ග්‍රෝව් අවන්හලේ විසල් තුරු සෙවණ යට එවෙලේ උන්නේ තමාත් උශාලිත් පමණකි. සති අන්තයේ දිනයක දහවල් දෙකට පමණ වුවද එහි අව්වක් තිබුනේ නැත. මද වේලාවකට පෙර වැටුණු වැස්ස නිසා පොලොව මත කුඩා දිය පොකුණු සැඳී ඇති අතර ඉහල හිඳ අහස සිඹින තුරු මුදුන්වල සෙවනැල්ල ඒ වතුර පොකුණු මත ඇඳී තිබේ.
ඇනවුම් කර දිවා ආහාරය එනතුරු උශාලිත් අනුපත් තොලගාමින් උන්නේ සීතල දොඩම් පානයකි. මෙතරම් සිතල දවසකත් රේණු හැපෙන දොඩම් වීදුරුවක් බොන්නට සිතුනේ ඇයිදැයි යන්න අභිරහසක් වුවද දොඩම් බීමෙන් එන ඉමිහිරි පැඟිරි රසය සිත කුල්මත් කරයි.
“ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන්න දෙන්නෙ නැතුව මමත් වදයක් නේද දෙන්නේ?”
අනුප එසේ ඇසුවේ බීම වීදුරුවේ දාරය ඇඟිල්ලකින් පිරිමිදිමින් වීදුරුව තුල වටයට කැරකෙමින් දොඩම් රේණු කරන නර්තනය දෙස බලා උන් උශාලිව ඒ නිහඬ ලෝකයෙන් මුදවාගන්නට සිතා ය.
“ඒකට කමක් නෑ”
“කමක් නෑ කිව්වට මම හිතන්නෙ කිසිම කතාවක් නොකර බීම එක දිහාම බලාගෙන ඉන්නෙ තරහෙන්”
“අනේ නෑ”
ඇයගේ වත මත ඇඳෙන ලැජ්ජාවේ රේඛාවන් වලත්, කෝල බවේ වර්ණවලත් ඇත්තේ මෙතෙක් කිසිම දිනක කිසිවෙකුගේ මුහුණ මත නොදුටුව අපූර්ව ගැහැණු ලාලිත්‍යයකි. ඒ ගැහැණු ලාලිත්‍ය කාන්දමක් මෙන් සිත ඇඳ බැඳ ගන්නට සමත් ය.
“තරහෙන් නෙවෙයිනම් බයෙන්ද ඉන්නේ බෝයිෆ්‍රෙන්ඩ් දකීවි කියල”
ඒ වචන මුවින් පිටපැන්නේ සැබවින්ම අසන්නට නියමිත නිසාවෙන්ද නොඑසේනම් සිත යටින් හොර රහසේ නැගෙන කුතුහලයක් විසඳා ගනු පිණිසදැයි නොදනී. හේතුව කුමක් වුවද එයට පිළිතුරක් ලැබෙන තුරු සිත නොඉවසිල්ලෙනි. ලැබෙන පිලිතුර ඔව් යැයි කීම මත බොහො දේ වෙනස් වන්නට හේතු වන බව පැහැදිලිය.
“ආ ඒ නිසාද කතා කරන්නෙ නැතුව බිම බලාගෙනම ඉන්නේ?”
“එහෙම දෙයක් නෑ”
“නැත්තෙ එහෙම දෙයක්ද එහෙම කෙනෙක්ද?’
“දෙකම”
එසේ පවසා ඇය දිගින් දිගටම බීම විදුරුව බටයෙන් කලතවමින්ම මුව අද්දරට එන්නට සිනහවක් මට්ටු කරගන්නට අසීරු උත්සහයක නිරත වේ. ඒ පිළිතුර සිතට සැනසුමක් ගෙන එන්නට හේතුවක් වූයේ ඇයිදැයි නොදන්නා නමුත් සිත අමුතුම අස්වැසිල්ලකින් පිරී යයි.
අපට හැඟීම් කල්තියා හඳුනාගන්නට නොහැකි නමුත් ඒවා අප ඉදිරියට ආ විට මගහරින්නට ඇති හැකියාවද අවමය.අපි ජීවිතය හරහා ගමන් කරන විට, වඩාත්ම අනපේක්ෂිත අවස්ථාවන්හිදී මෙම හඳුනා නොගත් හැඟීම් ඉදිරියේ අප දුර්වල වන්නට ඇති ඉඩකඩ බොහෝය. ඒවා මෙතෙක් දිනක් අප ජීවිතයේ ආගන්තුකයන් ලෙස සිටි අයකුව සමීපතයකු බවට පත් කරමින් හුවමාරු වන සිනහවක එතී ඒමට හැක.
