නිම් නැති නිම්නය 49

ගෙතුළ වායු ගෝලය වඩා උණුහුම් වී ඇති හැටියක් ආරාධනා ට කාමරය තුළට දැනිණ. කලබලකාරී හා ආවේගකාරී කට හඬවල් ඇසුණේ ය. නමුත් කියවුණේ මොනවා දැයි කාමරයට පැහැදිලි ව ඇසුණේ නැත.  ආරාධනා ට උනන්දුවෙන් කන් දීමේ අවශ්‍යතාවයක් දැනුණේ ද නැත. එහෙයින් ඕ යහන මත හිඳ එසේ ම සිටියා ය. ඔහේ සිටියා ය. වෙන දෙයක්, වෙන්නට නියමිත දෙයක්, ඕන ම දෙයක් සිදු වුණාවේ යි සිතා ගෙන හිටියා ය. ආත්මයේ එක පැත්තක් භීතියකින් කඩා වැටෙන්නට ඔන්න මෙන්න වාගේ දැනිණි ද අනිත් පැත්තේ වූයේ සියවස් පැරණි ඉදිකිරීමක තරම් ශක්තියකි. මේ කිසි සේත් එය කඩා වැටෙන්නට නියමිත මොහොතක් නොවේ යි ඒ පැත්ත මොර ගා කීවා සේ ය.

ටයිල් බිම මත ඩක ඩකස් හඬින් හැපෙන ඉක්මන් සපත්තු හඬක් ඇසිණ. ආරාධනා ගේ හදවත ද ඒ තාලයට ගැහෙන්නට ගත්තා සේ ය. චින්තන දොරකඩ නතර වී සිය තීක්ෂණ දෑසින් ආරාධනා විනිවිද බැලුවේ ය. කොටියෙකු ගේ ග්‍රහණයට හසු වෙන්න ඔන්න මෙන්න වූ සාවියක සේ ඇයට ඇය දැනිණ.

“මීට පස්සෙ කවීශ්වර මෙහෙ එන්න ඕන නෑ. තමුසෙට කියන්න බැරිනං මං එයාට කියන්නං”

“චින්..තන…මොනාද අනේ ඔයා මේ කියන්නෙ…මොනාද කරන්නෙ…”

“මේ..තාරා…එහාට වෙලා වැඩක් බලා ගන්නවද…”

“අපිට එහෙම කියන්න අයිතියක් නෑ. ඒ දරුවංගෙ බාප්ප”

“බාප්ප…”

එවර චින්තන ගෙන් සමච්චල් සිනහවකි.

“තාත්තගෙ හිතේ නැති ආදරයක් බාප්පගෙ හිතේ තියෙනවද හලෝ…”

ආරාධනා ගේ පපුව දෑවේ ය. ඇය අසීරුවෙන් හුස්ම ගත්තා ය. 

“ඒ තීරණේ ස්ථිරයි. නැති ලෙඩ දාගන්න ඕන්නෑ අපිට”

කියමින් තර්ජනාංගුලිය එසවූ චින්තන නික්ම ගියේ ය. එතෙක් ආරාධනා නොදුටු මධුරි සේනාසිංහ ද දොර ළඟින් කාමරය තුළට ආවා ය.

“අනේ මන්දා දරුවො…එක අතකට අයිය කියන්නෙත් ඇත්ත”

අයියා කියන ඇත්ත කුමක් දැයි මධුරි විමසන්නට ආරාධනා ට අමතක ව ගියේ ය.

