රාත්‍රිය පුරා මා කළේ අන්තර්ජාලය පීරමින් ඩිමෙන්ශියාව ගැන තොරතුරු සෙවීම ය. එය සුව කළ නො හැකි රෝගයක් බව දැන ගැනීම මගේ හදවත නැවතූ කාරණය විය. වෛද්‍ය ප්‍රතිකාර වලින් කළ හැක්කේ එය උග්‍ර වීමේ ශීඝ්‍රතාවය පාලනය කිරීමක් පමණක් ය. මුලින් ම සිදු වන්නේ ආසන්න සිදුවීම් අමතක වී යාම යි. තාත්තා විශ්‍රාම ගන්නට තීරණය කළේත් නිතර නිතර සිදු වන අමතක වීම් නිසා බව ඔහු මට කියා තිබිණ. වාහනයේ යතුර ද ඇස් කණ්ණාඩි යුගල ද සෙරෙප්පු ජෝඩුව ද තවත් බොහෝ කුඩා දේ ද ඔහු නිතර සෙව්වේ ය. “අද කීවෙනිදද පුතා…අද දවස මොකද්ද පුතා…” ලෙස දවසට කිහිප වර ඇසුවේ ය. උයා ගන්නා කෑම වලට ලුණු හෝ මිරිස් හෝ වෙනත් කුළුබඩු වර්ගයක් හෝ වැඩි වීම හෝ නොදා ම අහාර පිසීම ද මේ කාලයේ තාත්තා අතින් සිදු වූයේ ය. සුළු අමතක වීම් සාමාන්‍යයෙන් ඕනෑ ම කෙනෙකු තුළ අඩු වැඩි වශයෙන් පවතින්නට පුළුවන. නමුත් දෛනික ජීවිතය ගෙන යාමට මේ අමතක වීම් බාධාවක් වන විට එය සාමාන්‍ය තත්වයක් සේ නො සලකා හැරිය නො හැකි වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව දියුණු වෙමින් පවත්නා රට වල වැඩිහිටි පරපුර අතරේ ඩිමෙන්ශියාව බහුල ය. වාර්ෂිකව ඊට ගොදුරු වන ජනගහනය ද ශීඝ්‍රයෙන් වැඩි වෙමින් යන බවට එය දත්ත ඉදිරිපත් කරයි. ඉදිරි වර්ෂ කිහිපය තුළ ලෝකයෙන් විශාල ජන ගහනයක් ඩිමෙන්ශියා රෝගීන් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මේ මතක අමතක වීම අදියර කිහිපයක් යටතේ උග්‍ර වී තමන්ගේ සමීපතම අය ද කාලය හෝ තමන් ඉන්නා තැන ගැන අදහසක් ද නැති වී යා හැකි ය කියා දැන ගත්දී මගේ උගුර කට වියළී ගිහින් තිබිණ. හෝරා ගණනක් අන්තර්ජාලයේ සරමින් පරිගණකයට නෙතු ඔබා ගෙන සිටීමෙන් පසු මා නැගිට වතුර වීදුරුවක් බීවේ ශෝකය මුහු වූ කලකිරීමකිනි. ඉදිරියේ දී උදා විය හැකි අසීරු තත්වය ගැන සිතත්දීත් මගේ හෘද ස්ඵන්දනය වේගවත් වූයේ ය. මම බියෙන් ගැහෙන්නට වීමි.
‘විදූ’ යන නමින් ජංගම දුරකතන තිරය එළිය වී එය හැඬවෙන්නට ගත්තේ එවන් පසුබිමකදී ය. පාෂාණිභූත බවක් තුළ මම ටික වෙලාවක් එදෙස ම බලා සිටියෙමි. විදූ ලෙස මා විදුර ගේ අංකය දුරකතන නාමාවලියට එක් කළේ ඔහු ගේ ආරක්ෂාව පිණිස ය. සාමාන්‍යයෙන් අම්මා මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගසන්නේ නැත. මා මොනවා කළත් අවසන සිදු වන්නේ ඇය තීරණය කරනා දේකට අවනත වන්නට සිදු වීම ය කියා ඇය සිතනවා විය හැක. නමුත් විදුර ගේ ආරක්ෂාව ගැන මම හැම මොහොතක ම සිතුවෙමි.
පුදුමය නම් ඔහු ගේ නමින් මගේ දුරකතනය හැඬවීම ය. ඒ ඔහු මට ඇමතුමක් ගත් ප්‍රථම වතාව වේ. ඒ වෙත්දී මගේ බිත්ති ඔරලෝසුවේ වේලාව අළුයම එක සනිටුහන් කළේ ය. යන්ත්‍රාණුසාරයෙන් වාගේ මම දුරකතනය සවනට ගතිමි.