තමා ගෙවමින් ඉන්නේද එවන් කාලයකි. මෙතෙක් දිනක් තම ජීවිතයේ නොවූ උශාලි සෙමෙන් සෙමෙන් තම සිතුවිලි පාලම ඔස්සේ හදවත තුලට එමින් හිඳී. එහෙත් ඇගේ ඒ ගමන නවතාලන්නට හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැත. අනෙක් අතට තම හද දොරටු තමා නොදැනුවත්ම ඇය එන මග දෙසට විවර වී තිබේ නම් ඇයට එන්නට එපායැයි කියන්නට හැකියාවක් තමාට නෑ නොවේද?
“සමහර වෙලාවට එහෙම ආදරේ කරන්න කෙනෙක් නැති එකත් හොඳයි කියල හිතෙනව උශාලි”
මෙතෙක් වේලා වටපිටාවේ තිබූ සීතල සිතුවිලි කෙමෙන් උණුසුම් වෙයි. ඒ හදවත ඇතලතින් නැගෙන වේදනාවේ ගිනිදැල් නිසාවෙන් විය හැක.
ඒ කතාවට කිසිවක් නොකියා උශාලි එක එල්ලේ තම දෙනෙත දෙස බලා ඉන්නා වග අනුපට පෙනේ. දෙතොල මත්තට ආවේ නැති වුවද “ඇයි එහෙම කියන්නෙ” කියන පැනය ඇයගේ සිත තුලින් පැන නැගී දෙනෙත ඔස්සේ විද්‍යාමාන වන බව ඇය නොදන්නවා විය හැක.
“අපි හිතුවට ආදරේ කියන්නෙ හිතට සැනසීමක් අරන් එන දෙයක් කියල ඒක හැමතිස්සෙම එහෙම නෑ. කිසිම දෙයක් ඕනවට වඩ ඕන නෑ කියන එක ඇත්ත. ඕනවට වඩා කෙනෙක්ට ආදරේ කරා කියල අපිට ඒ තරම්ම ආදරයක් ඒ මනුස්සයගෙන් ලැබෙන්නෙ නෑ. අන්තිමේ වෙන්නෙ එයා අපිට ඒ තරම් ආදරේ නොකරන නිසා හිත රිද්දගන්න තමයි.
ෂෝබිතයි මමයි මුණ ගැහුනෙ සී අයි එම් ක්ලාස් එකේදි. එයා මාරම ලස්සනයි. නිලියක් වගේ. සමහරවිට ඒ ලස්සන නිසාම වෙන්නැති මගෙ හිත එයා පැත්තට ඇදිල ගියේ. ඒඋනාට මම එයාට මාරම ආදරේ කරා. එය කියපු හැමදේම කරා, එයා ඉල්ලන හැමදේම දුන්න. ඒත් එහෙම කරලත් එයා මට ආදරේ කරලවත් මගෙ ආදරේ තේරුම් අරගෙනවත් තිබුනෙ නෑ.
