“ඔයාගේ පොතේ වැඩේට මොකෝ උනේ?”
තුශාරි සමංගා ළඟට ආවේ එහෙම කියාගෙන. තුෂාරියි සමංගයි දෙන්නම වැඩකලේ එකම ඔෆිස් එකේ තට්ටු දෙකක. සමංගා වැඩ කරපු තට්ටුවට උඩ තට්ටුවෙ තමයි තුශාරි වැඩ කරේ. වෙනස තිබ්බෙ තට්ටුවල විතරක් වුණාට මොකෝ තුෂාරි නම් හිතාගෙන හිටියෙ තමන් හැම දේකින්ම සමංගාට වඩා ඉහළින් ඉන්නව කියලා.
තුෂාරියි සමංගයි දෙන්නම ඔෆිස් එක ඇතුලෙ ප්‍රසිද්දයි දෙන්නම ෆේස්බුක් එකේ කතා ලියන නිසා.
එහෙම ලිය ලිය උන්නු තුෂාරි පසුගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනේදි පොතක් එළිදැක්වුවා. ඉන්පස්සෙ තමයි අර තට්ටු දෙකේ පරතරේ තව ටික ටික වැඩිවෙන්න ගත්තේ.
“හැමෝටම පොත් ලියන්න බෑ, මම මේ අහවල් සර්ගෙන් අහගෙන රිසර්ච් එකක් කරල පොත ලිව්වේ, කතාවක තියෙන්න ඕන ඔක්කොම මූලික ලක්ෂණ තියෙන කතාවක් ලියන එක මාර අමාරු වැඩක්, පොත ලියන්නම ඕන නිසා මම වෙන කාගෙවත් පොත් කියෙව්වෙ නෑ” කියල මුලු ඔෆිස් එක පුරාවටම තමන්ගෙ පොත වර්ණනා කරපු තුෂාරි, ඒ වෙද්දිත් ෆේස් බුක් එකේ කතා ලිය ලිය උන්නු සමංගව හරියට පහලට දාලා තමයි කතා කරේ.
ඔය අතරෙදි තමයි කට්ටිය දැනගත්තෙ සමංගත් මේ පාර පොත් ප්‍රදර්ශනේට පොතක් දාන්න හිතාගෙන ඉන්න බව.
මනුස්සකමයි නිහතමානිකමයි ඕනවටත් වඩා තිබිච්ච සමංගා පොත එළිදක්වන්න කළියෙන් ඒ ගැන වැඩි විස්තර දැනගන්න තුෂාරිව හම්බෙන්න අර තට්ටු දෙකේ පරතරෙ ගෙවාගෙන උඩ තට්ටුවට ආවෙ ඒ අතරෙ.
“මට ටිකක් දැනගන්න ඕන අක්කේ, කොහොමද පොතක් පබ්ලිශ් කරන්නෙ කියලා”
“ඔයා පොතක් ලියන්නද යන්නේ?”
“ලියල ඉවරයි අක්කේ, මට දැනගන්න ඕන කොහොමද කියල පබ්ලිශර් කෙනෙක්ව එහෙම හොයාගන්නේ, අක්කට එක්ස්පීරියන්ස් තියෙනවනේ. අනික අක්කාගේ පොතත් ලස්සනටම ප්‍රින්ට් කරල එහෙම තිබුන නිසා මම වියදම කොයි වගේද කියල දැනගන්නත් එක්ක ආවේ”
“මගේ පොත ගැහුවේ සුමිතුරු එකෙන්නේ”
“අනේ ඔව් අක්කේ, මම ආවෙ අහන්න අක්කා ගාව කන්ටැක්ට් එකක් වගේ තියේවිද කියල එයාලට පොත යවල බලන්න”
“කන්ටැක්ට් එකක් නම් තියෙනවා ඒත් එයාලා ගනීවිද කියන්න නම් දන්නෙ නෑ”
“ඇයි අක්කා එහෙම කිව්වේ?”
තුෂාරිගෙ වචන අස්සෙ හැංගිල තිබ්බ කටෙන් එළියට ආවෙ නැති කතාව ඇතුලෙ මොකක් හරි ලොකු හේතුව්ක තියෙනව කියල දැනගත්ත සමංගා එහෙම ඇහුවෙ හරිම බයෙන්.