“ගිනිපෙනෙල්ලෙන් බැට කාපු අපි කණාමැදිරි එලියටත් බය වෙන්න ඕන තමයි. ඒත් ඉතිං ගජධීර මහ ජෝඩුවගෙ මූණ බලාගෙන මේව කියන්නෙ කොහොමද…ඒ මිනිස්සු හරි හොඳ අය. හොඳම දේ ඔයා කල්පනා කරල ඉක්මනට මේව පිළිවෙළක් කර ගන්න එක. බිඟුනිව වෑන් එකකට දානකල් තාත්ත එක්ක ගිහිං හරි ඔයා ඒ දරුවව ඉස්කෝලෙට දාන්න. තාත්තට බැරිනං මං කියන්නං ඩ්‍රයිවර් කෙනෙක් හරි දීල වාහනේ එවන්න කියල…දරුවව ගන්න”

සිය ජීවිතය බලා සිටියදී අනිත් අයගේ තීන්දු තීරණ වලට නතු වෙන හැටි ආරාධනා බලා සිටියේ විස්සෝපයෙනි. කවීශ්වර එක්ක අයියා මේ හැටි තරහ ගන්නට කාරණයක් ඇයට සිතා ගත නො හැකි ය. එක අතකට කාලයක් තිස්සේ කවීශ්වර ගේ කල්ක්‍රියාව ගැන අයියා නො දන්නවා වන්නට බැරි ය. ඔවුන් සියලු දෙනා කොළඹ පිරිමි පාසල් වල ඇසුර ලැබූ ළමයින් ය. එක ම සමාජයක් ඇසුරු කළ තරුණයන් ය.

‘අයිය කියන්නෙත් ඇත්ත’ යනුවෙන් මධුරි සඳහන් කළ කතාව ආරාධනා ට දැන ගන්නට ලැබුණේ තාරා ගෙනි.

“අපි හොඳයි කියල හිතල මෙයාව දීපු එකා මොකද්ද කළේ…ළමයි දෙන්නෙක් දීල මාරු වුණ එක. දැන් ඔය කවීශ්වර බොහොම ආදරෙං කරුණාවෙං වගේ ලං වෙන්න හදන්නෙ මොකටද කියල හිතන්න බැරි තරං අපි හරක්ද…තව ළමයෙක් දෙන්නෙක් අරං අන්තිමට මෙයා ගෙදර එනකොටත් අපි බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙයි. ඔය කවීශ්වර ගෙ ආස්සරේ වහාම නවත්තන්න ඕනෙ”

චින්තන කෑම කාමරයේ දී කියා ඇත්තේ එසේ ය. ඒ කතාව ඇසෙත්දී ආරාධනා ගේ සිරුර හිරිවැටී ගියේ ය. කාට කොහොම වුණත් කවීශ්වර කිසි දාක ඇය දෙසට නරක බැල්මක් හෙලන්නට තරම් වුව පෙළඹී නැති බව ඈ තරම් හොඳින් දන්නා වෙනකෙකු නැත්තේ ය. කාලයක් තිස්සේ ඔහු ඇයට පෙම් කළ බවක් ආරාධනා දැන ගත්තේ දිනකට දෙකකට පෙර ය. ඒ වන තුරු එවැන්නක් ගැන ඉඟියක් හෝ ඇයට නොදී ඉන්නට තරම් ඔහු සංයමයෙන් යුතු වූයේ ය. ගෙදර අය කොහොම හිතුවත් කවීශ්වර ගැන දැන් එහෙව් අහිතක් හිතන්නට ආරාධනා ට බැරි ය.

හිත සන්සුන් කර ගන්නට බැරි තැන  ඇය කවීශ්වර ගේ දුරකතනයට ඇමතුමක් ගත්තා ය. නමුත් එය හැඬවී ඔහු “කියන්න ආරාධනා” කියා කියනා තුරුත්, කුමක් පවසන්නදැයි ඇය දැන සිටියේ නැත.