“හෙ..ලෝ…”
මට ඇහුණේ මගේ ම බිඳුණු හඬ ය.
“ඔයා තාම නිදි නැද්ද තිසුරි…”
ඒ වචන අතරේ ආදරය හා අනුකම්පාව සම අනුපාත වලින් මුහු වී ඇතැයි සිතන්නට මම කැමති වීමි. සැබවින් ම ඒ හඬ තුළ මට දැනුණේ සුවදායක බවකි.
“අනේ මට නින්ද යන්නෑ. කතා කළේ ඇයි…හදිස්සියකටද…”
මගේ හඬ ඒ තරමට මට ම ආගන්තුක වූයේ කෙසේ ද?
“වෙනදට එන ගුඩ් නයිට් ස්ටිකර් එකත් නෑ. අද තාම ඔන්ලයින් කියන ග්‍රීන් ලයිට් එකත් ඉන්ඩිකේට් වෙනව…”
ඒ කියන්නේ මගේ රාත්‍රී සුබ පැතුම ඔහු ට පුරුද්දට ගොස් ඇති සෙයකි. ඔහු ඒ වෙනුවෙන් බලා සිටියා විය හැකි ද? සාමාන්‍යයෙන් නිදන්නට යහනට එත්දී, රාත්‍රී දහයට පෙර අන්තර්ජාල සම්බන්ධතා වලින් මම බැහැර වෙමි. ඔහු ඒ ගැනත් අවධානයෙන් හිඳ ඇති බව මේ අවසාන ප්‍රකාශයෙන් ගම්‍ය වේ. මහා ශෝක කලාපයක ගිලෙමින් සිටියදී ජීවත් වීමට බලාපොරොත්තු ඇති කරන ආලෝක පුංජයක් විද්‍යමාන වුණා සේ මම ප්‍රමුදිත වීමි.
“අනේ මං ඩිමෙන්ශියා ගැන ආටිකල්ස් හොය හොය කියෝනව. මට පිස්සු වගෙයි අප්ප. ඒක හොඳ කරන්න බැරි ලෙඩක්ලු. ටික ටික දේවල් අමතක වෙලා ලෙඩාට තමන්වත් අමතක වෙලා යනවලු. කොහොමද දෙයියනේ මං මේකට ෆේස් කරන්නෙ..මොනාද අපිට මේ වෙන්න යන්නෙ…ඇයි අපෙං සතුට කියන දේ මේ විදිහට ඈත් වෙලා යන්නෙ කියල මට තේරෙන්නෑ…අනිත් කොයි දේ කොහොම වුණත් අපිට අපි හිටියනෙ. ඒත් දැන් තාත්ත අපිව අමතක කරන්න ලෑස්ති වෙනව. අක්කගෙ ෆැමිලි ලයිෆ් එක ඇතුළෙ එයා චුට්ටක්වත් සතුටෙන් නෙවෙයි ඉන්නෙ. මං දන්නෑ..මට පිස්සු හැදෙන්න යනව වගෙයි”
යහනට වැටී උඩුකුරුව මම ඇස් දෙක පියවා ගතිමි. හිස ගිනි මැලයක් සේ දාහය දැනවූයේ ය. මම අතැඟිලි වලින් නළල තද කොට ගතිමි.
“ඔයා ඔය ඉන්ටර්නෙට් එකේ ආටිකල්ස් කියෝ කියෝ ඔළුව අවුල් කර ගන්න එපා. ඩොක්ටර්ස්ල ට්‍රීට්මන්ට්ස් කරයිනෙ. හැම දේම හොඳට වෙයි කියල හිතමු. හැම පේශන්ට්ටම එක වගේ නැතුව ඇති. ඔයාගෙ තාත්ත සනීප වෙයි. එහෙම බලාපොරොත්තුවක් එක්ක මේ මොහොතෙ ජීවත් වෙන්න. ඒක තමයි පහසුම විදිහ. අනාගතේ වෙන්න පුළුවන් කියල හිතෙන දේවල් ගැන හිතන්න ගියොත් මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු පිස්සු හදාගෙන තමයි නතර වෙන්නෙ. වෙන දේවල් ඒ ඒ වෙලාවට වෙයි. එතකොට අපි ඒ ඒ මොහොතට ඕන විදිහට හැඩ ගැහිල ඉඳියි. ජස්ට් ගෝ විත් ද ෆ්ලෝ…”
ඒ වචන, ධර්ම දේශනාවක් වගේ මා සන්සුන් කරවී ය. මම හෙමිහිට හුස්ම ගනිමින් සිටියෙමි. රුධිර සංසරණය ද හෘද ස්ඵන්දනය ද යථාවත් වෙමින් පවතින්නට ඇත.
