිත්‍රා දුරකතනය අතට ගත්තේ මිහිකට හෙට කතාකරන්නම් යැයි පවසනු පිණිසයි.
ඉතාම ඉක්මනින් ඔහු සමග ඇති සියලු බැඳීම් අවසන් කරගත යුතුය.