“කවීශ්..වර..ම්…මේ…මට..මට…”

“ආරාධනා…ඇයි මොකක් හරි අවුලක්ද…මොකද්ද වෙලා තියෙන්නෙ…”

හිත හිර වී, මුව ගොළු වී ඇගේ ඇස් වලින් කඳුළු දෙපෙළක් ගලා ගියා විතර ය. එක අතකට ඔහු ට මොනවා කියන්න දැයි ඇයට සිතිණ. අම්මා කීවා සේ තීරණයක් ගත යුත්තේ ඇය ය. තාරා කියන්නා සේ තීරණයක් ගත යුත්තේ ඇය ය. ආදරය කියනා හැඟීම ඇගේ හිතට දැනෙනා මුල් ම අවස්ථාව මෙය නොවී ද, පිරිමියෙකු ඇයට ආදරය කරනවායි දැනෙන කුළුඳුල් අවස්ථාව මේ ය. එය වෙනස් හැඟීමකි. නො සන්සුන් දැනීමකි. දරා ගත නො හැකි භාවයකි. තමන්ට පෙම් කරනා කෙනෙකු මෙලෝ තලයේ කොතැනක හෝ සිටිනවායි දැන ගැනීම තරම් දරා ගත නො හැකි හැඟීමක් වෙන තිබෙතැයි සිතිය නො හැකි ය.

“චින්තන මොනාත් කිව්වද…ම්…”

පිරිමි හඬක් ඒ තරම් දයාර්ද්‍ර ලෙස තමන් අමතනවාමයි කියා සිතෙත්දී ආරාධනා ගේ කඳුළු ඉසිහින් ඉකි බිඳුමකට පෙරළිණි. 

“අනේ ඉතින් කියන්නකො දරුවො මොකද වුණේ කියල…නැත්තං මං එන්නද ඔයාව ගන්න…අපි ගෙදර ගිහිං කතා කරමුද…”

“හා”

ඒ තනි අකුරේ වචනය තුළ,තමන් මහත් වූ බරකින් නිදහස් වූ බවක් ආරාධනා ට දැනිණ. ඇය ඇස් තටු තද කොට කඳුළු මිරිකා හැරියා ය. අත් වලින් කොපුල් තලා පිසලමින් ම සඳයුරු සූදානම් කරවූවා ය. බරපතල වූ ආත්ම ශක්තියක් ඇය තුළ ලියලමින් තිබිණ. 

“ඔයා ඔයාටම අවංක වෙලා හිතන්න. එහෙම හිතල කවී එක්ක කතා කරන්න. මොනා කොහොම සිද්ද වුණත් මේ තාරා උඹ එක්ක ඉන්නව හරිද..”

ආරාධනා ගෙන් පිට වීමට කලින් තාරා කීවා ය. ඒ වෙත්දී මධුරි ද ගෙදරින් නික්ම ගොස් තිබීම හිත් පහසුවක් වූයේ ය. ආරාධනා සඳයුරු ගේත් බිඟුනි ගේත් අත්‍යවශ්‍ය අඩුම කුඩුම ටිකක් මල්ලකට ඔබා ගෙන තිබිණ. ඒවා රියට දමා ඇය ඉදිරි අසුනට ගොඩ වෙත්දී කවීශ්වර ගේ ඇස් වල වූයේ ‘මොකද වුණේ’ යන විශ්මය ය. නමුත් ඔහු ඒ වචන පිට නො කළේ එය ද ඇයට රිදුමක් වෙතැයි සිතා ය. කියන්නට තිබෙනා දෙයක්, කියන්න ඕනේ කියා සිතෙනා දෙයක්, ඇයට හිතෙනා වෙලාවක ඇය ම කියනු ඇතැයි ඔහු හිත සකසා ගත්තේ ය.