“මං තේරවිල්ලක් අහන්නං ඔයා තෝරනවද…”
“තේරවිල්ලක්…”
මගේ මුවග මඳ සිනහවක් පිපෙන්නට ඇත.
“හ්ම්. මාළුවගෙ ගෑනු සතා කව්ද..”
“මා..ළු..වගෙ…ගෑ..නු..සතා…”
මම කල්පනා කළෙමි. එහෙම ස්ත්‍රී ලිංග පදයක් මට කොතැනක දී හෝ හසු වී තිබුණේ නැත.
“ම්හු..මතක් වෙන්නෑනෙ..”
“මාළුකෑල්ල”
“අයි..යෝ…හරි නරකයි අනේ”
මගේ මුහුණට ලොකු සිනහවක් ආවේ ය. ඔහු ප්‍රීතිමත් ව සිනහ වෙනු ඇසිණ. ඇසිල්ලකින් මා වටා වූ ඝණ අඳුරු වලාකුළු ඈතකට පාව ගොස් පැහැදිලි වටපිටාවක් දර්ශනය වන්නට විය.
“එතකොට…කුළු මීමගෙ ගෑනු සතා කවුද…”
“කුණු මීමින්නද”
“ම්හු”
“කුළු මීදෙන..”
“නෑ”
“කුළු එළදෙන..”
“ම්හු”
“අනේ එහෙනං මං දන්නෑ”
“කුළුබඩුව”
“අනේ..හ්…”
අපේ සිනහවන් පුපුරා ගියේ ය. සතුට කියන්නේ කෙතරම් සරල වූ කාරණාවක් ද යන වග හැඳින ගන්නට මට ඒ හැටි වෙලා ගියේ නැත. එය තිබෙන්නේ අප අසල ම ය. අප වඩාත් ආදරය කරන මිනිසුන් ඇසුරේ ය. සිනහව ටික ටික තුනී වී ගෙන යත්දී මා හිටියේ මොහොතකින් මා වටා වූ සියලු අඳුරු වලා පළවා හැරි අපූර්ව මිනිසා ගැන සිතමිනි. කෑලි කැපිය හැකි දැඩි නිහැඬියාවක් පැතිර යන්නට විය. ඒ නිහැඬියාව තුළ වූ හඬට ඔහුත් සවන් දුන්නා ද?
“දැන් නිදාගන්න. මොනා හිතුවත් අපිට වෙන්න පුළුවන් දේවල් වෙනස් කරන්න බෑ. කරන්න ඕන දේවල් කරමු. තේරුණාද…ගැටළුවක් අපි ඉස්සරහ තියන වෙලාවට වෙනදටත් වැඩිය සිහි කල්පනාවෙන් ඉන්න ඕනෙ. වෙනදටත් වැඩිය හොඳට දේවල් දිහා බලන්න ඕනෙ. අවුල් වෙන එකෙන් වෙන්නෙ අපිට දේවල් අපැහැදිලි වෙලා යන එක විතරයි”
මම ඒ අසීමිත මිනිසා ගේ මුණිවර හඬට සවන් දී ගෙන සිටියෙමි. ඔහු ඒ විදිහට දිගට ම කතා කරමින් සිටිනවා නම් මට මෙහෙම ම ඇස් පියාන එළි වන තුරු සුව නින්දක් ලද හැකි ය. ඒ හඩ ඒ තරමට මගේ හිස පිරිමදියි. මගේ හිත පිරිමදියි. ඒ සංස්පර්ශීය සුවයෙන් මගේ නෙතු පියවීගෙන ගියේ ය.
“දැන් නිදාගන්න. ම්…”
“මට කියන්න දෙයක් තියනව”
සුවබර නිද්‍රා ස්වප්නයෙන් තිගැස්සී අවදි වී ගෙන මම එසේ කීවෙමි. තව දුරටත් ඒ රහස ඔහු ගෙන් සඟවා තබා ගන්නට මට සිතුණේ නැත. මගේ අම්මා ඔහු ට විරුද්ධ පැත්තේ සිටින අමාත්‍ය වජිරපාණී වික්‍රමබාහු බව තව දුරටත් රහසක් ලෙස තබා ගැනීම සිදු නො කළ යුතු ය. ඔහු සිය ලිවීම් තුළ පමණකුදු නොව ප්‍රායෝගික සැබෑ ජීවිතයේ දී ද මහත්මා ගති ඇති සහකම්පන සහිත මිනිසෙකු බව මේ මොහොතේත් ප්‍රත්‍යක්ෂ කරමින් හිඳී. එහෙම මිනිසෙකුට බොරු කිරීම හෝ ඔහු රැවටීම හෝ සාහසික අපරාධයකි. මට ඒ අපරාධය තව දුරටත් කර ගෙන යන්නට බැරි ය. නමුත් එසැනෙන් අකුණක් සේ හිස මත පතිත වූයේ ඉනික්බිති මට ඔහු සදහට ම තහනම් කලාපයක් වනු ඇත යන සිතිවිල්ලයි. තිසුරි බණ්ඩාරනායක නොහොත් සූරි යනු වජිරපාණී වික්‍රමබාහු ගේ දියණිය නම් ඔහු ඔවුන් දෙදෙනා ව ම එක ම තරාදියකට දමා මිනුම් කරන්නට දෙවරක් නොසිතනු ඇත. දැන් මට විදුර වරදත්ත යනු අත්හැර දැමිය හැකි හීනයක් නොවේ. ඔහු වූ කලී අත්පත් කර ගත නො හැකි යථාවක් වී ද මම ඒ මායාවට රිසියේ වෙමි. ඒ මායාව හදවතින් බදා වැළඳ ගෙන මෙදිවිය මත පිය තබා යාම මගේ ජීවන ලාලසාව දල්වයි.