එදා ඔයාලගෙ මැඩම්ට කිව්වට පොඩි ප්‍රශ්නයක් නිසා එයා ගෙදර ගිහින් ඉන්නෙ කියල ෂෝබිතා දැන් ගෙදරින් ගිහින් මාසයකට කිට්ටුයි. එයා ගිහින් ඉන්නෙ එයාගෙ අම්මලගෙ ගෙදර නෙවෙයි. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ගෙදර. මීට කලින් මෙහෙම දෙයක් වෙච්ච මිනිහෙක් මේ ලෝකෙ ඉන්නවද කියන්න මම දන්නෙ නැ. මට දුක මම ගැන නෙවෙයි දුලන්‍යා ගැන. මම දන්නෙ තමන්ගෙ දරුවව දාලා මෙහෙම වෙන මනුස්සයෙක් එක්ක යන්න අම්මා කෙනෙක්ට පුලුවන් ද කියල. ෂෝබිතා ඒක කරේ කොහොමද කියන්නවත් මම දන්නෙ නෑ. මට හරි බයයි මට පිස්සු හැදෙයි කියල මේ ගැන හිතල. මට ඔක්කොටම වඩා බය දුලන්‍යා ගැන. අම්ම ට්‍රිප් එකක් ගිහින් කියල තමයි අපි දැන් එයාට කියල තියෙන්නෙ. ඒ උනාට ෂෝබිතා ගෙදරින් ගිය දවසෙ එයා ගෙදර ඉඳපු නිසා එයා ඒ ඉන්සිඩන්ට් එක දැකල තිබුනා. හැමදාම රෑට එයා අම්මා කවදද එන්නෙ කියල අහනවා”
ඉන්පසුව ඇතිවුන නිහඬතාවය ඔස්සේ එක එල්ලේම එකිනෙකාගේ දෑස් දෙස බලා හුන් උශාලිත් අනුපත් අතර වූ නිහඬතාවය බිඳ දමන්නට මෙන් ඇනවුම් කල දිවා ආහාරය රැගෙන වෙටර්වරයා මේසය වෙත ආවේය. මෙතෙක් වේලා සිත අස්සේ ඉපිද ඇස් ඔස්සේ හුවමාරු වූ වේදනාවේත් අනුකම්පාවෙත් දෑස් ස්පර්ෂයන්ට මද විරාමයක් ලැබුනේ ඉන් අනතුරුවය.
මැන්ගෝ ට්‍රී වෙතින් ඕඩර් කල බත් සහ කරි වල සුවඳ රස නහර පිනවන්නක් වුවද උශාලිත් අනුපත් උන්නේ කෑම කන්නට පිරියකින් නොවේ. බත් පිඬක් උගුරින් පහලට යවා ගන්නට නොහැකි ලෙසින් යමක් උගුරේ සිර වී ඇති බවක් උශාලිට මෙන්ම අනුපටද දැනෙමින් තිබුනි. කෑම බඳුන්වලම එසේ නිවෙන්නට හැර හෝ තම සිත ඇතුළතින් මෙතෙක් දිනක සුනාමි රළ නංවමින් තිබූ වේදනා සයුර පිට කල හරින්නය අනුපට උවමනා විය.
එහෙත් තවත් තප්පර කිහිපයක් නිහඬව උන් උශාලි බත් හැන්ද අතට ගත්තාය. ඇය බඩගින්නේ විය හැක. ඉතින් ඇය බෙදාගත් පසු කෑම බෙදාගන්නට සිතා අනුප බලා උන්නද කතරක වුවද මද පවන හමා යන බව කියන්නට මෙන් උශාලි පලමු බත් හැන්ද බෙදුවේ තම පිඟානටය.
තමා උන්නෙ තිගැස්සී මෙන් බව අනුප නොදන්නවා නොවේ. ෂෝබිතා සමග එක මේසයේ කෑම ගත් අතීතයක් විය. ඒ අතීතයේ එකට කැම ගත් අවස්තාවන් අනන්ත අප්‍රමාණ වූ නමුදු ෂෝබිතා විසින් තම පිඟානට බත් බෙදනු ලැබූ අතීත මං සලකුණක් හදවත් පවුරේ කැටයම් වී නොමැති තරම් ය.
බත් හැඳි කිහිපයකට පසුව තෙම්පරාදු කල පරිප්පු කරියෙන් හැන්දකි. ඉන්දියන් ක්‍රමයට හැදු අල කරියෙන් හැන්දකි. ඩෙවල් ක්‍රමයට සකසා තිබූ එලු මස් කරියෙන් හැන්දකි. බොංචි හැන්දකි.
සියල්ලටම පසුව අඹ අච්චාරු බිඳක්ද පිඟාන මත සිතුවම් විය. තම පිඟානට ඇය බත් බෙදාගත්තේ අනතුරුවය. එහි වූයේ පුදුමාකාර ලතාවකි. ලාලිත්‍යයකි. මව්වත් බවකි. ඒ හැඟීම් කන්දරාව තුල අතරමං වී උන් අනුප පියවි සිහියට ආවේ “කන්න” කියා තමා අමතන උශාලිගේ මුදු හඬිනි.
සිනහවකින් එකඟතාවය පල කර බත් හැඳි දෙක තුනක්ම අනුභව කරන තුරුත් ඔවුන් අතර නිහඬතාවය වූයේ කද්දි කතාකරන්න හොඳ නෑ යනුවෙන් කුඩා කල සිට පුරුදු පුහුණු කල සංයමය නිසාවෙන්ද දෙදෙනාම නොදනී.