සමංගා හරිම ආසාවෙන් උන්නෙ පොතක් පබ්ලිශ් කරන්න. පුංචි කාලේ ඉඳන් හීන දැකපු ලේඛිකාවක් වෙන හීනෙ ටිකෙන් ටික මුහුණු පොත ඔස්සේ එළිකරගන්න ගමන් උන්නු සමංගා පොතක් එළියට දාන්න ඕන කරන කාලෙ හදාගත්තෙ හරියට මහන්සිවෙලා.
මුහුණු පොතේ මොන විදියෙ දේවල් ලිව්වත්, කතාවක් පොතක් විදියට එළියට එද්දි හිතන්න කරන්න සෑහෙන කාරණා තියෙන බව දැනගෙන උන්නු සමංගට තමන්ගෙ පොත ලියල ඉවර කරන්න අවුරුදු කීපයක්ම ගියා.
ඒත් තුෂාරිගෙ වචන අස්සෙ තිබිච්ච නොකියන කතාව නිසා ඒ අවුරුදු කීපෙම මහන්සිය වතුරෙ යයිද කියන බය සමංගගෙ හිත අස්සෙ පෙරළි කරා.
“අපි එහෙම ෆේස් බුක් එකේ ගොඩක් ලිව්වා කියල පබ්ලිශර්ස්ලා ලේසියෙන් පබ්ලිශ් කරන්නෙ නෑ. මොකද නරක් පොතක් පබ්ලිශ් උනොත් එයාලට මාර පාඩුවක්නෙ විකුනගන්න බැරි හන්දා.
ඒ නිසා ඔයා අහල බලන්න ඕනනම්, ඒත් අනේ මන්දා ඉතින්”
සමංගට දැනුනෙ තමන්ගෙ හිත කෑලි කෑලි වලට කඩල යනව වගේ. පසුගිය අවුරුද්දෙ පොතක් පොත් ප්‍රදර්ශනේට දාපු, ෆේස් බුක් එකෙත් කතා ලියන, තමන්ටත් කලින් ලියන්න පටන් ගත්ත තුෂාරිගෙ කතාව අහක දාන්න බෑ.
ඒත් එහෙමයි කියල අවුරුදු ගානක් රිසර්ච් කරල, මහන්සි වෙලා ලිව්ව පොතක් ගේ අස්සෙම තියාගෙන ඉන්න පුලුවන්ද?”
ඒ දුකත් හිත අස්සෙ තද කරගෙන ආපහු තට්ටුවෙ පරතරෙ ගෙවාගෙන පල්ලම් බැස්ස සමංගගෙ මූන හොඳ නැති බව දැක්කෙ කෝසලී.
“මොකෝ නිකන් දාහට අරන් සීයට දීල වගේ?”
හිත සනසන්න වගේ සමංගගෙ පිටට අත තියල කැරකෙන ඔෆිස් චෙයාර් එකෙන් ළංවෙච්ච කෝසලී එහෙම ඇහුවෙ තුෂාරි ගැනත් යන්තම් වගේ දන්න හන්දා.
“නෑ අනේ මම ගියා තුෂාරි අක්ක හම්බෙන්න අර පොත පබ්ලිශ් කරගන්න වැඩේ ගැන අහන්න”
“ඉතින්”
“එයාගෙ පොතත් ලස්සනට කවරයක් එහෙම හදල පබ්ලිශ් කරල තිබුන නිසා මම හිතුවෙ සුමිතුරු එකෙන්ම මගෙ පොතත් පබ්ලිශ් කරගන්න පුලුවන්ද කියල දැනගන්න”
“ඉතින්”
“තුශාරි අක්ක කියනව එයාලා එහෙම ලේසියෙන් පොත් පබ්ලිශ් කරන්නෙ නැතිලු”
“ඒ ඇයි?”
“එයාලා ගන්නේ හොඳම පොත් විතරලු, මොකද නරක පොතක් ආවොත් එයාලට විකුණගන්න බැරි වෙන හන්ද ලේසියෙන් හැමෝගෙම පොත් ගන්නෙ නෑ කියල කිව්ව”
“අනේ මේ ඔයා මේ එයාගෙ සුමිතුරු එකෙන් ඔය පොත ගහන්න ඕන නෑ, ලංකාවෙ හොඳටම ඩිස්ට්‍රිබියුශන් තියෙන පබ්ලිශර් පොත්මිණ නේ. ඔයා එයාලට කතා කරලා බලන්න”
“ඒ වුනාට මම වගේ ආධුනික මනුස්සයෙක්ගෙ පොතක් ඒ මිනිස්සු ගනීවිද?”