“කියන්න තිසුරි”
අර සන්සුන්, තැන්පත්, ගැඹුරු, මුණිවර හඬ ඈත මන්දාකිණියකින් නැගෙනා සෙත් පිරිත් හඬක් සේ මගේ සවන් මත පතිත විය.
“න්…නෑ…එක්කො ඕන්නෑ. මුකුත් නෑ. මං පස්සෙ කියන්නං”
තදින් ඔහු ගේ පපුවට තුරුලු වෙන්නට හිතෙනා විදිහේ සිනහවක් මට දැනිණි.
“හ්ම්. එහෙනං මොනාත් හිතන්නැතුව නිදියන්න”
මට ඕනෑ වූයේ “අනේ ලයින් එක කට් කරන්නෙපා” කියා කෑගසන්නට ය. නමුත් මම ඒ වෙනුවට “ගුඩ් නයිට්” කියා උගුර යටින් කියා ගතිමි.
ඔහු කීවා වාගේ මොනවත් නො හිතා ඉන්නට මම උත්සාහ කළෙමි. සිතක සිතිවිලි උපදින එක වලකනවා කියන්නේ භාවනා කිරීමට සමාන වූවකි. එතකොට හිත ක්‍රමක්‍රමයෙන් සන්සුන් වෙන්නට ගනී. ලිහිල් වෙන්නට ගනී. සැහැල්ලු වෙන්නට ගනී. අවකාශයේ පා වෙන්නට ගනී. එය පුදුම සුවයකි. ඒ පා වීම තුළ සිටියදී මට එක වර ශබ්දයක් ඇසිණ. මම වහා පියවි සිහියට එළඹෙමින් ඇඳෙන් බිමට පැන්නෙමි. කාමරයේ දොර හැර බලත්දී තාත්තා සිය කාමරයෙන් පිටතට, ආලින්දයට ඇවිත් සිටියේ ය. ඇතැම් විට ඔහු පුටුවක හෝ වෙනත් යමක හැපෙන්නට ඇත. තාත්තා කකුල අතගාමින් සිටියේ ය. මා දුටු ඔහු නො දරුවෙකු සේ සිනහ වූයේ ය.
“ඇයි තාත්තෙ..”
මම වහා ඔහු වෙත ගියෙමි.
“නෑ මං මේ ටිකක් ඇවිදින්න කියල එළියට යන්න හැදුවෙ. ඩොක්ට කිව්වනෙ ඇවිදින්න කියල”
තාත්තා බදා ගෙන ඉකිලමින් හඬන්නට ඉතා තදින් උවමනා වී ද මම සන්සුන් ව ඔහු ගේ අතකින් අල්වා ගතිමි.
“තාත්ත නින්ද ගිහින් ඉඳල ඇහැරිල. තාම එළි වෙලා නෑ තාත්තෙ. මේ මහ රෑ. එක පහු වුණා විතරයි තාම. යංකො…තව ටිකක් නිදියන්න”
තාත්තා මට කීකරු ව යහනට ආවේ ය. මට ඔහු තනි කොට යන්නට හිතුණේ නැත. මම තාත්තා ගේ යහනෙහි ගුලි වී වැතිර ගතිමි. තාත්තා බලා ගත යුතු කාලය එළඹෙමින් තිබෙන බව මොකක්දෝ ඉවක් මට ඉඟි කොට සිටියේ ය. මම කඳුළු සලන්නට නො ගියෙමි. මා ඉදිරියට එළඹෙන්නට නියමිත ඕනෑ ම දෙයකට දිරියෙන් මුහුණ දිය යුතුව තියේ. මම තාත්තා ව මගේ දරුවෙකු සේ රැක බලා ගමි!