එහෙත් ඒ සංයමය මදකට හෝ බිඳින්නට උශාලිට සිතී තිබිණි.
“එයා දැන් මොකද කියන්නේ?”
“කවුද?”
“දුලන්‍යාගේ අම්මා’
“එයා ඩිවෝස් එක ඉල්ලනවා”
“හ්ම්ම්”
“ඒත් මම කොහොමද උශාලි මගෙ දරුවට අම්ම කෙනෙක් නැති කරන්නෙ. ෂෝබිතා කීයටවත් දුලන්‍යාව භාරගන්නෙ නෑ. ඔයා හිතනවද වෙන මිනිහෙක් කැමතිවෙයි කියල අනුන්ගෙ ලමයෙක්ව හදාගන්න? අනිත් එක එයාල කැමති උනත් මට ටිකක්වත් විශ්වාස නෑ ෂෝබිතා ළඟ දුලන්‍යා සේෆ් කියල. ඔයා දන්නවනෙ දුලන්‍යා හරිම සෙන්සිටිව්. දැනටම ගෙදරදි අපි දෙන්න රණ්ඩු වෙන ඒව, දුලන්‍යාව නිග්ලෙක්ට් වෙන ඒවත් එක්ක ඒ ළමයගෙ ඔලුව ඇතුලෙ මොනතරම් විනාස වෙලාද කියන්න මම දන්නෙ නැ”
“එයා එක්ක කතා කරලා ඔයාට ඩිවෝස් වෙන්න නැතුව ඉන්න බැරිද?”
“මම එයාට කිව්ව දරුව ගැනවත් හිතලා ආයෙ සෙට්ල් වෙමු මම හැමදේම අමතක කරන්නම් කියල. ඒත් එයා කැමති නෑ. එයා දැන් ඔය ඉන්න බෝයි එක්ක තමයි එයා ඉස්කෝලෙ යන කාලෙත් යාලු එලා ඉඳල තියෙන්නෙ. ගෙදරින් අකමැති නිසා තමයි බ්‍රේක් අප් වෙලා මාව මැරි කරල තියෙන්නෙ. කොහොමහරි මේ මෑතකදි තමයි ඒ දෙන්න ආයම මීට් වෙලා අෆෙයාර් එකක් පටන් අරගෙන තියෙන්නෙ. එයා කියන්නෙ ජීවිතේ දෙවනි පාරටත් එ බෝයිව මිස් කරගන්න එයාට බෑ කියල. කසාද බැඳපු අම්මෙක්ට තමන්ගෙ දරුවව මෙච්චර නොවටින්න පුලුවන්ද උශාලි? අනික ඩිවෝස් එක දුන්නත් නැතත් එයා දුලන්‍යාට ට්‍රීට් කරන්නෙ එකම විදියට නම් මම මොන ඔප්ශන් එක ගත්තත් කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නෙ නෑ”
“ඒත් ප්‍රශ්නයක් තියෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්නෙ නැතුව ප්‍රශ්නෙ එක්කම ඉන්න විදියක් නැ නේද?”
එය ඇත්තකි. එහෙත් හැමවිටම ඇත්තට මුහුණ දෙන්නට අපිට හැකියාවක් තිබේද?
“මම මෙහෙම කියන්නෙ ඔයාව ෂෝබිතාගෙන් බිඳවන්න හිතන් කියල පොඩ්ඩක්වත් හිතන්න එපා. ඒත් ඔයාටම තේරෙනවනම් එයා ආයෙ ආවත් දුලන්‍යාට දක්වන සැලකිල්ලෙ වෙනසක් වෙන්නෙ නෑ කියල මම හිතන්නෙ හොඳම දේ ඔයා දරුවව එයාගෙ ආස්‍රයෙන් ඈත් කරන එක. දුලන්‍යා තාම පොඩි දරුවෙක්. කිසිම දෙයක් තේරෙන්නෙ නෑ කියල අපි හිතුවට තමන් අහන දකින දේවල් ඒ පොඩි අයගෙ හිත් අස්සෙත් අපෙ වගේම ගොඩගැහිල තියෙනව. වෙනස තියෙන්නෙ අපිට වගේ ඒව එයාලට ඒ මොහොතෙම ඇනලයිස් කරගන්න තරම් එක්ස්පීරියන්ස් නැති වීම.