“ඒක දැනගන්න වෙන්නෙ ඔයා පොත යැව්වට පස්සෙනෙ. ඔයා ඉස්සෙල්ල එයාලට යවල බලන්න. එයාලගෙ නම්බර්ස් තියෙනවනෙ ඉන්ටර්නෙට් එකේ. අපිට අෆෝඩ් කරන්න පුලුවන් ගාණක් නම් එයාලට දීල කරගන්න පුලුවන් නේ”
තුෂාරි හිත අස්සෙ පොදිගහපු අඳුරු වලාකුල ටිකෙන් ටික හිතෙ එහාට කරන ගමන් කෝසලී කිව්ව වචන වලට ඔලුව නවලා සමංගා පොත්මිණ එකට කතා කරේ.
පොත කියවල බලල උත්තරයක් දෙන්නම් සති දෙකකින් කියල පොත්මිණ එකෙන් කිව්වට පස්සෙ සමංගා උන්නෙ හරි බයෙන්. තමන්ගෙ පොත ඇත්තටම් රිජෙක්ට් වෙයිද කියලා හිත හිත. ඒ අතරවාරෙ තමයි වෙන මොකද්ද වැඩකට පරතරේ ගෙවාගෙන පහලට ආව තුෂාරි සමංගගෙන් පොතේ තත්ත්වෙ ගැන අහන්න ආවේ.
තමන් පොත පොත්මිණ එකට යැව්ව කිව්වට පස්සෙ නම් තුෂාරි හින උනේ මහ සමච්චලේට වගේ. “අපෝ එයාලා නම් ඔය වගෙ පොත් ගන්නෙ නෑ” කියල කිව්ව තුෂාරි ආපහු අර පරතරේ මවාගෙන උඩ තට්ටුවට පියඹන් ගියා.
සුබ ආරංචි එන්නෙ නොහිතපු වෙලාවල කියල කියන්න වගේ තමයි පොත්මිණ එකෙන් සමංගගෙ පොත පබ්ලිශ් කරන්න කැමතියි කියල කියපු දුරකතන ඇමතුම ආවේ.
“අපි ගහන ඔක්කොම පොත් වලට කතෘ භාගය ගෙවන්නම්, පොත අපේ ගාණෙ ගෙවන්න, හරිම ලස්සන කතාවක් තියෙන්නෙ” කියල පොත්මිණ වගේ ලොකුම ලොකු තැනකින් අහන්න ලැබුණ සන්තෝසෙ තුෂාරිගෙ ඇහැට කටු අණින්න වගේ උනේ පොත්මිණ ෆේස් බුක් පේජ් එකෙන් සමංගව ටැග් කරල දාපු පෝස්ට් එක දැක්කට පස්සේ.
“එළඹෙන සැප්තැම්බරයට ඔබ වෙත පිදෙන සමංගා රණබාහුගේ පළමු ස්වතන්ත්‍ර කෘතිය – වැස්ස ආපහු ඇවිත්”
තමන්ට කරගන්න බැරි වෙච්ච වේදනාව හිතේ තියාගෙන තුෂාරි පහල තට්ටුවලට එද්දිත් කට්ටිය හිටියෙ සමංගව වට කරගෙන සුබ පතන ගමන්.
“මටත් පොත්මිණෙන් කතා කරා පොතක් ගහන්න. මේ වෙලාවෙ පොතක් නෑ අනේ ළඟ. ප්ලොට් එක යැව්වම නම් කිව්ව ස්වර්න පුස්තක යවන්න පුලුවන් කියල”
සුබ පතනව වෙනුවට ලොකුකම පෙන්නල ගිය තුෂාරි ගැන සමංගගෙ හිතෙ නම් කිසිම තරහක් තිබුනෙ නෑ. තුෂාරි එදා හිතේ මැව්ව කලු වලාකුල පන්නල දාපු කෝසලි දිහා හිනා වෙලා බලපු සමංගට කෝසලිත් උත්තර එව්වෙ හිනාවකින්.
පොත් ප්‍රදර්ශනේට සති දෙකකට කලින් තිබිච්ච ස්වර්න පුස්තක සම්මාන උලෙලෙ අවසන් වටය නියෝජනය කරපු පොත් ලිස්ට් එක දැක්කම තුෂාරි පිච්චිච්ච විදිය ඔයාලා දකින්න තිබ්බේ.හිතාගන්න පුලුවන්නේ හේතුව.
“2024 වසරේ ස්වර්ණ පුස්තක අවසාන වටයට නිර්දේශිත කෘති
වැස්ස ආපහු ඇවිත් – සමංගා රණබාහු”