සැප්තැම්බරයේ වස්සාන අහස ඔවුන් රියට නැගෙත්දීත් තිබුණේ අඳුරෙන් බුම්මා ගෙන ය. වැඩි දුරක් යන්නට මත්තෙන් මොර ගෙඩි බඳු ව වැහි බිඳු රිය මතට කඩා වැටෙන්ට විය. කවීශ්වර රිය පැදවූයේ හෙමිනි. වින්ඩ්ස්ක්‍රීනය මත පතිත වන වැහි දිය, වයිපර මගින් දෙපසට තල්ලු කරත්දී ම නැවත ඒ අවකාශය සිප ගන්නා වැහි බින්දු දෙස ආරාධනා ඇස් පිය නො සලා බලා සිටියා ය.  රාජගිරිය ගුවන් පාලම මත්තට පෙනෙන ඈත නගරය වැස්සට පෙඟී තිබිණ. තමන් ගේ සිතත් ඒ වගේ යයි ආරාධනා ට සිතුණේ ය. දුකෙන් පෙඟී තෙත් බර වී තිබුණත් අභිමානවත් ව නො සැලී බලා හිඳී!

නුගේගොඩ දෙසට රිය ධාවනය වත්දී වැස්ස වඩාත් සැඩ වෙමින් තිබිණ. වහ වහා පාර දෙපස විසල් බොර දිය පාරවල් ගලා ගියේ ය. මේ මොහොතේ බිඟුනි ද ඇය තුරුලේ වූවා නම් මෙය කල්පාවසන වැස්ස වූවත් කම් නැතැයි ආරාධනා ට සිතුණ තරම ය. 

“බිඟුව ඉස්කෝලෙ යැව්වෙ අපරාදෙ හිතෙනව”

කවීශ්වර හිස හරවා ඇදෙස බැලුවා මිස කිසිත් නො කියා සිටියේ ය. නමුත් ලොකු කතාවකට කොතැනකින් හෝ ඇරඹුමක් ගත යුතුව ඇති බවක් ද ඔහු ට දැනෙන්නට විය. කවීශ්වර ඉඩකඩ ඇති තැනෙක මග අයිනට කොට රිය නතර කළේ “වැස්ස තදයි” කියමිනි. එහෙම නතර වුණ එක හොඳ යයි ආරාධනා ට ද සිතිණ. ඔවුන් සිටිනා ඉතා කුඩා අවකාශය වට කොට ගෙන හාත්පසින් මහ වැස්සක් වහිනා එක අසිරිමත් හැඟීමක් දනවයි. රිය තුළ උණුහුම වී ද අවට දැනිය හැකි සීතලෙන් ආරාධනා සඳයුරු ගුලි කොට ගත්තා ය. “කෝ එන්න” කියා කවීශ්වර සඳයුරු ට දෑත පෑවේ එතකොට ය. ඔහු හිනා කටකින් පැන ගෙන අතින් අතට මාරු විය. 

“චින්තන මොනා හරි කිව්වද…”

කවීශ්වර හරි බරි ගැහී සඳයුරු උකුල මත තබා ගනිමින් ආරාධනා දෙසට හැරුණේ ය. සඳයුරු දෑතින් ස්ටියරින් වීලය බදා ගෙන සෙල්ලම් කරන්නට ගත්තේ ය. ආරාධනා රවුම් ඇස් හරවා ඔහු දෙස බැලුවා ය. ඒ ඇස් වලට තෙතමනයක් කාන්දු වෙමින් තිබිණ.

“බිඟුට අද ස්කූල් වෑන් එකක් බලනෝ කිව්ව”

කඳුළක තෙත ඒ වචන අතරේ ගෑවී තිබිණ. පපුව මේ තරම් පිච්චෙන්නේ ඇයි දැයි ආරාධනා නො දැන සිටියා ය.

“ඉතින්..ඒකෙ වරදක් නෑනෙ”

කවීශ්වර එසේ කීවේ මඳ තත්පර වීමකට පස්සේ ය.