ඒත් ඒකෙන් එයාලට වෙන බලපෑම අඩුයි කියල අපිට හිතන්න බෑ. එයාලගෙ පුංචි මනස අස්සෙ තැම්පත් වෙල තියෙන පුංචි කාලෙ එයාලා එක්ස්පීරියන්ස් කරපු දේවල් තරුණ කාලෙදි ලොකුවට බලපෑම් කරන ප්‍රශ්න වෙන්න පුලුවන්
දුලන්‍යා කියන්නෙ තමන්ගෙ උවමනාවෙන් මේ ලෝකෙට ආව දරුවෙක් නෙවෙයිනෙ. ඒ නිසා අපිට මොන දේ විඳ දරාගන්න උනත් මේ වෙලාවෙ අපි දෙන්නම හිතන්න ඕන දුලන්‍යා ගැන අනුප”
බත් හැන්දක් මුව රුවා ගන්නා ගමන් උශාලි එසේ පවසා හිස් එසවූවාය. නෙතු හා ගැටුණ අනුපගේ නෙතු වල තිබුණ හිස් බව සිතට ගෙන ආවේ බියකි.
“ඇයි?”
“මට හරි දුක හිතුනා උශාලි මම ගැන. දුලන්‍යා ගැන”
“ඇයි? මේ වෙච්ච දේවල් නිසා ද?”
“නෑ, මේ වෙලාවෙ අපි දෙන්නම හිතන්න ඕන දුලන්‍යා ගැන කිව්ව නිසා. තමන්ගෙ දරුවා ගැන ෂෝබිතාවත් නොහිතන තැනක එහෙම හිතන්න ඔයාට හිතුනෙ ඇයිද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඒකට තැන්ක්‍යු. ඒ වචනවලට තැන්ක්‍යු”
“දුලන්‍යාට මම ආදරෙයි මහ ගොඩක්, මට එයා මගෙ දරුවෙක් වගේ. මේ ප්‍රශ්නෙදි කවුරු නැතත් ඔයයි දුලන්‍යායි එක්ක මම ඉන්නව. ඒ ගැන මුකුත් බයක් තියාගන්න එපා. ඒ වගේම ඒක මම කරන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්වත් නෙවෙයි”
“මම ඔයාගෙන් දෙයක් බලාපොරොත්තු උනොත් ඔයා මම ගැන වරදක් හිතනවද?”
අනුපගේ ඇස් වල හිඳ විත් තම දෙනෙතෙහි තැවරෙන්නේ ආදරය බව නොතේරෙනවා නොවන නමුත් මේ ආදරය ඉස්සර කරගෙන යා හැකි ගමනක් නොවේ. මේ ගමනේදී වඩාත්ම වේදනාවට පත් වී හිඳින්නෙත්, තනි වී හිඳින්නේත් දුලන්‍යාය. තමාගේ ආදරයෙන් සුවපත් කල යුත්තේ අනුපගේ හිත පමණක් නොවේ දුලන්‍යාගේ ජීවිතයය.
ඒ ආදරය මල් වරුසාවක් වී අනුපගේත් දුලන්‍යාගේත් ජීවිතයට ඉහිරිය යුතුය.
සත්‍යය අපි වළක්වා ගැනීමට උත්සාහ කරන ඇඹුල් රසයක් මෙන් විය හැකිය. ඇත්ත පැවසිමෙන් හෝ ඇත්ත පිලිගැනීමෙන් ඇතිවන වේදනාත්මක ඇඹුල් රසැති අපුල දරාගන්නට නොහැකි තැන අපි ඇත්ත පිළිගැනීමට හෝ එයට මුහුණ දීමට මැලිවේ.එය නිදසුනකින් කිවහොත් කණ්ණාඩියක් ඉදිරියේ හිටගෙන අප අකමැති දේවල් කරනවා වැනි දෙයකි. මොහොතකට ඇත්ත අමතක කර ජීවත් වුවද අපට කිසිම දිනක ඇත්තෙන් සම්පූර්ණයෙන්ම මිදීමේ හැකියාවක් නැත.
සත්‍යය අප පසුපස එන වැසි වලාකුළක් මෙනි.
ඒ වැස්ස කෙදිනකම හෝ අප සමග සමාන්තරව විත් අපව තෙමාලන බව නියතයකි.