“මට මහන්සියි කවීශ්වර…”

ආරාධනා ගේ ඇස් වල කඳුළු පටලය වඩා ඝණ වෙමින් තිබිණ. තවත් ගහක් ගලක් සේ ඉන්නට පුළුවන් කමක් කවීශ්වර ට වූයේ නැත. ඔහු සිය වමත ඇගේ දකුණු කොපුල වෙත ගෙන එමින්, අත එහි නවතා ගෙන මහපට ඇඟිල්ලෙන් ඇගේ ඇස් පාමුල පිස දැමුවේ ය. කඳුළු හෝ ගා ගලන්නට වූයේ එවිට ය. ඇය සිය අත් දෙකෙන් ම කවීශ්වර ගේ අත සිය කම්මුලට තද කොට ගත්තා ය. වැව් බැම්මක් බෝ දුක් දරා ගෙන වැව් දිය කඳ දරා සිටීමේ අවසානයක බැම්ම ද සමගින් බිඳී යන්නට පුළුවන. මේ මොහොතේ ආරාධනා ට වූයේ ද එයයි  වසර ගණනාවක් තිස්සේ ඉවසා දරා උන් පීඩනයක් හෝ වේදනාවක් හෝ නොලැබීමක් පිළිබඳ හැඟීමක් හෝ අවසන් සීමාවේ දී වැව් බැම්මක් සේ පුපුරා දෙගොඩතලා ගියේ ය.

“මට කවදාවත් කවුරුවත් මෙහෙම ආදරේ කරල නෑ කවීශ්වර”

ඒ විදාරණයේ අවසන් පියවර ය. දැන් ඉතින් කිසිදු ප්‍රතිසංස්කරණයකින් පලක් නොවන්නේ ය. ආරාධනා කවීශ්වර ගේ අත දෝතින් ම ගෙන සිය දෙතොල් ඒ මත තබා තද කොට සිප ගත්තා ය. ඔහු ඒ අත ඇගේ උර මඬල වටා යවමින් ඈ හිස සිය උරයේ සතපවා ගත්තේ ය.

“මන්දන්නෑ තාමත්…මට වෙන කාගෙවත් වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්ද කියල…ඒක හිතන්නත් බය හිතෙන…හිතන්නත් අමාරු දෙයක්…කාශ්‍යප කියන තාප්පෙ කඩා ගෙන වෙන කෙනෙක්ගෙ වෙනව කියන එක…එයාව එපා කියල පැත්තකට වුණ තරං ලේසි දෙයක් නෙවේ. ඒත් මට මේ ආදරේ නො දැනුණා වගේ තවත් ඉන්න බෑ…”

කවීශ්වර ඉතා තදින් ඇගේ කොපුලත් සවනත් අතරේ සුසිනිඳු අවකාශය සිප ගත්තේ ය. මීට පෙර ස්ත්‍රීන් සමග ඔහුගේ වූ සියලු ආකාරයේ ගනුදෙනු ඒ සිප ගැනීමත් සමග අහෝසි වී ගියේ ය. 

“කවදාකවත් පිරිමියෙකුගෙ ආදරේ එක බින්දුවක් තරං විඳල නැති ගෑනු ළමයෙක්ට…ඔයා කියන්නෙ මේ වැස්ස වගේ දෝරෙ ගලන හැඟීමක්. මට ජීවත් වෙන්න…සදහටම ඒ හැඟීම විතරක් ඇති දැන්. මේ පැටව් දෙන්නත් එක්ක තුරුල් කරං මැරෙන්න වුණත්…මට ඒ ඇති කවීශ්වර”

“අඬන්නෙපා”

ඔහු බිඳුණු හඬකින් මුමුණා ගත්තේ ය. ඒ අතරේ කී වතාවක් ආරාධනා ගේ හිස සිප ගන්නට ඇත්ද කියා ඔහු ම නො දැන සිටියේ ය. මුළු තුන් හිත ම හිර වී ඇතිවා සේ කවීශ්වර ට දැනේ. කියන්නට කිසිවක් ගලපා ගන්නට ඔහු ට තේරෙන්නේ නැත. නමුත් කුඩා සාවියේ මේ වගේ ම අනෝරා වැස්සකට පැන කෙළිදෙලෙන් නාත්දී දැනුණ අප්‍රමාණ බවින් දැන් ඔහු නැහැවෙමින් හිඳී. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles